ප්‍රතිවිප්ලවය ඇරඹේ… කෙරෙන්ස්කි 5000ක් රැගෙන සටනට

ලුdgbSA
කීවොත් සග නසී නොකීවොත් රට නසී…!
October 17, 2017
චමල් රාජපක්ෂ
චමල් රාජපක්ෂ ඇතුළු පහක් ශ්‍රීලනිපයෙන් එළවයි
October 18, 2017
Show all

ප්‍රතිවිප්ලවය ඇරඹේ… කෙරෙන්ස්කි 5000ක් රැගෙන සටනට

ණීfgtmskdtu

ඔක්: 25 දින රාත්‍රිය කෙරෙන්ස්කි ගත කළේ පැස්කොව් නගරයේය. මේ ඔහු බොල්ෂෙවිකයන්ට එරෙහිව සටන් කිරීමට හමුදා සොයා ආ ගමනය. ඔහු එහි සිට 26 දා විශේෂ නිවේදනයක් නිකුත් කෙළේය. ‘උත්තරීතර අණ දෙන නිලධාරියා වශයෙන් මා මගේ නිලයේ රැඳී සිටින පරිදි සෙසු සෑම නිලධාරින්ද, කොසැක්වරුද, හමුදා ප්‍රධානින්ද අලුත් ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රකාශයට පත් කරන තුරු තමන්ගේ තනතුරු වල රැඳී සිටිය යුතු බවට නියෝග කරමි….. ඒ අතර ඔහු තමන් ආ කටයුත්තෙහි එනම් හමුදා සපයා ගැනීමෙහි යුහුසුළු විය. එහෙත් ඔහුගේ ආයාචනයන්ට යහපත් ප්‍රතිචාරයක් ලද්දේ ක්‍රැස්නොව් නමැති ජෙනරාල්වරයාගෙන්
පමණි. කෙරෙන්ස්කි හමුවීමට ගිය ගමන ජෙනරාල් ක්‍රැස්නොව් මෙසේ සටහන් කරයි. ‘….. පැස්කොව්හි ඉපැර‚ මාවත් මායාකාරී සඳ එළියකින් නැහැවෙමින් තිබිණි. අධික බෑවුම් සහිත පටු මාවත් මධ්‍යකාලීන විචිත්‍රත්වයක් මවාලීය. කර්නල් පොපොව් හා මම එම මාවතක ඇවිද යමින් සිටියෙමු. අවට අවධානයෙන් ගැලවීමට උවමනා වූ බැවින් අපි මෝටර් රථයක් භාවිතා නොකෙළෙමු. යා යුතු තැන සොයා ගැනීමට බොහෝ වේලා ගතවිය. අන්තිමේදී අපි ඉවෙන් මෙන් පළමු මහලේ පහනක් දැල්වෙමින් තිබූ නිවසකට ගොඩවීමු. එහි නිදිවරන ලද මිනිසුන්ද, රතු ඇස් ඇති සුදුමැළි මුහුණු ද, සිතා ගත නො හැකි තරමේ අවුල් බවක් ද, කෙරෙන්ස්කි ද විය…’
කෙරෙන්ස්කි ක්‍රැස්නොව් වෙතින් ලද්දේ මැෂින් තුවක්කු 8ක්, කාලතුවක්කු 16ක් හා සෙබළුන් 500ක් පම‚. කෙසේ වෙතත් පසුව රැස්කර ගත හැකි වූ කැඩෙට් විදුහල් ශිෂ්‍යයන්ද, කොසැක් භට කණ්ඩායම් කිහිපයක්ද එක් කොට ගත්විට 5000 පමණ හමුදාවක් රැස්කර ගැනීමට කෙරෙන්ස්කි සමත් විය. සෝවියට් සභා සම්මේලනය විසින් බලය පවරාගෙන සම්මේලනවාරය අවසන් කරනවාත් සමඟම ඔක්: 27දා පාන්දර කෙරෙන්ස්කිගේ එම හමුදාව විසින් ගචිනාව (Gatchina) අල්ලා ගන්නා ලදී. (සටනක් සිදු වූ බවට වාර්තා වී නැත.)
