හිට්ලර්ගේ මුණුපුරන්ගේ පාර්ලිමේන්තු ආගමනය

Chevron lubricunt lanka
ශ්‍රී ලංගමත් ඉන්දියාවට!
October 15, 2017
4e401aa3cdc7b257464b06c2a8c60d77
යුද්ධයට ළමුන් යොදා ගත් බවට ඉරානයට චෝදනා
October 16, 2017
Show all

හිට්ලර්ගේ මුණුපුරන්ගේ පාර්ලිමේන්තු ආගමනය

592dc5af74932df75e74e2e46f38c0ae_XL

ලෝක දේශපාලන කරළියේ තවත් ප්‍රතිගාමී සලකුණක් තබමින් හිට්ලර්ගේ පක්ෂය යනුවෙන් හඳුන්වන ‘ජර්මනිය සඳහා විකල්පය’ (Alternative for Germany) හෙවත් අන්ත දක්ෂිණාංශික AfD පක්ෂය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ජර්මානු පාර්ලිමේන්තුව හෙවත් Bundasteg වෙත තේරී පත් වී තිබේ. මේ හිස එසවීම හෙවත් හිට්ලර්ගේ මුණුපුරන්ගේ පාර්ලිමේන්තු ආගමනය, ජර්මනිය වැනි ප්‍රජාතාන්ත්‍රික වශයෙන් දියුණු යැයි කියන රටක් තුළ පවා අන්තවාදී බලවේගයන් තවමත් ක්‍රියාත්මක වන බවට ජීවමාන උදාහරණයකි.
ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ විකල්ප ජර්මනියක් සඳහා සටන් වදින කණ්ඩායමක් වශයෙනි. එහෙත් එය සත්‍යය නොවේ. ඔවුන් නාසිවාදීන්මය. ඒ නිසා ඔවුන්ව නිවැරදිව හැඳින්විය හැක්කේ නූතන නාසිවාදීන් වශයෙනි. අන්ත දක්ෂිණාංශිකයන් විසින් මේ පක්ෂය පිහිටුවා ගනු ලබන්නේ 2013 අප්‍රේල් මාසයේය. එම වසරේ පැවති මහ මැතිවරණයෙන් ඔවුන්ට හිමිවූයේ 4.7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජර්මානු ව්‍යවස්ථාදායකයේ ආසනයක් ලබන්නට නම් අවම වශයෙන් 5%ක ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය බැවින්, එවර ජර්මානු පාර්ලිමේන්තුවට එන්නට ඔවුන්ට නොහැකි විය. එහෙත් ඉන් පසු පැවති යුරෝපා මැතිවරණයේදී 7%ක් දිනාගෙන යුරෝපා පාර්ලිමේන්තුවේ ජර්මනියට හිමි ආසන 96 අතුරින් ආසන 7ක ඔවුහු අසුන් ගත්හ.
මේ නූතන නාසිවාදීන් විසින් පසුගිය කාලය පුරාම සිදු කරන ලද්දේ හිට්ලර් පන්නයේම ස්වෝත්තමවාදී ක්‍රියාවන්ට මැදිහත් වීම සහ ඒවාට අනුබල දීමයි. සිරියාවේ සරණාගතයන් සම්බන්ධ ගැටලුවේදී මෙය හොඳින්ම දැක ගත හැකි විය. මේ අවස්ථාවේදී මේ අන්ත දක්ෂිණාංශික පක්ෂය කොතරම් අන්තවාදීව හැසිරුණේ ද යත්, ඔවුන්ගේ පක්ෂ නායකයන් දෙදෙනෙක්ම කියා සිටියේ දේශසීමාව රැකීම සඳහා සන්නද්ධ බලය යෙදවිය යුතුය කියාය. සරලව කියන්නේ නම්, සරණාගතයන්ට වෙඩි තැබිය යුතු බවය. ඒ වන විට ඔවුන් ඔස්ට්‍රියාවේ ඔවුන් තරමටම ජාතිවාදී පක්ෂයක් වන ෆ්‍රීඩම් පක්ෂය සමඟ සන්ධානයක් ඇති කරගෙන යුරෝපා පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ අන්තවාදී ස්ථාවරයන් සම්බන්ධයෙන් මහත් කලබගෑනියක් සිදු කරන්නට විය. එහෙත්, යුරෝපා පාර්ලිමේන්තුව යනු ජාතිවාදීන්ට පිනුම් ගැසිය හැකි පතෝල මැස්සක් නොවන බව පසක් කරමින්, මේ පක්ෂයට යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය අහිමි කෙරිණි.
