සීමා නිර්ණය මාස 4න් අවසන් කරනවා

fgjh
සිසු ජීවිත හත්දාහක් අනතුරේ හෙළා පාලකයන් මර නින්දේ
October 11, 2017
gjhk,
ජනතාවගේ ඡන්ද අයිතියට ද්‍රෝහි වුණේ කවුද?
October 11, 2017
Show all

සීමා නිර්ණය මාස 4න් අවසන් කරනවා

hhhh

එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

පළාත් සභා සංශෝධන පනත කඩිමුඩියේ එක දවසකින් සම්මත කරගෙන පළාත් සභා මැතිවරණ තුනක් කල් දැමූ බවට ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

විසිවන සංශෝධනය ගෙනාවේ මුළු රටේම පළාත් සභා නවයේම ඡන්දය එක දිනයක තැබීමටයි. එතනදී සමහර පළාත් සභා කාලය ඉදිරියට ගන්න පුළුවන්. නමුත් ඒවා කල්දාන්න බෑ කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. එම සංශෝධනයේදී මැතිවරණ ක්‍රමය වෙනස් කෙරුණේ නැහැ. එය සම්පූර්ණ වෙනස් දෙයක්. විසිවන සංශෝධනය සම්මත වුණා නම් වෙනම පනතකින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න ඉඩ තිබුණා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගෙන ජනමත විචාරණයකට නොගොස් මැතිවරණය පැවැත්විය හැකි ලෙස තිඛෙන මැතිවරණ ක්‍රමය වෙනස් කළා. තිඛෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන කොට මැතිවරණයට මාස කීපයක ප්‍රමාදයක් ඇති වෙනවා. එසේ නැත්නම් සිදු වන්නේ මෙම පළාත් සභා සඳහා පැරණි ක්‍රමයට වහාම මැතිවරණයක් තැබීමටයි. එතැනදී සිදුවන්නේ එම පළාත් සභා තුනේ ඡන්ද අළුත් ක්‍රමයට තැබීම සඳහා තවත් වසර පහක් බලා ඉදීමට සිදුවීමයි. ඡන්ද ක්‍රමය වෙනස් නොකර මේ පළාත් සභා තුනේ ඡන්දය තැබුවොත් සිදුවන්නේ එයයි. පළාත් සභා තුනක් පැරණි ක්‍රමයට පත් කොට ඉතිරි හය අලුත් ක්‍රමයට පත් කිරීමේ තේරුමක් නැහැ. ඒ නිසා ජනමත විචාරණයක් නැතිව විසිවන සංශෝධනය කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ නිසා ඉක්මනින්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව තීරණය කළා. හොඳ වෙලාවට ඒ ක්‍රමයම පළාත් පාලන ආයතනවලට දමා තිබූ නිසා ඒ කෙටුම්පත්ම පාවිච්චි කොට පළාත් සභා මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න පුළුවන් වුණා. මේ නිසා සීමා නිර්ණය කරන තුරු මාස කීපයකින් මැතිවරණය කල් යන බව ඇත්තයි. නමුත්, මෙහි හොඳ පැත්ත බැලීමේ දී ජනතාව කවුරුත් එපා කියන මනාප ක්‍රමය මේ මඟින් අහෝසි කෙරුණා. එසේම පළාත් සභා මැතිවරණවල දීත් එක් එක් කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙකු පත්වෙනවා. තම කොට්ඨාසයට මන්ත්‍රීවරයෙකු ඕනෑ යැයි ජනතාව කියමින් සිටියා. මෙමගින් එයත් ඉෂ්ට වෙනවා. ඊළඟට පළාත් සභාවල සාමාජිකත්වයෙන් සියයට විසිපහක් (25%) කාන්තාවන් බවට සහතික වෙනවා. ඊළඟට සමානුපාතික නියෝජන ක්‍රමය නොවෙනස්ව එසේම පවතිනවා. ඒ අනුව ජනතාව වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි මැතිවරණ ක්‍රමයක් මෙමඟින් ලැබී තිඛෙනවා. මේ පළාත් සභා මැතිවරණයේ අත්දැකීම් මඟින් අපට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේත් අවශ්‍ය සංශෝධන සහිතව මෙවැනි වෙනසකට යා හැකියි. මාස කීපයක ප්‍රමාදයක් ඇති වීමට වඩා ඉතාම හොඳ මැතිවරණ ක්‍රමයක් නීති පොතට ඇතුළත් කිරීමට ලැබීම වැදගත් කියා මා හිතනවා. මෙහි දී වැඩිම වුණොත් තිඛෙන්නේ මාස හතරක පහක ප්‍රමාදයක් පමණයි. එනම් සීමා නිර්ණයට යන කාලය පමණයි.

කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ගෙනා සංශෝධනය ඉදිරියට දමා ඒ මතින් ඊට වඩා විශාල සංශෝධන ප්‍රමාණයක් ඇතුළත් කිරීම් සම්ප්‍රදායට අනුකූල නොවන බවට චෝදනා නැගෙනවා.

ඊට හේතුව විසිවන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුණා නම් පළාත් සභා කල් යන කාලය තුළ අලුත් මැතිවරණ ක්‍රමය පනතක් ලෙස ගේන්න තිබුණා. නමුත් ඉන් කල් දමන්න බැහැ කී නිසා මෙම සංශෝධන පනතට කරුණු වැඩිපුර එක්කොට මැතිවරණ ක්‍රමය වෙනස් කළා. එසේ නැතිව පළාත් සභා තුනක එක් ක්‍රමයකට ඉතිරි හයේ අලුත් ක්‍රමයටත් ඡන්දය තබනවාට කවුරුවත් කැමති වෙයි කියා මා නම් හිතන්නේ නැහැ. සුළු ප්‍රමාදයක් සිදු වුවත් සුදුසු වන්නේ එකම ක්‍රමයකට ඡන්දය තැබීමයි.

සීමා නිර්ණය වැන කරුණුවලට මුවාවෙලා ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණ කල් දමාවිද?

එහෙම බැහැ. මාස හතරක් ඇතුළත සීමා නිර්ණය වාර්තාව දිය යුතු යැයි එහි පැහැදිලි වගන්තියක් තිඛෙනවා.

එසේ නම් පළාත් සභා ඡන්දය පවත්වන කාලය ගැන නිශ්චිතව කියන්න පුළුවන්ද?

පළාත් පාලන සීමා නිර්ණය වාර්තාව ලැබුණ ගමන් ඉදිරි ක්‍රියාවලිය පටන් ගන්න වෙනවා. මැතිවරණය පරක්කු කිරීමට මැතිවරණ කොමිසමට බැහැ. මැතිවරණය තීන්දු කරන්නේ ආණ්ඩුව නෙවෙයිනේ. මැතිවරණ කොමිසම ඇත්තේ ඒ සඳහායි.

විශේෂයෙන් මැතිවරණය දක්වා ක්‍රියාවලිය කෙරෙන්නේ කොහොමද?

සීමා නිර්ණය වාර්තාව ලැබී එය ගැසට් කළායින් පසු ආණ්ඩුවට කිසිවක් කරන්න බැහැ. එයින් පසු ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. ඉන්පසු මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක්. සීමා නිර්ණය ගැසට් කළ ගමන් මැතිවරණය තැබිය යුතුයි.

මේ සියල්ලෙන්ම ප්‍රදර්ශනය වන්නේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බව නේද?

ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණා. ඒ තමයි එකම දිනයක සියලු පළාත් සභා මැතිවරණ පැවැත්වීම. ඒක ජනතාවගේ තවත් ඉල්ලීමක්. පළාත් සභා නවයේම ඡන්ද දාම් ලෑල්ලේ ඉත්තෝ අදිනවා වගේ එක් එක් වර නොතබා එකම දිනයක පැවැත්වීමට හැම දෙනාම එකඟ වුණා. එම විසිවන සංශෝධනයට ඉඩ නොලැබුණ නිසා මෙසේ මැතිවරණ ක්‍රමය පමණක් වෙනස් කිරීමට සිදු වුණා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව වත්මන් තත්ත්වය කුමක්ද?

