මහින්දට ඌරු තෙල් කැවිලා !

gjhk,
ජනතාවගේ ඡන්ද අයිතියට ද්‍රෝහි වුණේ කවුද?
October 11, 2017
dsvgs
පටු අරමුණු බිඳවැටුණු කිහිප දෙනෙක් අඳෝනා නගනවා
October 11, 2017
Show all

මහින්දට ඌරු තෙල් කැවිලා !

dgh

පළාත් සභා පනත සංශෝධනය කිරීමත් සමඟ පසුගිය සතියේ දේශපාලන පිටිය උණුසුම් වී තිබුණේය. මෙම තීරයෙන් හෙළි කළ පරිදි එය සංශෝධනය කර ගැනීමට මෛත්‍රීට නිව්යෝර්ක් නුවර සිට මෙහෙයුමක් දියත් කරන්නට ද සිදු වී තිබුණේය. මෙය හවුල් ආණ්ඩුවේ බලය රඳවා ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක වී තිබූ තරම එයින් පැහැදිලි වූයේය. අනෙක් පැත්තෙන් එය රාජපක්ෂ කණ්ඩායමටද ඉදිරි බල ව්‍යාපෘතිය සඳහා අතිශය තීරණාත්මක වී තිබුණේය. මේ දෙපිරිසගේ බල අරගලය ප්‍රයෝජනයට ගනිමින්, ජනතාවගේ පැත්තෙන් ජයග්‍රහණ ප්‍රමාණයක් දිනා දීමේ හැකියාව තිබේ දැයි සොයා බැලීමේ වගකීම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර වෙත තිබුණේය. දේශපාලනය සති දෙකක් පුරාම උණුසුම් කළ ත්‍රිකෝණය ගොඩනැඟී තිබුණේ මෙසේය.

කරණම්කාරයන්ට පා විලංගු

මෛත්‍රීට එක දෙයක් සම්බන්ධයෙන් සැනසිලිදායී තත්ත්වයක් නිර්මාණය වී තිබුණේය. එය නම්, මෛත්‍රීගෙන් ගැල වී මහින්ද කල්ලියට පනින්නට බලාගෙන සිටි පිරිසගේ දෙපාවලට විලංගු දැමීමට සමත් වී තිබීම නිසා වන්නේය. අරුන්දිකට මෛත්‍රී දුන් ෂොට් එක අනෙක් සියලු දෙනාගේ කඳ හරහාම වැදී තිබුණේය. එයින් නොනැවතී නිමල් ලන්සා නියෝජ්‍ය ඇමතිකමෙන් පැන්නීමට සූදානම් බවට ප්‍රවෘත්ති පළ කෙරී තිබුණේය. මේ අතර පළාත් සභා ඡන්දයේ දී මහින්ද කණ්ඩායමට ඒ කණ්ඩායමේ ඡන්ද ටිකවත් දී ගැනීමට නොහැකි තරම් අසරණ වී සිටීමේ වාසිය මෛත්‍රී පිලේ ස්ථාවරයට අමතර ශක්තියක් වී තිබුණේය. සුපුරුදු පරිදි මහින්ද ද ඡන්දය දීමෙන් පළා ගොස් තිබුණේ සියල්ලේ වාසිය මේ අවස්ථාවේ දී මෛත්‍රීටම ගොනුව පැවැතියේය.

