සිසු ජීවිත හත්දාහක් අනතුරේ හෙළා පාලකයන් මර නින්දේ

Untitled-1
රටේ ජනතාවගෙන් ලක්ෂ 47කට මන්දපෝෂණය
October 11, 2017
hhhh
සීමා නිර්ණය මාස 4න් අවසන් කරනවා
October 11, 2017
Show all

සිසු ජීවිත හත්දාහක් අනතුරේ හෙළා පාලකයන් මර නින්දේ

fgjh

පසුගිය සැප්තැම්බර් 14 වෙනිදා ඌව පළාත් සභාවේදී ඇඟ හිරිපොළා යන කතාවක් කන් ඇසෙන අයට අහන්න ලැබුණා. මේ නාය යාමකින් සිදුවුණු ස්වාභාවික විපතක් නෙවෙයි. සාපරාධී සමූහ මිනිස් ඝාතනයක්. මිනිසුන් හතළිහක් පණපිටින් පස්වලට යටවී මියගියා. සාපරාධී සාමූහික මනුෂ්‍ය ඝාතනයක් බව අපි කියන්නේ ඇයි?
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීරියබැද්ද මහා නායයාමක අනතුර තිඛෙන බවට ලිඛිතව වාර්තාවක් දුන්නේ 2005 දී. එහෙම නම් පාලකයන් කරන්න ඕනෑ වහාම එම ජනතාව නායයාමේ සීමාවෙන් ඉවත් කරලා ජීවිත සුරක්ෂිත කරන එක. නමුත් මේ පාලකයන් ඒ කටයුත්ත කළේ නෑ. ජනතාවගේ ජීවිතවලට වග නොකියන පාලකයෝ රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මහජන ධනය විනාශ කරනවා. මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම ගැන තඹ දොයිතුවක සැලකිල්ලක් දක්වන්නේ නෑ.
සාමූහික මිනිස් ඝාතනයක් ගැන මේ අතිශය බරපතළ චෝදනාව ප්‍රසිද්ධියේ පළාත් සභාව තුළදී එල්ල කළේ ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නය. එයින් නොනැවතී කිලිපොළා යන තොරතුරු එම කතාවේදී හෙළිකර තිබිණි. මේ ලිපිය පළවන්නේ ඔක්තෝබර් 01 වෙනිදාට නිකුත්වන පත්තරයෙන්. ඔක්තෝබර් 01 කියන්නේ ‘ලෝක ළමා දිනය’ වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්කර තිඛෙන දිනයයි. සමන්ත විද්‍යාරත්න ජවිපෙ මන්ත්‍රීවරයා හෙළිකර තිබුණේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ජීවිත හත්දහසකට වැඩියෙන් මීරියබැද්ද නායගිය ආකාරයටම අනතුරේ හෙළා තිබීම ගැනය. මහජනතාවගේ ජීවිතවලට වගනොකියන පාලකයන් නොඇසූ කන්ව සිටීම ගැන චෝදනා කරමින්ය. නොදුටු ඇසින් සිටීම ගැන චෝදනා කරමින්ය. එයින් පසුවද සති දෙකක් ගෙවී ගොස් තිබුණද ඇස් යොමුකර ඇති බවක් නොපෙනේ.
මන්ත්‍රීවරයා හෙළි කළේ බදුල්ල දිස්ත්‍රික්කයට අදාළව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය 2011 වසරේ සිට වරින්වර නිකුත් කරන ලද වාර්තාවලින් හෙළිකර තිඛෙන අතිශය බිහිසුණු කරුණක් පිළිබඳවය. බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 19 ක් නාය යාමේ අධික අනතුරු සහිත ස්ථානවල පිහිටා තිඛෙන බවය. එම පාසල්වල ඉගෙනගන්නා සිසු සිසුවියන් සංඛ්‍යාව 7168 ක් ය. ගුරුවරුන් 424 ක් මේ විදුහල්වල සේවය කරති. ‘ජනතාවගේ ජීවිතවලට වග නොකියන පාලකයන් යනුවෙන් කරන චෝදනාව කොතරම් බිහිසුණු තත්ත්වයක් ගැන දැයි සිහිබුද්ධිය ඇති කාටත් මෙයින් වැටහෙනු ඇත.