මේ වන විටත් විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ හා තැපැල් සේවා මූලස්ථානයේ ආරක්ෂක භටයන් රඳවා තැබීම හැර බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් මොස්කව් නුවර අන්කිසිවක් සිදු වී නොතිබිණි. එහි නාගරික ඩූමාව හා දිස්ත්‍රික් හමුදා මධ්‍යස්ථානය විසින් විප්ලවවාදී හමුදා කොමිටිය අනවශ්‍ය සාකච්ඡා, ආදියට ඈඳා ගනිමින් තමන්ගේ සහයට යුද පෙරමුණෙන් බොල්ෂෙවික් විරෝධී හමුදා පැමිණෙන තෙක් කල් බලමින් සිට තිබිණි. අන්තිමේදී 27දා උදෑසන පවත්වමින් සිටි සාකච්ඡාවලින් හිටිවනම ඉවත්වුණු දිස්ත්‍රික් මිලිටරි මූලස්ථානය විනාඩි 15ක් ඇතුළත ආයුධ භාරදී යටත්වන්නැයි විප්ලවවාදී හමුදා කොමිටියට ආඥා පැනවීය. ඒ සමඟම ඔවුන් විසින් මොස්කව් නුවර යුද නීතිය (maltial law) පනවන ලද්දේය. එතැන් සිට ඔක්තෝබර් විප්ලවයෙන් ඇසෙන්නට වුයේ පුහු වෙඩි හඩ නොව ඇත්තම වෙඩි හඩය. එතැන් සිට එය ලියවුණේ ලේ වලිනි.
ඒ අනුව ක්‍රෙම්ලිනය තුළ සූදානමකින් තොරව සිටි බොල්ෂෙවික් හිතවාදී 56 වෙනි රෙජිමේන්තුව සමූල ඝාතනය කිරීමට කැඩෙට් භටයෝ සමත් වූහ.
ගචීනාව අල්ලාගත් කෙරෙන්ස්කිගේ හමුදා ද පෙත්‍රොග්‍රාද් ඩූමාවේ ගොඩනැගූ ගැලවීමේ කොමිටියද ඒකාබද්ධව පෙත්‍රොග්‍රාද් නුවර යළි අත්පත් කරගැනීමේ රහස් සැලසුමක් සකස්කර තිබුණු බව පසුව අනාවරණය විය. ගැලවීමේ කොමිටිය සතුව සිටියේ කැඩෙට් භටයන් 830ක් පමණි. නගරය තුළවූ වෙනත් හමුදා සේනාංක මධ්‍යස්ථව සිටියහ. ඔවුන්ගේ සැලැස්ම වූයේ ක්‍රැස්නොව්ගේ හමුදා පෙත්‍රොග්‍රාදයට පිටත සිට පහර දෙන විට එම කැඩෙට් භටයන් යොදවා ඇතුළත සිට පහර දීමය. පළමු අභ්‍යන්තර ඉලක්ක වූයේ මධ්‍යම දුරකථන හුවමාරුව හා මිකායිලොව්ස්කි හමුදා පාසලයි. හමුදා පාසලේ සන්නද්ධ රථ තිබීම එය ආරම්හක ඉලක්කයක් වීමට හේතු විය. පැව්ලොව්ස්කි හමුදා පාසලේ කැඩෙට් භටයන්ට පීටර් පෝල් බළකොටුව අල්ලා ගැනීම පැවරිණි. අවසානයේ සියල්ලන් එක්වී ස්මොල්නියට පහරදීමට නියමිතව තිබිණි. එය නියමිතව තිබුණේ ක්‍රැස්නොව් හමුදා පෙත්‍රොග්‍රාදයට පහර දීමට බලාපොරොත්තු වූ ඔක්: 30දාය.
ගචීනාවේද, මොස්කව් නුවරද හටගත් සිද්ධීන් හේතුකොටගෙන නව ආණ්ඩුවට 1917 ඔක් 27දා යෙදුනු තම පළමු උදෑසන අරඹන්නට සිදු වූයේ යුද්ධයකට සූදානම් වෙමිනි. බොල්ෂෙවික්වරුද නගරයේ මධ්‍යස්ථ සේනාංක ගැන බලාපොරොත්තු අත් හැර කොන්ස්ට්‍රාඩයෙන් යුද නැව් ද සෙබළු ද අයැද සිටියහ. යුද පෙරමුණුවලද බොල්ෂෙවික් සේනාංක සිටියද පෙත්‍රොග්‍රාදයට ඔවුන් සමඟ සෘජු සම්බන්ධකම් නොවීය. කාලය ද මද විය. ඒ හැරුනු විට සහය ඉල්ලන්නට ඉතිරිව සිටියේ රෙඩ්ගාර්ඩ්වරුය.
තමන්ගෙන් කළ ආයාචනයට ප්‍රතිචාර දක්වමින් වයිබෝර්ග් රෙඩ්ගාර්ඩ් මූලස්ථානය තමන්ට අනුබද්ධ පැක්ටරි වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ සටහන්ව තිබුණි.
1. සියළුම ෆැක්ටරි කොමිටි හා රෙඩ්ගාර්ඩ්වරු සටනට සූදානම් වී ආයුධද රැගෙන මූලස්ථානයට පැමිණෙන්න.