ජෝශප් ගිනි පිඹීම

රනිල්ට මේ කිසිදු අස්වැසිිල්ලක් දශමයකින්වත් නොතිබුණේය. එක් පැත්තකින් මෛත්‍රීගේ ඇමෙරිකා ගමනට එක් කරගෙන තිබුණේ රනිල් පිලේ දෙදෙනෙක්ය. ඒ රන්ජන් රාමනායක සහ චතුර සේනාරත්නය. දෙදෙනා ම යූඑන්පී මන්ත්‍රීන්ය. මේ අතුරින් රන්ජන් රාමනායක රැඩිකල් බවක් ප්‍රකට කිරීම නිසා කාගේත් අවධානය දිනාගෙන සිටින පුද්ගලයෙක් වී ඇත්තේය. රනිල්ගේ දෙදෙනෙකු එක්ක මෛත්‍රී ඇමෙරිකා යන විට රනිල් සමඟ සිටින තව දුරටත් අතිශය විශ්වාසවන්තයකු වන රවී දැන් අගමැතිගේ බලතල ක්‍රියාත්මක කරන තරමට දුරදිග ගොස් සිිටින්නේය. ඔහු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අතළොස්සක් හැරුණු විට ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනා සමඟම බරපතළ ගැටුම් ඇති කරගෙන සිටින්නේය. මේ ගොන්නට අලුතෙන්ම එක් කරගෙන සිටින්නේ ජෝශප් මයිකල් පෙරේරාය. ජා-ඇළ ආසනයට රවී පසුගිය සතියේ ගොස් තිබුණේ රනිල්ගේ දේශපාලන ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමටය. මේ දක්වාම ජා-ඇළට පක්ෂයේ හිමිකරුවා වී සිටින ජෝශප් කුණුකූඩයට දමා කටයුතු කර තිබුණේය. මේ තත්ත්වයට විරුද්ධව ජෝශප් ගිනි පිඹීමට පටන්ගෙන තිබීම රනිල්ට අලුත්ම හිසරදයක් වී තිබුණේය.

වීරවංසගේ වියරුව

වීරවංස වියරු වැටී සිටි බවක්, පසුගිය සතිය පුරාම ප්‍රකට කර තිබුණේය. මහින්දගේ බල වියරුවේ ප්‍රකාශකයා වී තිබුණේ වීරවංසය. එයට සාධාරණ හේතුවක් ද තිඛෙන්නේය. වීරවංස මහින්දගේ ලොකු පුතා බව නාමල් ප්‍රකාශ කිරීම වන්නේය. නාමල්ගේ ලොකු පුතා කතාව කෙසේ වෙතත්, තමන් කළ පඩත්තල ජඩ වැඩ වසා ගැනීමට දියණියව පාවා දීමට තරම් දීන වී සිටින වීරවංස මහින්ද කල්ලිය වෙනුවෙන් ජවිපෙට මඩ ගැසීම යළිත් කරටගෙන තිබුණේය. සති අන්තයේ පත්තර ගොසිප්වලින් මඩ ඛෙදීම කර තිබුණේ වීරවංසය. එයට අමතරව ප්‍රසිද්ධියේ පෙනී සිටිමින්, ප්‍රකාශ කර තිබුණේ ජවිපෙ මැදිහත් වූයේ නම්, පළාත් සභා සංශෝධනවලට තුනෙන් දෙකේ ඡන්දය ගැනීමට නොදී පරාජය කළ හැකිව තිබූ බවය.

ඇල්ලේ හිමිටත් මඩ

පළාත් සභා සංශෝධන පනතට විරුද්ධව හරිහැටි ඡන්දය දීමට හෝ අසමත් වූ මහින්ද කණ්ඩායම හතර හතේ ජවිපෙට ගැසූ මඩ වලට අමතරව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්වද යොදා ගෙන අවලාද නගා තිබුණේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් පසු ජවිපෙ අනුර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවීමට අමතක කර නොතිබුණේය. ඒ හිමියන් හමු වී සුහද ආගිය කතාවක නියැළුණා මිස දේශපාලනය පිළිබදව කිසිදු දෙයක් කතා කර නොතිබුණේය. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍යය වාර්තා පළ කර තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගුණවංශ හිමියන්ගේ එකගතාවය ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුවට අනුර එහි ගිය බවය. මේ ප්‍රවෘත්තිය පළ වීමත් සමග පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට මදක් කේන්ති ගොස් නිවේදනයක් නිකුත් කර තිබුණේය. ඒ හිමියන්ගේ නිවේදනයෙන් අවධාරණය කර තිබුණේ එම හමුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිවක් කථා නොකළ බවය. ඒ අනුව හෙළිදරව් වූයේ මහින්ද කණ්ඩායමේ මඩ ප්‍රචාර වලට ඇල්ලේ හිමියන්ද යොදා ගැනීමට උත්සාහ කර ඇති බවය.

