පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කළ බොරු චෝදනාවක්…!

gjkg dhft gfjh
අනාගත සුරක්ෂිතතාව නැති නිසා දිවි නසා ගැනීමට පෙළඹෙනවා
October 11, 2017
gthdf
ලංකා පුවතින් හොරා අහුවේ
October 11, 2017
Show all

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කළ බොරු චෝදනාවක්…!

fghgf

වර්ෂ 1930දී ආරම්භ කරන ලද මෙරට පැරණිතම ණය දෙන සමුපකාර සමිතිය වන්නේ සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සකසුරුවම්කම සහ ණය දෙන සමිතියයි. නැත්නම්, කවුරුත් දන්නා හඳුනන පරිදි අධ්‍යාපන සමුපකාර සමිතියයි. ඊ.ඩී.සී.එස්. (EDCS) එක කියන්නේ්ත් මේ ආයතනයට මයි. වසර 87ක් ඉපැරණි මේ ආයතනය මෙවැනි ආකාරයේ ණය දෙන සමුපකාර සමිති අතුරින් දකුණු ආසියාවේ විශාලතම සමිතිය වීම ද විශේෂත්වයකි. 750කට අධික සේවක පිරිසක් මේ තුළ දැනටමත් සේවයේ යෙදී සිටින අතර, මාසිකව රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් ගනුදෙනු වන ආයතනයකි. අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවයේ නියුතු සාමාජික, සාමාජිකාවන් 1,90,000කගෙන් පමණ සමන්විත මෙම සමිතියෙහි මූලිකම අරමුණ වන්නේ තම සාමාජික, සාමාජිකාවන් සඳහා ණය සහ වෙනත් සුබසාධන පහසුකම් සැලසීමයි.
කෙසේ නමුත්, මේ තුළ සංසරණය වන විශාල වටිනාකමකින් යුත් මුදල් ප්‍රමාණය හා එහි සාමාජික ප්‍රමාණය හේතුවෙන් අධ්‍යාපන සමුපකාර සමිතියේ පාලන බලය ලබා ගන්න විවිධ කණ්ඩායම් විසින් විටින් විට උත්සාහ කරනු ලැබුවා. අදටත් ඒ උත්සාහයන් ඉතා පහත් අයුරින් ක්‍රියාත්මක කරන හැටි අපට දකින්නට පුළුවන්.
ඉතිහාසයේ දී එක්දහස් නවසිය අනූඅට කාලයේ පටන් දෙදහස් අට දක්වා ගෙවුණු වසර දහයක කාලසීමාව තුළ මෙහි පැවතියේ නීති විරෝධී අතුරු පාලක මණ්ඩලයක්. නමුත්, මෙම නීති විරෝධී පාලනයට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය විසින් දෙදහස් හය වසරේ දී ගොනු කළ නඩුවකට අනුව දෙදහස් අට වසරේ මාර්තු විසිනව වැනි දින රට පුරා නිලවරණ පවත්වන්න සිදු වූවා. එහි දී ලංකා ගුරුසේවා සංගමය තුනෙන් දෙකක විශාල බලයක් ලබා ගනිමින්, නියෝජිතයන් දෙසිය අනූහත් දෙනාගෙන් එකසිය අනූ අට දෙනෙක් තේරී පත් වුණා. නමුත්, ඉන් මාස නවයක් ඉක්ම යන තුරුත්, නව පාලක මණ්ඩලයට බලය හුවමාරු නොකොට ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය හා එවකට පැවති ආණ්ඩුව එක්ව නඩුවක් ගොනු කළා. එහෙත්, අවසානයේ දී නැවතත් ලංකා ගුරුසේවා සංගමයට මෙහි පාලන බලය ලැබිය යුතු බවට තීන්දුව ලබා දුන්නා. ඒ අනුව දෙදහස් නවයේ ජනවාරි නව වැනිදා පටන් දෙදහස් එකොළහේ අප්‍රේල් විසි නවය දක්වා මෙම ආයතනය පාලනය කළේ ලංකා ගුරුසේවා සංගමයයි. නමුත්, නැවතත් දෙදහස් එකොළහේ දී අසත්‍ය චෝදනා අටක් ඉදිරිපත් කරමින්, ඔවුන්ගේ බලය උදුරා ගැනීමට නිදහස් ගුරු සංගමය ක්‍රියා කරනවා. ඒ නිසා දෙදහස් එකොළහේ මැයි මාසයේ දොළොස් වැනිදා පටන් දෙදහස් දහසයේ ජූනි මස එකොළොස්වන දින දක්වා නැවතත් එහි බලය නීති