ප්‍රතිරූප දේශපාලනයේ අශීලාචාර සංග්‍රාමය

එට්කා වෙනුවෙන් මහ බැංකු
බැඳුම්කර කොමිසමේ හෙළි වීම් (ත්‍රාසයෙන් මුසපත් වීම වෙනුවට…)
October 20, 2017
anoma gamage
පුරුද්දට අයථා වැඩ කරන ඇමතිවරුන් ඉන්නවා…
October 23, 2017
Show all

ප්‍රතිරූප දේශපාලනයේ අශීලාචාර සංග්‍රාමය

මෛත්‍රී SDF

බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලු දෙනාටම එක සමාන දෙයක් බැවින්, සියලු වාද භේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට ආහාර නිෂ්පාදනය වර්ධනය කර ආහාරවලින් ස්වයංපෝෂිත සමෘද්ධිමත් රටක් බවට පත් කරන්නට දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා එක්වන්නැයි පසුගිය 6 වැනිදා කැකිරාව, තිබ්බටුවැව වෙල්යායේ පැවති වප් මගුල් උත්සවයට සහභාගී වෙමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ආර්ථීක සමෘද්ධිය ඇති කරන්නට රජය ගෙන යන වැඩපිළිවෙළ තුළ ගොවියා ණය බරින් මුදා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් ඇති කිරීම ආදිය සඳහා ප්‍රමුඛත්වය දී තිඛෙන බව ද, මෙය වගා සංග්‍රාමයක් බව ද ජනාධිපති සිරිසේන එහි දී වැඩි දුරටත් පැවසීය. මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන නමිනි.
රජයක් ලෙස රටේ ජනතාව නඟාසිටුවීම අනිවාර්ය තත්ත්වයකි. මේ ඉදිරිපත් කර ඇති වැඩසටහන බැලු බැල්මට ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධ විය නොහැකි වැඩසටහනකි. එහෙත් මේ වැඩසටහනේ සැබෑ අර්ථය හරයෙන්ම තේරුම් ගැනීම තුළින් මෙය ඇත්තක් ද, බොරුවක් ද, මවාපෑමක් ද, රංගනයක් ද, ප්‍රතිරූප ඉහළට ඔසවා ගැනීමක්ද යන්න හඳුනා ගත හැකිය. ජේ. ආර්. ජයවර්ධනගේ සිට සිරිසේන දක්වා වූ ජනාධිපතිවරුන් සියලු දෙනා මෙවන් වප් මගුල් උලෙළවල් හැම වර්ෂයකම රටේ කොතැනක හෝ සිදු කර ඇත. ඒ හැම අවස්ථාවක දීම ගොවියා නඟාසිටුවන්නට කතා කළා පමණක් නොව විවිධ ජාතික සංග්‍රාමයන් හඳුන්වා දුන්නේය. ඒ හඳුන්වා දුන් සංග්‍රාමයන්ට අනුව ලංකාව දැන් ලෝකයේ හොඳම කෘෂි ආර්ථීකයකට හිමිකම් කියන රට විය යුතුය. එහෙත් යථාර්ථය වූ කලී එය නොවේ. සිදු වී ඇත්තේ ගොවියා සිටියාටත් වඩා පහළට ඇද වැටීමය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාව සිටිය දී නැති බැරි ජනයා ඇති හැකි අය කරන්නට මහා සංග්‍රාමයක් දියත් කරන බව කීවේය. ඒ සඳහා ‘ජනසවිය’ වගේ වැඩසටහන් හඳුන්වා දුන් අතර, හැම වසරකම අධික මුදලක් වියදම් කරමින් වප් මගුල් උලෙළක් පවත්වන ලදී. එහෙත්, ගොවියාට වූ සෙතක් නැත. ගොවියා කබලෙන් ළිපට වැටුණා මිස සිදු වූ අන් දෙයක් නැත. ජනාධිපති රාජපක්ෂ මේ තත්ත්වය වඩාත් තීව්‍ර කරමින් වප් මගුල් උලෙළ පවත්වන ලද්දේ ජාතික උත්සවයට දෙවැනි නොවන පරිදිය. අද සිරිසේන ජනාධිපතිවරයා මුලපිරූ ආකාරයටම රාජපක්ෂ ජනාධිපතිවරයා ද මුලපිරුවේය. රාජපක්ෂ ජනාධිපතිවරයා මේ සඳහා විනාශ කළ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණනකි. මේ ජනතා මුදල් වියදම් කරමින් ගොවියා පෙරට දමා තමාගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අරමුණ විය. ඔහු ඔහුගේ අරමුණ ජය ගත්තේය. ඔහුගේ අරමුණ ජය ගත්ත ද, ගොවි ජනතාවගේ අරමුණ අරමුණක් පමණක් බවටම පත් විය.
