කීවොත් සග නසී නොකීවොත් රට නසී…!

ණ්jhgfds
ජීවකයන්ගෙන් ජීවය ඉල්ලන ඉසිවර අසපුවක සිට…
October 17, 2017
ණීfgtmskdtu
ප්‍රතිවිප්ලවය ඇරඹේ… කෙරෙන්ස්කි 5000ක් රැගෙන සටනට
October 17, 2017
Show all

කීවොත් සග නසී නොකීවොත් රට නසී…!

ලුdgbSA

චීවරධාරී රස්තියාදුකාරයන් පිරිසක් හා ජාතිවාදී උන්මාදයෙන් පෙළෙන පිස්සන් රැළක් අපේ රට ලෝකය ඉදිරියේ නැවතත් අවමානයට පත් කර තිඛෙනවා. බුද්ධ චීවරය අපරාධ කිරීමට, මිනිසුන්ට පහර දීමට හා නීතියට අවනත නොවී සිටීමට ලත් බලපත්‍රයක් සේ සලකා මේ පිරිස ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රඳවා සිටි මියන්මාර ජාතික සරණාගතයන් පිරිසකට හිරිහැර, කරදර කළ පුවත දැන් ලෝකයේම අවධානයට ලක් වී අවසන්. වසර 2500කටත් වඩා නිර්මල ථෙරවාද බුදුදහම රකිනවා යයි කියන රටේ දැන් හැටි එහෙමය. අපට දැන් ධර්මද්වීපය කියන්නට වෙලා තියෙන්නේ මෙවැනි යමපල්ලන් පිරිසක් ඉන්නා රටකටය. සියලු සතහට මෛත්‍රී කළ යුතු යැයි වදාළ උතුම් බුද්ධ ශාසනයේ නාමයෙන් ජාතිවාදය, ආගම්වාදය පතුරවන සිවුරුධාරී මැරයන් ඕනෑම තැනකට කඩා වැදී පහර දෙන තත්ත්වයට පිරිහී ඇති රටක යළිත් දිවි ගෙවීමට අපට සිදු වෙලා තියෙනවා.
හන්දියක් ගානේ බෝගස් සිටුවා බුදු පිළිම තැබුවාට, පෝය දිනවල දන්සල් දුන්නාට, පිරිත්, බණ දේශනා කළාට, තුන් තිස් පැයේම බණ කීවාට, ධාතු වන්දනා කළාට මේ රටේ පෘථග්ජන ජනතාව තබා සසර කලකිරී මහණ වී සිටින ඇතැම් චීවරධාරීන්වත් බුදුදහමට අනුව ජීවත් වෙන බවක් පෙනෙන්නට නැහැ. බොහෝ කාලයක් තිස්සේ අළු යට ගිනි පුපුරු මෙන් සැග වී තිබුණු මේ ජාතිවාදී, ආගම්වාදී අදහස් යුද ජයග්‍රහණයෙන් පසුව මහින්දගේ දෙවැනි පාලන කාලය තුළ වේගයෙන් හිස ඔසවන්නට වුණා. බොදු බල සේනා, රාවණා බලය වැනි සංවිධාන කිහිපයක් කල්ලි ගැසී විවිධ ස්ථානවලට කඩා පනිමින්, මිනිසුන්ට පහර දෙමින්, භීෂණයක් පතුරවා තිබුණා. ඒ යුගයේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව ලැබූ මේ මැරයන් පොලිසියට හෝ නීතියට කිසිදු බියකින් තොරව තමුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැරියා. ඔවුන්ගේ ඉලක්කය වුණේ මුස්ලිම් ජනතාව හා සුළුතර ආගමික කණ්ඩායම්. ඒ ප්‍රහාර මාලාවේ අදුරුතම මොහොත වුණේ අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිතව සිදු වුණු පහර දීම. එයින් අහිංසක ජීවිත කිහිපයක් අහිමි වුණා. ඒ ගැන තවමත් කිසිදු සොයා බැලීමක් හෝ වගකිවයුත්තන්ට දඩුවම් දීමක් සිදුවී නැහැ. පටු දේශපාලන අරමුණු සහිත භික්ෂුන් හා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ පහර දීම් පිටුපස සිටි බව රහසක් නොවෙයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සුළු ජාතීන් අතර මහත් අප්‍රසාදයට ලක් වන්නටත්, ජාත්‍යන්තර වශයෙන් විශාල කොන් කිරීමකට ලක් වන්නටත් මේ මැරයන්ගේ ක්‍රියාදාමය හේතු වුණා. අවසානයේ මහින්දගේ පරාජයටත් ප්‍රධාන හේතුවක් වුණේ මේ ජාතිවාදී සංවිධාන බව රහසක් නොවේ.
