විශේෂ ආඥා තුනක් ! කෙරෙන්ස්කි අත්අඩංගුවට…

dgfg
සියොන්වාදීන්ගේ දරුණුතම පරාජය
October 11, 2017
aSDffvb
ඉතිහාසයේ නව පිටුවක් පෙරළුෑ ඔක්තෝබර් විප්ලවය
October 11, 2017
Show all

විශේෂ ආඥා තුනක් ! කෙරෙන්ස්කි අත්අඩංගුවට…

fghghg

සෝවියට් කොංග්‍රසයේ පළමුවන සැසිවාරය පැවැත්වෙමින් තිබූ ඔක්තෝබර් 26දා පාන්දර 3.10ට තාවකාලික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සිරභාරයට ගත් පුවත කොංග්‍රසයට වාර්තා කරන ලදී. දෛවයේ සරදමකට මෙන් ඒ බව කොන්ග්‍රසයට නිවේදනය කරන්නට සිදු වූයේ ඒ ඇතැම් අමාත්‍යවරුන් සමග සභාගයක් වෙනුවෙන් වෙහෙසුණු කමනෙව්ටමය. සයිකල් බැටෑලියනය බොල්ෂෙවික් පැත්ත ගැනීම ද, උතුරු යුද පෙරමුණේ හමුදා කණ්ඩායම් කිහිපයක් විප්ලවයේ පැත්ත ගැනීම ද පිළිබඳ නිවේදන ඔල්වරසන් මධ්‍යයේ ඒ සමඟම නිකුත් කරන ලදී. ඉක්බිති සෝවියට් කොංග්‍රසය විසින් බලය තමන් වෙත පවරා ගත් බවට වූ ප්‍රකාශය ලූනාචාර්ස්කි විසින් කියවනු ලැබීය.
‘කම්කරුවන්, ගොවීන් හා සෙබළුන් අති බහුතරය තුළ වූ අධිෂ්ඨානයේ පිටුබලය ද, පෙත්‍රොග්‍රාද් නුවර කම්කරුවන් ගේ හා සෙබළුන්ගේ විජයග්‍රාහී අවි ගත් නැඟිටීමේ පිටුබලය ද ලද සමස්ත රුසියානු කම්කරු, ගොවි, සෙබළ නියෝජිතයන්ගේ සෝවියට් සභාව බලය තමන් වෙත පවරා ගනී. සියලූ ම ප්‍රාදේශීය ආයතනවල බලය ඒ ඒ සෝවියට් සභාවලට පැවරේ…’
සෝවියට් කොංග්‍රසයේ දෙවන සැසිය 26 දා රාත්‍රී 9.00ට ආරම්භ වූ අතර, එදින න්‍යාය පත්‍රයට පිවිසීමට ප්‍රථම විශේෂ ආඥා තුනක් ප්‍රකාශයට පත් කරන ලදී. පළමු ආඥාවෙන් කියැවුණේ යුද පෙරමුණේ හමුදා බැරැක්ක
වල ක්‍රියාත්මක වන මරණ දඩුවම මෙතැන් සිට අහෝසි කරන බවය. තාවකාලික ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන සිටි ඉඩම් කොමිටි නියෝජිතයන් වහා නිදහස් කරන බව දෙවන ආඥාවෙන් කියැවිණි. තුන්වන ආඥාව වූයේ කෙරෙන්ස්කි වහා අත්අඩංගුවට ගන්නා ලෙස වූ නියෝගයයි.
