අඹේවෙල උණුසුම් කළ ගොවි සටන

ඩුfdhg
දැන් සයිටම් රකින්නේ ආණ්ඩුව විතරයි
October 17, 2017
වටපණු රෝගයෙන් බලංගොඩ තේ වගාව විනාශය
වටපණු රෝගයෙන් බලංගොඩ තේ වගාව විනාශය
October 17, 2017
Show all

අඹේවෙල උණුසුම් කළ ගොවි සටන

22049967_1947907862091669_17601894883226964_n

ඇඟ හිරිවැටෙන සීතල දෙබෑ කරමින් අඹේවෙල පුරවරය උණුසුම් කෙරුණු සටනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. ඒ අඹේවෙල මිල්කෝ ආයතනය ඉදිරිපිටදීයි. නැත්නම් අපි කවුරුත් දන්න හයිලන්ඩ් කිරි නිෂ්පාදනාගාරය ඉදිරිපිටදීයි. ඒ නිසා මෙවර ‘වෙර’ තුළින් අපි කතා කරන්න සූදානම් වන්නේ මේ සටනේ තොරතුරුයි.
අඹේවෙල කියපු සැණින් අපට මතක් වන්නේ මේ හයිලන්ඩ් කිරි කම්හල නැත්නම් අඹේවෙල ෆාම් එකයි. ඒත් අද වෙනකොට ඒ ගොවිපළේ නිෂ්පාදනය කෙරෙන සුදෝසුදු කිරි දිය දහර කර්මාන්ත ශාලාව අවට මිනිසුන්ගේ ජීවිත කළු පාට කරලා. ඒ නිසා තමන් මුහුණ දීලා ඉන්න මේ ගැටලුවට එරෙහිව අඹේවෙල ජනතාව පාරට බැස්සා. සීතලත් එක්ක සටන් කරමින් හිටි අත් පා සාධාරණය ඉල්ලා, යුක්තිය ඉල්ලා එසවෙන්න පටන් ගත්තා.
අඹේවෙල කර්මාන්ත ශාලාව ආරම්භ කරලා තිඛෙන්නේ 1974 දීයි. ඒ කාලේ ඉඳන්ම එහි අපද්‍රව්‍ය බැහැර කර තිඛෙන්නේ ඒ අවටින් ගලා යන කුඩා ඇළ මාර්ගයකටයි. මේ කුඩා ඇළ මඳ දුරක් ගිය පසු අඹේවෙල ඇළට එකතු වෙනවා. නමුත් මේ අපද්‍රව්‍ය එකතු වීම පසුගිය මාස පහ හය තුළ ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිඛෙන අයුරකුයි නිරීක්ෂණය කළ හැකි වන්නේ.
මෙලෙස නිසි ක්‍රමවේදයකින් තොරව අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇති වූ ගැටලුකාරී තත්ත්වය වඩාත් දැඩිව ජන ජීවිතයට දැනෙන්න පටන් ගත්තා. ඒ එම අඹේවෙල ඇළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා අවහිර කර තිබීම නිසයි. එක තැන පල් වීම හා එම ජලයට කිරි අපද්‍රව්‍ය ඇතුළු අඹේවෙල කර්මාන්ත ශාලාවෙන් විශාල ලෙස බැහැර කෙරෙන අපද්‍රව්‍ය එකතු වීම නිසා ඇළ මාර්ගය ඉතා දැඩි ලෙස දූෂණය වෙලා. යෝගට් තට්ටුවක් වැනි ඝන අපද්‍රව්‍ය තට්ටුවක් ඇළේ ජල තලය මත රැඳිලා. මේ නිසා ඉවසිය නොහැකි දැඩි දුර්ගන්ධයක් අවට ප්‍රදේශය පුරා පැතිරිලා. ඒ වගේම ඇළේ ජලය මත විශාල ලෙස පණුවන් බෝ වී ඇති අයුරු ද දැක ගන්නට පුළුවනි. ඉතා විශාල පාරිසරික හා සෞඛ්‍ය ගැටලු ගණනාවකට අතවනන්න මේ තත්ත්වය හේතු වෙලා. ඒ නිසා දරුවන්ට මුහුණක් හෝද ගන්න බැරි, ගොවියෙකුට වතුරට බැහැලා උදැල්ලක් හෝද