2. හැකි පමණ ඉස්කෝප්ප එකතුකර මිට කෙටි කර කපා රැගෙන එන්න. (සෙ.මී. 50ක් මිට දිගැති යුද අගල් වලදී ළඟ සිටින සතුරාට පහරදීමටද යොදාගත් ඉස්කෝප්ප වර්ගයක් එකල භාවිතා විය.)
3. පැමිණෙන අය වෙනුවෙන් පැය 24ක් සඳහාවත් පාන් සපයාගෙන පැමිණෙන්න.
5. රයිපල් සහ වෙඩි උණ්ඩ ප්‍රමාණය සොයා බලා අඩුවක් වේ නම් වහා ඒ බව මූලස්ථානයට දන්වන්න.
6. අගල් කැපීමේ කණ්ඩායම් සංවිධානය කර ඒ සංවිධාන ගණන වහා මූලස්ථානයට දන්වන්න…
ප්‍රතිවිප්ලවය එහි ඊළඟ අදියරටද යමින් ඔක්: 28 දින ගුවන් විදුලි විකාශන මධ්‍යස්ථානයක් ද පිහිටි ටාර්ස්කෝයේ සේලෝ නගරය ද ක්‍රැස්නොව් හමුදා විසින් අල්ලා ගන්නා ලදී.
තවතවත් තර්ජන පොදි බැඳ බොල්ෂෙවිකයන් අභිමුව පෙනී සිටින්නට විය. සහභාගී ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා නොඅරඹන ලද හොත් දුම්රිය සේවය වැඩ වර්ජනයක් කරා මෙහෙයවන බව දුම්රිය සේවක සංගමය (සංගමය හඳුන්වන වචන වල මුල් අකුරු ඈඳා එය ‘වික්සල’ නමින් හැඳින්වීය. එහි විධායක සභාවේ බලය මෙන්ෂෙවික් හා සමාජවාදී විප්ලවවාදීන් සතුවිය.) තර්ජනය කර සිටියේය. නගරයේ ආහාර සැපයීමේ වගකීම දැන් බොල්ෂෙවික්වරු මතවිය. සටන් පෙරමුණු දෙකකට සැපයීම්, ප්‍රවාහනය කළ යුතුවිය. එක් පෙරමුණක් දැනටමත් සතුරන් ජයග්‍රහණය කර ඇත. මොස්කව් සටන් පෙරමුණත් පරාජයට බරය. වාතාවරණය අභියෝග කිරීමට සුදුසු වූවක් නොවීය. එබැවින් සභාග සාකච්ඡා සඳහා ‘සිරිත් පරිදි’ කමෙනෙව්ට බලය පැවරීය. බොල්ෂෙවිකයන් වැටී සිටි දරුණු දුෂ්කර අඩිය පිළිබඳ හොඳ අවබෝධයෙන් සිටි සමාජවාදී විප්ලවවාදීහු හා මෙන්ෂෙවිකයෝ සාකච්ඡාවට පිවිසෙමින් පහත දැක්වෙන කොන්දේසි සපුරන්නේ නම් පමණක් සභාගයකට කැමැත්තේයැයි කියා සිටියහ.
1. සිරභාරයට ගත් ඇමතිවරු නිදහස් කළ යුතුය.
2. විප්ලවවාදී හමුදා කොමිටිය අහෝසි කළ යුතුය.
3. පෙත්‍රොග්‍රාද් හමුදා සේනාංක ගැලවීමේ කොමිටියේ පාලනයට පත්කළ යුතුය.
4. නව සභාගය ගොඩ නැගීම කෙරෙන්ස්කිගේ මැදහත් වීමෙන් සිදුකළ යුතුය.
5. ලෙනින් ඒ සභාගයේ ඇමතිවරයෙකු නොවිය යුතුය.
ඒ අනුව පෙත්‍රොග්‍රාදය ආපසු ඔක්¦ 20දා පැවති තැනට යා යුතු විය. බොල්ෂෙවිකයන් දිනූ සියල්ල අත් හළ යුතු විය.
මේ සාකච්ඡා පැවතියේ ඔක් ¦29දාය. එදින රාත්‍රිය බොහෝ දේ සිදු වූ රාත්‍රියක් විය. ඒ රාත්‍රියේ මුර සංචාරයේ යෙදුණු රෙඩ්ගාර්ඩ් භට කණ්ඩායමක් මහ මඟ යන්නකු රඳවා සෝදිසි කිරීමේදී (මේ දිනවල අධික ලෙසින් පැවති සොරකම් ද, බැරැක්ක වල වූ සොල්දාදුවන්ගේ බීමහල් කොල්ලයන් ද වැලැක්වීම පිණිස රාත්‍රී 9න් පසු ඇඳිරි නීතිය පනවා තිබුණි.) ඔහු වෙත තිබී පෙත්‍රොග්‍රාද් හමුදා ප්‍රධානි (කෙරෙන්ස්කිගේ ආණ්ඩුවේ) පොල්කොව්නිකොව් හා මෙන්ෂෙවික් ප්‍රධානියෙකු වන ගොට්ස් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් අසුවිය. ලියවිල්ලේ වූයේ ගැලවීමේ කොමිටියේ සටන් සැලැස්මයි. සෝදිසියට ලක් වූ පුද්ගලයා වූයේ සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ ඒ.ඒ. බෘදෙර්ව් විය.