ඉන්පසු ලෙනින් ප්‍රථම වරට කොංග්‍රසය හමුවෙහි පෙනී සිට නැෙඟන්නට වූ මහත් ජය ඝෝෂා නිමවන තෙක් බලා සිට ඉන්පසු කොංග්‍රසය ඇමතීය. ‘අපි දැන් සමාජවාදී පාලනය ගොඩනැඟීමට පටන් ගනිමු ! ඒ ප්‍රකාශයත් සමඟ පෙරටත් වඩා වූ ජය ඝෝෂා නැෙඟන්නට වූයෙන්, ඔහුට තව වේලාවක් නිහඩව සිටින්නට සිදු විය. අනතුරුව ‘පවතින දැවෙන ප්‍රශ්නය, වේදනාබර ගැටලූව සාමය පිළිබඳ ප්‍රශ්නයයි’ යනුවෙන් නව රජයේ සාම යෝජනාවේ කෙටුම් පත ඔහු කියවන්නට විය. ‘ඔක්තෝබර් 24 – 25 දිනවල කම්කරු, ගොවි, සෙබළ නියෝජිතයන් ගොඩනැඟ+ සෝවියට් රජය යුද වැදී සිටින සියලුම රටවල ජනතාවන්ට හා ආණ්ඩුවලට යුක්තිසහගත හා ප්‍රජාතන්ත්‍රවාදී සාමයක් සඳහා වූ සාම සාකච්ඡා වහා අරඹන්නැයි යෝජනා කරයි. යුක්තිසහගත හා ප්‍රජාතන්ත්‍රවාදී සාමයක් යන්නෙන් අපේක්ෂා කරන්නේ ඈඳා ගැනීම්වලින්, හානි වන්දි ගෙවීම්වලින් තොරවූ සාමයකි. මනුෂ්‍ය වර්ගයා විසින් බිහි කළ දියුණුම ජාතීන් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශ හා ජර්මන් ජාතීන්ගේ පංති හැඟීමෙන් යුතු කම්කරුවන්ට අප මේ සාම යෝජනා මඟින් විශේෂයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ…’
ඉනික්බිති ඉඩම් ආඥාව ප්‍රකාශයට පත් කරන ලදී. ‘සියලුම වතුපිටි, තාපසාරාම හා පල්ලි ඉඩම් ද, ඒවාට අයත් සියලුම දේපළවල අයිතිය ගොවි සෝවියට් ඉඩම් කොමිටි වෙත පැවරේ. ඒ අනුව සියලුම විශාල ඉඩම්වල පෞද්ගලික අයිතිය අහෝසි වන අතර, ඒවා වගා කිරීම පිණිස ගොවීන් වෙත ඛෙදා දෙනු ලැබේ. එහෙත්, දැනට සංවර්ධනය වී ඇති විශාල ගොවිපොළවල් ඛෙදා දීමක් සිදු නොකරන අතර, ඒවා රජයට හෝ ගොවි කොමියුන්වලට අයත් ආදර්ශ සමූහ ගොවිපළ බවට පත් කෙරේ. පහළ ගොවීන් සහ සුළු කොසැක්වරුන් සතු ඉඩම් රජයට පවරා ගැනීමක් සිදු නොවේ…’
ඉන්පසු නව ආණ්ඩුව පිහිටුවනු ලැබීය. අමාත්‍යවරයා යන්නෙන් ‘ප්‍රභූත්වයක්’ ධ්වනිත වූයෙන් සෝවියට් ආණ්ඩුවේ ඒ තනතුර දරන්නන් මහජන කොමිසාර් ලෙස නම් කෙරිණ. කැබිනට් මණ්ඩලය හෙවත් ආණ්ඩුව හැඳින්වූයේ ‘මහජන කොමිසාර් කවුන්සිලය’ යනුවෙනි. එක එක නමට නැඟ=ණු අඩු-වැඩි අත්පොළසන් මධ්‍යයේ මහජන කොමිසාර් මණ්ඩලය ප්‍රකාශයට පත්විය. සභාපති ව්ලැඩිමීර් උල්‍යානොව් ලෙනින්, අභ්‍යන්තර කටයුතු – ඒ. අයි. රයිකොව්, කෘෂිකර්ම – වී. බී. මිලියුතින්, කම්කරු – ඒ. ජී. සිලියප්නිකොව්, හමුදා සහ නාවික කටයුතු – ඇන්ටනොව් ඔව්සෙන්කෝ, එන්.වී. ක්‍රපයිලෙන්කෝ, පී.ඊ. දයිඛෙන්කෝ, වෙළෙඳ හා කර්මාන්ත – වී. පී. නොගින්, අධ්‍යාපන – ඒ.වී. ලූනාචාර්ස්කි, මුදල් – අයි.අයි. සේටෙප්නොව්, විදේශ කටයුතු – අයි.ඩී. බ්රොනන්ස්ටීන් (ට්‍රොට්ස්කි), අධිකරණ – ජී. අයි. ලොවොව්, සැපයුම්- අයි.ඒ. තියඩෝවිච්, තැපැල් – එන්.අයි. අව්ලෝව්, ජාතීන් පිළිබඳ – අයි.වී. ඩිෂියුගාස්විලි (ස්ටාලින්) දුම්රිය – පසුව පත්කෙරේ.
