ජනතාවගේ ඡන්ද අයිතියට ද්‍රෝහි වුණේ කවුද?

hhhh
සීමා නිර්ණය මාස 4න් අවසන් කරනවා
October 11, 2017
dgh
මහින්දට ඌරු තෙල් කැවිලා !
October 11, 2017
Show all

ජනතාවගේ ඡන්ද අයිතියට ද්‍රෝහි වුණේ කවුද?

gjhk,

ඡන්දය පිළිබද සාකච්ඡාවකින් දේශපාලන පිටිය යම් ආකාරයකට රත් වී තිඛෙන බව පෙනේ. ඡන්දය යනු මහජනතාවගේ පරමාධිපත්‍ය බලය යනුවෙන් තිඛෙන කියමන නිසා රත් වී තිඛෙන්නේ ද යන්න නම් ගැටලුවක්ය. ජනතාව ඇන්දවීමට කියන කතා දේශපාලනයේ කොතරම් නම් පවතින්නේද? අවශ්‍ය වූ විට ජනතාව මුරුංගා අත්තේ තැබීම අවස්ථාවාදී දේශපාලනඥයන් දශක හතක් පුරා ඉතා අපූරුවට කර තිබේ. නමුත් පරමාධිපත්‍ය බලය ජනතාව මත පවතින්නේය යන්න විග්‍රහ කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද චින්තකයන්ය. දේශපාලකයන් නොවේය.
චින්තකයන් තම මතය දැක් වූයේ බොහෝ විට පවත්නා තත්ත්වය ඉක්මවා ගිය අනාගතවාදී දැක්මක් සහිතවය. එය ජනතාවට බොහෝ දුරින් පැවතීම පොදුවේ දක්නට ලැඛෙන දෙයක්ය.
‘පරමාධිපත්‍ය බලය ජනතාව වෙත පවතින්නේය’ යන්න අවස්ථාවාදී දේශපාලකයන් යොදා ගන්නේ ජනතාවගේ බලය කොල්ලකෑමටය. දිගටම සිදු කෙරුණේ ජනතාවගේ බලය කොල්ලකෑමට දේශපාලකයන් විසින් ඡන්දය යොදා ගනු ලැබීමය.
ජනතාව වෙත තිඛෙන්නා වූ පරමාධිපත්‍ය බලය කොල්ලකෑමට යොදා ගන්නා උපක්‍රම විවිධාකාර බව අතීතය දෙස බැලු විට පැහැදිලි වේ. අපේ රටේ ඡන්දය කොල්ලකෑ ප්‍රබල අවස්ථාව හමු වන්නේ 1975 දීය. එය නම්, එම වසරේ පැවැත්වීමට තිබූ මහ මැතිවරණය කල් දැමීමය. සිරිමා බණ්ඩාරනායක යටතේ පැවැති සභාග ආණ්ඩුවේ කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කරනු ලැබීය. එයට තර්කයක් ලෙස පාදක කර ගත්තේ 1972දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. සිරිමා බණ්ඩාරනායක බලයට පැමිණියේ 1970 පැවැත් වූ මහ මැතිවරණයෙන්ය. ඊට අනුව අවුරුදු පහක් ගත වූ තැන මහා මැතිවරණය පැවැත්විය යුතුය. 1972දී හඳුන්වා දුන් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද වසර පහකට වරක් මහා මැතිවරණය පැවැත්විය යුතුය.
මේ අනුව පෙනී යන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කර දී තිබූ බවය. එසේ නම් කළ යුතුව තිබුණේ එම තහවුරු කිරීම ද අනුව 1970 මහා මැතිවරණය පැවැත්වීමේ සිට වසර පහක් ඉක්ම ගිය තැන මහා මැතිවරණය පැවැත්වීමය. නමුත් එය නොකර තක්කඩි ලෙස මැතිවරණය කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදාගෙන වසර දෙකකින් කල් දමා ගනු ලැබීය.