විරෝධී අතුරු පාලක මණ්ඩලයක් අතට පත් වනවා. එහෙත් මේ සියලු දේ හමුවේ සටන අත්නොහරින ලංකා ගුරුසේවා සංගමය නැවතත් දෙදහස් දහසයේ දී මෙම සමුපකාරයේ පාලනාධිකාරිය අභියෝගයට ලක් කරමින්, නඩු පවරනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි පසුගිය වසරේ මැයි මාසයේ දහහතර වැනිදා රට පුරාම නිලවරණ පැවැත්වුණේ. එහිදී එම නිලවරණයෙන් එතෙක් කාලයක් තිස්සේ වංචනික පාලනයකට නතු වී තිබූ තම ආයතනය ගොඩනැඟීම වෙනුවෙන් ලංකා ගුරුසේවා සංගමය තෝරා පත් කරන්න සියයකට අනූවකට අධික අධ්‍යාපන ක්ෂ්‍රෙත්‍රයේ වෘත්තිකයන් කටයුතු කරනවා. ඒ අනුව එම නිලවරණයෙන් දහයෙන් නවයකම බලය හිමි කර ගනිමින්, නියෝජිතයන් තුන්සිය දහහත් දෙනෙක් අතුරින් නියෝජිතයන් දෙසිය අනූඑක් දෙනෙකු ලංකා ගුරුසේවා සංගමයෙන් තේරී පත් වීමට හැකියාව ලැඛෙනවා.
එතැන් පටන් අද දක්වා ම එහි පවතින්නේ ලංකා ගුරුසේවා සංගමය ප්‍රමුඛව ක්‍රියාත්මක කෙරෙන පාලනයකුයි. මීට පෙර ද දෙදහස් නවය – දෙදහස් එකොළහ කාලසීමාව තුළ මෙම ආයතනය යම් ප්‍රශස්ත මට්ටමක් කරා ගෙන යාමට ලංකා ගුරුසේවා සංගමය උත්සාහ කළත්, අතරමැද නැවතුණු හා කඩාකප්පල් කෙරුණු එම ක්‍රියාපිළිවෙත නැවත පණ ගන්වන්නට ඔවුන්ට අද වන විට හැකි වී තිඛෙනවා. නීති විරෝධී කටයුතු හා මුදල් අවභාවිතාවන්
රැසක් මේ තුළ සිදු කෙරී තිබුණා. එසේම දෙදහස් දොළහේ සිට පසුගිය වසර පහකට ආසන්න කාලයක් තිස්සේ මෙහි විගණනය කරන ලද විගණන වාර්තා පවා තිබී නැහැ. ඉතා අවිධිමත් මූල්‍ය පාලනයක් තමයි ක්‍රියාත්මක වී තිබුණේ. නමුත්, ඒ සියලු බාධාවන් ජය ගනිමින්, අඩුපාඩු නිවැරදි කරමින්, සාර්ථක ගමනක් ඒමට ලංකා ගුරුසේවා සංගමය විසින් ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කළා. ඒ යටතේ තම අධ්‍යාපන සමුපකාර සමිතියේ නව ශාඛා පිහිටුවමින්, විශාල වැඩ කොටසක් ඉටු කොට තිඛෙනවා. ඒ හැරුණු කොට රුපියල් මිලියන හයසියයක සීමාවේ තිබුණු මාසික මූල්‍ය ගලා ඒම මසකට රුපියල් කෝටි සියයක් දක්වා ඉහළ නංවන්නත් ඔවුන්ට හැකි වී තිඛෙනවා. ඒ සඳහා සාමාජිකයන් වෙත විවිධ සහන ලබා දෙමින්, ඉතා විධිමත් හා විනිවිද භාවයකින් කටයුතු කරන්නට පාලනාධිකාරිය ක්‍රියා කොට තිබුණා. ඒ වගේම එහි සේවකයන් වෙත ද විවිධ දීමනා හා සුබසාධන කටයුතු ඉටු කරමින්, ඉතාම සුහදශීලී පරිසරයක් ආයතනය තුළ නිර්මාණය කිරීමට නව පාලනාධිකාරිය සෑම විටම උත්සාහ ගනිමින් සිටිනවා.
මෙවැනි ක්‍රියාමාර්ග රැසක් ගනිමින්, ආයතනයේ දියුණුවට කටයුතු කරන අතරේ දී නැවතත් එක්තරා කණ්ඩායමක් විසින් චෝදනා එල්ල කරමින් සිටිනවා. නමුත් ලංකා ගුරුසේවා සංගමයේ පාර්ශ්වයෙන් මෙම කරුණු ප්‍රතික්ෂේප කරමින්, එම චෝදනා ඔප්පු කොට පෙන්වන ලෙස අභියෝග කොට තිඛෙනවා.
චෝදනා කරන්නට ඕනෑම කෙනෙකුට හැකිය. එහෙත් බොරු චෝදනා කළ විට සිදු වන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවාට සිදු වූ දේය. දැන් මේ බොරු චෝදනා කළවුන්ටද සිවු වී ඇත්තේ ඒ දේම නොවේදැයකි කාරණා හොඳන් සොයා බලන ඕනෑම කෙනෙකුට සිතෙන්නේය.

