ඖෂධ ප්‍රතිපත්තියට මුවා වී ඇමති රාජිත කරන ඖෂධ ජාවාරමේ ඇත්ත කතාව මෙන්න

කාටූන් 08
2017/10/15
October 16, 2017
යෝgaghvb
බ්‍රවුන්ස් හිල් ඉඩමේ රාජපක්ෂ භූතයෝ
October 16, 2017
Show all

ඖෂධ ප්‍රතිපත්තියට මුවා වී ඇමති රාජිත කරන ඖෂධ ජාවාරමේ ඇත්ත කතාව මෙන්න

(QUALITY ASSURANCE)

වර්ෂ 1987 දී එස්.පී.එම්.සී. (SPMC) නමින් රාජ්‍ය ආයතනයක් පිහිටුවන්නේ මෙරට දුප්පත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ නිපදවීම සඳහාය. එම ආයතනය අවුරුදු තිහක කාලයක් මෙරට බටහිර ඖෂධ නිපදවීම සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම, පළපුරුද්ද ලබා ඇති එකම රාජ්‍ය ආයතනයයි. එමගින් බෝ නොවන රෝග සඳහා ඖෂධ, ප්‍රති ජීවක ඖෂධ අත්‍යවශ්‍ය විටමින් වර්ග, පැරසිටමෝල් පෙති ආදි වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළේය. එස්.සී.එම්.සී. ආයතනය මගින් සිදු කළ තවත් සුවිශේෂ කාර්යයක් වූයේ ඉහත ඖෂධවල මිල පාලනය කිරීමයි. ඒ නිසා ඖෂධ නිපදවන පෞද්ගලික ආයතන සහ සමාගම වලට අවශ්‍ය අයුරින් අත්‍යවශ්‍ය ඖෂධ වල මිල නියම කිරීමට නොහැකි විය.
ලැඛෙන ඕනෑම පොදු දේපොළක් විකූණාගෙන කෑම සම්බන්ධයෙන් චිර ප්‍රසිද්ධියක් ඇති, ධීවර වරායන් පවා විකුණාගෙන කෑ ඇමති රාජිත සේනාරත්නට මේ සියල්ලේ පාලනය හිමි වන්නේ 2015 වසරේදී සෞඛ්‍ය ඇමති ධුරය හිමි වීමත් සමගය. තමන්ට ඇමති ධුරය ලැබීමත් සමග ඉහත කී ආයතනය ජාවාරම්කාර බූවල්ලන්ගේ පහසු ගොදුරක් බවට පත් වී ඇත. ඒ අනුව පුද්ගලික අංශයේ ඖෂධ ජාවාරම්කාරයන්ට එස්.පී.එම්.සී. ආයතනය ගිල ගැනීමට සියලුම අවස්ථාවන් ඉතාමත් සැලසුම්කාරි ලෙස ඇමතිවරයා සහ ගෝලබාලයන් විසින් සකසා දී තිබේ.
ඇමති රාජිතගේ මේ ජාවාරම පියවරෙන් පියවර දියත් වන්නේ මෙසේය. 2015 දී වර්තමාන සභාපති සයුරු සමරසුන්දර පැමිණිමෙන් පසු ජයිකා ව්‍යාපෘතිය මගින් එස්.පී.එම්.සී. ආයතනයට නව යන්ත්‍ර සුත්‍ර එක් කිරීමට සිදු වන බව පවසා කර්මාන්ත ශාලාව වහන්න සිදු වන බව පවසන ලදී. ඒ නිසා කර්මාන්ත ශාලාව වසා තබන කාලයේදී රජයේ වෛද්‍ය සැපයුම් අංශයට ඛෙහෙත් දිගටම සැපයීම සඳහා සභාපති සයුරු සමරසුන්දරට සම්බන්ධතා ඇති ඉන්දියාවේ ‘ටිල්’ නමැති ඖෂධ නිෂ්පාදන සමාගමෙන් 2015 අග පටන් ඖෂධ ආනයනය කිරීමට පටන් ගත්තේය.