එදා 2015 ජනාධිපති මෛත්‍රී රටේ ජනතාවට පොරොන්දු වූයේ මේ රටේ වළපල්ලට ගිය නීතිය යළි ස්ථාපිත කර, ජාතිවාදයට තිත තබා, ආගම්වාදයේ කුරිරු ගිනිදැල් නිවා, සාමය, සංහිදියාව ඇති කිරීමටයි. ජාතිවාදයේ යුද ගිනිදැල්වලින් අවුරුදු 30කටත් වඩා බැට කෑ, වටිනා ජීවිත හා දේපළ අහිමි කර ගත් රටක් හැටියට අප තවමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ. මහින්ද රාජපක්ෂ රජ පුටුවෙන් බිමට ඇද දමා මෛත්‍රීපාල සිරිසේන ඒ පුටුවේ වාඩි කළත්, තවමත් ඒ අශීලාචාර, ගෝත්‍රික, ම්ලේච්ඡ අදහස් රටෙන් ඈත් වෙලා නැහැ. ඒ වගේම ටික කාලයකට විතරක් නිහඩ වෙලා හිටපු මේ ජාතිවාදී කල්ලි නැවතත් තමන්ගේ සුපුරුදු මැර ක්‍රියාවන් සිදු කිරීම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව චීවරයට ඇති ගෞරවය නිසා යහපාලන ආණ්ඩුවේ නායකයන් මේවා යටපත් කිරීම නැතිනම් ඉවසා සිටීම. ඒත් මේ නිහඩතාවයේ අවසාන ප්‍රතිඵලය මේ වගේ ක්‍රියා නිසා ජාතිකත්වයන් අතර විශ්වාසය පළුදු වීම හා ජාත්‍යන්තරය අප රට කෙරෙහි දක්වන ආකල්පයට හානි වීම බව කාටත් පෙනෙන සත්‍යයක්.
මියන්මාර සරණාගතයන්ගේ ප්‍රශ්නය සලකා බැලීමේ දී මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ 2008 වසරේ දී වගේම 2013 දීත් මේ අන්දමින් සරණාගතයන් මෙරට රැදී සිටි බව පැවසෙනවා. ඒ කාලයේ මේ ගැන නිහඩව සිටි මේ පුද්ගලයන් දැන් මේ කුලප්පු වෙලා දගලන්නේ ඇයි ? මේ රටේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහිල්ලා සංහිදියාව වෙනුවෙන් හිමිහිට ගමනක් යන්නට කල් ඉල්ලනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්ට හා මහ ලේකම්ට මේ රටේ සංචාරයකටත් ආරාධනා කරනවා. මේ අතරවාරයේ රට ඇතුළේ රජයේ රැකවරණය යටතේ සිටි සරණාගතයන් පිරිසක් පහර දීමට ලක් වෙනවා. රටේ නීතිය අන්ධව බලාගෙන සිටිනවා. මෙයින් මේ රටේ මැදිහත් ප්‍රජාව මෙන්ම ජාත්‍යන්තරය ද තේරුම් ගත යුත්තේ කුමක් ද? ශ්‍රී ලංකාවේ නීතියක් කියා දෙයක් නැති බව ද? තිඛෙන නීතිය අහිංසකයාට එක විදිහකටත්, බලවතාට තවත් විදිහකටත් සලකන බව නොවේ ද? යුගයක මිනී කන්නන්ගේ දේශය හැටියටත්, තවත් කාලයක මානව හිමිකම් නොසලකන ම්ලේච්ඡ රටක් ලෙසත් අවමානයට පාත්‍රව තිබූ රට 2015 දී මෛත්‍රී ජනාධිපති විසින් යළි පීලිගත කළා යයි කීවාට එසේ වී නැති බවද? ඥානසාර ඇතුළු මේ මැර භික්ෂුන් ආරක්ෂා කිරීම පිටුපස ජනාධිපති උපදේශකකම් දරන තවත් භික්ෂුවක් සිටින බව කියවෙනවා.
