රටේ ජනතාවගෙන් ලක්ෂ 47කට මන්දපෝෂණය

AWDaE
හොරු රකින ආණ්ඩුව බිය වූ ජාතික විගණන පනත
October 10, 2017
fgjh
සිසු ජීවිත හත්දාහක් අනතුරේ හෙළා පාලකයන් මර නින්දේ
October 11, 2017
Show all

රටේ ජනතාවගෙන් ලක්ෂ 47කට මන්දපෝෂණය

Untitled-1

රටක සංවර්ධනය මැනිය හැක්කේ පාලම්, බෝක්කු, පාරවල්, ගොඩනැගිලි වඩාත් නවීන ආකාරයෙන් නිර්මාණය කිරීමෙන් නොවේ. රටක සෞඛ්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, ආර්ථීක, කලාත්මක ක්ෂේත්‍රයන්හි වඩාත් ප්‍රගතිගාමී දියුණුවක් වී ඇත්නම් එම රට සංවර්ධනයේ ජයග්‍රහණ අත්කරගත් රටකි. විශේෂයෙන්ම රටක් සංවර්ධනය වීමේදී එරට ජනතාව වඩාත් නිරෝගිමත් පිරිසක් බවට පත්විය යුතුය. නිරෝගිමත් ජනතාවක් සිටින ඕනෑම රටක් සංවර්ධන කාර්යයේදී දැවැන්ත ජයග්‍රහණ අත්කරගෙන ඇත. එහෙත් අපේ රටට 1978 දී විවෘත ආර්ථීකය හදුන්වා දීමත් සමග සංවර්ධනය යැයි කියමින් භෞතික ක්ෂේත්‍රයන්, විශේෂයෙන්ම ඇසට පෙනෙන දේවල් රැසක් නිර්මාණය කරන ලදි. පාලකයන් සංවර්ධනය යැයි අර්ථකථනය කරන ලද්දේ එයයි. එම සංවර්ධනයේ අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ රටේ ජනතාව රෝගීන් බවට පත්වීමය.
පසුගියදා ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාවෙන් ආසියාවේ මන්දපෝෂණය උග්‍රම රටවල් කවරේද යන්න හෙළිදරව් කරන ලදි. එම රටවල් අතරින් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව ඇත. ආසියානු කලාපයේ මන්දපෝෂණය උග්‍රම රට ලෙස නම් කර ඇත්තේ මියන්මාරයයි. එහි දෙවන ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමි වී ඇත. මියන්මාරයේ මුළු ජනගහනයෙන් සියයට 26,9ක් මන්දපෝෂණයට ගොදුරු වී ඇත. ඇෆ්ගනිස්ථානයේ මුළු ජනගහනයෙන් සියයට 26.8ක් ඊට ගොදුරු වී ඇත. ලංකාවේ ඊට ගොදුරු වී ඇති ප්‍රමාණය සියයට 22කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ලක්ෂ 47ක් මන්දපෝෂණයට ගොදුරු වී ඇත. මේ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පිළිගත්තේය. ඒ අනුව ආසන්න වශයෙන් ලංකාවේ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන් පෙළේ.
ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන ලක්ෂ 47 සමස්ත ජනගහනයෙන් සියයට 22 ක් වන අතර ඉන් බරපතළම කාරණය වන්නේ මෙම මන්දපෝෂණයට ලක්වූවන් අතරින් බහුතරය ළමුන් වීමය. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කොට තිබුණේ ළමා ජනගහනයෙන් සියයට 36.1ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. ලංකාවේ සමස්ත ළමා ජනගහනය වනුයේ හතලිස් අට ලක්ෂ අසූපන් දහසකි. (48,85,000) ඉන් දාහත් ලක්ෂ හැටතුන් දහස් පන්සියයක් (1,763,500) පමණ දෙනා මන්දපෝෂණයට ගොදුරු වී ඇතිබව අමාත්‍යවරයාගේ පිළිගැනීමයි. රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා එම කාරණය පාර්ලිමේන්තුවේදී කිසිදු හිරිකිතයකින් තොරවම පිළිගත්තේය. එම තත්ත්වයෙන් ළමා පරපුර බේරාගැනීමට සමත් වැඩපිළිවෙළ කුමක්ද යන්නට අමාත්‍යවරයාට පිළිතුරු නොවීය.
ලංකාව ආසියානු කලාපයේ මන්දපෝෂණයෙන් තෙවන ස්ථානයට පත්වන්නේ 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථීක ප්‍රතිපත්තියට වසර 40ක් පිරීම තිබියදී වීම මෙහි ඇති විශේෂත්වයයි. විවෘත ආර්ථීක ප්‍රතිපත්තිය හදුන්වාදීමේදී ජයවර්ධන ආණ්ඩුව රටට ප්‍රකාශ කළේ වේගවත් සංවර්ධනයක් ඇති කරන බවත්, ඒ තුළින් ජන ජීවිතය වඩාත් සුරක්ෂිත උසස් තත්ත්වයකට පමුණුවන බවත්ය. එහෙත් සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත බව මේ හෙළිදරව්වීම් මැනවින් සාක්ෂි දරයි.
ලාංකීය සමාජය බරපතළ ඛේදවාචකයකට ඇද දැමීමට මෙරට පාලකයන් කටයුතු කර ඇති බවට මේ උදාහරණයම ප්‍රමාණවත් වේ. අපේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 43 කගේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් දෙකකට අඩුබව පසුගිය ඔක්තෝබර් මාසයේදී අගමැති වික්‍රමසිංහ හෙළිකොට තිබුණි. ඉන් කියවෙන්නේ එම ජනතාවගේ දිනක ආදායම ආසන්න වශයෙන් රුපියල් 305/- ක් පමණ වන බවය. විවෘත ආර්ථීකය හදුන්වාදීමට පුරෝගාමී වූ එක්සත් ජාතික පක්ෂය රට ඇද දමා ඇති තැන ගැන එහි වත්මන් නායකයාට කියන්නට සිදුවීම එක් අතකින් පාපෝච්චාරණයකි.
ජනතාවගේ මන්දපෝෂණයට බලපාන කාරණා රැසක් පවතින බව වෛද්‍ය මතය වේ. විශේෂයෙන්ම දරුවෙකු මවක කුස තුළ පිළිසිඳ ගත් දා සිට මෙළොවට දරුවා බිහිකරන දා දක්වා වන ක්‍රියාවලියක් පවතී. වඩාත් නිරෝගිමත් දරුවෙකු බිහි කරන්නට නම් මව ඒ සදහා සුදුසු තත්ත්වයක සිටිය යුතුය. එහිදී මවගේ පෝෂණය අතිශයින්ම වැදගත්වේ. මෙරට ගර්භනී මාතාවන්ගෙන් බහුතරයක් රක්තහීනතාවයෙන් පෙළේ. වෛද්‍යවරුන් නිර්දේශ කරන පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට මෙරට ගර්භනී මාතාවන්ගෙන් හැකියාව ඇත්තේ අතලොස්සකට පමණි. එම ගර්භනී මාතාවන්ගේ කුස තුළ වැඩෙන දරුවන්ට මව පෝෂණයෙන් අංග සම්පූර්ණ වී තිබීම වැදගත්ය. දරුවෙකු මෙළොවට බිහිවීමේදී තිබිය යුතු උපත් බර ප්‍රමාණයක් පවතී. විශේෂයෙන්ම මෙරට සියලුම ජනයාට බලපාන පොදු තත්ත්වයක්ද පවතී. ඒ පුද්ගලයන්ගේ උස ප්‍රමාණය හා උසට සරිලන බර ප්‍රමාණයයි. දරුවෙකුගේ තත්ත්වයද එයම වේ. මේ සියල්ල සලකා බලන කල්හි අපේ රටේ බහුතරයක් දෙනා අදාළ කොන්දේසි සම්පූර්ණ කර නැත. ඒ ඒ පුද්ගලයාගේ බර අනුව ලැබිය යුතු විටමින් ප්‍රමාණයන් පවතී. එසේම අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතී. දරුවෙකුගේ සාමාන්‍ය තත්ත්වය අනුව කිලෝ කැලරි 1300ක් පමණ තිබිය යුතුය. වැඩිහිටියෙකුගේ එම ප්‍රමාණය ආසන්න වශයෙන් 2500ක් පමණ වේ. සමස්ත ජනතාවගේ තත්ත්වය කිරා මැන බැලීමට අපේ රටේ කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැති වටපිටාවක අපට උපකල්පනය කළ හැක්කේ බහුතරයක් ජනතාව මන්දපෝෂණයට ගොදුරුව ඇති බව මිස අන් යමක් නොවේ.
ළමා මන්දපෝෂණය ප්‍රතිශතයක් ලෙස ගත් කල්හි අඩුබර තත්ත්වය එනම් වයසට නිසිබර නොමැති දරුවන් ප්‍රමාණය සියට 15.6කි. මිටි තත්ත්වය එනම් නිසි දිග, උස නොමැති දරුවන් සියයට 9.2කි. කෘෂ බව එනම් දිගට, උසට සරිලන බර නොමැති දරුවන් සියයට 11.3කි. මේ අනුව සමස්ත ජනගහනයෙන් සියයට 36.1ක් මන්දපෝෂණයෙන් පෙලේ. මේ දත්ත සියල්ල 2016 වසරට අදාළ වන අතර ආණ්ඩුව මේ තත්ත්වයන් නිසි ක්‍රමවේදයකින් සොයා නොබලන බව හොදින්ම තහවුරු වේ.
සමස්ත ජනගහනයම මන්දපෝෂණයෙන් පෙළෙන තත්ත්වයට මේ රට පාලකයන් විසින් පත් කරමින් ඇත. ඉන්ද බරපතළ ඛේදවාචකය වන්නේ ළමා ජනගහනය වේගයෙන් මේ තත්ත්වයට ගොදුරු වෙමින් පැවතීමය. අපේ රටේ පාලකයන් ළමුන් ගැන කතා කරන්නේ මහ ඉහළිනි. පසුගිය සමයේ රාජපක්ෂ ජනාධිපතිවරයා ළමුන් වඩාගත්තේ ආඩම්බරකාර තාත්තාගේ භූමිකාවට පණ පොවමිනි. වත්මන් පාලකයන්ද ළමුන් ඔඩොක්කුවේ තබාගෙන දේශපාලනය කරන්නේ ළමුන් බරපතළ ඛේදවාචකයකට ගොදුරුවී ඇති වටපිටාවකය. අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් දරුවන්ට ටැබ් ඛෙදන බව කියමින් රවටන්නේද මෙවන් තත්ත්වයක් පවතිද්දීය. රට බරපතළ ඛේදවාචකයකට ඇද දමා ඇත්තේ නිදහසින් පසු මෙරට පාලනය කළ පාලකයන්ය. ඔවුන් අනුගමනය කළ වැරදි ආර්ථීක ප්‍රතිපත්තීන්හි අනිටු ඵල අද මෙරට ජනතාව භුක්ති විඳිමින් සිටී. ජනතාව මේ නපුරෙන් නිදහස් විය යුතුය. මාරුවෙන් මාරුවට මේ පාලකයන්ට බලය දෙනවා වෙනුවට රටට හිතැති නව බලවේගයකට රට භාර කළ යුතුය. මහින්දලා, රනිල්ලා, මෛත්‍රීලා, තමන්ගේ නොහැකියාව දැන් ඕනෑවටත් වඩා හොදින් ඔප්පු කර ඇත. ලිහා බැලු මලූ නැවත ඔබා බලන්නට දෙයක් නොමැති බව ජනතාව තේරුම්ගත යුතුව ඇත. එසේ තේරුම් නොගන්නා තාක් මේ ඛේදවාචකයන්ට අපට මුහුණදීමට සිදුවනු ඇත.


එස්. කේ. ගමගේ