එහෙත් ජයිකා ව්‍යාපෘතිය පටන් ගත්තේ නැත. මේ සම්බන්ධයෙන් 2016 නොවැම්බර් මාසයේදී 2017 අය වැය විවාදයේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය ඇමති රාජිත ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන ලදී. නමුත් ඔහු එවිට කීවේ කර්මාන්ත ශාලාවේ කොටසක් ජයිකා ව්‍යාපෘතිය යටතේ වසා දමා ඇති නිසා එසේ ආනයනය කරන බවයි. එය පට්ටපල් බොරුවකි. අදටත් කර්මාන්ත ශාලාව වසා නැත. තම ගෝලයා බේරා ගැනීමට ඇමතිවරයා උත්තරීතර පාර්ලිමේන්තුව නොමග යැවුවේය.
ජයිකා ව්‍යාපෘතිය දිගින් දිගටම කල් දමමින් ඉන්දියාවේ ‘ටිල්’ නමැති ඖෂධ නිෂ්පාදන සමාගමෙන් 2015 සිට අධික මිලකට ඖෂධ ආනයනය කර රජයේ වෛද්‍ය සැපයුම් අංශයට විකුණන්නට පටන් ගත්තේය.
ඖෂධ ආනයනය කර රජයේ වෛද්‍ය සැපයුම් අංශයට විකිණීමේ බලය නීත්‍යානුකූල බලය ඇත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාවට පමණි. එහෙත් සෞඛ්‍ය ඇමති රාජිත ඇමතිවරයාගේ බලය උපයෝගී කර ගෙන නීති විරෝධී ලෙස රජයේ වෛද්‍ය සැපයුම් අංශයට විකිණීමේ කාර්යය එස්.පී.එම්.සී. සභාපතිවරයා තවමත් සිදු කරමින් සිටියි.
මෙහි ඇති බරපතළ ප්‍රශ්නය වන්නේ අධික මිලකට රජයේ වෛද්‍ය සැපයුම් අංශයට එස්.පී.එම්.සී. සභාපතිවරයා විසින් විකුණන ඖෂධ ගුණාත්මක තත්ත්වයෙන් ද බාල ඒවා වීමයි. දේශීය පෞද්ගලික ඛෙදා හරින්නන් ඉන්දියාවේ ‘ටිල්’ සමාගමෙන් ගෙන්වන ඖෂධ මිලදී ගන්නේ නැත. හේතුව ඒවා තත්ත්වයෙන් බාල ඒවා වීමයි. එයට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ දේශීය පෞද්ගලික ඛෙදා හරින්නන්ට ඒවා විකුණාගත නොහැකි බවය. රෝගින්
වෙළඳපාළෙන් මිලදී ගන්නේ තත්ත්වයෙන් ඉහළ ඖෂධය. මක් නිසාද යත් මුදල් වියදම් කර බාල ඖෂධ මිලදී ගන්නට රෝගීන්ට මොළේ අමාරුවක් නැති බැවිනි.
ඒ අනුව එස්.පී.එම්.සී. නිෂ්පාදනය කරන ගුණත්වයෙන් ඉහළ ඖෂධ පෞද්ගලික ඛෙදා හරින්නන් මගින් මුදල් ගෙවා මිලදී ගන්නා රෝගීන්ට ලබා දෙයි. රජයේ රෝහල් වලට ඉන්දියාවේ ‘ටිල්’ සමාගමෙන් ගෙන්වන තත්ත්වයෙන් බාල ඖෂධ ලබා දෙයි.
ඖෂධ තත්ත්වයෙන් බාල බව පවසා අසරණ රෝගින්ට ඒවා ප්‍රතික්ෂේප කිරීමට ශක්තියක් නැත. ඒ ඔවුන් අසරණ නිසාය. දෙන ඕනෑම කුණු ගොඩක් ඔවුන් ගිල දැමිය යුතුය. බාල ඖෂධවලට එරෙහිව අභියෝග කිරීමට ද ශක්තියක් අසරණ රෝගීන්ට නැත. ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණද අදාළ බලධාරීන්ට අල්ලස් ලබා දී ඒවා යට ගැසීමට සභාපතිවරයා කටයුතු කරයි.
