නිලුකා සාරි පොටෙන් වැසූ ඒකනායකගේ සාරි පොඩිත්ත

cfbhgf
මහින්ද නීතියට සරදම් කරද්දී බම්බු ගහන පාලකයෝ
October 11, 2017
dfbhgd
එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ ඇවිළුණු ලෝක යුද්ධය කරා ගමනේ ගිනිපුපුරු
October 11, 2017
Show all

නිලුකා සාරි පොටෙන් වැසූ ඒකනායකගේ සාරි පොඩිත්ත

dthth

මේ දිනවල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිදුවීමක් වී ඇත්තේ ලෝකයේ දිගම සාරි පොට මංගල උත්සවයේ දී එළිදැක්වීමෙන් මහනුවර ප්‍රදේශයේ යුවළක් තැබූ ගිනස් වාර්තාවයි. මීටර් 2,500ක් දිග යැයි කියන මේ සාරි පොට ඔසවාගෙන යාමට පාසල් සිසුන් 250ක් පමණ සම්බන්ධ කරවා ගැනීම ගැන ද කතාබහක් මතුව තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයන්ට අනුව පාසල් දරුවන් පාසල් කාලය තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහාවත් පාසලෙන් ඉවතට ගැනීමට හැකියාවක් නැත. එවැනි තත්ත්වයක් තුළ සාරි පොටක ලෝක වාර්තාවක් වෙනුවෙන් මධ්‍යම පළාත් මහ ඇමතිවරයා විසින් මෙසේ පාසල් දරුවන් යොදා ගත්තේ කෙසේ ද යන්න බලවත් ගැටලුවක් වී තිබේ. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයාට අනුව මෙම සිද්ධිය පාසල් සිසුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකමකි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක පවසන්නේ දිගම සාරි පොට සහිත මංගල උත්සවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට අදාළ පාසල් සිසුන් යොදා ගැනීමේ චෝදනාව මහ ඇමතිවරයාට අදාළ නොවන බවය. ඇය පවසන්නේ එහි වගකීම ඇත්තේ පළාත් අධ්‍යාපන ලේකම්වරයාට බවයි. මේ පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. එසේම තවත් මෙවැනි හිංසනයන් පිළිබඳව තම අධිකාරියට දැනුම් දෙන ලෙස දුරකථන අංක 1929 මහජනතාව වෙත දැනුම් දී තිබේ.
මේ අතර සමාජ ජාල වෙබ් අඩවි තුළ මෙම සිදුවීම රසගුලාවක් වී තිබේ. එය ටොප් චැට්වල ඉහළින්ම ඇත. රෙදි රෝලක් ලොරියට පටවාගෙන පැමිණ මනමාලියගේ ඔසරියට සම්බන්ධ කර තිබේ. මේ පිළිබඳ බොහෝ මත සමාජ ජාලා වෙබ් අඩවි තුළ පළ වී ඇත. සීගිරි ගල උඩට වතුර පොම්ප කළ, සැතපුමට අඟලක් වන ලෙස යෝධ ඇළේ වතුර බැස්ම සකස් කළ, සුද්දාට පෙර වැසිකිළි ගිය ජාතියකට මෙම ඔසරි පොටේ ගිනස් වාර්තාව මහත් නින්දාවක් බව ඇතැමෙකුගේ අදහසයි. මේ පිළිබඳව මෙම සිදුවීමට සම්බන්ධ මනමාලිය ප්‍රකාශ කොට ඇත්තේ ‘බුද්ධාගමේ එවුන්ට අපි කළොත් තමයි රිදෙන්නේ’ යනුවෙනි. බුද්ධාගමක් මෙතැනට අදාළ වන්නේ කෙසේදැයි කිසිවෙකුට සිතා ගත නොහැකි වී තිබේ.