දේශපාලන හේතු, ජාතිවාදී, ආගම්වාදී ගැටුම්, සිවිල් යුද්ධ ආදිය නිසා යම් යම් රටවල මිනිසුන් සරණාගතයන් ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වෙනවා. තමුන්ගේ ජීවිත බේරා ගැනීමට ලොකු අවදානම්වලට මුහුණ දෙමින් කොතැනකට හෝ ආරක්ෂිත තැනකට යාම මේ අසරණයන්ගේ අරමුණයි. එතැන දී ජාති, ආගම්, භේද හෝ ධනවත්, දුප්පත් භේද නැහැ. අපේ රටේ විශාල පිරිසකුත් පසුගිය කාලයේ දී වෙනත් රටවලට සරණාගතයන් ලෙස පලා ගිය බව රහසක් නොවෙයි. දෙමළ හා මුස්ලිම් පිරිස් මෙන්ම සිංහල ජාතිකයන් ද මෙසේ පලා ගියවුන් අතර සිටිනවා. රාජපක්ෂ රෙජීමයේ මර්දනයන් හමුවේ පලා ගිය මාධ්‍යවේදීන් ඇතුළු සමාජ ක්‍රියාධරයන් පිරිස් ද මේ අතර සිටිනවා. ඒ වගේම ඉක්මනින් ධනවත් වීමේ සිහිනය දරාගෙන යුරෝපයට හා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න උත්සාහ කරන නීති විරෝධි සංක්‍රමණිකයන් පවා ලංකාවේ සුලබ තත්ත්වයක්. අදටත් ඉන්දියාවේ කදවුරු කිහිපයක ලාංකික සරණාගතයන් සිටිනවා. ලෝකයම යුද පිටියක් බවට පත් වෙමින් තිඛෙන මේ කාලයේ  දී සරණාගත ගැටලුව බොහෝ රටවලට තිඛෙන ප්‍රශ්නයක්. සමහර රටවල් හිත්පිත් නැති ස්වභාවයෙන් සරණාගතයන් පලවා හරිද් දී, තවත් රටවල් මානුෂිකව ඔවුුන් දෙස බලමින්, ඔවුන්ට ආරක්ෂාව සපයමින් සිටිනවා. නීතිරීති මොනවා වුණත් මිනිසුන් ලෙස එවැනි අසරණයන්ට පිහිට වීම, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දීම උතුම් ක්‍රියාවක්. විශේෂයෙන්ම දරුවන් හා කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම මිනිස් යුතුකමක්.
ප්‍රශ්නය තියෙන්නේ මේ අහිංසක මිනිස්සු නිසා අපේ රටට, ජාතියට, ආගමට ප්‍රශ්නයක් වෙන්නේ කොහොම ද කියන එකයි.
ඒ අතරේ මේ පහර දීම ගැන වෙනත් කතාවකුත් ඇහෙනවා. මේ සරණාගතයන් අතර සිටි තරුණියක් පහුගිය කාලයේ දූෂණයට ලක් වුණා. ඒ පොලිස් නිලධාරියෙකු අතින්. මේ පහර දීමට පැමිණි අය අතර, ඒ පොලිස් නිලධාරියාගේ ඥාතීන් හා හිතවතුන් සිටි බවට එළිවෙලා තිඛෙනවා. මේ සංවිධානාත්මක ක්‍රියාව පිටුපස ඒ ස්ත්‍රී දූෂක නිලධාරියා ඉදලා තිඛෙනවා. එහෙම බලද්දී අපේ රටේ සිවුර හා ජාතිවාදය පාවිච්චි වෙන ආකාරය පැහැදිලිව පෙනෙනවා. පහුගිය කාලයේ එක්තරා මුස්ලිම් ඇගලුම් අලෙවි සලක් ඉලක්ක කර ගත් ප්‍රහාර පිටුපස ලංකාවේ ප්‍රසිද්ධ තවත් අලෙවි සල් කිහිපයක් තිබුණා. තමුන්ගේ අලෙවිය වැඩි කර ගන්න කරපු බාල උපක්‍රමයක් නිසා ලංකාවට වුණු හානිය මේ වෙළෙන්දන්ට වැඩක් නැහැ. ඒ වගේම මේ සිද්ධියේ දී ස්ත්‍රී දූෂකයෙකු ආරක්ෂා කරන්න සිවුරට සිදු වෙලා. ඒ රට, ජාතිය, ආගම රකින්න ස්ත්‍රී දූෂණය වැදගත් වෙන නිසා ද කියලා මේ භික්ෂුන් පැහැදිලි කළොත් හොදයි.