ගන්න බැරි, වක්කඩක් අටවන්න බැරි තත්ත්වයකට අඹේවෙල ඇළ පත් වෙලා. ඇළේ ජලය යොදාගෙන කළ වගාවන් පවා විනාශ වී යන තත්ත්වයකට පත් වෙලා. කිරි පිරවූ බවුසර් හෝදන වතුර පවා මුදාහැරෙන්නේ ඉහත කී අඹේවෙල ඇළට යොමු වන කුඩා ඇළ මාර්ගයටයි. මේ නිසා කිරි කල් තබා ගැනීම සඳහා යොදා ඇති රසායනික ද්‍රව්‍ය පවා විශාල වශයෙන් ජලයට මුදාහැරෙනවා. එය ද පරිසරය දැඩි ලෙස දූෂණය වන්නත්, ජලය විෂ වීමටත් බලපා තිඛෙනවා.
මේ නිසා මේ ගැටලුවට එරෙහිව, තමන් මුහුණ දී සිටින අර්බුදයට එරෙහිව පාරට බහින්න, සටන් කරන්න ජනතාව පෙළඹුණා.
වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ තෙන්නකෝන්වෙල පරාක්‍රම ගොවි සංවිධානය, හිඹිලියගොල්ල එක්සත් ගොවි සංවිධානය, අඹගස්දූව ගොවි සංවිධානය, වැලිදිස්සවෙල සේනානායක ගොවි සංවිධානය සහ තවාන ගොවි සංවිධානය යන ගොවි සංවිධාන පහ එක් වී අඹේවෙල වාරිමාර්ග ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය පිහිටවූයේ ඒ අනුවයි. එය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ඒකාබද්ධ ගොවි සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තෙන්නකෝන්වෙල, හිඹිලියගොල්ල හා අඹේවෙල යන ග්‍රාම නිලධාරී වසම් තුනක ජීවත් වන ඉඩම් අක්කර දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් වගා කරන ගොවි පවුල් දහස් ගණනක් මේ සටනට සිය දායකත්වය දක්වලා තිඛෙනවා.
ඒ නිසා මේ ගැටලුව ගැන අවස්ථා කිහිපයක දී ම ගොවි සංවිධාන මට්ටමින් සාකච්ඡා කරලා විසඳුමක් ලබා ගන්න උත්සාහ කළත්, තවමත් වගකිව යුතු බලධාරීන් මීට සාධාරණ විසඳුමක් ලබා දීමට සමත් වෙලා නැහැ.
ඒ අනුව පසුගිය තිස් වැනිදා අඹේවෙල මිල්කෝ කිරි කර්මාන්ත ශාලාව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අඹේවෙල වාරිමාර්ග ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය කටයුතු කළා. එහිදී මේ ගැටලුවට අදාළව යම් යම් තාවකාලික හා දීර්ඝකාලීන විසඳුම් ලබා දෙන්න මැති ඇමතිවරුන් ප්‍රමුඛ බලධාරීන් පොරොන්දු වුවත්, ඒ ගැන ගොවීන්ට තිඛෙන්නේ දෙගිඩියාවක්. මීට ඉහත දීත් සාකච්ඡාවල ප්‍රතිඵලය වුණේ මහා විශාල පොරොන්දු මලු විතරයි.
ඒ නිසා මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ඒකාබද්ධ ගොවි සංවිධානයක් වන අඹේවෙල වාරිමාර්ග ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එච්.එම්. කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළා. මේ ඔහුගේ අදහසයි.

පොරොන්දු ඉටු නොකළොත් තීරණාත්මක පියවරක් ගන්නවා
අඹේවෙල වාරිමාර්ග ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති
එච්. එම්. කරුණාරත්න

‘අඹේවෙල ව්‍යාපාරය කියන්නේ ගොවි සංවිධාන පහකට, ග්‍රාම නිලධාරී වසම් තුනකට වතුර සපයන මහා වාරිමාර්ග ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය අසල තමයි තිඛෙන්නේ අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාව. දැන් මාස ගණනාවක් තිස්සේ මේ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය විශාල වශයෙන් අපේ ඇළට මිශ්‍ර වෙනවා. ඒ ගැන අපි ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු බලධාරීන්ට කිව්වා¦ සාකච්ඡා කළා. අවසානේ පසුගිය හත් වෙනි මාසේ විසි හය වැනිදා හැරිසන් ඇමතිතුමා සහභාගී වුණු සාකච්ඡාවකටත් අපි මේ ප්‍රශ්නෙ අරන් ගියා. එතුමත් පොරොන්දු වුණා මේක නතර කරනවා කියලා. ඒ වගේම පසුගිය සැප්තැම්බර් දහඅට වැනිදා රවීන්ද්‍ර සමරවීර ඇමතිතුමාටත් මේ ගැන කිව්වා. එතුමත් පොරොන්දු වුණා මේක නතර කරනවා කියලා. නමුත්, තාමත් මේ ප්‍රශ්නය විසඳිලා නැහැ. ගැටලුව නතර වෙලා නැහැ. නතර කරන්නේ නැහැ මේගොල්ලො.
‘ඒක නිසා පසුගිය තිස්වැනිදා ගොවි සංවිධාන පහේම ගොවියෝ එකට එකතු වෙලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේත්, නාමල් කරුණාරත්න මහතා සහ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු නියෝජිතයන්ගේත් නායකත්වයෙන් දස දහස් ගණනක් ගොවි ජනතාව පාරට බැස්සා. දැවැන්ත උද්ඝෝෂණයක් කළා. මේ ගැටලුව විසඳීමට කටයුතු නොකිරීම ගැන විරෝධය පළ කළා. ජනතාව සිය දහස් ගණනින් පාරට බැහැලා කරපු උද්ඝෝෂණයෙන් පස්සේ මිල්කෝ ආයතනය හා අප අතර නැවත තීරණාත්මක සාකච්ඡා වටයක් පැවැත්වුණා. ඒ අනුව එයාලා පොරොන්දු ගණනාවක් ක්‍රියාත්මක කරන්න එකඟ වුණා.
‘පසුගිය ඔක්තෝබර් හතර වැනිදා සිට බැහැර කෙරෙන අපජලය ෆිල්ටර් කරලා එවන්නත්, මාස හයකින් අනතුරුව මේ සඳහා ස්ථීර විසඳුමක් ලබා දෙන්නත්, වෙච්ච වගා හානිවලට වන්දි ලබා දෙන්නත් වගේම දැනට අපිරිසිදු වෙලා තිඛෙන අඹේවෙල ඇළ නැවත පිරිසිදු කරලා දෙන්නත් පොරොන්දු වුණා.’
‘නමුත් මෙයාලා ඒ පොරොන්දු ඉටු කරයි කියලා විශ්වාසයක් නැහැ. එහෙම පොරොන්දු ඉටු නොවුණොත් අපට සිද්ධ වෙනවා ගොවියෝ විදියට ඉදිරියේ දී මීට වඩා තීරණාත්මක පියවරක් ගන්න. ඒ තීරණය සමහර විට උද්ඝෝෂණයකට එහා ගිය උපවාසයක් හෝ මාරාන්තික උපවාසයක් විය හැකියි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය උසාවි ක්‍රියාමාර්ගයකින් අවසන් වන්නත් පුළුවන්. එහෙම තීරණයක් ගන්න වුණොත් මේ ප්‍රශ්නය විසඳන්න මෙතෙක් කටයුතු නොකළ සියලු බලධාරීන්ට ඒකේ වගකීම ගන්න වෙනවා.’
‘ඒ නිසා මේ ගැටලුවට වහාම විසඳුම් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. මේ ප්‍රශ්නය නිසා අපේ ගොවිතැන් වගේම පරිසරයත් විශාල ලෙස විනාශ වෙලා. ඒ නිසා මේකට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතුයි කියලා අපි නැවතත් මතක් කරනවා.’


නිපුණා සාරංගි