දියගම – අතුරුගිරිය මඟ දිගේ ගිය ගමනක් !

dfh
සබරගමුවේ සිසු විරු ස්මාරකයට පාලනාධිකාරියෙන් බාධා !
October 11, 2017
cfbhgf
මහින්ද නීතියට සරදම් කරද්දී බම්බු ගහන පාලකයෝ
October 11, 2017
Show all

දියගම – අතුරුගිරිය මඟ දිගේ ගිය ගමනක් !

xfghdht

වසර හැත්තෑවක කාලයක් පුරා මෙරට මාරුවෙන් මාරුවට බලය හොබවන දේශපාලන කණ්ඩායම් අපට ලබා දී ඇත්තේ මොනවාද? නිල හැඳින්වීම් අනුව අපේ රට ප්‍රජාතාන්ත්‍රිකා හා සමාජවාදීය. එහෙත් සෑම ආණ්ඩුවක්ම මේ වන තෙක් කටයුතු කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා අයිතීන් සුරැකෙන අයුරින් නොවේ.
වසර 70 ක් පුරා මෙරට පාලනය හෙබවූ පාලකයන් ක්‍රියාකර ඇත්තේ ද වත්මන් පාලකයන් ක්‍රියාකරමින් සිටිනුයේ ද ජනතා අයිතිවාසිකම් නොතකා හරිමින්ය. ඒ අනුව ඔවුන් විසින් ජනතා සුබසිද්ධිය මුවාවෙන් ගනු ලබන තීරණ මෙරට ජන ජීවිතයට බලපානුයේ, යහපත් අයුරින් ද යන්න සිතා බැලීමකට බල කරනු ලබන කරුණක් පිළිබඳව සටහන් කරනු පිණිස මෙවර සංචාරක සටහන වෙන් වෙයි.
මාතෘකාවට අදාළ වනුයේ, මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් හඳුන්වන අතු=රුගිරියේ සිට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය දක්වා දිවෙන මාර්ගයක් හේතුවෙන් අගතියට පත් වන ජනතාව පිළිබඳවය.
මහා මාර්ග ඉදි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ තරමට ගිජු බවක් දැක් වූ අයෙකු ලාංකීය ඉතිහාසයේ ඇත්තේ නැත. කඩිනමින් ගමන්බිමන් යාම හා කාලය ඉතිරි කර ගැනීම පිළිබඳව පමණක් සිතන ජනතාව අතර ඒ පිළිබඳව ඇත්තේ ද මනාපයකි. නමුත්, පසුව සිදු කරන ලද ගණනය කිරීම්වල දී මෙතෙක් මහින්ද රාජපක්ෂ යුගයේ දී මාර්ග ඉදි කිරීම් වෙනුවෙන් දරා ඇති මුදල එවැනි මාර්ග පද්ධති රාශියක් ඉදි කිරීම වෙනුවෙන් යෙදවිය හැකි අති දැවැන්ත මුදලක් බවටත් තොරතුරු හෙළිදරවු වේ. ඒ අනුව ඉදි කිරීම්වලට මුවා වී වැඩි වශයෙන් සිදු වී ඇත්තේ, මහජනතාව ණයගැති භාවයට ඇද දමමින්, ඔවුන්ගේ ඇසට වැලි ගසා, ජනතා මුදල් ගසාකෑම පමණි.
අද වන විට මහින්ද පරාජයට පත්ව ඇතත්, ඔහුගේ ක්‍රියාකලාපයට සමානවම වත්මන් ආණ්ඩුව යටතේත්, තව දුරටත් කටයුතු සිදු වෙමින් පවතින බව අප කළ සංචාරයේ දී අවබෝධ කර ගත හැකි විණි.
යෝජිත අතුරුගිරිය – දියගම මාර්ගය පුළුල් කිරීම සඳහා එම මාර්ගය දෙපස ඉඩම් පවරා ගැනීමට සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් අගතියට පත් වන පාර්ශ්වය පිළිබඳව වත්මන් ආණ්ඩුව ද කටයුතු කරමින් සිටිනුයේ, ‘බැසිල් තියරියට’ අනුව බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. බැසිල් රාජපක්ෂ මාර්ග සංවර්ධන අධිකාරිය තමන් යටතට ගෙන තිබූ අවධියෙහි මෙම මාර්ගය පුළුල් කිරීම සඳහා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මාර්ගය දෙපස පාරම්පරික ඉඩම් හා නිවාස සලකුණු කර තිබිණි. ඒ එහි නිවැසියන් හට කිසිදු දැනුම් දීමකින් තොරව තනිකරම දේශපාලන බලහත්කාරය යොදමින්, සිදු කරන ලද ක්‍රියාවකි. ප්‍රදේශවාසීන් මෙම බලහත්කාරයට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවෙහි පැමිණිලි කළ අතර, ප්‍රාදේශීය ලේකම් මඟින් මාර්ග සංවර්ධනය සඳහා තම ඉඩම්වල භුක්තිය පවරා දෙන ලෙස ඉල්ලමින්, ඉඩම් හිමියන්ට බලපෑම් කිරීම ද දිගින් දිගටම සිදුව ඇත්තේය. ඒ එදා බැසිල්ගේ තියරියය.
වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්ව දෙවර්ෂයක් ඉක්මවා ඇතත්, මේ වන තෙක් මෙම මාර්ග සංවර්ධන කටයුත්ත වෙනුවෙන් ඉඩම් හා වාසස්ථාන අහිමි වන ජනතාව වෙත හානිපූරණය කිරීමේ නිසි ක්‍රමවේදයක් මේ වන තුරු ක්‍රියාවට නඟා ඇත්තේ නැත. නිලධාරීන්ගේ බලපෑම මත යම් පිරිසක් පමණක් තම ඉඩකඩම් මාර්ග සංවර්ධන කටයුත්ත වෙනුවෙන් පවරා දීමට කැමැත්ත පළ කර ඇතත්, ඔවුන් සඳහා ගෙවන වන්දිය හෝ අහිමි වන ඉඩම් සඳහා නිසි තක්සේරුවක් හෝ සඳහන් කර නොමැති බවද ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති.
