මහින්ද නීතියට සරදම් කරද්දී බම්බු ගහන පාලකයෝ

xfghdht
දියගම – අතුරුගිරිය මඟ දිගේ ගිය ගමනක් !
October 11, 2017
dthth
නිලුකා සාරි පොටෙන් වැසූ ඒකනායකගේ සාරි පොඩිත්ත
October 11, 2017
Show all

මහින්ද නීතියට සරදම් කරද්දී බම්බු ගහන පාලකයෝ

cfbhgf

ජාතිවාදය හා ආගම්වාදය සිය දේශපාලන ආත්මය කර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දේශපාලන මඩ ගොහොරුවක කරවටක් ගිලී, සිය පෞද්ගලික ආත්මගරුත්වය මෙන්ම දේශපාලනය ද විනාශ කර ගනිමින් සිටින බව පැහැදිලිව පෙනෙනවා.
අප රටේ දීර්ඝ කාලයක් පැවැති කුරිරු යුද්ධය අවසන් කිරීම සදහා සේනාධිනායකයා ලෙස ඔහු මගපෙන් වූ බව අවිවාදිතයි. යුද්ධයේ ජය සනිටුහන් කර ජනප්‍රියතාවයේ හිනි පෙත්තටම නැගි ඔහු ඔටුනු නොපළන් රජකු ලෙස වැජඹී, දැන් බලය සදහා සිහි විකල් වූවකු ලෙස කටයුතු කරන බව කාටත් පෙනෙනවා. ජනාධිපතිවරණයට සිල් රෙදි ඛෙදීම සම්බන්ධව ඔහු කර ඇති ප්‍රකාශවලින් ඒ බව හොදින් පැහැදිලි වෙනවා. පරාජිත මනෝභාවයෙන් සිහි විකල්ව සිටින බව පෙනෙන ඔහුට එදා මෙදා කරන කියන දේ ගැන අවබෝධයක් නැති පාටයි.
මහින්ද රාජපක්ෂ නීතියට හෝ අධිකරණයට අවනත නොවුණේ, ඔච්චම් කළේ අද ඊයේ සිට නොවෙයි. ඕනෑම ඒකාධිපති පාලකයෙක් වේවා හොරකම්, වංචා, දූෂණ කරන විට, බලය අයුතු ලෙස යෙදවීම, නීතිය නොසලකා, අධිකරණය නොතකා කටයුතු කිරීම සාමාන්‍ය දෙයක්. එය මහින්දත් උපරිමයෙන් කළා.
කුප්‍රකට සුනාමි මුදල් වංචාව මේ රටේ කවුරුත් දන්නා දෙයක්. මේ ගැන සත්‍යය පසුකලෙක කීවේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වායි. ඔහු මහින්ද රාජපක්ෂගේ දෙවනි මනමාලයා. හොදම හිතවතා. ‘හෙල්පින් හම්බන්තොට’ නඩුවේ දී මහින්දව හිරේ නොයැවීම ගැන සරත් එන්. සිල්වා ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තා. නීතිඥයකු විදියට නඩුවක දී බොරු සාක්ෂි දෙන්න ගිහිල්ලා දඩුවම් ලබන්න නොදී මහින්දව තමන් බේරා ගත් කතාවකුත් ඔහු කිව්වා. ඊට පස්සෙ ජනාධිපතිවරණය දිනන්න ප්‍රභාකරන්ට කෝටි ගණනක අල්ලස් දුන් බවත් කියැවෙනවා. අල්ලස් දීලා දෙමළ ජනතාවගේ ඡන්දය වළක්වලා ඉතිරි මුදල ජනාධිපති වෙලා ‘රාඩා’ ආයතනය හරහා ලබා දී තිඛෙනවා. ඒ සිද්ධිය දැන් අධිකරණය ඉදිරියේ දිගහැරෙන කතාවක්. දෙමළ ජනතාවට නිවාස ඉදි කිරීමට ඒ මුදල් යෙද වූ බව කිව්වත් එසේ නොවූ බව ප්‍රසිද්ධ රහසක්. මේ රහස දැනගෙන සිටි ශ්‍රීපති සූරියආරච්චි අභිරහස් මරණයකට ගොදුරු වුණා.