ජවිපෙ මන්ත්‍රීවරයා වැඩිදුරටත් හෙළිකළේ මේ පාසල් දහනවය අතර බණ්ඩාරවෙල උඩුකුඹල්වෙල ශ්‍රී සුදර්ශී අඳ ගොළු බිහිරි පාසලද තිඛෙන බවය. මේ පාසල පැය විසිහතරේම ක්‍රියාත්මක එකක්. පැය විසි හතර පුරාම ළමුන් එහි රැඳී ඉන්නවා. ඔවුන්ගේ ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. කතාකරන්න බෑ. මේ දරුවෝ 151 ක් විද්‍යාලයේ ඉන්නවා. ගුරුවරු 31 ක් දෙනෙක් ඉන්නවා. කොයි මොහොතක හරි නායයාමකට ලක්වුණොත් මේ දරුවෝ පස් අතර යටවෙනවා. ජනතාවගේ කරගැට පිරුණු අත්වලින් කතිරය ගහලා පත්කර ගන්නා පාලකයන් මහජනතාවගේ ජීවිතවලට වගකියන්නේ මෙහෙමයි.
ලෝක ළමා දිනයට පාලකයන් මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් වර්ෂයක් පාසා නොයෙක් සංදර්ශන කරති. මේ වසරේද එසේමය. ඒ අතර ‘හොඳම දේ ළමයින්ට’ යන ලෙනින්ගේ ආදර්ශ පාඨය කටමැත දොඩවති. ඒ ආදර්ශ පාඨය කියුවේ කවුරුන්ද යන්න හෝ නොදැනය. ඔහේ දොඩවනවා පමණය. ‘හොඳම දේ ළමයින්ට’ කියන පාලකයන් අන්තිම අඩුම තරමේ අඳ ගොළු බිහිරි දරුවන් අධ්‍යාපනය ලබන පාසල නායයාමේ තර්ජනයක් තිඛෙන බව ප්‍රකාශ කළවිට එහි තිඛෙන සුවිශේෂී බව සලකා බලා පිළියම් යෙදිය යුතුය. නිකම්ම නොව ඉක්මනින් පිළියම් යෙදිය යුතුය. එහෙත් වාර්තාව නිකුත් කර වසර කීපයක් ගෙවීගොස් තිබුණත් පාලකයන් ඇහැක් ඇරලාවත් බලන්නේ නැත.
මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමුකළ යුතු දෙයක්ද තිබේ. එය නම් මේ තත්ත්වය මතුවී ඇත්තේ උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියේ බලපෑම නිසා නොවන බවය. එහි බලපෑමට මේ වනවිට තවත් පාසල් ගණනාවක්ම ගොදුරු වී තිබේ. අඩුම තරමින් පාසල් හතක්වත් එම අවධානමේ තිඛෙන බව ජනතාව හඳුනාගෙන ඇත. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයද හඳුනාගෙන ඇත. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු සිටිති. ඌව පළාතට ද අධ්‍යාපන ඇමතිවරයෙක් සිටී. මේ එකෙකුගේ හෝ ඇස් කන් ඇති බවක් නොපෙනේ. තමන්ගේ සකල සිරින් පිරි සුරලෝක ජීවිතවලට මහජන ධනය කෝටි ගණනින් වැය කරමින් යෙහෙන් වැජඹෙනවා පමණය.
එසේම තවත් පැත්තකින් නායයාමේ තර්ජනයට ලක්ව ඇති පාසල් දහනවය මැතිවරණ කොට්ඨාස ගණනාවක පවතී. ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල, හාලි ඇල, බදුල්ල සහ පස්සර වශයෙන්ය. මේ මැතිවරණ කොට්ඨාස නියෝජනය කරන පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් හා ඇමතිවරුන්ද සිටිති. මේ එකෙකුගේවත් ඇස් පෙනෙන්නේ නැතිද? කන් ඇහෙන්නේ නැතිද? ජනතාවට සිදුවන ජීවිත අවධානමේ වේදනා සහ අපමණ දුක් ගැහැට හමුවේ ඇස් කන්වලට හෙණ වැදී ඇති පරිද්දෙන් සිටිති. මෙහි අවසානය කුමක්ද? මීරියබැද්ද නායයාම පිළිබඳ අනතුරු ඇඟවූයේ 2005 දීය. එය නායගියේ 2014 සැප්තැම්බර් මාසයේය.
මේ වනවිට අනතුරු ඇඟවීම් කර තිඛෙන පාසලක් හෝ නායයාමට ලක්වී දරුවන්ගේ ජීවිතවලට හානියක් සිදුවුවහොත් ඉන්පසු ජනතාව කළයුත්තේ කුමක්දැයි දැන් තියාම කල්පනා කිරීම අවශ්‍යය. මන්ද පාලකයන් මහජන ජීවිතවලට වග නොකියන නිසාය. පාලකයන්ගේ ගෙවල්වල හැදෙන බල්ලන්ටත් අන්ත තැනකට රටේ දරුවන්ගේ ජීවිත ඇදදමා තිබේ. මේ බව තම තමන්ගේ දරුවන්ගේ ජීවිතවල නාමයෙන්වත් තේරුම් ගැනීමේ හා ඒ අනුව ක්‍රියාකිරීමේ වගකීම දෙමාපියන් ඇතුළු වැඩිහිටි පරපුරට තිඛෙන බව මෙහිදී අවධාරණය කිරීම අවශ්‍යය.


ලංකා මාරසිංහ