නිල වාර්තාවලට අනුව වසර 2017 වන විට මෙම පක්ෂයේ සාමාජිකයන් සංඛ්‍යාව 35,000කි. නමුත්, 2017 මහ මැතිවරණයේදී ඔවුන් ලබාගෙන තිඛෙන සමස්ත ඡන්ද ගණන 12%කට අධිකය. මෙසේ වන්නේ ඇන්ජෙලා මර්කල්ගේ සන්ධානය පවා 40%ක් ඉක්මවන්නට අසමත් වන වාතාවරණයක් තුළය. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකි. පක්ෂයේ ඉදිරි පෙළ අපේක්ෂකයෙකු වන ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ් පසුගිය සතියේ කියා තිබුණේ ලෝකයේ කිසිම රටක පසුගිය වසර කිහිපයේ ජර්මනියේ තරම් අපරාධ සිදු නොවූ බවය.
මේ අන්ත දක්ෂිණාංශිකයන් පවසන ‘පසුගිය වසරවල ජර්මනියේ සිදු වූ අහස පොළොව නුසුලන අපරාධය’ කුමක්ද? එය අන් කිසිවක් නොව ලක්ෂ 15ක් වූ සරණාගතයන්ට සිය රටේ දොරටු විවර කිරීමටත්, ඔවුන්ට පුරවැසිභාවය ලබා දීමටත් ගත් තීරණයයි. ජර්මනිය එසේ කළේ සරණාගතයන් පිළිබඳ ජගත් සම්මුතීන්ට ගරු කරමින් සහ මානුෂීය පිළිවෙතට ඉඩ දෙමින් බව පැහැදිලිය. ඔවුන් එදා පැවසූ පරිදි මහත් විනාශයක් අද ජර්මනිය තුළ සිදු වී ඇතිද? අන්ත දක්ෂිණාංශිකයන් මාරාවේශයෙන් කෑ ගැසූ අන්දමට මේ වන විට ජර්මනිය යුද පිටියක් බවට පත් වී තිබිය යුතුය.
කෙසේ වුවද, මේ මහ මැතිවරණයෙන් අනූ ගණනක් දෙනා පාර්ලිමේන්තු එවන ඔවුන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලින් කිහිපයක් මෙසේය: දේශපාලන රැකවරණ නඩු සඳහා තිඛෙන තනි පුද්ගල අයිතිය ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුය. සියලුම ජර්මානු යුරෝපා සංගම් දේශසීමා වසා දමා එය සරණාගතයන්ට තහනම් රටක් බවට පත් කළ යුතුය. දැනට පුරවැසි භාවය ලබාගෙන නැති, නමුත් ඒ සඳහා අයදුම් කර ඇති සියලුම දෙනා වහාම පිටුවහල් කළ යුතුය. එසේ පිටුවහල් කරන, ඔවුන් පැමිණි රටවල් මිනිසුන්ට ජීවත් වීමට සුදුසු වුවත්, නැති වුවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. සරණාගතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තව දුරටත් වගකියනු නොලැබේ. ජර්මනිය තුළ දී යම් විදේශිකයෙක් අපරාධයක් කරයි නම්, ඔවුන්ව සිරකරුවන් වශයෙන්වත් රට තුළ තබා නොගත යුතුය. ඔවුන්ට සිරදඩුවම් ලබා දිය යුත්තේ විදේශ රටක බන්ධනාගාරවලය. සමහර අපරාධ සම්බන්ධයෙන් වයස අවුරුදු 12ක බාලවයස්කරුවන්ට පවා වැඩිහිටියන් සේ සලකා දඩුවම් නියම කරනු ඇත.