යුද ජය තනිකර රාජපක්ෂලාට හිමි කර ගැනීමට යුද්ධය දිනා දුන් හමුදාපති බොරු නඩුවලට පටලවලා හිරේ දැම්මා. එදා ජනාධිපතිවරණයේ දී මහින්දට අභියෝගයක් වූ සරත් ෆොන්සේකාගෙන් පළි ගන්නේ ඒ ආකාරයටයි. මහින්ද රාජපක්ෂ නීතිය හා අධිකරණට කණපිට පෙරළා ම්ලේච්ඡ ආකාරයෙන් රාජ්‍ය පාලනය ගෙන ගියේ ඒකාධිපතියෙක් වගේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිම රජයේ තනතුරක් දෙන්නට එපා කියල නියෝග කරනු ලැබූ පී. බී. ජයසුන්දරට නීතිය බල්ලට දමා මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුර දුන්නා.
උපාසක ලලිත් වීරතුංග ඒ යුගයේ සිටම මේ විදිහට නීතිය කඩ කරන්න මහින්දට උදවු උපකාර කළ කථාව පහුගිය දිනක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කදිමට පැහැදිලි කළා. දැන් සිල් රෙදි ඛෙදීමේ නඩුව ඔප්පු වී තිඛෙන ආකාරයට ලලිත් වීරතුංග ඔහුගේ අභිමතයට සියල්ල සිදු කර ඇති බව පැහැදිලියි. ක්‍රම සහ විධිවලින් නඩුවෙන් ගැලවීමට සිතා සිටියත්, වැඩේ වැරදුණා. මහින්ද වෙව්ලුවා. තොල කට වේළුණා. ඒ නිසයි වැඩේ ගොඩ දමන්න අගමැති රනිල් හමුවන්නේ. තමන්ගේ ජනපති හීනයට පාර කපන මහින්දගේ කල්ලියට සිදු වේගෙන යන දේ ගැන ඔහුත් පුදුම වුණා කියනවා නේ. තමන් පසුපස්සේ අන්ධානුකරණයෙන් එන සංඝයා වහන්සේ ඉදිරියට දමලා මුදල් සම්මාදම් කරවූයේ නිකම්ම නෙවෙයි. මහින්ද ළග හිටපු අරක්කැමියට හෝ ආරක්ෂාවට හිටි පුද්ගලයාට, එහෙමත් නැතිනම් මහින්දගේ ස්ටිකර් රට පුරා ගැසූ පුද්ගලයාටත් පුළුවන් මේ වන්දිය සුටුස් ගාලා ගෙවලා දාන්න. අර රාජපක්ෂලාගේ රැළිවලට බස් දම්මවලා සෙනග ඇද්ද ඒවාට මුදල් ගෙවා දැම්මා වගේ. ඒත් සල්ලි කොහෙන්ද කියලා ඇහුවොත් ප්‍රශ්නයක් එනවා. ඒකෙන් ගැලවෙන්නයි රටේ මිනිස්සු අතරේ සිල්රෙදි ඛෙදුවාමත් හිරේ දානවා. දඩ ගසනවා කියන පණිවිඩය යවන්නයි ඔහුට ඕනෑ වුණේ. හාමුදුරුවරු පිරිසකුත් දුව දුවා පාත්තරවලට සල්ලි එකතු කළා. මේ වස් කාලෙ පිණ්ඩපාතෙ යන්නේ නැහැ. හොරු බේරා ගන්න පිණ්ඩපාතේ වඩින්න කියලා බුදු දහමේ කොතැනකවත් නැහැ. එදා මල්වතු පාර්ශ්වය දෙකඩ කරනවා කියලා මහින්ද තර්ජනය කරද් දී මේ හාමුදුරුවරුන් ඒකට විරුද්ධ වුණේ නැහැ. අද හාමුදුරුවන්ව දේශපාලන අරමුණු වෙනුවෙන් පටු විදිහට පාවිච්චි කරන, සංඝ ශාසනය ගැන තියෙන ගෞරවය නැති කරන්න මහින්ද කටයුතු කරනවා. අනික් අතට මේක අධිකරණයට කරන අපහාසයක්. අර එදා ගෝඨාභය අල්ලස් කොමිසමට ගෙන්වපු දවසෙ හාමුදුරුවරුන් මහ මගට බැහැලා උද්ඝෝෂණය කළා වගේ දෙයක්. මේවා වැළැක්වුවොත් අන්න හාමුදුරුවන්ට පිණ්ඩපාතේ වඩින්නවත් මේ ආණ්ඩුව දෙන්නේ නෑ කියලා මහින්දලාට කෑ ගහන්න පුළුවන්. යුද්ධය දිනුවා කියලා කොහේදෝ ඉදලා ඇවිල්ල පොළව ඉඹගෙන වැන්දා වගේ මේ පාරත් හාමුදුරුවරුන් හොයාගෙන ආපු සල්ලි ගොඩට මහින්ද වැන්දා. කොහොමත් ඔහු හා පවුලේ අය සේරම සල්ලිවලට ගොඩක් කෑදර වෙන්න ගිය නිසයි මේ කරදරවල වැටුණේ.