සෝවියට් සම්මේලනය තුළ බොල්ෂෙවික් පක්ෂයට බහුතරය පවත්වා ගැනීමට සහාය දුන් බොල්ෂෙවික් නොවන එකම සංවිධානය වූ වාම සමාජවාදී විප්ලවවාදී පක්ෂය ද බොල්ෂෙවිකයන් හා මුළුමනින්ම එකඟ වී නොසිටියේය. එහි නායක මාරියා ස්පිරිඩිනෝවා තම පක්ෂය වෙනුවෙන් සෝවියට් සම්මේලනය ඇමතූ අයුරු ජෝන් රීඩ් මෙසේ සටහන් කරයි. ‘මහජන කොමිසාර් කවුන්සිලයට ඇතුළත් වීම අපි ප්‍රතික්ෂේප කරමු. එසේ ඇතුළත් වුවහොත්, බොල්ෂෙවික් හා අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් අතර සම්බන්ධීකාරකයන් ලෙස ක්‍රියා කිරීමට අපට නොහැකි වනු ඇත. ඒ සම්බන්ධීකරණය මේ අවස්ථාවේ අපේ ප්‍රධාන යුතුකමක් යයි සලකමු. සමාජවාදී සභාග ආණ්ඩුවක් හැර වෙනත් කිසිවක් අපට අනුමත කළ නොහැකි හෙයිනි. මේ සියල්ලටම වඩා බොල්ෂෙවික්වරුන් ගේ කෘෘර හැසිරීමට අපි විරුද්ධ වෙමු. අපගේ කොමිසාර්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් පන්නා දමන ලදී. අපගේ එකම පුවත්පත ‘ස්නෝමියා ට්රූඩා’ එළිදැක්වීම ඊයේ තහනම් කරන ලදී… මධ්‍යම ඩූමාව ගැලවීමේ කොමිටියක් පිහිටුවමින් සිටී. එය ඔබ හා සටන් කරනු ඇත. ඔබ හුදකලා වී ඇත. ඔබේ ආණ්ඩුව වෙනත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමක සහාය නොලබයි..’
‘නොවායා ෂිස්න්’ කර්තෘ මණ්ඩලයේ සාමාජික අව්ලෝව් විසින් නව ආණ්ඩුව පිළිබද වූ මෙන්ෂෙවික් ජාත්‍යන්තර පිලේ ‘නොවායා ෂිස්න්’ කණ්ඩායමේ (ගෝර්කිගේ පුවත්පත වටා වූ කණ්ඩායමේ) තක්සේරුව සම්මේලනය ඉදිරියේ තබන ලදී. ‘කොහේ යන්නේදැයි අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතු වෙමු. සභාගී ආණ්ඩුව බිඳ දැමුවා නොව ජනතාවට සාමය හා ආහාර ලබා දීමට අපොසත් වීම නිසා බිඳ වැටුණා පමණි. මේ ප්‍රශ්න විසඳීමට අපොහොසත් නම් වාමාංශයට ද බලයේ රැඳී සිටීමට නොහැකිය. ආහාර සැපයිය හැකි ද? ධාන්‍ය හිඟය බරපතළය. ඉන්ධන සහ අනෙකුත් මූලික අවශ්‍යතාවයන් ද ලබා ගත නොහැකිය. සාමය පිළිබඳ තත්ත්වය ඊටත් වඩා දුෂ්කරය. මිත්‍ර ජාතීන් ඔබගේ සාම යෝජනා පිළිගනී ද? බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ කම්කරු පංතියේ සහාය ඔබ බලාපොරොත්තු විය යුතු නොවේ. ඔවුන් සිටින්නේ විප්ලවයට බොහෝ ඈතිනි. යුද සමයේ සමාජවාදී විප්ලවයක් කිසිසේත් කළ නොහැකි යැයි ජර්මන් වාමාංශිකයෝ කියති. රුසියාවේ තනි වීම තුළින් ඇති වන භයානක ප්‍රතිඵලය නම්, රුසියාවට අවාසිදායක සාම ගිවිසුමක් ඇති වීමයි. එය ප්‍රංශය, බ්‍රිතාන්‍ය හා ජර්මනිය අතර හෝ රුසියාව හා ජර්මනිය අතර විය හැකිය. ගලවා ගැනීමේ කොමිටි රුසියාවේ සෑම නගරයකම පිහිටුවන බව අසන්නට ලැබේ. මිත්‍ර ජාතික තානාපතිවරු රුසියාව හැර යාමට සූදානම් වන බව ඇසේ. මේ සියලු දුෂ්කරතා තනි පක්ෂයකට ජය ගත නොහැකිය. ජනතා සහාය ලබන සමාජවාදී සභාග ආණ්ඩුවකට පමණක් විප්ලවය සාර්ථක කර ගත හැක’
බොල්ෂෙවික් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව එය පත්වීමට පෙර සිටම යම් යම් තැන්වලින් සැකසංකා මතුවිණි. ඔක්තෝබර් 24 දා රෑ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු විරාමයේ දී කමනෙව් හා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ලෙනින් කී කථාවක් මෙසේය. ‘ඔබ දැන් කියන්නේ ආණ්ඩුව අල්ලාගෙන සති දෙකකට වඩා පවත්වාගෙන යන්න බෑ කියලනෙ, හැබැයි ඔබ අවුරුදු දෙකකින් පස්සෙ කියයි බොල්ෂෙවික් ආණ්ඩුව තව අවුරුදු දෙකකට වඩා කල් පවත්වාගෙන යන්න බෑ කියා’
දක්ෂිණාංශිකයෝ බොල්ෂෙවිකයන් බලය අත් පත් කර ගන්නවාට රහසේ කැමැත්ත දැක්වූහ. බොල්ෂෙවික් ආණ්ඩුවක් වැඩි කල් නොපවතින බව ඔවුන් තරයේ විශ්වාස කළ අතර, එම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මඟින් රට තව තවත් පිරිහීමට ලක් වන්නේ යැයි ද, එමඟින් සමස්ත සමාජවාදී ව්‍යාපාරයම මහජන අප්‍රසාදයට පත් වන්නේ යැයි ද, ඉන් පසු පහසුවෙන් දක්ෂිණාංශික ආඥාදායකත්වය පිහිටුවා ගත හැකි යැයි ද යනු ඔවුන්ගේ තක්සේරුව විය.