එයාට ඌරු තෙල් කැවිලා

පළා ගිය මහින්ද එළියේ දී කියන්නට පටන්ගෙන තිබුණේ වෙනම කතාවක්ය. ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට යන දෙදෙනාට ඇප දීම වෙනුවෙන් බව කියමින්, භික්ෂූන් යොදවා සල්ලි සිඟමන් යැදීමේ දී සිදු වූ අකරතැබ්බය පිළිබඳවය. මෙසේ සිඟමන් යැදි භික්ෂූන්ගේ පාත්තරවලට ෆොන්සේකාගේ පිරිසක් යොදවා පිසින ලද ආහාර ද්‍රව්‍ය දානය වශයෙන් පිළිගන්වා තිබුණේය. මෙය මහින්ද විසින් අර්ථකථනය කර තිබුණේ, ‘භික්ෂූන්ගේ පාත්තරවලට ඌරු මස් අඩංගු ආහාර දමා නිගා කළ බවටය. මේ කතාව ඇසූ මහින්ද පිලේ වමේ පුද්ගලයකු ප්‍රකට කලාකරුවකුට කියා තිබුණේ ‘එයාට ඌරු තෙල් කැවිලා’ යනුවෙන්ය.

ජවිපෙ වැඩ මහින්දට හෝ රනිල්ට නෙවෙයි

පසුගිය අඟහරුවාදා දිනයේ දී ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී රැස් විය. එහි දී විශේෂයෙන් අවධානයට ගැනුණේ, පළාත් සභා පනත සංශෝධනය කිරීම පිළිබඳව මතු වී ඇති තත්ත්වය සහ විගණන පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳවය.
‘පළාත් සභා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය වීම ගැන කරුණු හරිහැටි ජනතාව අතරට ගියේ නැහැ. සමහරු තවමත් හිතාගෙන ඉන්නේ 20 වැනි සංශෝධනය අධිකරණ තීන්දුවට පිටුපාලා 2/3න් සම්මත කර ගත්තා කියලා. ඒ වගේම තමන්ගේ දේශපාලන සිහිනය බිඳවැටුණු ඒකාබද්ධ විපක්ෂය අපේ පක්ෂයට මඩ ගහනවා. මේ කරුණු නිසා පනත ගැන නිවැරදි දේශපාලන සංවාදයක් ජනතාව අතරට ගියේ නෑ’ ටිල්වින් සිල්වා කියා සිටියේය. ‘රාජපක්ෂ කණ්ඩායම මුල දී පළාත් පාලන මැතිවරණය ඕනෑ කියලා කෑගැහැව්වා. දැන් පළාත් සභා ඕන කියලා කෑ ගහනවා. එක එක වෙලාවට තමන්ට වාසිවෙයි කියලා හිතෙන දේශපාලන ප්‍රකාශ සිදු කරනවා. රාජපක්ෂ කණ්ඩායම ඡන්ද ඉල්ලුවට ඇත්තටම ඡන්දවලට බයයි. කොහොමත් ශ්‍රීලනිපය දෙකඩ වෙනවා ඡන්දයක දී. ඒකට බයයි. ඒකයි ඇත්ත කතාව. ඒකාබද්දෙට ප්‍රාදේශීය සභා මැතිවරණය ආවාම අපේක්ෂකයෝ තෝර ගන්න එක අර්බුදයක් වෙනවා, ඒකයි මැතිවරණයට බය. ඒක වහ ගන්න අපිට මඩ ගහනවා.’ සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
