පටු අරමුණු බිඳවැටුණු කිහිප දෙනෙක් අඳෝනා නගනවා

dgh
මහින්දට ඌරු තෙල් කැවිලා !
October 11, 2017
sdrg
මනුෂ්‍යත්වය කෝ ?
October 11, 2017
Show all

පටු අරමුණු බිඳවැටුණු කිහිප දෙනෙක් අඳෝනා නගනවා

dsvgs

ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
වෛද්‍ය නලින්ද ජයතිස්ස

පසුගියදා සම්මත වුණු පළාත් සභා පනතට පක්ෂව ඔබේ පක්ෂයත් ඡන්දය දුන්නා. එහි අරමුණ පැහැදිලි කරන්න.

පසුගිය කාලය පුරාවටම මේ රටේ ඡන්ද පැවැත්වුණේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කාලසටහනට අනුව නොවෙයි. මහින්ද රාජපක්ෂගේ ග්‍රහචාරයට අනුව. විශේෂයෙන් 2008න් පස්සේ ඡන්ද සැලසුම් කළේම උතුරේ යුද ජයග්‍රහණවලට සමගාමීව. මේ අනුව 2008-2009 වසර දෙකේ පළාත් සභා නවයක ඡන්ද පැවැත්වුවේ වාර හයකට. 2011 පළාත් සභා මැතිවරණ පැවැත්වුවේ වාර තුනකට. මේ ආකාරයෙන් ජනතා බදු මුදල් හා කාලය මුළුමනින්ම නාස්ති වන ආකාරයට තමයි, ඔවුන් මැතිවරණ පැවැත්වීම සිදු කළේ.
එතන තිබුණේ රටේ වුවමනාව නොවෙයි. ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන්න ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැහැ. මේ විකෘතිය හැකි ඉක්මනින් නිවැරදි කළ යුතුව තිබුණා. 2015 ජනවරමේ ප්‍රධාන ජනතා අභිලාෂයක් තමයි, අපේ රටේ ප්‍රශස්ත මට්ටමේ මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම කියන එක. මනාප ක්‍රමය ඉවත් කිරීම කියන එක ඒකේ ප්‍රධාන කරුණක් වුණා. ඒත් එක්කම තමන්ගේ කොට්ඨාසයට වග කියන මන්තී්‍රවරයෙක් ජනතාව විසින් ඉල්ලා සිටියා. ඒ අනුව පසුගිය වසර දෙකක කාලය පුරාවට මෙරට දේශපාලන පක්ෂ එක්ව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් සකස් කරලා තියෙනවා.
බැසිල් රාජපක්ෂ විසින් සකස් කරන ලද අතිශය විකෘති හා විකාර සහගත මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා තමයි, මේ නව ක්‍රමය සකස් කළේ. මේ අනුව මුලින්ම ජනවාරි මාසය තුළ පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකිව තිඛෙනවා. මේ ක්‍රමය අපේ රටේ මැතිවරණ ක්‍රමයට අලූත් ප්‍රවේශයක් ලබා දෙනවා. ඒ වාගේම සියලුම මැතිවරණ සඳහා මෙම නව මැතිවරණ ක්‍රමය ආදේශ විය යුතුයි කියලා අපි හිතනවා. ඒ අනුව සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී බවක් මේ නව මැතිවරණ ක්‍රමය තුළ තිඛෙන නිසා තමයි, අපි එයට පක්ෂව ඡන්දය දුන්නේ.

ඒ අනුව ඔබ ප්‍රකාශ කරන්නේ ඉදිරි පළාත් පාලන සහ පළාත් සභා සඳහා අනුගමනය කරන ක්‍රමවේදය එකක්ම බවද?

මේ මැතිවරණ දෙකම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයේ පදනම එකයි. ඒ මැතිවරණ දෙකම පවත්වන්නේ සමානුපාතික ක්‍රමය මත පදනම් වූ කොට්ඨාස ක්‍රමයකට. පළාත් පාලන මැතිවරණයේ දී නියෝජිතයන් පත් වීම කේවල හා සමානුපාතික ක්‍රමයට අනුව සියයට හැටක් සහ හතළිහක් වෙනවා. පළාත් සභාවල දී එය පනහට පනහක් වශයෙන් වෙනවා. මේ මැතිවරණ දෙකේදීම කාන්තා නියෝජනය සියයට තිස්පහක සීමාවේ පවතිනවා. ඒ අනුව ගත්තාම පොදුවේ එකම ක්‍රමයකට මේ මැතිවරණ දෙකම පැවැත්වෙනවා.
පළාත් සභා සඳහා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කළ යුතුව තිබුණා. එම සංශෝධනය තමයි, පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වුණේ. රාජපක්ෂ විසින් කළ විකෘතිය හැකි ඉක්මනින් නිවැරදි කිරීම තමයි, අපගේ බලාපොරොත්තුව වෙන්නේ.