එදා කටඋත්තරයක් ගැනීමට ශිරන්ති රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වපු දවසේ සල්ලි විසි කරලා සෙනග ගෙන්වලා විකාරයක් කළා. මේ දේවල් කරන්නේ පොලිසිය හා ආණ්ඩුව භය කරන්න. තමුන්ට තාමත් ජනතා ආදරය තියෙන බව පෙන්නන්න. තමුන්ට අත තිබ්බොත්, ජනතාව නැගිටියි කියන පණිවිඩය දෙන්න. මේ අතරේ නාමල් අඩ අඩ කියනවා අපි ආවාම බලාගන්නම් කියලා.
ජෙයරාජ් විභාගෙට ලිව්වා කියලා සමහරු කිව්වට මහින්දත් නීතිඥයෙක් කියනවා නේ. තනි කාමරේක විභාගෙට ලියලා වාර්තා තබමින් සමත් වුණු නාමලුත් නීතිඥයෙක්. ජී. එල්. පීරිස් කියන්නේ නීතිය උදේට හවසට වළදන විශාරදයෙක්. අනික දැන් ළග වැටීගෙන ඉන්න යාළුවා සරත් එන්. සිල්වාත් නීතිය කාලා වතුර බීපු මනුස්සයෙක්. ආගිය අතක් ගැන ආරංචියක් නැතත්, මොහාන් පීරිසුත් ඉදහිටවත් මහින්දට උපදෙස් දෙන හිටපු අගවිනිසුරු නේ. මේ විදිහට නීතීඥයෝ දුසිම් ගණන් මහින්ද වටේ හිටියාට මැතිවරණයක් ප්‍රකාශයට පත් කරපු කාලෙක දේශපාලන අල්ලස් දීම වරදක් කියලා දන්නෙ නැද්ද?
මහින්දගේ පාලන කාලේ පුරා ම අරගෙන බැලුවත් එහෙමයි. අධිකරණයෙන් තෙල් මිල අඩු කළාට ඒක පිළිගත්තේ නැහැ. හිටපු අගවිනිසුරුවරිය නීතියට හරි සදාචාරයට හරි එකග නැති විදිහට තනතුරෙන් එළවලා දැම්මා. අනුර ප්‍රියදර්ශනලා, පවිත්‍රාලා, වීරවශලා වගේ දෙකයි පනහේ දේශපාලුවන් ලවා නඩු අහලා කළේ ලෝකයම හිනස්සන විකාරයක් නෙවෙයි ද? හැම වෙලාවෙම නීතියට ඉහළින් තමන් ඉන්නා බව හිතපු ඔහු තාමත් හිතන්නෙ එහෙමයි. පොලිසිය, හමුදාවේ බුද්ධි අංශ නීති විරෝධී වැඩවලට, අපරාධවලට යොදවලා තියෙන බව දැන් හෙළිදරවු වෙනවා. දැනට නීතිය ඉදිරියට ඇවිල්ල තියෙන නඩුවලින් විතරක් නෙවෙයි. තවම හෙළි නොවුණ ගොඩක් සිදුවීම් තියෙනවා. මේ විදිහට නිලධාරීන්ව නොමග යවලා, වැරදි වැඩවලට යොදවලා අද නීතිය ක්‍රියාත්මක වෙනකොට, අහිංසකයන්ට, රණවිරුවන්ට, ද`ඩුවම් දෙනවා, දේශපාලන පළිගැනීම් කියලා කෑ ගහන්නෙ මහින්දමයි.