සැලසුම අසු වූ බව දැනගත් විට පොල්කොව්නිකොව් කළේ වහා පහර දෙන ලෙස අණ කිරීමය. සෝදිසියට ලක්වූ කැඩෙට්වරු විසින් පළමු ඉලක්ක දෙක සාර්ථක කර ගන්නා ලදී.
තව තවත් සිදුවීම් ඒ රාත්‍රියේ සිදු විය. පාබල සේනා සහය නොමැතිව සටන් කිරීමට අදි මදි කරමින් ටාර්කෝයේසේලෝහි සිටි කෙරෙන්ස්කිගේ කොසැක් හමුදා වෙත බොල්ෂෙවික් ප්‍රහාරයක් එල්ල විය. කොර්නිලොව් කැරැල්ල අවස්ථාවේ ලුගාහිදී ජෙනරාල් ක්‍රාමොව්ගේ හමුදා මුහුණ දුන්නාක් බඳු ලබැඳි දේශනාවන්ගෙන් කොසැක් හමුදා අකර්මණ්‍ය කිරීමට මෙහිදී බොල්ෂෙවිකයෝ සමත් වූහ. එම රාත්‍රියේදීම ක්‍රාස්නොව්ගේ සෙසු හමුදාද බෝල්ටික් නාවිකයන් හා රෙඩ් ගාර්ඩ්වරුන්ගෙන් සමන්විත විප්ලවීය හමුදා ද නගරය ආසන්නයේ පුල්කෝවො උස්බිම් ප්‍රදේශයේදී මුණ ගැසුණාහ. ඇලෙක්සැඩ්‍රොව්ස්ක්‍යා දුම්රිය පොළේ නවතාගත් ක්‍රැස්නොව්ගේ හමුදා දුම්රියෙන් එල්ල වූ දරුණු කාලතුවක්කු වෙඩි ප්‍රහාරයන්ට මුහුණ දීමට එහිදී බොල්ෂෙවික් හමුදාවන්ට සිදුවිය. එහෙත් සටන අවසන් වුයේ ක්‍රැස්නොව්ගේ සන්නද්ධ දුම්රියද, ඔවුන්ගේ කාලතුවක්කුද සුණු විසුණු කර දැමීමෙනි. එහෙත් ඒ වන විට රෙඩ්ගාර්ඩ්වරු හා නාවිකයන් 200ක් පමණ මියගොස් සිටියහ. පෙරදින සිට කෙරෙන්ස්කි තම මූලස්ථානය ලෙස පවත්වාගෙන ගිය ටාස්කෝයේ සේලෝහි පිහිටි සාර් රජුගේ ග්‍රාමීය මාළිගාව අත් පත් කරගෙන ජෙනරාල් ක්‍රැස්නොව් අත් අඩංගුවට ගත්තද කෙරෙන්ස්කි රහස් උමගකින් පැන ගොස් තිබුණි. ඒ අවස්ථාවේ ටාස්කෝයේ සේලෝ සාර් රජ මාළිගාවට යාමට අවස්ථාව ලත් ජෝන් රීඩ් මෙසේ සටහන් කර ඇත. ‘බිත්තිය අද්දර තිබුණ සෝපාවක් මත තරුණ කම්කරුවෙක් වැතිර සිටියේය. රතු භටයන් දෙදෙනකු ඔහු වෙත නැඹුරුව සිටි අතර අන් කිසිවෙක් ඒ ගැන උනන්දුවක් දක්වන බවක් නොපෙනුණි. ඔහුගේ පපු පෙදෙස සිදුරු වී තිබුණු අතර ඇඳුම් ලෙයින් තෙත්වී තිබිණි. හෘදය ස්පන්දනය වන වාරයක් පාසා පිටතට ලේ ගලා ආයේය. ඔහු අඩ සිහියෙන් මෙන් ආශ්වාස ප්‍රාශ්වාස කළ ද ඒ හැම වාරයක් පාසා මීර් බුදින් ! මීර් බුදින් (සාමය උදාවෙනවා ! සාමය උදාවෙනවා! )
යනුවෙන් මිමිණීය. ඔක්තෝබර් විප්ලවය මේ මුනු මුනුවේ විශාලනය වූ දෝංකාරයයි.


චන්ද්‍රසේන බදුගම