මනුෂ්‍යත්වය කෝ ?

dsvgs
පටු අරමුණු බිඳවැටුණු කිහිප දෙනෙක් අඳෝනා නගනවා
October 11, 2017
gjkg dhft gfjh
අනාගත සුරක්ෂිතතාව නැති නිසා දිවි නසා ගැනීමට පෙළඹෙනවා
October 11, 2017
Show all

මනුෂ්‍යත්වය කෝ ?

sdrg

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක නතර කර සිටි සරණාගත පිරිසකට පසුගියදා භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් විසින් තර්ජනය කිරීමක් සහ පහර දීමක් කර තිබිණි. එම පහර දීම සමඟ ලොව විවිධ රටවල් විසින් ලංකාව සරණාගතයන්ට පවා පහර දෙන රටක් වශයෙන් හැඳින්වීමට පටන්ගෙන තිබේ. එම සරණාගත පිරිස මියන්මාරයේ රෝහින්ග්‍යා පළාතේ සිට දිවි බේරා ගැනීමට බෝට්ටුවකින් පලා යමින් සිටිය දී අයහපත් කාලගුණයට හසු වී ලංකාවේ මුහුදු සීමාවට පැමිණ තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේය. කන්කසන්තුරේ අසල මුහුදු සීමාවේ දී එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් විය. ඉන් පසු ටික කලක් ඔවුන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිට අධිකරණයේ නියමයෙන් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කර තිබේ. ඉන් පසු එක්සත් ජාතීන්ගේ එම කාර්යාලය විසින් මෙම සරණාගත පිරිස ගල්කිස්ස ප්‍රදේශයේ මෙම නිවස කුලී පදනම මත ලබාගෙන එහි රඳවා තිබේ. මේ පිරිස වැඩිහිටි පිරිමි හත් දෙනෙකු ද, ගැහැනුන් හත් දෙනෙකු ද, ළමයින් 16 දෙනෙකුගෙන් ද සමන්විත 30 දෙනෙකි.
සැබැවින්ම වර්තමානයේ මියන්මාරය තුළ පාලක ආණ්ඩුවේ පූර්ණ ආශීර්වාදය මැද එරට සුළු ජන කොටසක් වූ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව විශාල හිංසනයක් දියත් කර තිබේ. ගම්බිම් වනසමින්, ගිනිබත් කරමින්, විශාල මිනිස් ඝාතනයක් එහි සිදු කරමින් පවතී. මේ ජාතිවාදී පදනමින් මතුව ඇති කෘෘරත්වය හමුවේ දිවි බේරා ගැනීමට එම රෝහින්ග්‍යා ජනතාව ඉතාම අනතුරුදායක පලා යාම් තෝරාගෙන තිබේ. ඉහත පිරිස ද එවන් සරණාගත කණ්ඩායමකි.
එම පිරිස ගල්කිස්ස ප්‍රදේශයේ එකී නිවසේ රඳවා ඇත්තේ, ඔවුන් වෙනත් රටකට යවන තාවකාලික පදනමින්ය. ඔවුන් පලා ආවේ ආගම්වාදී, ජාතිවාදී ගැටුම්වලින් අන්ත අසරණ භාවයට පත්ව දිවි බේරා ගැනීමට රැකවරණ සොයාගෙනය. කුඩා දරුවන් ද සහිත මෙවන් සරණාගත පිරිසක් වෙත කඩාපැන තර්ජනය කිරීමත්, පහර දීමත්, ඔවුන් සිටි ගොඩනැඟිල්ලට අලාභහානි කිරීමත් ශිෂ්ට සමාජයේ කිසිවකු අනුමත කරන්නේ නැත. මනුෂ්‍යත්වයට ගරු කරන කිසිවෙකු මෙවැනි ම්ලේච්ඡ කි්‍රයා අනුමත කරන්නේ නැත.