කොටින්ට බයේ යුද්ධ කාලෙ දි එළියට බැස්සෙ නැති මේ පුස් ජාතික වීරයෝ කෑ ගැහුවාට රිමාන්ඩ් වෙන්න, දඩුවම් ලබන්න බයයි. නඩු මගහරිමින් හැංගිලා විදේශගත වෙන්නේ ඒකයි. නීතිය දැඩිව මේ අයට විරුද්ධව ක්‍රියාත්මක කළා නම්, බොහොම ටික දවසකින්ම මේ ජාතිවාදී රැල්ල සහ පුස් ජාතික වීරයෝ හැංගෙන හැටි බලා ගන්න පුළුවන්. මේ අය කෑගැහුවාට ඔවුන්ට ඇත්තටම ජනතාව අතර ලොකු පදනමක් නැහැ. පහුගිය මැතිවරණයේදී ‘නයා’ ලකුණෙන් ඡන්දය ඉල්ලපු බොදු බල සේනාවට ලැබුණු ඡන්ද ප්‍රමාණය බැලුවාම ඒක තේරෙනවා. ‘අපි හිරේ දැම්මොත් ආණ්ඩුවත් පෙරළනවා’ කියල කෑ ගැහුවාට පහුගිය දවසක ඥානසාර භික්ෂුව රිමාන්ඩ් වෙලා සතියක් දෙකක් හිටියත් කවුරුත් ආණ්ඩුව නම් පෙරළන්න ආවෙ නැහැ. ඇත්ත තත්ත්වය ඒකයි.
මේ රටේ ටිකෙන් ටික හිස ඔසවමින් තිබුණු ජාතිවාදී කල්ලිවලට එළිපිටම හැසිරෙන්න ලයිසන් දුන්නේ මහින්ද රාජපක්ෂ පාලනය බව පැහැදිලියි. ගෝඨාභයගේ ආරක්ෂාව ලබමින්, සිවිල් හැදගත් හමුදා සෙබළුන් එක්ක වාහනවල යමින් පහරදීම් සිදු කරපු ඥානසාර කල්ලියට නෝර්වේ රටින් ආධාර ලැබුණු බවත් හෙළිවුණා. ඒ තවත් යුද්ධයක් මේ රටේ ඇතිවෙන එක නෝර්වේ රටට හොදක් නිසා. රාවණා බලය කල්ලිය පිටුපස හිටියේ විමල් වීරවංස. ඒ තමුන්ගේ පදනම හදාගන්න ජාතිවාදය පාවිච්චි කරපු තවත් වසලයෙක්. හෙළ උරුමයේ චම්පික රණවකටත් මෙහෙම කල්ලියක් තිබුණු බව රහසක් නොවෙයි.
හිස් ගෙඩි ගණනින් බෞද්ධයන් හා සිංහලයන් වැඩි කරන එක මොවුන්ගේ අරමුණ වුණත්, සැබෑ බෞද්ධ ප්‍රතිපත්තිය හෝ නියම සිංහලයන්ගේ සදාචාරය මොවුන් තුළ නැහැ. ලංකාවේ ක්‍රිස්තියානි ආගම පැතිර වූ මුල් පූජකයන් නවාතැන් ගත්තේ පන්සල්වල බව කියැවෙනවා. ඒ තරම් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ සැබෑ භික්ෂුව වෙනත් ආගම්වලට හෝ ධර්මයන්ට බිය නැති නිසයි. සැබෑ බෞද්ධයන් තමුන්ගේ ප්‍රතිපත්තිය කිසිදා වෙනස් නොකරන බව දන්නා නිසයි. ඒත් මේ වෙනත් බාහිර බලවේග කිසිවකින් නොවන තරම් හානියක් බුදුදහමට මේ චීවරධාරීන් හා ළපටි වීරයන් නිසා සිදු වෙන බව නම් රහසක් නොවෙයි.