එකම දිනයක මැතිවරණය පැවැත්වීමට නව පළාත් සභා මැතිවරණ ක්‍රමය යටතේ එම මැතිවරණ පැවැත්වීමට 2019 අවසානයට කල් පිරෙන ඌව පළාත් සභාව විසිරෙන තෙක්ම සිටිය යුතු වෙනවාද?

වත්මන් ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේත්, ආණ්ඩුව තුළ සිටින ඒකාබද්ධ විපක්ෂයට හිතවත් කණ්ඩායමේත් වුවමනාව වුණේ 2019 වනතුරු මේ මැතිවරණ කල් දා ගන්න එකම තමයි. විසි වැනි සංශෝධනය ගෙනාවේ ඒ අරමුණෙන්. මේ පළාත් සභා සහ පළාත් පාලන පනත්වල මූලිකම අරමුණක් තමයි, එකම දිනයක මැතිවරණ පැවැත්වීම කියන එක. ඔවුන් ඒ අරමුණ තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන්න කටයුතු කළා. ජනතාවගේ අපේක්ෂාවට මුවා වෙලා තමන්ගේ දේශපාලන අරමුණු ක්‍රියාත්මක කර ගැනීමට කටයුතු කළා. නමුත්, විසි වැනි සංශෝ්ධනය සාකච්ඡාවට නොගෙනම අයින් කළා.
සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්වීමට විරුද්ධ වෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට වුවමනාවක් ඇත්තේ නැහැ. ඒ වගේම ඒක ව්‍යවස්ථාවට පටහැණි වීමක් වෙන්නෙත් නෑ. පළාත් සභා පනත සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව පළාත් සභාවලට අදාළ සීමා නිර්ණය මාස හතරක් වැනි කාලසීමාවක් තුළ සිදු කර අවසන් කරන්න සීමා නිර්ණ කොමිසමට වගකීම පැවරෙනවා. ඒ අනුව අවසානයේ එක ම දිනයක මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් සියලුම පළාත් සභා විසුරුවා හරින්න පුළුවන්කම තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා පනතට පක්ෂව ඡන්දය දීම පිළිබඳව ඇතැමුන් බරපතළ විවේචනයක් කරනවා. මේ පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම මොකක්ද?

මේ විවේචනවල ඉදිරියෙන්ම ඉන්නේ තමන්ගේ පටු අරමුණු ඉටු කර ගන්න බැරි වුණු රාජපක්ෂ කල්ලිය. නව මැතිවරණ ක්‍රමය යටතේ නියෝජිතයන් පත්කිරීමෙ බලය පක්ෂයේ ලේකම්ට පැවරීම පිළිබඳව ඔවුන් තුළ දැඩි විරෝධයක් තියෙනවා.
ඒ වගේම ඒ අය සාමාන්‍ය පොදු ජනතාවගේ මතය නියෝජනය කරන්නේ නෑ. ඔවුන් දැන දැන ම මෙම මැතිවරණ පනත හා ජවිපෙ මැදිහත් වීම පිළිබඳව විකෘති මතයක් සමාජගත කරමින් ඉන්නවා. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතට ඔය කල්ලිය ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ වාගේ ම මේ පළාත් සභා සංශෝධන පනතට විරුද්ධව ඡන්දය දුන්නා. නමුත්, මන්ත්‍රී රාජපක්ෂ මේ පනතට ඡන්දය දෙන්න පාර්ලිමේන්තු ආවෙත් නෑ, ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන ඔය කවුරුවත් ඒ ගැන කතා කරන්නෙත් නෑ.
මේ තියෙන මනාප ක්‍රමයට එරෙහිව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳ කමිටුවේ සභාපති වුණේ රාජපක්ෂ කල්ලියේ නායකයා විදියට පෙනී සිටින දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා. ඔවුන්ම එපා කියපු මනාප ක්‍රමය යටතේ නැවත වතාවක් මැතිවරණයක් ඉල්ලා සිටින්නේ, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න නොවෙයි, රාජපක්ෂගේ ආධිපත්‍යය ආරක්ෂා කරන්න.
මොකද, රාජපක්ෂලාගේ පැවැත්ම රඳාපවතින්නේ ඔවුන්ගේ වහල් අනුගාමිකයන් අතර ඔවුන් නැවතත් බලය ලබා ගන්නවා කියන සිහිනය පැලපදියම් කරන තරමට විතරයි. ඒ අනුව ඔවුන් විවිධ මඩ ප්‍රචාර හා අවලාද සමඟ වැරදි මත සමාජගත කරමින් ඉන්නවා.


කිත්සිරි කොඩිතුවක්කු