මේ චෝදනාව අමූලික බොරුවක්. ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා
ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ

‘මේ චෝදනාව සම්බන්ධයෙන් අපටත් ඇත්තේ අපැහැදිලි බවකුයි. අපි දැක්කා පසුගිය අගෝස්තු දහඅට වැනිදා එක්තරා පුද්ගලයෙක් විසින් මා ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් පැමිණිල්ලක් කරන ලද බවට කෙරුණු මාධ්‍ය වාර්තා. ඒ දෙදහස් නවය හා දෙදහස් එකොළහ කාලසීමාවේ දී මූල්‍ය වංචා සිදු කර ඇති බවට කියලයි දැනගන්නට ලැබුණේ. නමුත් මෙය සම්පූර්ණ අසත්‍යයි. අමූලික බොරුවක්. ඒ නිසා මේ පැමිණිල්ල සම්බන්ධයෙන් සොයාබැලීමට අප පසුගිය සැප්තැම්බර් මාසේ දහතුන් වැනිදා එෆ්.සී.අයි.ඩී.ය වෙත ගියා. ඊට පෙර අගෝස්තු විසිපස් වැනිදා අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා. කොහොම නමුත්, අපට එෆ්.සී.අයි.ඩී.ය මඟින් දැනගන්නට ලැබුණා ඉහත පැමිණිල්ල ඔවුන්ට අදාළ විමර්ශන කටයුත්තක් නොවන බැවින්, එය සී.අයි.ඩී.ය වෙත යොමු කළ බව. ඒ අනුව අප සී.අයි.ඩී.ය වෙත නැවත වතාවක් ගොස් මේ පිළිබඳව කරුණු විමසීමේ දී ඔවුන් අපට එවැනි පැමිණිල්ලක් ලැබුණා ද යන්න පිළිබඳව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළා. නමුත්, අපට දැනගන්නට තිඛෙන තොරතුරු අනුව පෙනී යන්නේ ඉහත ආයතන දෙකෙන්ම එම පැමිණිල්ල භාරගෙන නොමැති බවකුයි.
‘එහෙත්, කනගාටුවට කරුණ නම්, මේ කිසිදු අවස්ථාවක් පිළිබඳ හරි තොරතුරු රටට ඉදිරිපත් කරන්න කිසිදු මාධ්‍යයක් ඉදිරිපත් වුණේ නැහැ. අඩුම තරමින්, එවැනි පැමිණිල්ලක් භාර දුන් බවට අසත්‍යය ප්‍රචාරය කරපු මාධ්‍ය ආයතනය හෝ එවැනි නිවැරදි කිරීමකට උත්සාහ කළේ නැහැ.’
‘කොහොම නමුත්, මේ චෝදනා සියල්ල ඉදිරිපත් කරපු පුද්ගලයා කලක් zඅධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ’ හිටපු භාණ්ඩාගාරිකවරයායි. ඔහුගේ එම ධුර කාලයේ දී එම සමිතියට හිමිව තිබූ වෑන් රියක් ගුවන් සමාගමකට කුලියට ලබා දී එම මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත ධුරයෙන් එළවා දැමුණු පට්ට හොරෙක්. ඒ වගේම රොෂාන් ප්‍රියශාන්ත නමැති මේ පුද්ගලයා ක්‍රියා කොට ඇත්තේ, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ අනුදැනුම මතයි කියලා අපි චෝදනා කරනවා. ‘සිරිකොතේ’ සේවය කරන නීතිඥයන් දෙදෙනකු සමඟ ගිහින් තමයි, ඔහු මේ පැමිණිල්ල ඉදිරිපත් කොට තිඛෙන්නේ. ඒ නිසා මටත්, මා නියෝජනය කරන ලංකා ගුරුසේවා සංගමයටත්, ඒ වගේම මා නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයටත් එරෙහිව හිතාමතාම කළ බරපතළ අපහාසයක් ලෙසයි අප මෙය සලකන්නේ. ඒ නිසා තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අසත්‍ය කරුණු දැක්වූවාට, රට හමුවේ බොරු ප්‍රකාශ සිදු කරමින්, කළ අපහාසයට එරෙහිව ඉදිරියේ දී නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න සූදානම්. ඒ නිසා අපි මේ අසත්‍ය චෝදනාවට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය ලෙස පෙනී සිටිනවා පමණක් නෙමෙයි ඇත්ත වෙනුවෙන් සටන් කරනවා.’


නිපුණා සාරංගි