ඒ අනුව තමන් නොදන්නා තක්සේරුවක් වෙනුවෙන් අදාළ ලිපි ලේඛනවලට අත්සන් තබන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ලබන බලපෑමත්, තර්ජනත් නොතකා හැර කටයුතු කිරීමට මේ වන විට අගතියට පත් ප්‍රදේශවාසී ජනතාව කටයුතු කරමින් සිටිති.
මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් ද කටයුතු කරනුයේ, ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ වුවමනාවන් වෙනුවෙන් බව පවසන ප්‍රදේශවාසීහු කඩුවෙල හිටපු ප්‍රාදේශීය ලේකම්තුමිය වෙනුවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා පත්වීම් ලැබ පැමිණි වත්මන් ප්‍රාදේශීය ලේකම්වරිය යටතේ යම් තරමක හෝ මානුෂීය ආකාරයෙන් තම ගැටලු විසඳනු ඇතැයි අපේක්ෂා දල්වාගෙන සිටිති.
මෙයට පෙර අවස්ථා කිහිපයකදීම තම ව්‍යාපාර ස්ථාන සහ නිවාස අහිමි වීමට හා එයට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණවල නිරත වූ අතර, වසර තුනක කාලයක් පුරා තමන්ගේ ගැටලුවලට පිළිතුරක් ලබා දීමට පාලකයන් අසමත්ව සිටින බව ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.
රාජ්‍ය නිලධාරීන් ද තමන් මත බලහත්කාරය යොදවමින් සිටින බව පවසන ප්‍රදේශවාසී ජනතාව නිසි තක්සේරුවක් හෝ වන්දි ගෙවනු ලබන ක්‍රමවේදය පිළිබඳව හෝ පැහැදිලි කිරීමක් නොමැතිව එම නිලධාරීන් තම ඉඩම් හා දේපළ මාර්ග සංවර්ධනය වෙනුවෙන් පැවරීමට කටයුතු කරන ලෙස බලපෑම් කරන බව ද ප්‍රකාශ කරති.
අතුරුගිරිය – දියගම මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් දේපළ අහිමි වන්නන්ගේ සංගමය නමින් සංවිධානය වී සිටින ප්‍රදේශවාසීහු මේ වන තෙක් එම බලපෑම්වලට යටත් නොවී කටයුතු කරමින් සිටින අතර, මුලින් සඳහන් කළ භුක්තිය පවරා දීමට එකඟ වී ඇති පිරිස් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිති.
මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කැප කිරීම් කළ බොහෝ ජනතාවකට සිදුව ඇත්තේ, කබලෙන් ළිපට වැටීමටය. සංවර්ධන කටයුතු සිදු කරනුයේ ද, අගතියට පත් වන පාර්ශ්වයන්ට පූර්ව විසඳුම් සකස් කිරීමෙන් ද නොවේ. මිනිසුන් එළවා දැමීම ප්‍රමුඛව සිදු කරන පාලකයන් අගතියට පත් වූවන්ට වන්දි හෝ වාසස්ථාන ලබා දීම ඊළඟ මැතිවරණ පොරොන්දුවක් බවට පත් කර ගැනීමට වුව ද පසුබට වන්නේ නැත. එය ලාංකීය දේශපාලනයේ ස්වරූපයයි.
තක්සේරුව සඳහන් නොකරන ලද ලිපියකට මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට දේපළ අහිමි වන ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමට උත්සාහ දරනුයේ ද, හිස් චෙක්පතකට අත්සන ලබා ගන්නා වැනි කපටි අදහසකින් බව ජනතාවගේ මතයයි. පැවති සහ පවතින කිසිදු ආණ්ඩුවක පාලකයකු පිළිබඳව මෙරට බහුතර ජනතාවට විශ්වාසයක් ඇත්තේ නැත. එය ම දියගම – අතුරුගිරිය මාර්ගය සංවර්ධනයට අයත් මෙම ජනතාවගේ ද මතයයි. මෙරට පාලකයන් ජනතාව මුළා කරන බව බොහෝ පිරිසක් මේ වන විට අවබෝධ කර ගනිමින් සිටිති.
එමෙන්ම බොහෝ රාජ්‍ය නිලධාරීන් ද කටයුතු කරනුයේ, පාලකයන්ගේ මනදොළ සපුරන්නන් ලෙස මිස ජනතා සේවකයන් ලෙස නොවේ. ඒ පාලකයන්ට ආවැඩීමෙන් තමන්ට ද වාසියක් අත් කර ගැනීමේ කපටි වුවමනාව සහිතවය.
ඒ අනුව අතුරුගිරිය – දියගම මාර්ගය සංවර්ධන ව්‍යාපෘතියේ දී වාසස්ථාන හා ඉඩම් අහිමි වන ජනතාවට විනිවිද භාවයකින් යුතුව වන්දි තක්සේරු නොකරනුයේ ද, එවැනි යටි අරමුණක් සහිිතව විය හැකිය.
සුනාමියෙන් ව්‍යසනයට පත් අසරණ ජනතාවගේ වන්දි මුදල් ගසා කෑ නායකයන් සිටින රටක ගංවතුර ආධාර හා නියඟයෙන් විපතට පත් ගොවි ජනතාවගේ සහනාධාර ගසා කන පාලකයන් හා නිලධාරීන් සිටින රටක මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් අගතියට පත් වන ජනතාව සම්බන්ධයෙන් පාරිශ=ද්ධ භාවයකින් යුතුව කටයුතු කරනු ඇතැයි යන්න අපේක‍ෂා කළ නොහැකි වනුයේ, මුලින්ම සඳහන් කළ පරිදි විකෘති සමාජ ක්‍රමයක නියෝජිතයන් වන වත්මන් පාලකයන් හා ඔවුන්ගේ බළල් අත් වන නිලධාරී පන්තියේ බහුතරය ද කි්‍රයා කරනුයේ, ජනතා සුභසිද්ධිය වෙනුවෙන් නොවන බව ඉතිහාසය විසින් මනාව ඔප්පු කර ඇති බැවිනි. ජනතාව සබුද්ධිකව කටයුතු කළ යුතු වන්නේ එබැවිනි.

