අලියා – අන්ධයෝ හා නව ව්‍යවස්ථා කෙටුම්පත

න්න
ආණ්ඩුව අධිවේගයෙන් ජන ජීවිතත් යට කරනවා
October 17, 2017
ඩුfdhg
දැන් සයිටම් රකින්නේ ආණ්ඩුව විතරයි
October 17, 2017
Show all

අලියා – අන්ධයෝ හා නව ව්‍යවස්ථා කෙටුම්පත

නව ව්‍යවස්ථා කෙටුම්පත

අන්ධයන් පිරිසක් අලියාගේ හැඩරුව කිව් අන්දම ජනප්‍රවාදයේ පවතින කතාවකි. අලියාගේ හොඩවැල, කකුල්, කන හා වල්ගය ආදිය වෙන වෙනම අල්ලා ගත් එක් එක් අන්ධයන් තමාගේ අතට අසුවූ අවයවයේ හැඩය ඇතැයි කීවේලු. වර්තමානයේ රටතුළ ඇති වී තිඛෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවද මීට නොදෙවෙනි බව කෙරෙන විවිධ ප්‍රකාශවලින් පෙනී යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග මේ සංවාදය අලුත් වී තිබේ.
මෙයට පක්ෂව කරුණු දක්වන වැඩි දෙනෙක් මෙය ස්වර්ණමය අවස්ථාවක් ලෙස හඳුන්වා තිබුණි. ඔවුන් පවසන්නේ රටේ ප්‍රධාන පාර්ශ්වයන් වැඩි ප්‍රමාණයක් මේ පිළිබඳව නම්‍යශීලීව මැදිහත්වීම දුර්ලභ තත්ත්වයක් බවයි. අනෙක් කරුණ නම් වත්මන් හවුල් ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා ජනවරමක් හිමි වී ඇති බවයි.
මෙයට එරෙහිව කරුණු දක්වන ඇතැම් අය පවසන්නේ මෙය රට ඛෙදන, බුද්ධාගම නොසලකා හරින, මර උගුලක් බවය. තවත් පාර්ශ්ව, විශේෂයෙන් උතුරේ ඇතැම් දෙමළ සංවිධාන ප්‍රකාශ කරන්නේ මෙහි බලය ඛෙදීම නාමික මට්ටමේ පවතින නිසා ඔවුන් මෙයට විරුද්ධ බවය. පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් මේ සම්බන්ධව දක්වා තිබූ අදහස් හේතුවෙන් සංවාදය තවත් අලුත් වී තිබේ.
එක් පැත්තකින් වත්මන් හවුල් ආණ්ඩුවේ සොරකම් හා ජාතික සම්පත් විකුණා දැමීම ආදී කරුණු නිසා ආණ්ඩුව කරන කවර කටයුත්තක් වුවද ඒ දෙස සැකයෙන් බැලීමට බොහෝ දෙනා පෙළඹී තිබේ.
එහෙත් මෙහිදී කිව යුතු වැදගත් කරුණක් වන්නේ මේ සංවාදයේ නියුතු සියලු දෙනා කතා කරනුයේ මෙහි අඩංගු ප්‍රධාන කරුණු 03න් එකක් වන බලය ඛෙදීම සම්බන්ධ කරුණු ගැනය. අනෙක් කරුණු වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමත් සම්බන්ධව කිසිවෙකු කතා කරනු නොපෙනේ. සැබැවින්ම නව මැතිවරණ ක්‍රමය සම්බන්ධ යෝජනාවට සියලූ පාර්ශ්ව වල එකඟත්වය පවතින බව පෙනේ.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බව කියමිනි. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ගත් විට විධායක ජනපති ක්‍රමය විශාල තර්ජනයක් බවට විවාදයක් නැත. ජේ.ආර්. ජයවර්ධන මහතා ඇති කළ මෙම අසීමිත බලය විසින් පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වතාවක් තම පටු උවමනාවන් වෙනුවෙන් සංශෝධනයට ලක් විය. එසේ නොවූයේ 17 වන හා 19 වන සංශෝධනවලදී පමණි. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා වන විට ඔහු වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාගේ ප්‍රධානම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති බලය අහෝසි කිරීමය.
