අය-වැයට පෙර පැමිණි කසකාරයෝ

383e649f18cc6069882f006bbfe2eca5_XL
හැම යුගයකම බඩුමිල ඉහළ ගියා…
October 17, 2017
ලුfbhz
මහින්ද නැති අතර ශිරන්තිට කේක් කටක් !
October 17, 2017
Show all

අය-වැයට පෙර පැමිණි කසකාරයෝ

ක්‍රි 333

තව සති කීපයකින් 2018 වර්ෂය සඳහා අය-වැය කතාව කියවීමට ආණ්ඩුවේ මුදල් ඇමති සුපුරුදු පරිදි සූදානමින්ය. ඒ අතර අයවැයේ ඇත්ත අයිතිකරුවෝ පූර්ව කටයුතු සූදානම් කිරීමේ සංචාරවල යෙදී ආපසු මව් රට රාජ්‍ය බලා ආපසු ගියෝය. මෙසේ ඇවිත් ගිය අයවැය ඇත්ත අයිතිකාරයන් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය. ඒ ඇත්ත අයිතිකරුවන් ගැන ඔබට ඔබේ මතකයෙන් අවදි වූ කරුණු නිවැරදිය. තුන්වැනි ලෝකයේ රටවල සංවර්ධනයේ නාමයෙන් මැදිහත් වන අධිරාජ්‍යවාදී බළල් අත් දෙක වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය.
ඒ වූ මූල්‍ය අරමුදල ලෝකය මත කරන ලද විනාශය මුලින්ම හෙළි කළේ ඩේවිඩ්සන් එල්බුඩුය. ඔහු එහි සිටි අධ්‍යක්ෂවරයෙක්ය. එල්බුඩු සඳහන් කර තිඛෙන්නේ තුන්වැනි ලෝකයේ රටවල් මත කරන ලද ලේවැකි විනාශයෙන් තමන්ගේ දෑත්වල ද ලේ තැවරී තිඛෙන බවය. එම ලේ සෝදා හැරීමට මුළු ලෝකයේම තිඛෙන සබන් ගෙනාව ද ප්‍රමාණවත් නොවන බවය. ඒ ලේ සෝදා හළ නොහැකි බවය. ඔහුගේ එම පාපොච්චාරණයෙන් මේ සංවිධානවල ක්‍රියාකාරීත්වයේ තරම ගැන සිතා ගත හැකිය. සංවර්ධනයේ නාමයෙන් තුන්වැනි ලෝකයේ රටවලට කරන විනාශය එතරම් බිහිසුණුය.
ඩේවිඩ්සන් එල්බුඩුට පසු එහි සිටි තවත් අධ්‍යක්ෂවරයකු වූ ඩේවිඩ් පර්කින්ස් මහා සංහාර පිළිබඳව තවත් තොරතුරු හෙළි කළේය. එය ආර්ථීක ඝාතකයකුගේ පාපොච්චාරණයක් වූයේය. අධිරාජ්‍යවාදී කේන්ද්‍රයේ රටවලට අවශ්‍ය පරිදි කටයුතු නොකරන පරිධියේ රටවල නායකයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කිරීම දක්වා තොරතුරු එයින් හෙළි කර තිබුණේය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු කොල්ලකාරී ආර්ථීකය දියත් කිරීමට යොදා ගන්නා ලද පෙර කී බළල් අත් දෙකක් වූයේ මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවය. මේ දෙක එක් වී අන්‍යෝන්‍ය වශයෙන් මෙහෙයවූ ආර්ථීක සංහාර පිළිබඳව තවමත් හරිහැටි ගණන් බැලීම් කර නොමැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සම්බන්ධයෙන් ඔබට මතක් වූ මේ කරුණු සමඟ අපේ රට ගැන කල්පනා කිරීමට අවශ්‍යය. විශේෂයෙන්ම 1978 සිට රට වේගවත් ආර්ථීක සංවර්ධනයකට යොමු කරන බව කියමින් කර තිඛෙන්නේ මොනවාද යන්න වෙනම සවිස්තරව සාකච්ඡා කළ යුතුය. එතෙක් එක් දෙයක් ගැන අවධානය යොමු කරන්නේ නම්, 1977 වර්ෂය අවසන් වන විට තිබූ රුපියල් කෝටි 2,499ක මුළු ණය බර දැන් රුපියල් කෝටි දශලක්ෂයක් පමණ කර ඇත. එසේ කිරීමට නියෝග කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේ රටවල් යනුවෙන් හඳුන්වන ලද සංවිධානය. ලබන 2018 වසර වෙනුවෙන් මුදල් ඇමති විසින් අය-වැය කතාව කියවීමට නියමිතව තිබිය දී මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලංකාවට ඇවිත් ගියහ.