‘පළාත් සභා පනතට සංශෝධන ගෙනාපු විදියේ කැතක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ කියන එකට තවත් හොඳම උදාහරණයක් තමයි මේක. නමුත් මේ පනතෙන් පළාත් සභා මැතිවරණයටත් මනාප නැති ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක රටටත් ජනතාවටත් වැදගත්. කවුරු මොනවා කිව්වත් ඒ වගේ දෙයකට ඡන්දය දෙන එක අපේ වගකීමක්. රාජපක්ෂ කණ්ඩායම දෙවැනි වර කියවන අවස්ථාවට ඡන්දය දුන්නේ නැහැ. ඒ කියන්නේ කාන්තා නියෝජනයට විරුද්ධයි. ඒ වෙලාවේ 44ක් විරුද්ධ වුණා. නමුත් සංශෝධනවලට ඡන්දය දුන්නේ 37යි. 7ක්ම ඡන්දෙට හිටියෙත් නැහැ. මහින්ද රාජපක්ෂ ආවෙත් නැහැ. තමන්ගේ මන්ත්‍රීවරු ටිකවත් එක තීරණයක තියාගන්න බැරි බංකොළොත් කණ්ඩායමක් තමයි අපිට චෝදනා කරන්නේ.’ අනුර දිසානායක කියා සිටියේය.
‘ඔව්, රාජපක්ෂ කණ්ඩායම කියන තරම් මේ පනත මාරාන්තික නම් පනතට ඡන්දෙ දීලා තමන්ගේ විරෝධය පළ කරන්න ඕනෑ. රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් ගහන ගමන් තමයි අපිට චෝදනා කරන්නේ. සිරිලිය ගිණුම් ගැන, රාජපක්ෂ දරුවන්ගේ අපරාධ ගැන පරීක්ෂණ නැත්තේ ඩීල් නිසයි. අපි වැඩ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. රනිල්වත් මහින්දවත් සතුටු කරන්න නෙවෙයි කියලා අපි රටට පැහැදිලි කළ යුතුයි.’ ටිල්වින් සිල්වා කීවේය.
‘ඇත්තටම මේ වෙලාවේ ජනතාවට ඕනෑ අවුරුදු දෙකහමාරක් විතර පස්සට ගිය පළාත් පාලන ඡන්දේ. පළාත් සභා ආවා නම් ඡන්දේ තියෙන්නේ පළාත් සභා තුනක විතරයි. පළාත් සභා තුනක ඡන්දය ආවා නම් ආණ්ඩුව ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලේ බැහැලා, බඩු ඛෙදලා, ආණ්ඩුවේ සම්පත් පාවිච්චි කරලා ඡන්දෙ කරයි. ඊට වඩා මුළු රටේම ඡන්දය තියෙන එක අපිටත් හොඳයි ජනතාවටත් හොඳයි. ඒ නිසා අපි හරි දේ වෙනුවෙන් පෙනී හිටිය බව මඩවලට රැවටෙන්න නොදී ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ.’ ලාල් කාන්ත කියා සිටියේය.