ලංකාවේ නිපදවන ඖෂධ වලට වඩා ඉන්දියාවේ නිපදවන ඖෂධවල මිල අඩුය. අමු ද්‍රව්‍ය මිල අඩුවීම සහ ඉන්දියාවේ අපනයන වලට අපනයන කරුවන්ට බදු සහන ලබාදීම, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඊට හේතු සාධක වේ. රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙරටට ආනයනය කරුණු ලබන ඖෂධ තරගකාරි ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ එය සිදු කරයි. ඒ අනුව ගුණාත්වය මෙන්ම මිලද රාජ්‍ය ඖෂධ සංස්ථාව තම ඖෂධ ආනයනය කිරීමේදී සැලකිල්ලට ගනී.
එහෙත් එස්.පී.එම්.සී. එක ඉන්දියාවේ ටිල් සමාගමෙන් ආනයනය කරන ඖෂධ සඳහා ඉහළ ලාභාන්තිකයක් තබා ගනී. එයට හේතුව කුමක්ද? ඔවුන්ට මෙම ඖෂධ සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ සභාපතිවරයාටත් ඉහළ ලාභයක් ලැඛෙන පරිදිය. එම ලාභය ඇමතිවරයා සහ සභාපතිවරයා අතර නැවත ඛෙදී යයි.
එස්.පී.එම්.සී. එක නිපදවන ඖෂධ රජයේ රෝහල් වලට වැඩි මිලකට ලබා දීම මත ලංකාවේ ඖෂධ නිපදවන දේශීය පෞද්ගලික සමාගම ද වැඩි මිලකට රජයේ රෝහල්වලට ඖෂධ ලබා දීමට අවස්ථාව උදා වී ඇත. මක් නිසාද යත් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට රජයේ රෝහල් වලට ඖෂධ සැපයීමේදී තරගකාරී ටෙන්ඩර් ක්‍රම වේදය අනුගමනය කිරීම අවශ්‍ය නැති බැවිනි.
මෙසේ සෞඛ්‍ය ඇමතිවරයා සහ සභාපතිවරයා කරනු ලබන මහා පරිමාණ දූෂණය සහ වංචාව නිසා රජයෙන් ඖෂධ සඳහා වෙන් කරන මුදලින් ලබා ගත හැකි ඖෂධ ප්‍රමාණය අඩු වන අතර විශාල මුදලක් ප්‍රෝඩාකාරී සහ වංචා සහගත ලෙස මංකොල්ල කරුවන්ගේ සාක්කුවට ඇදී යයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිවරයා වන රාජපක්ෂ මහතා එස්.පී.එම්.සී. සභාපතිවරයාට අවශ්‍ය විදිහට මිල වැඩි කිරීමට සහය දෙන ප්‍රධාන නිලධාරියයි. ඒ වෙනුවෙන් ඔහුට කොමිස් මුදලක් ලැබේ.
මුලින්ම එස්.පී.එම්.සී. එක නිපදවන ඖෂධ වල මිල වැඩි කිරීමට ගණකාධිවරයා වන රාජපක්ෂ මුලදී මීට විරුද්ධ වී ඇත. පසුව එස්.පී.එම්.සී. සභාපතිවරයා මුදල් වියදම් කරමින් හිල්ටන් හෝටලයේ කන්න බොන්න දී ඔහුටත් කොමිෂන් මුදලක් ලැඛෙන සේ ගිවිසුමකට එළඹ තිබේ. ඉන් පසුව එස්.පී.එම්.සී. සභාපතිවරයාගේ හිතු මනාපයට මිල වැඩි කිරීමට ගණකාධිවරයා වන රාජපක්ෂ මහතා කි්‍රයා කරයි.