පසුගිය සැප්තැම්බර් මස 18 වැනි දින සිට 29 වැනි දින දක්වා පුරා දින 11ක සංචාරයක්ය. කණ්ඩායමේ නායකත්වය දරා තිබුණේ, ජේවූ ලී (Jaewoo Lee)ය.
මෙම සංචාරය අළලා ශ්‍රී ලංකා මහ බැංකුව නිල නිවේදනය නිකුත් කර තිබිණි. ‘ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා’ එම කණ්ඩායම පැමිණි බව නිල නිවේදනයේ සිරස්තලයේ දැක් වේ. 1977 සිට ගෙවී ගිය දසක හතරක් පුරා මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මෙහි පැමිණ ආපසු ගිය විට නිකුත් කරන්නට ඇත්තේ, ‘ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡා කිරීමට’ යනුවෙන් බව පැහැදිලිය. ඔවුන් ප්‍රකාශ කරන ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් ඔවුන්ම ප්‍රකාශ කර ඇති දේ අපට වැදගත්ය. ඉහත කී මහ බැංකු නිවේදනයේ තැනින් තැන ඒ ගැන කරුණු සඳහන් කර තිබේ.
‘විස්තීර්ණ ණය පහසුකමෙහි තෙවන ආර්ථීක කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව රජය සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් දූත මණ්ඩලය සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළේය. ඔක්තෝබර් මාසයේ දී වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව මේ පිළිබඳව තව දුරටත් සාකච්ඡා කරනු ඇත.’
සාමාන්‍ය ජනතාවට නොතේරෙන ‘විස්තීර්ණ ණය’ යනු කුමක් දැයි මුලින්ම පැහැදිලි කර ගත යුතුය.
පසුගිය වසරේ මූල්‍ය අරමුදල විසින් ලංකාවට අනුමත කරන ලද වාරික හතකින් ලබා දීමට නියමිත ඩොලර් මිලියන 1,550ක ණය මුදලය. මේ අනුව ණය මුදලෙන් දැනට ලබා දී ඇත්තේ, වාරික තුනක දී ඩොලර් මිලියන 500කට අඩු ප්‍රමාණයක්ය. ආණ්ඩුව පූර්ව කොන්දේසි ඉටු කළ පසු පළමු වාරිකය ලබා දෙනු ලැබීය. ඊළඟට පැන වූ කොන්දේසි ඉටු කිරීමෙන් පසුව දෙවැනි වාරිකය ලබා දෙනු ලැබීය. විශේෂයෙන්ම තුන්වැනි වාරිකය ලබා දීමට දේශීය ආදායම් බදු පනත සම්මත කර ගන්නා ලෙස කොන්දේසි පනවා තිබිණි. එය ඉටු කිරීමෙන් පසු තුන්වැනි ණය වාරිකය සඳහා ඩොලර් මිලියන 155ක් ලබා දෙනු ලැබීය. ‘තෙවන ආර්ථීක කාර්යක්ෂමතා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ, එය වේ.
මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එය ගැන විශේෂයෙන් සඳහන් කර තිබිණි. ‘දේශීය ආදායම් බදු පනත සම්මත කර ගැනීම විශාල ජයග්‍රහණයක් වන අතර, එය රජයේ සුභවාදී සහ සංවර්ධන වැඩසටහන් සඳහා සහාය වනු ඇත.’ යනුවෙන් සඳහන් කර තිබේ. මූල්‍ය අරමුදල උදම් අනන්නේ මේ නව බදු පනත සම්මත කර ගැනීම විශාල ජයග්‍රහණයක් බව සඳහන් කරමින්ය. රවී කරුණානායක, මුදල් ඇමතිව සිටිය දී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පමණ වැට් බදු ඉහළ දැමූ අයුරු කාටත් අමතක විය නොහැක. එසේ කිරීමට මුල් වූයේ මූල්‍ය අරමුදලෙන් මෙම ණය ලබා ගැනීමටය. එදා මුදල් ඇමති, රවී කරුණානායක දැන් මහ බැංකුවට චෝදනා කර තිබුණේ, ඉහළ නිලධාරීන් කීප දෙනෙකුගේ අත්තනෝමතික තීරණ නිසා බඩු මිල ඉහළ යන බවය. මහ බැංකු අධිපතිවරයා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී කරුණානායකගේ චෝදනාව ගැන ප්‍රශ්න කරනු ලැබීය. අධිපතිවරයා එයට පිළිතුරු දී තිබුණේ, දක්ෂ, කාර්යක්ෂම නිලධාරීන් රැසක් මහ බැංකුවේ සිටිමින්, කටයුතු කරන අතර, බඩු මිල ඉහළ යන්නේ වැට් බදු ඉහළ දැමීම නිසා බව ප්‍රකාශ කරමිනි.
දේශීය ආදායම් බදු පනත සම්මත කර ගැනීම විශාල ජයග්‍රහණයක් බව සඳහන් කරන මූල්‍ය අරමුදල එහි ඉදිරි කි්‍රයාමාර්ග සම්බන්ධයෙන් කර තිබුණු නියෝග ගැන තේරුම් ගැනීම අතිශය වැදගත්ය.
‘ශක්තිමත් ආදායමක් පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීම ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය අඩු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.’ මෙරට රජයේ ණය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ඒ හමුවේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට ණය අඩු කරගෙන ආදායම් ශක්තිමත් කර ගත යුතු බව දන්වා තිබේ. එතනින් නොනැවතී ඊළඟ පියවර සඳහා ලබා දී තිඛෙන නියෝග ‘කොකාගේ සුද’ ඉතා හොඳින් ප්‍රදර්ශනය කරවන්නක්ය.
‘2018 වසරේ අය-වැය තුළින් ඉදිරිපත් කරනු ලබන සමාජයීය සහසංවර්ධන වියදම් මූල්‍යනය කිරීම සඳහා බදු පදනම තව දුරටත් පුළුල් කිරීම අවශ්‍ය වේ.’ යනුවෙන් සමුළුව සඳහන් කර තිබේ. පොදු මහජනතාවට තේරුම් ගැනීමට අසීරු ලෙස මේ කියා තිඛෙන්නේ කුමක්ද? ලබන වසරේ අය-වැය සම්බන්ධයෙන් බව නම්, පැහැදිලිය. එයින් පොදු ජනතාවගේ සුභසාධනය සඳහා දරන වියදම් සහ සංවර්ධනය සඳහා දැරීමට නියමිත වියදම් පියවා ගැනීමට බදු අය කිරීම් තව දුරටත් පුළුල් කළ යුතු බවය. බදු ඉහළ දැමීම හෝ බදු පදනම පුළුල් කිරීම කළ නොහැකි නම්, සුභසාධන වියදම් සහ සංවර්ධන වියදම් කපාහැරිය යුතු බව අනෙක් පැත්තෙන් නොකියා කියා ඇත. එයින් ද නොනැවතී බදු ආදායම් ඉහළ දැමීම ගැන තව දුරටත් අවධාරණය කර තිඛෙන්නේ මෙසේය:
‘බදු ගෙවන්නන්ගේ ඉහළ දැනුම්වත් භාවය සහ පෙර සූදානම යනාදී කරුණු පෙරදැරි කරගෙන දේශීය ආදායම් බදු පනත අපහසුවකින් තොරව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුය.’ දේශීය ආදායම් පනත සම්මත කර ගත්තාට පමණක් මඳිය. එය ඉතා හොඳින් කි්‍රයාත්මක කරන ලෙස ද නියෝග කර තිබේ. බදු ඉහළ දැමීමට ක්‍රියා කරන ලෙස නියෝග කිරීමෙන් පසුව රටේ බඩු මිල ඉහළ යාම කෙරෙහි ද අවධානය යොමු කර ඇත. එසේ කර තිඛෙන්නේ බඩු මිල ඉහළ යාම මිනිසුන්ට ඉතා සංවේදී කරුණක් නිසා පාරට බැස අරගල කිරීමට තිඛෙන ඉඩකඩ වළක්වා ගන්නා සූදානම ද ආණ්ඩුවට තිබිය යුතු බව අවධාරණය කිරීමය.