අර සමෘද්ධි නිලධාරිවරයෙක් ගස් බැදලා ගහපු, කොමිස්, අල්ලස්, කප්පම් ගත්තු මර්වින් සිල්වා අපරාධවලට යෙදවූයේ කවුරුන් ද? රූපවාහිනියට ගිහින් ගුටිකාලා ඇවිල්ලා ඒකෙ සේවකයන්ට දිගටම පන්න පන්නා පහර දෙද් දී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම දුන්නෙ මහින්ද නීතිය විතරක් නෙමෙයි, සදාචාරයත් තුට්ටුවට දමමිනුයි. තමුන්ගේ පහත් වැඩ කරලා දෙනකම් හොද වුණු මර්වින්ව පස්සෙ පස්සෙ පෙන්නන්න බැරිව ගියේ ඇයි ? ඒ වගේම තමුන්ගෙ අවශ්‍යතාවන්ට අනුව නීතිය මෙහෙයවමින් හිටපු ශිරාණි බණ්ඩාරනායක එක අවස්ථාවක තමුන්ට එරෙහිව ගියපු නිසාම නිවස ඉදිරියට කුලීකාරයන් යවලා පොල් ගහලා උද්ඝෝෂණය කෙරෙව්වා.
රජ වීමේ උන්මාදයෙන් කඩු සෙවීමේ ව්‍යාපෘතියක් කරවලා, ඒකට අහුවුණ මංජු ශ්‍රී හිරේ ගියාම ඔහු මරවන්නට උපදෙස් දුන්නේ කවුරුන් ද? එදා වීරතුංගලා වගේම රාජ්‍ය සේවකයෙක් වුණු ගෝඨාභය ප්‍රසිද්ධියේ නීති කඩද්දී නිහඩව අහක බලාගෙන සිටි මහින්ද අද කියන්නේ මොනවා ද? කතරගම දේවාලගේ බස්නායක නිලමේ තනතුර තම ඥාති පුත් ශෂීන්ද්‍රට ලබා දීම සදහා නීති රීති වෙනස් කළේ කවුද? ජූලම්පිටියේ අමරේලා, රංජි මල්ලිලා, වගේම අර විදේශිකයෙක්ව ඝාතනය කරපු, ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය සභා සභාපති වගේ මැරයෝ කී දෙනෙකුට මහින්ද රැකවරණය දුන්නා ද? නීතියට ඔච්චම් කරමින් ආරක්ෂා කළා ද? රටේ ප්‍රධාන පුරවැසියා නීතිය පාගාගෙන කටයුතු කළ ආකාරය අද මේ රටේ ජීවත්වන හැමෝම සිහිපත් කර බැලිය යුතුයි. ආදර්ශවත් චරිතයක් විය යුතු රටේ ප්‍රධාන පුරවැසියා නීතිය වෛශ්‍යා වෘත්තියේ යොදවන විට රටක් තියේවි ද?
ඒ විතරක් ද? රෝහිත අබේගුණවර්ධනලා, අරුන්දිකලා, ලංසාලා, සරණලා වගේ කී දෙනෙකුට රැකවරණය දුන්නා ද? ජනාධිපති තනතුරේ බලය අයුතු ලෙස යොදවමින් අපරාධකරුවන් කොපමණ ආරක්ෂා කළා ද? අර තමුන්ගෙම වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වෙලා හිටපු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව ප්‍රසිද්ධියේ ඝාතනය කරපු දුමින්ද සිල්වා රට යවලා නීතිය විහිළුවට ලක් කරමින් ආරක්ෂා කරපු ආකාරය අමතක කාට ද? මෙහෙම ලිපියකින් ඒවා ලියලා ඉවර කරන්න බැහැ. මෙතුවක් කාලයක් රට පාලනය කරපු අයගෙන් මහින්ද තරම් නීතිය විහිළුවට හා බාල්දුවට ලක් කරපු අයෙක් නැති බව පැහැදිලියි.
