ගල්කිස්සේ සරණාගතයෝ, මහින්දගේ ජාතිවාදය සහ අපි

ලුfgdf
අලුත්ම සොයාගැනීම වෙනුවෙන් මහින්දට නොබෙල් තෑග්ග !
October 16, 2017
383e649f18cc6069882f006bbfe2eca5_XL
හැම යුගයකම බඩුමිල ඉහළ ගියා…
October 17, 2017
Show all

ගල්කිස්සේ සරණාගතයෝ, මහින්දගේ ජාතිවාදය සහ අපි

anti-rohingya-in-sri-lanka

පසුගිය දිනක ගල්කිස්සේ රඳවාගෙන සිටි මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසක් සම්බන්ධයෙන් ඇති වූයේ මහත් ගාලගෝට්ටියකි. භික්ෂූන් පිරිසක් සහ තවත් කණ්ඩායමක් විසින් ඉතාමත් ප්‍රචණ්ඩ ආකාරයෙන් ඔවුන්ට එරෙහිව විරෝධය දක්වන ලද්දේ ජාත්‍යන්තරයේ පමණක් නොව රට තුළ ද එම පිළිකුළක් ජනිත කරවන ආකාරයෙනි. එම හැසිරීමට ඇතැම් පිරිස්වල ආශීර්වාදය ලැබුණු අතර, එම ක්‍රියාව අනුමත කරන බොහොමයක් සිදුවීම් කිසිවක අගක් මුලක් නොදැන හුදෙක් ජාතිවාදය පමණක් ඉස්සර කරගෙන තිඛෙනු සමාජ ජාල වෙබ් අඩවි සහ ඇතැම් මාධ්‍ය තුළින් කෙරෙන ප්‍රකාශයන් මඟින් හොඳින්ම පැහැදිලි වේ.
මේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයන් පසුපස හැම විටම සිටින්නේ එකම පිරිසකි. කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගත් මේ පිරිස් දැන් කරමින් සිටින්නේ දිය කොරහේත් කිඹුලන් සිටින බව පෙන්වමින් ජනතාව ප්‍රකෝප කිරීමය. ඔවුන් පවසන්නේ මේ සරණාගතයන් ලෙස පැමිණෙන රෝහින්ග්‍යා සරණාගතයන් නොබෝ දිනකින් ලංකාවේ රෝහින් ප්‍රාන්තයක් ඉල්ලා සිටිනු ඇති බවයි. ඒවා ඉස්මුදුනින් පිළිගන්නා කිසිවෙක් මේවායේ ඇත්ත නැත්ත හොයන්නේ නැත. මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථීර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත.
1948 අංක 20 දරන ‘ආගමික හා විගාමික පනත’ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ පී. ආර්. (PR) යැයි කියන තත්ත්වය ලබා දීමට නීතිමය හැකියාවක් නැත. ඒ නිසා මියන්මාර් වැසියන්ට ලංකාවේ පුරවැසි භාවය ලැබීම හිතලුවක් පමණි. කෙටියෙන්ම කියනවා නම් ලංකාව, ලෝකයේ ස්ථීර පුරවැසි භාවය ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නොමැති රාජ්‍යයන් කිහිපයකින් එකකි. ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු භාර ගැනීමට හැකියාව නැත. භාරගෙන ඇත්තේ ද නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැන්නක් කිරීමට හෝ ඉල්ලා සිටීමට හැකියාවක් ද නැත. ඉල්ලා ද නැත. ආගමන විගමන පාලකවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද නිවේදනයක මේ බව පැහැදිලිවම සඳහන් වේ. මෙම නීතිය කොතරම් බලවත් ද යත්, ලංකාවේ පුරවැසියෙකු විදේශීය කාන්තාවක් විවාහ කර ගත්ත ද, ඇයට හෝ ස්ථීර පුරවැසි බව ලැඛෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද කලත්‍රයාගේ වීසා බලපත්‍රයකි.
මොවුන් කෑ කෝ ගසන්නේ මෙවැනි තත්ත්වයක් තිබියදීය. ඒ එය ඔවුන් නොදන්නා නිසා නොවේ. මේ ප්‍රචණ්ඩත්වයන් සියල්ල දේශපාලන ව්‍යාපෘතියක කොටසක් වන නිසාය. ජාතිවාදය තම දේශපාලන පැවැත්ම බවට පත් කරගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමයි. ඒ බව පසුගිය කාලය පුරාම දකින්නට ලැබිණි. ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී පෙරමුණේ එක් නියෝජනයකි. ඥානසාර භික්ෂුව සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති සම්බන්ධතා දැනටමත් අනාවරණය වී අවසන්ය. මේ ජාතිවාදී පෙරමුණේ සිටින අනෙක් ප්‍රධානියා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්ෂුවයි. සද්ධාතිස්ස භික්ෂුව විමල් වීරවංශගේ දේශපාලන කටයුතුවලට සෘජුවම දායක වන්නෙකි. සරණාගතයන් එළවන්නට ගිය මැදගොඩ අභයතිස්ස භික්ෂුව සිල් රෙදි හොරුන් බේරීමට පිණිඩපාතේ යනු කාටත් දැක ගත හැකි විය. මේ ආකාරයෙන් ජාතිවාදය වපුරන සහ ප්‍රචණ්ඩව හැසිරෙන කණ්ඩායම්වලට නායකත්වය දෙන සියල්ලන්ම මහින්ද පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන් බව සාක්ෂි සහිතව පෙන්වා දිය හැකිය.