මෙය පූර්වාදර්ශ කර ගනිමින් ජනතාව වෙත පවතින්නා වූ බව කියන පරමාධිපත්‍ය බලය කොල්ලකෑම ඉතා නිරුවත් ආකාරයෙන් කිරීමට යොමු වූයේ ජේ. ආර්. ජයවර්ධනගේ පාලනය යටතේය. සංවර්ධන සභා ඡන්දය වැනි කොල්ලයන් අරඹනු ලැබීය. නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පවත්වා ඉතාමත් තක්කඩි ආකාරයට ඡන්දය කොල්ලකෑම නව ජවසම්පන්න ආකාරයට සිදු කෙරිණ. අනික් පැත්තෙන් අතුරු මැතිවරණ පවත්වා ඡන්දය කොල්ලකනු ලැබීය. ඊට පූර්ණ රාජ්‍ය බලය යොදා ගනු ලැබීය. ජේ. ආර්. ට වාසි වන ආකාරයේ තෝරා ගත් ඡන්ද කොට්ඨාසවල පමණක් එම අතුරු මැතිවරණ පැවැත්වීය. කොල්ලය දියත් කළ තවත් ප්‍රධාන ආකාරයක් වන්නේ ජනමත විචාරණ පවත්වා මහා මැතිවරණ කොල්ලකෑමය.
ජේ. ආර්. ගේ මේ ඉතිහාසයෙන් ඉතා හොදින් පාඩම් ඉගෙන ගත්තේ, පූර්වාදර්ශ ලබා ගත්තේ මහින්ද රාජපක්ෂය. 2025 වන තුරු හෝ 2050 වනතුරු බලය පවත්වාගෙන යාමේ අරමුණ සහිතව අධිරාජ්‍ය ගැති ඒකාධිපති පවුල් පාලනයක් වෙනුවෙන් ඡන්ද කොල්ලයන් දියත් කෙරිණි. ඒ දෙව්දත්තෙර න්‍යායේ මූලික හරයෙන් වීම විශේෂත්වයක්ය. දෙව්දත්තෙර අජාසත්ත හරහා රාජ්‍ය බලයට කිට්ටු වූයේ ඉන්ද්‍රජාලික මැවීම් හරහා බව බෞද්ධ සාහිත්‍යයෙන් හෙළි වේ. මහින්ද අධිරාජ්‍ය ගැති ඒකාධිපති පවුල් පාලනයක් ස්ථාපිත කර ගැනීමට පදනම් කර ගත්තේ ද, මිනිසුන් වසග කරන විවිධ ඉන්ද්‍රජාලයන්ය. මැතිවරණ පැවැත්වීම මහින්දගේ එක් ඉන්ද්‍රජාලයක් වූයේය. එයට පාදක කරගෙන තිබුණේ ජේ. ආර්. හිතූ හිතූ ලෙස තමන්ට ඕනෑ ඕනෑ ආකාරයට පැවැත් වූ අතුරු මැතිවරණ සිතියමය.
ජේ.ආර්. ගේ අතුරු මැතිවරණවලට රාජ්‍ය ආරක්ෂක අංශ බලය, රාජ්‍ය මූල්‍ය බලය පමණක් නොව සමස්ත රාජ්‍ය බලය ද මදි වී පාතාල මැර හමුදා බලය ද ප්‍රධාන වශයෙන් යොදා ගනු ලැබීය. ඡන්ද පෙට්ටි පිරවීමේ සිට ඡන්ද ගණන් කිරීමේ මැතිවරණ නිලධාරීන් පවා පයට පාගාගෙන සිටීම දක්වා අවකෙළි සියල්ල යොදා ගනු ලැබීය. 1983 ආරම්භයේදීම මැතිවරණ කොට්ඨාස කීපයක පැවැත් වූ අතුරු මැතිවරණයේ මහර ආසනයට ඉදිරිපත් වූ විජය කුමාරතුංග පරාජය කළ ආකාරය ඉතිහාසගතය. තුන් වරක් ඡන්ද ගණන් කර තුන්වෙනි වර ඔහුව පරාජය කර ඡන්ද කීපයකින් ජේ. ආර්. ගේ ගෝලයා ජයග්‍රහණය කරවීය.