ඊළඟට බොල්ෂෙවික් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව සැකයන්ට ට්‍රොට්ස්කි පිළිතුරු දෙන්නට විය. ‘අපේ පක්ෂය හුදකලා වීමේ භයානකකම ගැන බලාපොරොත්තු අලුත් නැත. කැරැල්ල ආරම්භ වීමට ආසන්න වෙත්ම අපගේ මාරාන්තික පරාජයන් ගැන අනාවැකි පළ විය. එහෙත්, කිසිදු ලේ සෙලවීමකින් තොරව ආණ්ඩුව පන්නා දැමීමට අපට හැකි වූයේ කෙසේ ද? අප හුදකලා වී නැති බව සනාථ කිරීමට ඒ කරුණම ප්‍රමාණවත්ය. ඇත්ත වශයෙන්ම අතරමං වී ඇත්තේ තාවකාලික ආණ්ඩුව හා අපට විරුද්ධව පෙළ ගැසුණු වාමාංශික පක්ෂමයි. සහභාගී ආණ්ඩුවක් ගැන ඔබලා කියති. එක් සභාගයක් නම් ඇති විය හැකිය. ඒ කම්කරු ගොවි සෙබළ ජනතා සභාගයයි. යම්කිසි පක්ෂයක් විප්ලවයේ මුදුනට නැඟ සිටින විට වෙඩි ඛෙහෙත් දුමින් තවමත් පරිසරය වැසී තිඛෙන මොහොතක මෙන්න බලය, එය භාර ගන්නැයි කියන මොහොතක එය භාර ගැනීමට සිටින අය සතුරා ළඟට යන්නේ නම්, එය අනුකම්පා විරහිත යුද ප්‍රකාශනයකි. ඒ අනුව යුද ප්‍රකාශ කෙළේ අප නොවේ.
ට්‍රොට්ස්කිට අනුව රුසියානු විප්ලවයේ පැවැත්ම රඳා පැවතුණේ වාමාංශික සභාගයක් තුළ නොව යුරෝපය තුළය, යුරෝපා කම්කරු පංතියේ ක්‍රියාකාරීත්වය තුළ ය. ඔහු තම පිළිතුර අවසන් කරමින් ඒ බව මෙසේ පැවසීය.
‘අධිරාජ්‍යවාදී ධනපතියන් යුරෝපය දිගටම පාලනය කරන්නේ නම් රුසියාවේ පරාජය නොවැළැක්විය හැකිය. විකල්ප දෙකක් ඇත. එක්කෝ රුසියානු විප්ලවය විසින් යුරෝපයේ විප්ලවීය අවස්ථාවන් ඇති කළ යුතුය. නැතිනම් යුරෝපීය බලවේගයන් විසින් රුසියානු විප්ලවය පරාජය කළ යුතුය.’
මේ වන විට ඔක්තෝබර් 27දාට පහන් වෙමින් තිබුණේය. ‘රාත්‍රී ශීත තවමත් පැවැති මුත් සෙබළුන් විසින් දැල් වූ ගිනිමැල නිවී යමින් තිබුණේය. අද්භූත බවක් ඉසිලු සුදුමැලි මලානික ආලෝකයක් පමණක් නිහඩ වීදි ඔස්සේ ගලා යන්නට විය. බිහිසුණු අරුණෝදයක ඡායාව රුසියාව අභියස නැඟ එමින් තිබුණේය.’ ජෝන් රීඩ් විසින් එලෙස ලියනු ලැබුවේ මීට පෙර දින උදෑසන පිළිබදවය. එහෙත්, එය උචිත වන්නේ මේ උදෑසන පිළිබඳවය.


චන්ද්‍රසේන බදුගම