මේ දූෂණයට සහාය දක්වන අනෙක් නිලධාරියා වන්නේ අධ්‍යක්ෂවරයෙකු වන දොස්තර ඛෙනරගමයි. අති දූෂිත නිලධාරියකු වන මොහුගේ පුතා ද එස්.පී.එම්.සී. එකට අමුද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාරයක්ද කරයි. ඒ සඳහා එස්.පී. එම්.සී. සභාපතිවරයා ටෙන්ඩර් පරිපාටි පවා උල්ලංගනය කරමින් ඔහුට ඇනවුම් ලබා දීමට සහාය දක්වයි. දොස්තර ඛෙනරගමට ද තරු හෝටල්වල කන්න බොන්න දී කොමිස් ද ලබා දෙමින් මේ දූෂිත ජාවාරම ජයටම කර ගෙන යයි. භාණ්ඩාගාරයේ නිලධාරීන් මිල කිරීමේ ක්‍රියාවලියට සහභාගි වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඔවුන්ට තර්ජනය කර බිය ගන්වන්නේ ඖෂධ හිඟයක් ඇති වුණොාත් ඔවුන් වග කිව යුතු යැයි පවසමිනි. මේ හේතුවෙන්
භාණ්ඩාගාරයේ නිලධාරීන් ද තම වගකීම පසෙකට දමා ඇඟ බේරා ගැනීමේ න්‍යායකට යමින් සිටී.
එස්.පී.එම්.සී. එක ඖෂධවල මිල වැඩි නිසා දේශීය පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයන්ට ද ඇති වී ඇත්තේ නොසිතු විරූ ලෙස කල්ල මරේ තත්ත්වයකි.
දේශීය පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයන් පිරි වැය අවම කරමින් ඔවුන්ගේ මුළු පිරිවැය අඩු කරමින් අඩු මිලක් ඉදිරිපත් කිරීම මෙතෙක් සිදු කරන ලදී. මේ අඩු පිරිවැය ඉතා වාසි සහගතය. එම නිසා වැඩි ප්‍රමාණයක් මිල දී ගත හැක. නමුත් දැන් සිදු වී ඇත්තේ පෙරට වඩා දෙගුණයක් රජයට ගෙවීමට සිදු වීමයි. එස්.පී.එම්.සී. සභාපතිවරයාගේ ‘ටිල් ජාවාරම’ නිසා මේ තත්ත්වය උදා වී ඇත.
SPC එක පිට රටින් ආනයනය කරන්නේද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ලත් ඖෂධ පමණකි. දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයන් සපයන්නේ ද ජාතික ඖෂධ අධිතාරියේ අනුමැතිය ලබා ගත් ඖෂධ පමණකි. විවිධ හේතු මත මේ දෙගොල්ලන්ගේම ඖෂධ ඉවත් කිරීමට සිදු වන අවස්ථා ඇත.
SPC එක පිට රටින් ආනයනය කරන ඖෂධ, එස්.පී.එම්.සී. එක මගින් නිපදවන ඖෂධ සහ දේශීය පුද්ගලික නිෂ්පාදකයින් සපයන ඖෂධ යන සියල්ලම සම්බන්ධයෙන් ඇත්තේ තත්ත්ව පාලනයක් (QUALITY CONTROL) මිස තත්ත්ව ආරක්ෂණයක් (QUALITY ASSURANCE) නොවේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත කරන්නේ ඔවුන්ට ලබා දෙන සාම්පලය තත්ත්ව පාලන ප්‍රමිතීන්ට අනුකූල ද යන්න සම්බන්ධයෙන් පමණි.
එම නිසා දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ වඩා ගුණත්වයෙන් ඉහළයි යන්න බොරු ප්‍රකාශයකි. එය හුදෙක්ම තමන්ට ලැඛෙන වරදාන මත සමහර දූෂිත නිලධාරින් හිතා මතාම පතුරවන ව්‍යාජ මතයකි. ඒ නිසා මේ දූෂිත ඖෂධ මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ඇතුළු වගකිවයුතු අංශ විසින් වහාම විමර්ශනයට ලක් කළ යුතුය.


චතුර දිසානායක