සාරි පොටේ කතන්දරය මෙසේ ලියවෙද්දී ඒ තුළින් සැඟවෙන තවත් කරුණු පිළිබඳව විමසිලිමත් වීම වැදගත්ය. මෙවැනි සංදර්ශන සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ඉතිහාසය විමසා බැලුවහොත් කප්පරක් මෙවැනි සිදුවීම් හමු වේ. ඒ සෑම සිදුවීමක් විසින්ම ජනතාවගේ ඇස් නිලංකාර කරනු ලබයි. ඒ තුළ තාවකාලිකව හෝ ජනතාවට තමන් මුහුණ දෙන සැබෑ සමාජ – ආර්ථීක ප්‍රශ්න අමතක කරවනු ලබයි. ඒවා තොරොම්බල් කරන පුවත්පත්ද, තවත් මාධ්‍යයන් ද මෙවැනි ඕනෑම කුණු ගොඩක් අලෙවි කර මඩි තර කර ගැනීමට ද බලා සිටිති. කෙසේ වෙතත්, තව ටික දිනකින් දිගම ඔසරි පොටේ කතාව ටොප් චැට්වලින් බැස ගොස් තවත් එවැනි වෙනත් සිද්ධියක් මතු වනු ඇත. ඊට ද සියලු දෙනා ඒ ගැන කතා කරමින් කාලය කා දමනු ඇත.
සරත් ඒකනායක මහ ඇමතිත්, ඔහුගේ ඥාති නිලුකා ඒකනායක ආණ්ඩුකාරවරියත් තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් කැමැති පරිදි ඉටු කර ගත්තාට වරදක් නැත. එහෙත්, ප්‍රශ්නය වන්නේ ජනතාව තමන්ට පැවරූ නිලතලවල බලය භාවිත කොට එම අරමුණු ඉටු කර ගැනීමට යාමයි. අවසානයේ ඒවාට ගොදුරු වන්නේ හය හතර නොදන්නා පාසල් දරු දැරියන්ය. අව්වේ වේළී, බඩගින්නේ දුක් විඳින්නට වන්නේ ඔවුන්ටය. මෙය පැහැදිලි ලෙසම පවතින නීතිරීති පවා උල්ලංඝනය කිරීමකි.
තම අයිතීන් වෙනුවෙන් හඩ නඟන සරසවි සිසුන්ට මෙරට පාලකයන් නිතර එල්ල කරන චෝදනාව වන්නේ ඔවුන් තම ඉගෙනීම පසෙක තබා රටේ දේශපාලන ප්‍රශ්නවල එල්ලෙන බවයි. මේ වන විටත් සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි කඩයට එරෙහිව වෛද්‍ය පීඨ සිසුන් ගෙන යන අඛණ්ඩ පංති වර්ජනයට මාස 7ක් ඉක්මවා තිබේ. ඒවාට දේශපාලන ප්‍රශ්න යැයි චෝදනා එල්ල කරන පාලකයෝ සරත් ඒකනායකලාගේ මේ අමන ක්‍රියාව හමුවේ මුනිවත රකිති. සරසවි සිසු සිසුවියන් යනු වයස අවුරුදු 18ට වැඩි ඡන්ද අයිතිය හිමි මෙරට පුරවැසියන්ය. ඔවුන් තම අයිතීන් වෙනුවෙන් හඩ නැඟීම ඔවුන්ගේ ශ+ද්ධ වූ අයිතියකි.
එහෙත් ඒවාට විරුද්ධව මත පළ කරන්නට ඕනෑ තරම් පිරිස් සිටිති. ඒ වෙනුවෙන් ගල් පැලෙන තර්ත ඉදිරිපත් කරති. එහෙත් ඒ ඔස්තාද්ලා කිසිවෙකුට මේ කුඩා දරුවන් පැය ගණන් බඩගින්නේ තබමින් සිදු කළ මේ ක්‍රියාව ළමා අපයෝජනයක් බව පෙනෙන්නේ නැත. දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ඇතැමෙකු පවසන්නේද මෙය ගැටළුවක් නොවන බවයි.
දරුවන් අපයෝජනය කිරීම දෙමව්පියන්ට හෝ සිදු කළ නොහැකිය. එක්සත්ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය අනුව එයද වරදකි.
කෙසේ වෙතත් ගිනස් වාර්තා තියන්නට ගොස් ලෝකයක් ඉදිරියේ රට අවඥාවට ලක් කිරීමටද මොවුන් වග කිව යුතුය. ‘රාජ්‍ය මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ළමා අපයෝජනයක්’ යනුවෙන් විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කළේය. සාරි පොට අල්ලන්නට ගියවුන් හෝ එයට ආවඩන්නන් ඒවා නොදන්නවා විය හැකිය. එසේ නොමැතිනම් ඒවා ඔවුන්ට වැඩක් නැතිවා වන්නට ඇත. ළමා අයිතිවාසිකම් සුරකිනවා වෙනුවට දිගම සාරි පොට ප්‍රදර්ශනය කර ගිනස් වාර්තා තැබීමට යන්නේත්, සමාජයෙන් ඊට විරෝධතා එල්ල වන විට ඒ තුළ පාලක කණ්ඩායම් තමන්ගේ බල ව්‍යාපෘති දිග හරින්නේත් අඳබාල දේශපාලකයන් තවමත් බලයේ සිටින නිසාය.


සුමිත් පියුමාල්