එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ ඇවිළුණු ලෝක යුද්ධය කරා ගමනේ ගිනිපුපුරු

dthth
නිලුකා සාරි පොටෙන් වැසූ ඒකනායකගේ සාරි පොඩිත්ත
October 11, 2017
misile
ඉරානයත් මිසයිලයක් අත්හදා බලයි
October 11, 2017
Show all

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ ඇවිළුණු ලෝක යුද්ධය කරා ගමනේ ගිනිපුපුරු

dfbhgd

එක්සත් ජාතීන්ගේ හැත්තෑ දෙවැනි මහා මණ්ඩල සැසිවාරය අවසන් වූයේ ප්‍රතිවිරෝධතා රැසක් තව දුරටත් අනාවරණය කරමිනි. විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර වර්ධනය වන යුද උණුසුමත්, රුසියාව සමග ඇති එක්සත් ජනපද පාලකයන්ගේ විරෝධයත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී කැපී පෙනෙන්නට විය.
ඇමරිකාවට සිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට බල කෙරෙන්නේ නම්, උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට වුවත් පසුබට නොවන බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනාධිපති ට්‍රම්ප් පැවසීය. සිය දේශනය අතරතුර කිම් ජොන්ග් අන් සමච්චලයට ලක් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ‘රොකට් මෑන්’ සිය දිවි හානි කර ගැනීමේ ගමනක නිරතව සිටින බවය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාවට අමතරව ඉරාන සහ වෙනිසියුලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය. ඊට පිළිතුරු දක්වමින් උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතා ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය ‘සුනඛයකුගේ බිරීමකට’ සමාන කළේය. ඇමරිකානු ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, සිය රට ශාන්තිකර සාගරයේ දී ජලකර බෝම්බයක් අත්හදා බලනු ඇති බවත් ඔහු කියා සිටියේය.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් කියා සිටියේ ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශ අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව මධ්‍යතන යුගයට බවය.
කෙසේ වෙතත් කොරියානු අර්ධද්වීපය මත වර්ධනය වෙමින් පවතින ගැටුම සියවසකට පෙර පළමු ලෝක යුද්ධයේ පිපිරීමට මෙහෙය වුුණු සිදුවීම්වලට ඛෙහෙවින් සමාන වන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් නිකුත් කළ නිවේදනය ඇති වී තිඛෙන තත්ත්වය තේරුම් ගැනීමේ දී වඩා වැදගත් වේ.
සාමාන්‍යයෙන් යුද්ධ ආරම්භ වන්නේ යුද්ධයට පිවිසෙන පාර්ශ්ව විසින් යම් මොහොතක ගනු ලබන එක් තීරණයකින් නොවේ. පළමුවැනි ලෝක යුද්ධයේ ඉතිහාසය දෙස බලන්නේ නම්, එක් පාර්ශ්වයක් එක් දෙයක් කරමින් ද, තව පාර්ශ්වයක් තව දෙයක් කරමින් ද එය සිදු වූයේ පියවරෙන් පියවර පදනමක් මතය.
ඇමරිකාවේ ආක්‍රමණකාරී හා නොසැලකිලිමත් විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ සක්‍රීය හා විශ්‍රාමික හමුදා අධිකාරිය සිදු කරන ප්‍රකෝපකාරී කයිවාරු විසින් තත්ත්වය බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාකයක් වෙත ගමන් කිරීමට ඉඩ ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාණ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසොල්මන්ව සිටියත්, මහලේකම් ගුටරේස්ගේ ප්‍රකාශවල වැදගත්කම ඉතා පැහැදිලිය. උතුරු කොරියාවට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට සූදානම් බවට එක්සත් ජනපදය කර ඇති ප්‍රකෝපකාරී තර්ජනවල ප්‍රතිඵලය ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා තීව්‍ර වෙන යුද ගැටුමක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
එක්සත් ජාතීන්ගේ ආරම්භක ප්‍රඥප්තිය තම පළමු වාක්‍ය තුළ, සංවිධානයේ මෙහෙවර ලෙස සඳහන් කර ඇත්තේ ‘අපගේ ජීවිත කාලයේ දී දෙවරක් මනුෂ්‍ය වර්ගයාට අප්‍රමාණ සන්තාපය ගෙනැවිත් ඇති යුද්ධයේ කස පහරින් අනුප්‍රාප්තික පරම්පරාවන් ගලවා ගැනීම’ යනුවෙනි. මේ සංවිධානයේ ප්‍රධානියා, පළමුවැනි ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධයේ සංහාරයන් පරයා යන පරිමාවක් මත තුන්වැනි වතාවටත් මනුෂ්‍යත්වය ‘අප්‍රමාණ සන්තාපයන්ට’ මුහුණ ලා සිටින බවට කෙරෙන අනතුරු ඇඟවීම සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතුය.
ගුටරේස්ගේ ප්‍රකාශනය සුවිශේෂ එකක් නොවේ. ජර්මන් විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් ද එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර ආරවුල යුරෝපය පළමු ලෝක යුද්ධයට ඇද වැටීමට සමාන කළේය. ‘පළමුවැනි ලෝක යුද්ධයේ දී මෙන්, අපි නින්දෙන් තුන්වැනි ලෝක යුද්ධය කරා ඇවිදින්නෙමු. මේ අවස්ථාවේ දී වෙනස නම් එය න්‍යෂ්ටික යුද්ධයක් වීමට ඉඩ තිබීම’ යයි ඔහු පැවසීය.
කෙසේ නමුත්, මෙම පැහැදිලි අනතුරු ඇඟවීම් විශාල වශයෙන් බීරි අලින්ට වීණා වාදනයක් බඳුය. එක්සත් ජනපදයේ හා සමස්ත ලෝකයේ මහජනතාවට එල්ල කෙරෙන න්‍යෂ්ටික යුද තර්ජනය පිළිබඳ වාර්තා කිරීම් හා විශ්ලේෂණ කිසිවක් මහා ප්‍රාග්ධනයන්ට හිමි එක්සත් ජනපද මාධ්‍ය තුළ පළ නොකෙරේ. රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂය තුළ කිසිදු ප්‍රමුඛ නායකයෙකු, උතුරු කොරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරිය හඹා යමින් සිටින භයානක ක්‍රියාමාර්ගය ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කර හෝ විවාදයක් කැඳවා හෝ නොමැත.
මේ විනාශකාරී අන්තයන් දෙකෙන් එකක්වත් වළක්වා ගැනීමේ හැකියාව ඉතා කුඩාය. දකුණු කොරියාවේ මහජන විරෝධය හා චීනයේ හෙළාදැකීම් නොතකමින් එක්සත් ජනපදය තම තඩ් මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා අතිරේක රොකට් විදිනයන් දකුණු කොරියාවේ රැඳවීම මඟින් පැහැදිලි කෙරුණේ එම පද්ධතිය සැබැවින්ම චීනය වෙතට එල්ල කර ඇති අතර, න්‍යෂ්ටික පළමු ප්‍රහාරයට පසුබිම සපයනු ඇති බව ය. චීනය ද උතුරු කොරියානු දේශසීමාව අසල තමන්ගේ ප්‍රති මිසයිල පද්ධතිය අත්හදා බැලීය. එම අත්හදා බැලීම එක්සත් ජනපදය සමඟ ගැටුම සඳහා සූදානම් වීමක් බව සංඥා කරමින්, ‘සවුත් චයිනා මෝනිංග් පෝස්ට්’ පුවත්පත කලාපයේ ස්ථාවරත්වයට තර්ජනය කරන ඕනෑම බලවතෙකු නැවැත්වීමට චීනය සූදානම් බව හා සමත් බව අභ්‍යාසය ප්‍රදර්ශනය කළේ යැයි චීන නාවික විශේෂඥයෙකු කළ ප්‍රකාශය උපුටා දැක්වීය.
පළමුවැනි ලෝක යුද්ධය නිර්මාණය කළ 1914 ජූනි හා අගෝස්තු අතර සිදු වූ යුද ගැටුම් වේගවත් වීම්වලට, යුරෝපයේ විවිධ පාලක රාජාණ්ඩු හා ධනේශ්වර ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය හේතු වුවත්, යුද්ධයේ හේතුව පදනම වූයේ ගෝලීය ධනවාදයේ හා විශේෂයෙන්ම නිෂ්පාදන බලවේගවල ගෝලීය දියුණුව සහ ධනේශ්වර පද්ධතිය මුල් බැස ගැනුණු තරගකාරී ජාතික රාජ්‍ය පද්ධතිය තුළ වූ තරගයයි.
මේ මොහොතේ ඇතිව තිඛෙන තත්ත්වයත් එයම නොවේ ද? එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ දී උතුරු කොරියාව, රුසියාව මෙන්ම වෙනිසියුලාව, ඉරානය ඇතුළු රටවල් ප්‍රසිද්ධියේම එක්සත් ජනපද ජනාධිපතිවරයා විවේචනයට ලක් කරනු ලැබීය. එයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ට්‍රම්ප් විසින් එම රටවල් සංචාරක තහනම් කලාපයක් ලෙස නම් කරනු ලබයි. උතුරු කොරියාව පමණක් නොව ඉරානය ද බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමට අවතීර්ණ වී සිටියි.
සියවසකට පසු ඉතිහාසයේ පැවති ප්‍රතිවිරෝධතාවයන් සමනය වී තිබිය යුතු වුවත්, ඒ වෙනුවට නැවතත් ඉතිහාසය පුනරාවර්තනය වෙමින් තිබීමට හේතු වී ඇත්තේ ගෝලීයකරණය සහ පෙර නො වූ විරූ පරිදි ආක්‍රමණකාරී හා කුරිරු ලෙස යුද ශක්තිය යොදා ගනිමින් තම ගෝලීය ආධිපත්‍යය සහතික කිරීම මඟින් ලෝක වේදිකාව මත තම පරිහානිය වළක්වා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙන යන නරුම ක්‍රියාමාර්ග මගිනි.


ධනංජය සූරියබණ්ඩාර