ඒ සම්බන්ධව අප ඉතාමත් සාධනීය තත්ත්වයකට පැමිණ තිඛෙනවා. අවුරුදු එකහමාරක් පමණ සාකච්ඡා කොට ප්‍රධාන කාරණා පිළිබඳව කොමිසමේ අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට අපට හැකි වී තිඛෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය හා බලය විමධ්‍යගත කිරීම එහි අඩංගුවයි. එහි අනුකමිටු වාර්තා ගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළා. එම වාර්තාව කියවූ විට සැබෑ තත්ත්වය බොහොම පැහැදිලිව පේනවා. සමහර පක්ෂ වෙනස් වෙනස් මත ඉදිරිපත් කර තිඛෙන බව ඇත්තයි. එය ඔවුන්ගේ අයිතියක්. එම කරුණු පිළිබඳ පක්ෂ අතර සාකච්ඡා ඇති වී සියල්ලන් එකම මතයකට ආ යුතුයි. නම්‍යශීලීව ව්‍යවස්ථාව සෑදීමට එකඟ විය යුතුයි. එකඟත්වයක් නැතිව ව්‍යවස්ථාව සෑදෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය ව්‍යවස්ථාව හැදුවේ ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක බලය තිඛෙන කාලයේයි. ඒ වගේම 1972දී සමඟි පෙරමුණ තිබුණ කාලයේත් එසේ තමන්ට අවශ්‍ය ලෙස ව්‍යවස්ථාව වෙනස් කළා. එහෙම හදන ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. මේ පක්ෂවල මත අතර ඇති වෙනස ඉදිරි මාස දෙක තුන තුළ සාකච්ඡා කර ඒ වෙනස තවත් අඩු කරගෙන ඉදිරියට ආවොත් මේ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකිවෙනවා. මේ අපට ලැබී තිඛෙන්නේ ස්වර්ණමය අවස්ථාවක්. එනම් රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට වැඩ කිරීම එක් කරුණක්. අනෙක දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ඉතාමත්ම මධ්‍යස්ථ මතධාරී නම්‍යශීලී ස්ථාවරයක ඉන්නවා. දෙමළ ජනතාවගෙන් අති බහුතරය උතුරු නැෙඟනහිර දෙමළ ජනතාව එම නම්‍යශීලී ස්ථාවරයේ ඉන්නවා. මුස්ලිම් හා කඳුරට දෙමළ ජන කොටස්වල සහාය තිඛෙන පක්ෂත් මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල  දී කටයුතු කරන්නේ ඉතාමත් ධනාත්මක විදියටයි. දකුණ ගත්තොත් දකුණේ විපක්ෂයේ ඉන්න පක්ෂ දෙකක් වන ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාකච්ඡාවේ සිටින අතර, බොහෝ කරුණුවලට සහයෝගය දෙනවා. ඒ නිසා මෙවැනි දේශපාලන ග්‍රහ පිහිටීමක් ආයෙත් ජීවිතේට මේ රටට උදා වෙන්නේ නැහැ. කඩාකප්පල්කාරී හේතු නිසා හෝ එක් එක් පක්ෂ නම්‍යශීලී නොවී තම තමන්ගේ ස්ථාවරවලට එල්ලී සිට මෙය කර ගැනීමට බැරිව මෙම ස්වර්ණමය අවස්ථාව ගිලිහී ගියොත් එයින් තැන ලැඛෙන්නේ උතුරේත්, දකුණේත් අන්තවාදීන්ටයි. දැනටමත් උතුරේ සිටින අන්තවාදී කොටස් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට අභියෝග කිරීමට කඳවුරු බදිමින් සිටිනවා. මේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රතිසංස්කරණ ඉදිරියට යාමට බැරිවුණොත් ඒ අන්තවාදී කොටස්වලට ජයග්‍රහණය ලැඛෙනවා.
උතුරේ හා දකුණේ අන්තවාදීන් හැම විටම ඔවුන්ගේ කටයුතු මගින් එකිනෙකා පෝෂණය වන ආකාරයට කටයුතු කරනු ලබන බව අප අත්දැකීමෙන් දැක තිඛෙනවා. ඒ නිසා අද රටේ අවශ්‍යතාව වන්නේ මේ පක්ෂ අතර සාකච්ඡා මඟින් ඔවුනොවුන්ගේම අතර වෙනස අඩු කරගෙන එක තනි ලියවිල්ලකට එකඟවීමයි.


පද්මා වේරගොඩ ආරච්චි