ගස්ගල් පෙරළා නිධන් හොයන කට්ටඩියා සහ ගෝලයෝ

kiriella
කිරිඇල්ල අධිවේගයෙන් ගොඩ යන මධ්‍යම අධිවේගයේ විස්තරේ
October 20, 2017
එට්කා වෙනුවෙන් මහ බැංකු
බැඳුම්කර කොමිසමේ හෙළි වීම් (ත්‍රාසයෙන් මුසපත් වීම වෙනුවට…)
October 20, 2017
Show all

ගස්ගල් පෙරළා නිධන් හොයන කට්ටඩියා සහ ගෝලයෝ

ලුazre

දේශපාලන බලවතුන්ගේ සහ පොලිස් නිලධාරියෙකුගේ බලය හමුවේ මීගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ පුවක්ගහහේන මාර්ගයට හා සිරිරතන මාර්ගයට මැදිව පිහිටි අක්කර 100ක පමණ ඓතිහාසික හා පාරිසරික වටිනාකමකින් යුත් වනාන්තරයක් මේ වන විට දැවැන්ත විනාශයකට පත් වෙමින් ඇත. මේ විනාශයෙන් බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින්නේ අදාළ ප්‍රදේශයේ නිවාස 250ක පමණ වාසය කරන ජනතාවය. රටේ ජනාධිපතිවරයා පරිසර ඇමතිවරයාද වී ඇති මොහොතක මෙවන් පරිසර විනාශයන්ට ඉඩකඩ ලබාදීම සැබවින්ම ඛේදවාචකයකි. පාලකයන්ගේ ඇස් ඇරෙන්නට මීගොඩ ගල් කොරියේ සැබෑ කතාව රටේ ජනතාව දැනගත යුතුය.
මීගොඩ අක්කර 100කින් පමණ සමන්විත වනාන්තරය රජයට අයත් වනාන්තරයක් නොවේ. මෙම අක්කර 100 විවිධ හිමිකරුවන් සිටී. විශේෂයෙන්ම මෙය ඓතිහාසික වටිනාකමකින්ද යුක්ත වූවකි. ටිකිරි කුමාරයා යුද සැලසුම් සකස් කළේ අදාළ ස්ථානයේ සිට බවට පුරාවිද්‍යාත්මක පිළිගැනීමක්ද තිබේ. මෙම වනාන්තරය මධ්‍යයේ මහා ගල් කුලක් පිහිටා ඇත. එහි විවිධ සංඛේත දක්නට ලැබේ. ඒ අනුව ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මේ ගල තුළ නිධන් ඇති බවයි. ටිකිරි කුමාරයාගේ කඩුව සඟවා ඇත්තේ මේ ස්ථානයේ යැයි ජනතාව අතර මතයක් පවතී.
මෙම වනාන්තරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවයන්ට ඉටු කරන මෙහෙය අතිමහත්ය. ප්‍රදේශයේ කුඹුරු වගා කරමින් ඇත්තේ මේ කන්දෙන් ගලා එන ජලයෙනි. ඒ අනුව මීගොඩ උතුර ප්‍රදේශයේ ජනතාවගේ හදවතට සමානවම මේ වනාන්තරයට ඔවුන් ආදරය කරති. ඒ අනුව පෙනී යන්නේ මේ විනාශ කරමින් ඇත්තේ ඒ ප්‍රදේශයේ ජනතාවගේ හදවතට බවයි.
මේ වනාන්තරය විනාශ කරන්නට පටන්ගන්නේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේය. මෙම වනාන්තරයෙන් කොටසක් තුෂාර නැමැති පොලිස් නිලධාරියෙකු මිලදී ගෙන ඇත. ඔහු නීතිය හා සාමය අමාත්‍යාංශයේ පොලිස් ඒකකයේ සේවය කොට ඇති අතර විශේෂ මත් ද්‍රව්‍ය වැටලීම් අංශයේද සේවය කොට ඇත. ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරක් දරන මොහු පොලිස්පතිගේ නියෝගයකින් මේ වන විට මන්නාරම පොලිසියේ රාජකාරියේ යොදවා ඇත්තේ දඩුවම් මාරුවකටය. මෙම ඉඩම මිලදී ගෙන ඇත්තේ අදාළ නිලධාරියාගේ බිරිඳගේ නමට බවද කියවේ. මේ නිලධාරියා පසුගිය රාජපක්ෂ සමයේ මේ විනාශයට මුල පුරා ඇත්තේ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ අනුග්‍රහය මත බවද කියවේ. ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මේ සඳහා මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේද අදාළ අමාත්‍යවරයා බවයි.