‘උද්ධමන පීඩනය අධීක්ෂණය කිරීම සඳහා ශී්‍ර ලංකා මහ බැංකුව අඛණ්ඩව සුපරීක්ෂාකාරීව සිටිය යුතු අතර, උද්ධමනය සහ ණය වර්ධනය සීමා කිරීමට අවශ්‍ය වේ නම්, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානම් විය යුතුය.’
බදු ඉහළ දැමීම ඇතුළු ආණ්ඩුවේ ආර්ථීක උපායමාර්ග මෙන්ම පවතින කාලගුණ විකෘතිය හමුවේ රට තුළ බඩු මිල ඉහළ යාම වේගවත් වී තිබේ. එහෙත්, එය පාලනය කිරීමට සුපරීක්ෂාවෙන් සිටීමේ වගකීම ආණ්ඩුවට පවරා තිබේ. අනෙක් පැත්තෙන්, රටේ ණය බර ඉතා වේගයෙන් වර්ධනය වීම ද සීමා කළ යුතු බවට නියෝග කර තිබේ. බඩු මිල ඉහළ යාම සහ රටේ ණය බර ඉහළ යාම සීමා කිරීමේ දැඩි සූදානමකින් සිටිය යුතුය. එසේ කළ නොහැකි නම්, ‘මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානම්ව සිටිය යුතුය.’ යනුවෙන් නියෝග කර තිඛෙන්නේ කුමක්ද?
නැවතත් සාමාන්‍ය ජනතාවට නොතේරෙන සිංහලෙන් නියෝග කර තිඛෙන්නේ රජයේ වියදම් කපා දැමීමට සූදානම් විය යුතු බවය. එයට සමගාමීව ඉහත සඳහන් කළ පරිදි බදු ඉහළ දැමීමට ද සූදානම් විය යුතු බව නැවත නැවත අවධාරණය කර නියෝග කර තිබේ. රජයේ මුදල් ප්‍රතිපත්තිය යනු ආදායම් ඉහළ දමා ගැනීම සහ වියදම් කපාහැරීමය. මේ අතර, මූල්‍ය අරමුදලේ නියෝගවල කිසිසේත් අමතක නොකරන ලද දෙයක් ද තිබේ. ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රජය සතු වාණිජ ව්‍යවසායන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කි්‍රයාවට නැංවීම කඩිනම් කිරීම ඉතා වැදගත් ප්‍රමුඛතාවයක් වේ.’
මේ කියන්නේ රජයට තිඛෙන ඉදිරි ව්‍යවසායයන් ටිකත් විකුණා දමන නියෝගය හැර වෙන දෙයක් නොවේය. ලබන වසර වෙනුවෙන් අයවැය කතාව පැවැත්වීමට පෙර කසකරුවා එළියට බැස ඇත්තේ මෙසේය. ලෝකය හපයක් කළ මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා මෙයින් ඉතා කදිමට නිරූපණය වේ. මේ ආර්ථීක, දේශපාලන ගමන මේ ලෙසම ඉදිරියට යාමට ඉඩ දී තව දුරටත් බලා සිටින්නේ දැයි මහජනතාව තීරණය කළ යුතුය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර