පොලිස් ප්‍රහාරයකට එරෙහිව ඉන්දීය සරසවි ශිෂ්‍ය විරෝධතා

yhujkghj
අබේ හදිසියේ මැතිවරණයක් කැඳවයි
October 11, 2017
dgfg
සියොන්වාදීන්ගේ දරුණුතම පරාජය
October 11, 2017
Show all

පොලිස් ප්‍රහාරයකට එරෙහිව ඉන්දීය සරසවි ශිෂ්‍ය විරෝධතා

gyhjfgh

ලිංගික හිංසා කිරීම්වලට ගොදුරු වූ බවට ශිෂ්‍යාවක් විසින් පැමිණිලි කළත්, සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එම මැසිවිලි පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට සරසවි බලධාරීන් පියවර නොගත් බවට චෝදනා කරමින් ඉන්දීය සරසවි කිහිපයක සිසුන් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
එම සිද්ධියට අමතරව තවත් එවැනි ලිංගික හිරිහැර පිළිබඳව සරසවි බලධාරීන්ට පැමිණිලි ලැබී තිබුණ බවත් වාර්තා වෙයි.
විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙමින් සිටි සිසුන්ට පොලිසිය පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලය පුරා වේගයෙන් හුවමාරු වෙමින් පවතින අතර ඛෙනාරිස් සරසවිය පිහිටි වාරානසි නගරයේ ගැටුම්කාරී තත්ත්වයක් පවතින හෙයින් නගරය තුළ දැඩි පොලිස් රැකවරණ යොදා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර සරසවි නිවාඩු කාලය ආරම්භ වීමට තවත් දවස් කීපයක් ඇතත් කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරය කල් තබා වසා දැමීමට සරසවි පරිපාලනය පියවර ගෙන ඇත. ඛෙනාරිස් සරසවියේ උපකුලපති ගිරිෂ් චන්ද්‍රා ත්‍රිපති ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමා ශිෂ්‍ය උද්ඝෝෂකයන් හමුවීම සඳහා යමින් සිටියදී පිටස්තරයන් කණ්ඩායමක් සරසවියේ සාමය කඩාකප්පල් කෙරෙන ආකාරයෙන් කටයුතු කළ බවයි. එම පිටස්තරයන් සොයා ගැනීම සඳහා බලධාරීන්ට සරසවි නේවාසිකාගාර සෝදිසි කිරීමට සිදු වූ බවත්, ඒ අවස්ථාවේ ඇතැම් පොලිස් නිලධාරීන් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නට ඇති බවත් උපකුලපතිවරයා පවසයි.
එහෙත්, මෙම ප්‍රකාශ ලිංගික අතවර පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නය යටපත් කිරීම සඳහා බලධාරීන්ගේ උපායක් බව ශිෂ්‍යයෝ පවසති.
ලිංගික අතවර සම්බන්ධයෙන් තමන් විසින් කරනු ලබන පැමිණිලි සරසවි පාලනය බරපතළ මට්ටමින් සැලකිල්ලට නොගන්නා බව උද්ඝෝෂණයේ යෙදෙන සිසුන් පවසන අතර, සරසවි තුළ ලිංගික අතවර සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි ද ඔවුහු සඳහන් කරති.
කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ සමස්ත ඉන්දියාව පුරා ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර සංවිධානය කෙරෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.


ධනංජය සූරියබණ්ඩාර