මුල් අවස්ථාවේ සිදු කොට ඇත්තේ මේ මිලදීගත් වනාන්තර කොටසේ ගස් කපා ඉවත් කිරීමය. ඉන් පසුව පස් කපා ඉවත්කොට ගල මතු කරගෙන ඇත. ඒ වන විට කොළඹ පෝට් සිටිය නමින් රාජපක්ෂ රජය ක්‍රියාත්මක කළ කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන ගල් ලබාදීමට මෙම නිලධාරියා අනුමැතිය ලබාගෙන ඇත. ඒ අනුව මේ මතුකර ගෙන ඇති ගල කඩා විශාල ප්‍රමාණයේ කුට්ටි රැගෙන යන ලදී. එහිදී ප්‍රදේශයේ පාරවල් සියල්ල විනාශ කර ඇත. ජනතාව විරෝධය දැක්වීමට මැලිවී ඇත්තේ මේ සඳහා ලැබී ඇති දේශපාලන අනුග්‍රහය නිසාවෙනි. අවසානයේ ඉවසීමේ සීමාව ඉක්මගිය ජනතාව මේ සඳහා විරෝධය පළ කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ කොන්ත්‍රාත්කරු ඉන් ඉවත්වීමයි. ඉන් පසුව නැවත වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට මෙය පවරන ලදී. ඉන් පසුව මේ ගලට ගල්වෙඩි ගසන්නට විය. හානිය විනාශයක් දක්වා ගමන් කරන්නේ ඉන් අනතුරුවය. මේ නිසා ගෙවල් කිහිපයකට හානි සිදුවීම නිසා ප්‍රදේශයේ ජනතාව පොලිසියේ පැමිනිළි කරන ලදී. පොලිසිය මගින් කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව දිගින් දිගටම නඩුව පැවති අතර අවසානයේ දෙපාර්ශ්වය විසින් සමථයකට එළඹෙන ලදී. නැවත 2013 වසරේ මෙය ආරම්භ කළ අතර නැවත ජනතා විරෝධයක් නිර්මාණය විය. පසුව මෙය තාවකාලිකව නවතා දමන ලද්දේ රාජපක්ෂ රජය පරාජයට පත්වීමත් සමගය.
දැන් නැවත මේ විනාශය ආරම්භ කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබේ. මේ වන විට මේ ගල් කොරිය පවත්වාගෙන යාම සඳහා පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් අනුමැතිය ලබා දී ඇත. එසේම භූ විද්‍යා හා පතල් කැණීම් අමාත්‍යාංශයේද අනුමැතිය ලැබී ඇත. අදාළ ප්‍රාදේශීය සභාවේ අවසරය මෙතෙක් ලැබී නැත. කෙසේ වුවද මේ වන විට ප්‍රාදේශීය සභා කොමසාරිස් පාලනයක් යටතේ පවතින බැවින් මේ පිළිබඳව සොයා බැලීමට නිලධාරියෙකු යොමුකර ඇත. පසුගිය දිනෙක අදාළ නිලධාරියා ස්ථානීය පරීක්ෂණයකට ගොස් ඇති අතර ඔහු දැඩි කම්පනයකට පත්ව ඇත්තේ මේ අනුමැතිය ලබාගෙන ඇත්තේ බොරු වාර්තා ඉදිරිපත් කිරීමෙන් බව තහවුරු වීමෙනි.
තුෂාර නැමති පොලිස් නිලධාරියාගේම නමින් මේ වන විට පරිසර අමාත්‍යාංශයේ සහ භූ විද්‍යා හා පතල් කැණීම් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන ඇත. මේ අනුමැතිය ලබා දී ඇත්තේ කිසිදු ක්ෂේත්‍ර පරීක්ෂාවක් නොකොටය. විශේෂයෙන්ම මේ අනුමැතිය ලබාගෙන ඇත්තේ අදාළ ප්‍රදේශයේ කිසිදු නිවසක් නොමැති බව පවසමිනි. එහෙත් ප්‍රාදේශීය කොමසාරිස්වරයාගේ පරීක්ෂණයෙන් එය බොරුවක් බව තහවුරු වී ඇත.
තුෂාර නැමැති පොලිස් නිලධාරියා විමල් වීරවංශයේ ගෝලයෙකු බව ප්‍රදේශයේ ජනතාව කියති. පරිසර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් මේ සඳහා අනුග්‍රහය ලබා දී ඇති බවද කියවේ. අදාළ නිලධාරියා උදය ගම්මන්පිල පරිසර ඇමති ලෙස කටයුතු කළ කාලයේ එම තනතුරට පත්කළ අයෙකි. එසේම භූ විද්‍යා හා පතල් කැණීම් ඒකකයේද ඊට අදාළ නිලධාරියෙකු සහාය දී ඇත. අද දවසේ දේශපාලන රැකවරණය සහ අනුග්‍රහය සපයන්නේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන රංගේ බණ්ඩාර බවද ප්‍රදේශයේ ජනතාව කියති. ඔහු පොලිස් සේවයේ යෙදී සිටියදී තුෂාර නැමැත්තා ද ඔහුගේ සමීපතමයෙකු බව කියවේ.
මේ සියල්ල විමර්ශනය කිරීමෙන් පැහැදිලි වන්නේ අදාළ පරිසර විනාශයට පසුගිය රජයේ සහ වත්මන් රජයේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීමක් පවතින බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වත්මන් පරිසර ඇමතිවරයාය. ඔහුගේ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙවන් විනාශයන්ට අනුමැතිය ලබාදෙන තුරු අමාත්‍යවරයා නොදැන සිටීම බරපතළ ගැටලුවකි. මෙය පුවත් පතකින්ම දකිනතුරු මේ විනාශය වැළැක්වීමට පියවර නොගන්නේ නම් එය බරපතළ ඛේදවාචකයකි. මීගොඩ ජනතාවගේ සාධාරණ හා යුක්ති සහගත ප්‍රශ්නයට දැන් පැහැදිලිවම වගකිව යුත්තේ වත්මන් පරිසර ඇමතිවරයා බව පැහැදිලි සත්‍යයකි.


එස්. කේ. ගමගේ