සංවර්ධනයට විරුද්ධ නෑ
ලලිත් අබේසිංහ (අතුරුගිරිය දියගම මාර්ගයේ දේපළ අහිමිවන්නන්ගේ සංගමයේ සභාපති)

අපි කියන්නේ මාර්ගය සංවර්ධනය වනවාට අපි විරුද්ධ නෑ. නමුත් සිදුවන හානි වලට සාධාරණ වන්දියක් ලැබිය යුතුයි. ඒ පිළිබඳ කටයුතු විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. නමුත් මේ වනතෙක් එහෙම වුණේ නෑ. ඉදිරියේදී එහෙම වෙයි කියලා බලාපොරොත්තුවක් විතරයි තියෙන්නේ.

තක්සේරුව පිළිබඳව ජනතාව දන්නෙ නෑ
උපසේන හෙට්ටිආරච්චි (ගම්වැසියෙක්)

අපේ ඉඩම් වලට වන හානිය පිළිබඳව සිදුකර ඇති තක්සේරුව ගැන අපි දන්නේ නෑ. නමුත් නොයෙකුත් ලේඛන වලට අත්සන් කරන්න කියලා නිලධාරීන් බලපෑම් කරනවා. තක්සේරු කළ මුදල අපිට කියන්නේ නැහැයි කියන්නේ එතන යම් වංචාවක් සිද්ධවෙන්න ඉඩ තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඒ නිසා මේ කටයුතු විනිවිදභාවයකින් සිද්ධවෙන්න ඕන මේ රටේ සිදුවී ඇති දේවල් එක්ක මෙතන සාධාරණයක් වෙයි කියලා විශ්වාස කරන්න බැහැ.

ජීවන මාර්ග අහිමි වෙනවා
බන්දුල (ව්‍යාපාරිකයෙක්)

මම අවුරුදු 20 ක් විතර වල්ගම හන්දියේ මගේ මේ ව්‍යාපාරය කරගෙන යනවා. නමුත් නව මාර්ග සංවර්ධනයත් එක්ක මගේ ව්‍යාපාරය මට අහිමි වෙනවා. ඒ පිළිබඳව නිසි තක්සේරුවක් නැහැ. නමුත් සිද්ධවෙන හොඳ දෙයකට සහයෝගය දෙන්න බැරි කමක් නැහැ. අපිට වන හානියට සාධාරණයක් ඉෂ්ඨ විය යුතුයි.