දේශපාලන විචාරකයන්ට අනුව එය ‘හිට්ලර්ගේ ජර්මනිය’ටම අයත් පක්ෂයකි. ඔවුන්ට විදේශිකයන් පෙන්නන්නට බැරිය. වෙනත් ආගම් අදහන්නන් ද පෙන්නන්නට බැරිය. එය තනිකරම ‘ෆෝබියා’ පක්ෂයකි. එය තමන් විකල්පයක් වශයෙන් හඳුන්වා ගත්තත්, ප්‍රධාන ධාරාවේ සියලුම සමාජ කොටස්වල ජාතිවාදී සිතිවිලිවලට කැත නැතිව ආමන්ත්‍රණය කරමින් සිටියි. සමාජයට විෂ එන්නත් කරමින් සිටියි. ඔවුන් සිතන්නේ මේ ලෝකයේ සිටිය යුත්තේ ඔවුන් පමණක් යනුවෙනි. එදා හිට්ලර් පෙළුණේ ද මේ මානසික රෝගයේම උපරිතානයකිනි.
හිට්ලර්ගේ නූතන ගෝලයන්ගේ තවත් බසකට අනුව ජර්මනිය සිය රටේ දේශසීමා සියල්ල වසා දැමිය යුතුය. තවද සරණාගත අර්බුදය පැවති සමයේ ලෝකයම සසල කළ, වෙරළේ මුනින් අතට වැටී මියගොස් සිටි අයිලන් කුර්දි නමැති සිඟිත්තාගේ ඡායාරූපය පිළිබඳව ඔවුන් නරුම හඬින් කීවේ ‘දරුවන්ගේ ඇස් පෙන්නල අපිව බ්ලැක්මේල් කරන්න එන්න එපා’ කියාය.
එදා තමන් ආර්යයන් බවත්, මේ ලෝකයේ සිටිය යුත්තේ ආර්යයන් පමණක් බවත් සිතමින්, සෙසු සියලු අඩු කුලේ ජාතීන් නැති භංගස්ථාන කර දැමිය යුතුය යන මෙගලොමේනියාවෙන් පෙළුණු හිට්ලර් නම් අන්ත දක්ෂිණාංශිකයා ද සිය රට තුළ ජනප්‍රිය චරිතයක් විය. යුදෙව්වන් මිලියන 6ක් හෙවත් ලක්ෂ 60ක් ගෑස් කාමර තුළත්, වධ කඳවුරු තුළත් අමු අමුවේ මරා දැමූ, දෙවන ලෝක යුද්ධයට ගිනි පිඹි හිට්ලර්ගේ සැලසුම, ජනමත විචාරණයකින් පවා ඉතසිතින් පිළිගැනුණකි. තමන්ගේ ජනකාන්ත මහ එකා කළ මහා සංහාරය ගැන හිට්ලර්වාදීන්ට ඇස් ඇරුණේ මිත්‍ර හමුදාව බර්ලිනයට බෝම්බ දමන්නට පටන් ගත් පසුය. කන ළඟින් උණ්ඩ පියාඹන්නට ගත් පසුය.
ඒ අනුව මේ සිදු වන්නට යන්නේ මානව ඉතිහාසයේ සිදු වූ දරුණුතම වැරැද්ද නැවත පුනරාවර්තනය වීමද? ජර්මනියේ අන්ත දක්ෂිණාංශිකයන්ගේ නැගීම නවතම දේශපාලන සංසිද්ධියක් යැයි සිතා වෙනත් රටවලද අන්ත දක්ෂිණාංශිකයන් නැවතත් බඩපිනුම් ගසන්නට පටන් ගන්නවා ඇත. ලෝකය තනි යායක් වනු දැකීමට නොරිසි මිනිසුන් නිතරම අන්තවාදයට, ආගම්වාදයට, ජාතිවාදයට සහ දක්ෂිණාංශය වෙතට ආවඩනු ඇත. ලෝකය ඛෙදා වෙන් කර ගැටුම් ඇති කරවීම සිය දේශපාලන පැවැත්ම කරගෙන සිටින එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී පෙරමුණ මේ සියල්ල ආශීර්වාදයක් බවට පත් කර ගනු ඇත. කෙසේ වුවද, මේ සියල්ලේ අවසානය මහත් ඛේදවාචකයක් බවට පත් වීම නම් වැළැක්විය නොහැකි වනු ඇත.


ධනංජය සූරියබණ්ඩාර