දැන් මේ යහපාලන ආණ්ඩුව කරන්නෙත් ඔහුගේ නීති විරෝධී වැඩවලට උඩගෙඩි දීමක් නොවේ ද? මේ ආකාරයට නඩු තීන්දුවක් අභියෝගයට ලක් කරමින් හැසිරෙන්න කාටවත් ඉඩ දිය යුතු ද? දැන් ඇප ලබා සිටින වීරතුංගගේ සිද්ධිය ගත්තත්, ඇපල් නඩුව විභාග කරන්න අවුරුදු 3ක් විතර යයි. ඒ කාලේ ඒ අයගේ නඩුකාරයෝ අවශ්‍ය තැන්වලට දමා ගන්නත් ඉඩ තියෙනවා. මොකද? අධිකරණ පද්ධතියෙත් මහින්ද විසින් පත් කරපු, මහින්දට කඩේ යන අය ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවෙත් එහෙමයි. යහපාලනය මේ ආයතන සුද්ධ නොකර වැඩට බැහැලා තියෙන නිසා මේ අය ආණ්ඩුව එක්ක හැංගිමුත්තම් කරමින්, ජනතාවට කොකා පෙන්නනවා.
රනිල් එක්ක දාපු ඩීල් එකේ ප්‍රතිඵල විදිහට අවසානයේ මේ නඩුවත් විසි කරලා දමන්න ඉඩක් තියෙනවා. නැතිනම් දඩුවම ලිහිල් කරන්නත් පුළුවන්. පහුගිය දින කීපයේත් මේ අය හිටියේ රෝහලේ. සමහර විට 2020 වනතුරු මේ නඩුව ඇදෙයි. මේ යහපාලනයේ වැඩ එහෙමයි. කතාව මිස වැඩ හිමින්. දැන් අතුරුදහන් වීම් ගැන හොයන කමිටු කාර්යාලයත් ඕනෑවට එපාවට අරින්නයි ලෑස්තිය. පොදු රාජ්‍ය මණ්ඩලයටත් ගිහින් තමුන් වැඩ කරන්නෙ හෙමිහිට, ඒ නිසා කල් ඕනෑ කියලා ජනපතිවරයා කිවුවා නේ. හෙමිහිට කරනවා කියන එකේ තේරුම වැඩේ නොකෙරෙන බවයි. යුක්තිය ඉටු වීම පමා වීම යුක්තිය ඉටු නොවීම තරම්ම වරදක් බව කියවෙනවා. අනික හෙමින් හෙමින් වැඩ කරන්න කාලයකුත් යහපාලනයටවත්, ජනාධිපතිවරයාටවත් නැහැ. මේ හෙමින් වැඩවල හැටි රටේ මිනිස්සු දන්නවා. රණවිරුවෝය, සංඝයාවහන්සේය කියලා අපරාධකාරයන් රකිනවා. අධිකරණ නියෝගවලට පිටුපාලා මැතිවරණ කල් දමා ගත්තා. තමුන්ගෙ පක්ෂයේ නීති කඩන අයට දඩුවම් නැහැ. සංහිදියාව කටින් විතරයි. සංවර්ධනය ඇස්බැන්දුමක් විතරයි. මේ සියල්ලම අතරේ මහින්දට රටේ නීතිය බාල්දු කරමින්, ජනාධිපතිට, යහපාලනයට ඡන්දය දුන්න ජනතාවට සරදම් කරමින්, ආණ්ඩුව බය කරමින්, නිදහසේ ඉන්න ඉඩ දීලා තියෙනවා. අධිකරණයට ඔච්චම් කරමින්, පොලිසිය හා නීතිගරුක නිලධාරීන්ව බය කරන්න ඉඩ දීලා තියෙනවා. රයිගමයයි, ගම්පළයයි වගේ දෙපැත්තට අදිමින් යහපාලන නාඩගම රගදැක්වෙමින් තිඛෙනවා.


ඩී. බී. ඇල්කඩුව