මැතිවරණ ක්‍රමයද ආසනයට වගකියන මන්ත්‍රීවරයෙකු ලැඛෙන පරිදිත්, සමානුපාතික ක්‍රමය රැකෙන පරිදිත්, මනාප පොරය ඉවත් වන පරිදිත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මතුව තිබිණි.
අනෙක් කරුණ වන්නේ බලය ඛෙදීමයි. මෙම කරුණ සම්බන්ධව විවිධ පාර්ශ්වයන් අතර විවාදයක් පවතින අතර මෙම අතුරු කමිටු වාර්තාවට ඒ පිළිබඳව එකඟත්වයක්ද, විවාදාත්මක මතයක් පවතින ඒවාද ඇතුළත් කර ඉදිරිපත් කර තිබේ. මෙහිදී ‘ඒකීය’ යන අදහසට දෙමළ සන්ධානයේ එකඟතාවය ලැබීමත්, උපරිම ලෙස බලය විමධ්‍යගත කිරීමට ප්‍රධාන පක්ෂවල එකඟතාවය ලැබීමත් සුවිශේෂී තත්ත්වයක් බව ව්‍යවස්ථාවට පක්ෂ අයගේ අදහසය. තවදුරටත් එහි සිදු විය යුතු සංශෝධනය පිළිබඳ එක් එක් පාර්ශ්වයන්ට තම යෝජනා ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව පවතී. බලය විමධ්‍යගත කිරීමේ අදහස මතු වන්නේ විවිධ ජන කොටස්වලට තම වර්ගය, ජාතිකත්වය, ආගම, කුලය හෝ ප්‍රදේශය නිසා තම ජීවන අවශ්‍යතා හා පරිපාලන ක්‍රියාවලිය සමග පවතින ගනුදෙනු කරගෙන යාමට බාධා පැමිණවීම නිසාය. එහෙත් එය මූලික මිනිස් අයිතියකි. මෙම ප්‍රශ්නය පටු ජාතිවාදී බලවේග තම බල උවමනාවන්ට යොදාගත් බවද, අදද එසේ උත්සාහ කරන පිරිසක් සිටින බවද සත්‍යයකි.
අනෙක් පසින් අද බලය ඛෙදීම පිළිබඳ මහා බිල්ලෙකු මවන මහින්ද රාජපක්ෂ කණ්ඩායම 13 වන සංශෝධනයටත් ඔබ්බට ගිය බලය ඛෙදීමකට (13+) එකඟ වී සිටි බව මෙහිදී සිහිපත් කළ යුතුය. එබැවින් පටු බලලෝභී දේශපාලන කණ්ණාඩි ගලවා සැබෑ ජනතා අයිතිවාසිකම් යන්න පදනම් කරගෙන සහ පුළුල් දේශපාලන දැක්මකින් මේ ප්‍රශ්නය දෙස බැලිය යුතුය. විවාදාත්මක කරුණු සම්බන්ධ පැමිණිය හැකි අවම එකඟතාවක් ඇති කර ගැනීමේ පුළුල් හා විවෘත සාකච්ඡාවක් අවශ්‍ය වන්නේ ඒ සඳහාය.
කෙසේ නමුත් සාපේක්ෂව වඩා හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විනා සැබෑ ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙවන් ආණ්ඩුවලින් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමකට සමාන බවද කිිව යුතුව තිබේ.
එසේ වුවත් අලියා සහ අන්ධයන් මෙන් හැසිරෙනවා වෙනුවට සිහි බුද්ධිය ඇති මිනිසුන් මෙන් විමර්ශනශීලි වීම මෙහි වැදගත්ම අවශ්‍යතාවයයි.