ජේ. ආර්. එදා මැතිවරණ කොට්ඨාස මට්ටමින් දියත් කළ මේ ඡන්ද කොල්ලය පදනම් කරගෙන මහින්ද පළාත් සභා ඡන්ද කොල්ලය දියත් කරනු ලැබීය. යුද ජයග්‍රහණයත් එක්ක කෑලි වශයෙන් පළාත් සභා තෝරාගෙන නියමිත කාලය සම්පූර්ණ වීමටත් පෙර විසුරුවා හැර ඡන්ද පැවැත්වීමය. ජේ. ආර්. ගේ විධායක බලය හා හයෙන් පහක පාර්ලිමේන්තු බලය එසේම පවත්වාගෙන යාමට අතුරු මැතිවරණ යොදා ගත්තේ යම් සේ ද, ඒකාධිපති රාජපක්ෂ තමන්ගේ රජ පුටුවත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත් රැක ගැනීමේ පදනම වශයෙන් පළාත් සභා කෑලි වශයෙන් පැවැත්වීම යොදා ගනු ලැබීය.
එදා 2015 ජනවාරි 08 වෙනිදා ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් වූ ලක්ෂ 62ක් ඡන්දය පාවිච්චි කළේ සියලු ආකාරවලින් මුදාහරිමින් තිබූ මේ ඒකාධිපති බල වියරුව පරාජය කිරීමටය. ජනතාවගේ මුදල් හා දේපළ කොල්ලකෑම පමණක් නොව ජනතාවගේ ඡන්දය කොල්ලකෑම අවසන් කිරීම වෙනුවෙන් ලක්ෂ 62ක ජනතාව ඡන්දය දී තිබිණි. ජනතාව දුන් එම බලය ඉතා හොදින් යුහුසුළුව ක්‍රියාත්මක කිරීමක් නොකෙරෙන්නේය. මහින්දගේ බල වියරුවට දිග හරින ලද ඡන්ද සිතියම වෙනුවට ජනතාව සතුව තිඛෙන පරමාධිපත්‍ය බලය යළි ස්ථාපිත කළ යුතුව තිඛෙන්නේය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා ලද පළාත් සභා සංශෝධන පනත සුළු පියවරක් වශයෙන් හෝ වැදගත් වන්නේ මේ අර්ථයෙන්ය.
එය සංශෝධනය කිරීමත් සමග මහින්ද කල්ලියේ කුක්කන්, ගැත්තන්, මැක්කන් රොත්ත බුරුත්තම භූමිතෙල් වැදුණු ගැරඩින් සේ කිපී සිටින බව පැහැදිලි වී හමාරය. දෙව්දත්තෙර වර්ගයේ ඉන්ද්‍රජාලික තුළින් මේ රටේ පිරිසක් වසගයට පත් කිරීම තුළින් බලය කොල්ලකෑමට තිබූ සැලසුම ව්‍යර්ථ වීමෙන් රාජපක්ෂ කල්ලියේ මැක්කන් දක්වා කිපී සිටින්නේය. පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද පළාත් සභා පනතේ සංශෝධනවල මෙසේ කිපීමට අදාළ කවර හෝ දෙයක් තිබේ ද? එසේත් නැතිනම් එහි අඩංගු වන්නේ මොනවා ද යන්න සොයා බැලීම අවශ්‍යය.
පළාත් සභා සංශෝධනයට අදාළ කෙටුම් පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ පසුගිය ජූලි 26 වෙනි දිනය. ඒ පිළිබද ඊළග ක්‍රියාවලියට භාවිත කර අවසානයේ එය ආංශික කාරක සභාවට ඉදිරිපත් කර තිබුණේ සැප්තැම්බර් මුලදීය. සංශෝධනය ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග සියල්ල අවසන්කර තිබූ බව එයින් තහවුරු වේ. මේ මඟින් අපේක්ෂා කරන ලද මූලික කරුණු ත්‍රිත්වයක් තිබිණි.
01. පළාත් සභා ද මැතිවරණ කොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යන මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම.
02. මනාප පොරය අවසන් කිරීම සහ
03. කාන්තා අපේක්ෂක සංඛ්‍යාව මුළු අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට 30ක් වශයෙන් නියම කිරීම යන කරුණුය. පවතින මැතිවරණ ක්‍රියාවලිය සහ එයට පාදක වූ ක්‍රමයක් තුළ වියරු බල ඒකාධිකාරී ව්‍යුහයක් ගොඩනැගීමට අදාළ ප්‍රතිපාදන මූලික වශයෙන් වෙනස් කිරීම මෙයින් සිදු කෙරෙන බව පැහැදිලිය. කොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය හදුන්වා දීම සහ මනාප ක්‍රමය අහෝසි කිරීම නව සංශෝධන තුළ පවතී.
පළාත් සභාවල මනාප ඒකාධිපති බල ව්‍යාපෘතියට යොදා ගන්නේ කෙසේ දැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතු විය හැකිය. තවත් අයුරකින් කියන්නේ නම්, ජනාධිපතිගේ බලය ආක්ෂා කර ගැනීමට පළාත් සභා මනාප ක්‍රමය යොදා ගන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් මතු විය හැකිය. මේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍යය. ඒ සදහා 2013 සැප්තැම්බර් මස පවත්වන ලද වයඹ පළාත් මැතිවරණය එයට හොඳ ම නිදර්ශනය වන්නේය. අද මහින්ද කල්ලියේ ගැලවුම්කරුවා වී සිටින රනිල් වික්‍රමසිංහට එදා හොම්ඛෙන් යාමටවත් නොහැකි තැනට මහින්දගේ ඒකාධිපති බලය යොදවා කරුණු කාරණා සිදු කර තිබූ බව අමතක විය නොහැකිය. රනිල්ට එම තත්ත්වය උදා කිරීමේ කූටප්‍රාප්තිය වයඹ පළාත් මැතිවරණයේදී බව පැහැදිලි කෙරිණි.
වයඹ පළාතේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය පුද්ගලයෙක් වූයේ දයාසිරි ජයසේකරය. නමුත්, දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයෙන් ගලවාගෙන මහින්දගේ ඒකාධිපති බල ව්‍යාපාරය සදහා යොදා ගැනිණි. එදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් එහි මහා ඇමති බවට දයාසිරි ජයසේකර තේරී පත් විය. ඉහළින්ම මනාප ලබා ගනිමින් පළාත් සභාවේ සාතිශය බහුතර බලය ලබා ගැනීමට සමත් විය. එම බලය උපයෝගී කර ගනු ලැබුවේ වයඹට පමණ ද? නැත.
අධිරාජ්‍ය ගැති ඒකාධිපති රාජපක‍ෂ පවුල් පාලන බල ව්‍යුහය තහවුරු කර ගැනීම සදහා එය යොදා ගනු ලැබිණි. දයාසිරි වයඹට කිරුළු පළඳින අතර, මහින්ද රටේ ඒ්කාධිපති කිරුළ තහවුරු කර ගැනීමේ ගේමට යොදා ගනු ලැබීය. දයාසිරි වැඩිම මනාප දිනා ගත් තරුවක් වශයෙන් වයඹට තහවුරු කිරීමේ කිසිම අවශ්‍යතාවයක් මහින්දට නොවීය. මහින්දගේ ඒකායන අරමුණ වූයේ බුදුහාමුදුරුවන් හරි ඡන්දයට ඉදිරිපත් කර තම ඒකාධිපති පවුල් පාලනයේ බල ව්‍යුහය තහවුරු කර ගැනීමය. අද කරමින් ඉන්නේ බුදුහාමුදුරුවන් යොදාගෙන අහිමි වූ බලය යළි ලබා ගැනීමට කුමන්ත්‍රණ දියත් කිරීමය. ඒකාධිපතියකුට පළාත් සභා කෙතරම් වැදගත් වන්නේ දැයි මෙයින් පැහැදිලි වේ. පළත් සභා පමණක් නොව පළාත් පාලන ආයතන ද මේ ආකාරයෙන් යොදා ගන්නා ලද ඉතිහාසයක් පවතී.
පළාත් පාලන ආයතන මැතිවරණවලට පමණක් නොව පළාත් සභා මැතිවරණවලට ද කොට්ඨාස ක්‍රමය හදුන්වා දෙන සංශෝධන ගෙන එන්නේ මෙවැනි පසුබිමකදීය. ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර තිඛෙන ආකාරයට පළාත් සභා පනත සංශෝධනය තුළ පවතින්නේ සාපේක්ෂ වශයෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට නිසි තැන ලබා දී තහවුරු කිරීමේ වගන්තිය. නමුත්, එය පාර්ලිමේන්තුවට ගෙන එන ආකාරය තක්කඩිය. මැතිවරණවලට ආණ්ඩුව තිඛෙන බය නිසා ගෙන ආ එකක්ය. ආණ්ඩුවේ අරමුණ එය වූ පමණින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීමේ සංශෝධන ඉවත දැමිය යුතු නොවන්නේය.
දැන් පළාත් සභාවලට ද කොට්ඨාස ක්‍රමය හදුන්වා දී තිබේ. මහින්දගේ ඒකාධිපති බල වියරුවට දයාසිරි ජයසේකරලා යොදා ගත්තා වැනි ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ග වෙනුවෙන් පළාත් සභා ඡන්දය යොදා ගැනීමේ හැකියාව ඇහිරී ඇත. මහින්ද පළාත් සභා මහ ඇමතිකමට ඉල්ලුව ද, දැන් සිදුවන්නේ කොට්ඨාසයකට සීමා වීමටය. මන්ද පළාත් සභා ඡන්දය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමය අනුව වීම නිසාය. එහිදී ජනතාවගේ ඡන්දයෙන් කොට්ඨාස ක්‍රමය අනුව අදාළ පළාත් සභා මන්ත්‍රිීවරුන්ගෙන් හරි අඩක් තෝරා ගැනීමට නියමිතය. ඉතිරි හරි අඩ ලැයිස්තුවලින් පත් කර ගනී. එම හරි අඩ ලැයිස්තුවලින් පත් කර ගැනීම ජනතාවගේ පැත්තෙන් කොතරම් සාධනීය ද යන්න වෙනමම ප්‍රශ්නයක්ය.
නමුත් එයින් ද බරපතළම පහර වැදී ඇත්තේ තමන්ගේ පක්ෂයේ ලේකම්වත් විශ්වාස නැති රාජපක්ෂ බල ව්‍යාපෘතියටමය.
තමන්ගේ ඡන්දයට හිමි බලය නිසි ලෙස නිසි තැන තබා ගැනීම වෙනුවෙන් ඡන්දය කෙටි කාලයකට කල් තැබීම ප්‍රශ්නයක් විය නොහැකිය. එහෙත් තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් බුදුහාමුදුරුවන් පවා යොදා ගන්නා රාජපක්ෂ කල්ලියට නම් නම් භූමිතෙල් වැටුණු ගැරඩින් මෙන් වීමට තරම් ප්‍රශ්නයක් වී ඇති බව පැහැදිලිය. මෙම සමස්තය පිළිබදව කල්පනා කර බලා ජනතාවගේ ඡන්ද අයිතියට ද්‍රෝහී වූයේ කවුරුන් දැයි තේරුම් ගත යුතුය.


ලංකා මාරසිංහ