මේකත් හරියට ‘කීවොත් සග නසී – නොකීවොත් වෙහෙර නසී’ කිවුවා වගේ කතාවක්.
පන්සල්වල කුඩා හාමුදුරුවරුන්, කුඩා දරු දැරියන් කී දෙනෙක් අපචාරයට ලක් වෙනවා ද? සාස්තර කියන, යක්කු බදින, ප්‍රේතයන් ඇසුරු කරන භික්ෂුන් කොතරම් ඉන්නවා ද? ඒ මුවාවෙන් අසරණයන්ව රවටලා සල්ලි හූරාකනවා වගේම දරුවෝ ලබා දෙන බව කියලා කාන්තාවන් දූෂණය කරන සිවුරුකාරයන් කොතරම් ද? සුපිරි යාන-වාහන තියාගෙන, බංගලාවල කාමසුඛල්ලිකානු යෝගය වළදන කී දෙනෙක් සිටිනවා ද? හාමුදුරුවරු කී නමක් දේපළ, ඉඩම් නඩුවලට උසාවි ගාණේ බඩගානවා ද? ගම්මාන පිටින් අල්ලාගෙන ඉන්න භික්ෂුන් කොතරම් ඉන්නවා ද? විශාල ව්‍යාපාර, කඩ සාප්පු හිමිකම් විතරක් නෙවෙයි, පන්සල්වල දේපළ විකුණමින්, රටට ලැඛෙන කෝටි ගණන් ආදායම් තමුන්ගේ තනි භුක්තියට සින්න කර ගන්න සග හොරුන් නැති ද? නිධන් කඩන, කෞතුක වස්තු හොරකම් කරන, විතරක් නොවෙයි පාතාලයේ මිනී මරන භික්ෂුන් ගැන පවා පහුගිය කාලේ වාර්තා වුණා. එහෙම රටක අහිංසක සරණාගතයන් කිහිප දෙනෙක් නිසා බුද්ධ ශාසනය විනාශ වෙනවා කියන එක තරම් විකාරයක් තවත් කොහින් ද අපේ හාමුදුරුවනේ? පන්සල්වලට වෙලා රට වනසන දේශපාලුවන් දෙන පඩුරු පාක්කුඩම් පිළිගනිමින් ඉන්න, පරාජිත ඒකාධිපතියා වටේ හිදිමින් නොයෙකුත් කුමන්ත්‍රණ කරන, නායක මහා නායක යයි තනතුරු පට්ටම් දරන අපේ හාමුදුරුවරුන්ට තමුන්ගේ ශාසනය මේක ඇතුළෙම ඉන්න හොරු, අපරාධකාරයන්ගෙන් බේරා ගන්න අවශ්‍යතාවයක් නැති ද?
ලංකාවේ බුද්ධ ශාසනය මේ ගණින්නාන්සේලාගෙන් බේරා ගන්න වහාම ධර්ම සංගායනාවක් පවත්වන්න කාලේ හරි බවයි අපේ අදහස. ඒ වගේම ආණ්ඩුව පැත්තෙනුත් මේ සිවුරුධාරී චණ්ඩින් නවත්වන්න වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. තවත් යුද්ධයකට අපේ රට ඇදලා දාන්න මොවුන්ට ඉඩ නොදී, චීවරය හෝ බුද්ධ ශාසනය ගැන ගෞරවය එසේම තබා ගනිමින්, මේ සිවුරුකාර මැරයන්ට වහාම දඩුවම් දිය යුතුයි. එසේ නොකළොත් මහින්දගේ පාලනයට වගේම මේ ඉහද පණුවන්ගේ ක්‍රියාවලට මෛත්‍රී පාලනයටත්, වගකියන්න වෙනවා.


ඩී. බී. ඇල්කඩුව