බිමල් විද්‍යාගේ මව හමු වෙයි

පසුගිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කොට ඝාතනය කරන ලද විද්‍යාගේ නඩු විභාගයේ තීන්දුව සැප්තැම්බර් 27වෙනිදා යාපනය මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි. එදින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා, යාපනය දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක් ද අධිකරණය වෙත ගොස් සිටියහ. මෙහි දී විශාල පිරිසක් තීන්දුව දැනගැනීම සඳහා උසාවි භූමියට පැමිණ සිටියහ. බිමල් රත්නායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නඩු තීන්දුවට පෙර විද්‍යාගේ මව හමු වීමට අවස්ථාවක් උදා කර ගත්හ. විද්‍යාගේ සිදුවීමෙන් සතියකට පමණ පසු බිමල් රත්නායක මන්ත්‍රීවරයා විද්‍යාගේ මව හමු වූ අතර, ඇයට ඔවුන් මතකයේ රැඳී තිබුණි. මව ඉතාම සංවේදීව දියණිය ගැන සිහිපත් කළාය.
නඩු තීන්දුවෙන් අනතුරුව පැමිණ සිට නීතිඥයෝ, නීති සිසුහු ඇතුළු සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් තීන්දුව පිළිබඳව සෑහීමකින් කතාබහ කළෝය. බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් කියා සිටියේය. ‘ළමා අපචාර සිදු කරන පුද්ගලයන් එකකින් නවතින්නේ නැහැ. ඔවුන්ට එක සිදුවීමකින් දඩුවම් නොලැබුණහොත්, ඉදිරියටත් එවැනි දේවල්වලට යොමු වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ජනාධිපතිවරයා මේ දැරියගේ ඝාතනයෙන් පස්සේ යාපනයට ආවා. ඇවිත් පොරොන්දු වුණා. ළමා අපචාර සිදුවීම් පිළිබඳව විභාග කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. දැන් මාස 28ක් පමණ ගත වෙලා ඉවරයි. නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ නඩු තීන්දුවවත් පාදක කරගෙන ළමා අපචාර සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියලා. ඒකෙන් තමයි ළමයින්ට සිදුවන අපචාරවලට යම් නීතිමය ආවරණයක් ලැඛෙන්නේ.’ බිමල් රත්නායක මන්ත්‍රීවරයා යාපනයේ සිට මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

චාමර දොට්ට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය විසිහයවෙනිදා රාත්‍රියේ බදුල්ලට පැමිණියේ පසුදින පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගි වීම පිණිසය. එදින රාත්‍රියේ ජනාධිපතිවරයාට නවාතැන් ගැනීමට සූදානම් කර තිබුණේ පළාත් සභා මන්ත්‍රී සුමිත් සමයවර්ධනගේ හෝටලයේය. කෙසේ වෙතත් එදින රාත්‍රියේදී ජනාධිපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් අභ්‍යන්තර සාකච්ඡාවක් සිදුවී තිබේ. ඒ කුමක් ගැනද යන්න පිළිබඳව තොරතුරක් නොමැති වුවද ඌව පළාත් සභාවේ මහ ඇමති චාමර සම්පත් දසනායක පිළිබඳව ජනාධිපතිවරයා අප්‍රසාදයෙන් සිටි බවත් වාර්තා වේ.
ඌව පළාත් සභ මහ ඇමතිවරයා 20වෙනි සංශෝධනය පළාත් සභාවේ පරාජය කිරීමට කටයුතු කිරීමත් පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සමුළුව සඳහා සාමාජිකයින් කැඳවාගෙන ඒම මඟහැරීම සඳහා රෝගාතුරව යැයි කියමින් රෝහල්ගතව සිටීම යන හේතු නිසා ඔහු මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමඟ ගනුදෙනුවක් ඇති බවට අනෙකුත් පළාත් සභා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට කරුණු වාර්තා කර තිබේ. මේ තත්ත්වය තුළ නුදුරේදී ඌව පළාත් සභාවේ දේශපාලන උණුසුමක් ඇතිවීමේ ඉඩකඩක් ඇතිව තිබේ.
පසුදින දෙමෝදර ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ අතර ඇමති රාහුෆ් හකීම් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද සහභාගි වූහ. කෙසේ වෙතත් ජල වෘපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සවවේදිකාවට ගොඩවීම ප්‍රතික්ෂේප කොට ඇති අතර පසුව ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම මත වේදිකාවට ගොඩ වී තිබේ. නමුත් ඒ මොහොතේ කතාවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කොට ඇත. පසුව බදුල්ල නගරයේ මාර්ග සංඥා විවෘත කිරීමේ අවස්ථාවකටද ජනාධිපතිවරයා සහභාගි වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා විනාඩි දොළහකට ආසන්න කතාවක් සිදුකොට තිබේ. එසේ නමුත් උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පීඩාවට පත්ව ඇති ජනතාව පිළිබඳව කිසිදු අදහසක් නොදැක්වීම පිළිබඳව ජනතාවගේ අප්‍රසාදය පළවී තිබේ.