එය අපේ රට ලෝකය හමුවේ අපකීර්තියට පත් කිරීමකි. එනම්, අපේ රටේ ජනතාවත්, ආගමික ආයතනත් අපකීර්තියට ලක් කිරීමකි. මෙහිදී භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙම පහර දීම් සඳහා සම්බන්ධ වීමත්, ජනතාව ඒ සඳහා උසිගැන්වීමත් බරපතළ ගැටලුවක් මතු කරයි. බුදු දහම යනු අවිහිංසාව පදනම් කර ගත් පංචශීලය පදනම් කර ගත් දහමකි. එය කිසිදු ජාතියකට, වර්ගයකට, කුලයකට සීමා පනවන්නක් නොවේ. සුනීත නම් ඉතාම පහත් කුලයක දරුවකු පවා එකල පැවති බ්‍රාහ්මණ මාන්නයට අභියෝග කරමින්, මහණ කළ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි.
එවන් තත්ත්වයක් තුළ චීවරය හැඳගෙන මෙම භික්ෂු වෙස් ගෙන විවිධ ජාතිවාදී ලේබල් ගසාගෙන ජනතාව ප්‍රකෝප කරවන මේ පිරිස නිගා කරන්නේ බුදු සසුනටම නොවේද? එසේ ම බුදු දහමේ ඉගැන්වීම් අනුව භික්ෂුන්ගේ වගකීම වන්නේ පොදු ජනතාව යහමඟට යොමු කිරීමයි. එසේ කිරීමට නම්, පළමුව භික්ෂුන් ආදර්ශවත් විය යුතු වෙයි. එහෙත්, ඉහත කී සිදුවීමෙන් පෙනී යන්නේ කිසිදු වගවිභාගයකින්, විචාරයකින් තොරව වියරු වැටුණු පිරිසක් ලෙස මෙම පිරිස හැසිරෙන බවයි.
අපේ රටේ ජනතාව තුළ බෞද්ධ චීවරය කෙරෙහි ගෞරවයක් තිබේ. එම ගෞරවයට මුවා වී කරන මෙවැනි දේ හුදු අහම්බයක් නොවන බව තේරුම් ගත යුතුව තිබේ. විශේෂයෙන් පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ ජාතිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින්, රැකවරණ ලබා දුන් බවත්, ඒ තුළින් බංකොලොත් බව වසා ගැනීමට උත්සාහ කළ බවත් සියලූ දෙනා දන්නා කරුණකි.
වත්මන් බංකොලොත් ආණ්ඩුව ද ජනතාවට වසන් කරමින්, නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා ජනතාව අතර විවිධ වැරදි ප්‍රචාර පැතිරවීමට ජාතිවාදී කණ්ඩායම්වලට ඉඩ ලැබී තිබේ. ජාතිවාදය, ආගම්වාදය හා මිථ්‍යා විශ්වාසවල සරණ යමින්, ඒ අතර මහා පරිමාණ මූල්‍ය අපරාධ, මිනිස් ඝාතන, හිංසන සිදු කරමින්, ගෙන ගිය රාජපක්ෂ පාලනය පරාජය කළ පසු යළි හිස එසවීමට උත්සාහ දරන්නේ මෙවැනි බංකොලොත් ක්‍රම හරහාය. ඒ නිසා මෙසේ වියරුවෙන් හැසිරෙන භික්ෂුන් වහන්සේලා පිටුපස සිටින්නේ මෙකී පරාජිත, අඳබාල දේශපාලන බලවේගයන්ය. එය කිසිසේත්ම චීවරයේ ප්‍රශ්නයක් නොවන අතර, චීවරය ඉතා පහත්, දුෂ්ට දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීමට දත කන දූෂිත දේශපාලකයන්ගේ වුවමනාවකි.
මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවයන් හා වැඩි ආගමික භක්තිය පොදු සමාජයක ජීවත් වන විට විශේෂ වී පෙනෙන්නට තිඛෙන බව සැබෑවකි. එය අනෙකුත් කණ්ඩායම් තුළ ප්‍රතිවිරෝධී අදහසක් ඇති කිරීමට අනුබල දෙයි. ඊට අමතරව පසුගිය වකවානුවේ ISIS ත්‍රස්තවාදීන් විසින් ඇති කළ භීතියත් මේ තත්ත්වයට තවත් අනුබල සපයයි. එහෙත්, ඒ සියල්ලෙන් වාසි ලබා ගන්නේ බංකොලොත්, දූෂිත දේශපාලකයන්ය.
ඒ නිසා ජාතිවාදී කඩතුරාවන් බැහැර කර විවෘත මනසකින් ලෝකය දකින්නට ශිෂ්ටසම්පන්න ලෙස ජීවත් වීම සියලු දෙනාගේ වගකීමයි. බංකොලොත් දේශපාලකයන් අටවන උගුල්වලට එවිට කිසිවකුත් හසු කර ගන්නට හැකි වන්නේ නැත.