එහෙත් මෙහි ඇති කනගාටුවට කරුණ වන්නේ මේවා විශ්වාස කරමින් මේවාට හුරේ දමන බොහෝ පිරිස් මේ කිසිවක ඇත්ත නැත්ත නොදැකීමයි. ලංකාවට මියන්මාරයෙන් මුලින්ම සරණාගතයන් පැමිණියේ 2012 වසරේදීය. ඒ පිරිස 100කට වැඩිය. එදා මේ කිසිවෙක් මෙවැනි ඝෝෂා කිරීම් කළේ නැත. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ඒ පිරිසට ඇමරිකාවේ සහ කැනඩාවේ සරණාගත තත්ත්වය ලබා දී ඔවුන් ලංකාවෙන් පිටත් වී ගොස් ජාත්‍යන්තර නීතිය යටතේ පහසුකම් සහිතව නව ජීවිත අරඹා ඇත. එවැනි සිදු වීම් කිහිපයක් පසුගිය වසර කිහිපය පුරාම වාර්තා වී තිබේ. මොවුන් මේ ජනතා කුපිත කිරීම් සිදු කරන්නේ ඒවා ඇස්පනාපිට පෙනෙන්නට තිබියදීය.
මේ සිදුවීම ද එවැන්නකි. මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැඳී සිට පසුව කොළඹට ගෙන එනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. ලංකාවේ දැන් සිටින මියන්මාර් සරණාගතයන් පිරිස අතර පිරිමි 7 දෙනෙක්, ගැහැනු 7 දෙනෙක් හා ඉතිරි පිරිස දරුවෝ වෙති. එයට අමතරව ලංකාවේ දී එක් දරුවෙකු උපත ලබා ඇත. අඩුම ගාණේ ඒ දරුවාට ලංකාවේ පුරවැසි බව ලබා දෙන්නට හෝ නීතියෙන් ඉඩක් නැත.
ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේය. ඔවුන්ට කන්නට, බොන්නට, අඳින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලම් බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමඟ එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පමණක් නොව බටහිර තානාපති කාර්යාල ද සිදු වන දේ ගැන වාර්තා කරමින් සිටියි. මේ පිරිසට ද ඉක්මනින්ම වෙනත් රටක සරණාගතභාවය ලබා දීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ යුතුය. එසේ නොමැතිව ඔවුන් මෙරට පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන්ට ද නොහැකිය. මේවා තේරුම් නොගෙන ඛෙරිහන් දෙන පිරිස තුළ, ලංකාවේ ජනතාව තුළ තමන් ගැනම ඇත්තේ ‘අප බෝට්ටුවෙන් එන අන්ත අසරණයන්ටත් බය වන්නෙමු’ යන හැඟීම නොවේද?
එහෙත්, අප ඉදිරියේ ඇති ඛේදවාචකය එය නොවේ. ලංකාවේ බංකොලොත් දේශපාලනය නිසා ජීවිතය පරදුවට තබා මහ සයුරේ සටන් කර දිවි බේරා ගන්නා මිනිසෙකුට හෝ අනුකම්පා නොකරන, බංකොලොත් දේශපාලක රැළකගේ උසිගැන්වීමට මෙරට ජනතාව අන්ධානුකරණයෙන් ගොදුරුව සිටිති. එසේම ඒ බංකොලොත් දේශපාලනයට ඉඩකඩ ලැබී ඇත්තේ රටේ ආගමන විගමන නීතිය හා ව්‍යවහාරය පිළිබඳ ජනතාවට ඇති අවබෝධය අල්ප වීම නිසාය. එහෙත්, 1983න් පසුව ලාංකිකයන් ලක්ෂ 18කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්ත්වයන් ලබා දී ඒ රටේ සම්පත්වලින් අපේ රටේ ඥාති හිතවතුන්ට සම්පත් සාදා දෙන්නට ද ඉඩ දී ඇත. ඔවුන් සියල්ල නොව බහුතරය ද මුස්ලිම් හෝ දෙමළ නොවේ. ලක්ෂ 18න් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිංහලයන්ය. එසේ බටහිර රටවල රැකවරණ ලබා සිටින ලාංකිකයන් විසින් ලංකාවට එවනු ලබන මුදල් අදත් මේ රටේ ආර්ථීකය උසුලා සිටීමට අත්‍යවශ්‍යය. විදෙස් රටවල ජීවත් වන ඔවුන්ගෙන් ලංකාවට ලැඛෙන මුදල් නැතිනම් ගල්කිස්සේ යකා නැටූ පිරිසට කන්නට, බොන්නට, අඳින්නට, කොඩි උස්සන්නට ලැඛෙන්නේ ද නැත.


චතුර දිසානායක