රටේ පාලකයා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, සැබැවින්ම ඔහුට ගරු කළ යුතුය. කුමන දේශපාලන මතයක් දැරූව ද, පාලකයා ජනතාව වෙනුවෙන් යහපත් දෙයක් කරන්නේ නම්, එයට ආශීර්වාද කළ යුතුය. එය අගය කළ යුතුය. එසේම ජනතාව රවටන්නේ නම්, එය ද කොන්දේසි විරහිතව හෙළිදරවු කළ යුතුය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනපති පදවියට පත් දිනයේ සිටම කීවේ ගොවි පවුලකින් රජගෙට පැමිණි ගොවි ජනතාවගේ නායකයෙකු බවය. අද ඔහු පෙනී සිටින්නේ ද ඒ මතවාදයේමය.
පසුගිය දා වප් මගුල් ජාතික උත්සවයක් කැකිරාවේ දී පැවැත්වීය. මේ උත්සවයේ දී ජනාධිපති සිරිසේන ගොවියෙකු සේ වෙස් ගන්වා පොල්කට්ටක් අතට දී අනෙක් අතට හකුරු කැබැල්ලක් දී තේ බොන දර්ශන රූපවාහිනී නාළිකාවල දක්නට විය. අනෙක් පැත්තෙන් ඇඹුල රැගෙන එන ගෙවිලියන්ගෙන් ඇඹුල ඛෙදා ගන්නා ගොවි ජනාධිපතිවරයා ජනතාව සමග එකට වාඩි වී ඇඹුල අනුභව කරන අයුරුද අපි දුටුවෙමු. ඔහු ට්‍රැක්ටරයක නැඟී ගොයම් පැළ සිටුවන ආකාරයක් ද පෙන්නුම් කළේ ජනතාවගේ පිනට නායකයෙකු පහළ වී ඇතැයි යන හැඟීම ජනතාව තුළ ජනිත කරමිනි.
මේ සියලු සිදුවීම් පිටුපස ඇති කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සති ගණනක සිට මේ වෙල්යාය සකස් කර ඇත. කුඹුරු හිමියන් සහ ප්‍රදේශයේ ජනතාව විසින් මේ සඳහා අධික වෙහෙසක් දරා ඇත. බෝම්බ නිෂ්කී්‍රය අංශ නිලධාරීන් ද මේ මුළු කුඹුරු යායම දෙවන වරට ද සී සා ඇත. වප් මගුල් දිනයට පෙර දින නැවත ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් මේ කුඹුර සී සා ඇත. ජනාධිපතිවරයා සම්ප්‍රාප්ත වන්නේ මේ සියලු කාර්යයන් ඉටු වීමෙන් පසුවය. මෙම වප් මගුල් උලෙළ සඳහා වැය කර ඇති මුදල කෝටි ගණනකි. ජනතා මුදල් නාස්ති නොකරන බව කියන ජනාධිපතිවරයෙකු කැකිරාවේ පැවැත්වෙන වප් මගුල් උලෙළ රටටම ප්‍රචාරය කළේය. ඒ සඳහා වෙනම ම ඇඳුම් නිර්මාණය කළේය. ගෙවිලියන්ට වෙනම ඇඳුම් ද, ජනාධිපති ඇතුළු මැති ඇමති ගොවීන්ට වෙනම ඇඳුම් ද ලෙස විශාල ඇඳුම් ප්‍රමාණයක් නිර්මාණය කොට තිබිණි. එහෙත්, සැබෑ ගොවීන් සහ ගෙවිලියන් වෙනදා මෙන් තමන්ගේ සුපුරුදු ඇඳුමෙන් මේ දෙස බලා සිටියේ චිත්‍රපටයක් නරඹන ආකාරයෙනි. කෙසේ වුවත්, මේ සඳහා වැය කළ මහජන ධනය කෝටි ගණනකි.
මෙය සැබැවින්ම ගොවි ජනතාව ගැන සිතා මහා වගා සංග්‍රාමයකට මුලපුරන්නට කරන ලද්දක් නොවේ. මෙය පිරිහී යන ප්‍රතිරූප නංවා ගැනීමේ වප් මගුල් උලෙළකි. මේ උලෙළෙන් සැබෑ ගොවි ජනතාවගේ ගැටලුවලට කිසිදු පිළිතුරක් නොලැඛෙනු ඇත. මහින්ද රාජපක්ෂගේ භූමිකාවට සිරිසේන පණ පොවමින් සිටින බව ඉතාමත් හොඳින් වප් මගුල් උලෙළේ දී ප්‍රදර්ශනය විය. වී ගොවියා අස්වැන්න විකුණා ගන්නට බැරිව ලත වේ. කිරි ගොවියා සාධාරණ මිලක් ඉල්ලා මහපාරේ කිරි හලයි. කුකුළු ගොවියා මස් සහ බිත්තර සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකිව පීඩා විඳියි. අල, ලුනු ගොවීන් ද අස්වැන්නට හොඳ මිලක් නොමැතිව පීඩා විඳියි. වන අලි පීඩාවෙන් සිය ගම්බිම් ආරක්ෂා කර ගැනීමට දිවි පරදුවට තබමින් ගොවි ජනතාව කටයුතු කරමින් සිටිති. මෙවන් වටපිටාවක ගොවියා නඟාසිටුවන බවත්, ණය බරින් ගලවා ගන්නා බවත් ජනාධිපතිවරයා ගොවි බිමක ඉදි කළ සුවපහසු වේදිකාවක සිට පවසන විට එය පිළිගන්නට තරම් ගොවි ජනතාවගේ මනස අවුල් වී නොමැත.
ඉතා පැහැදිලිව පෙනෙන්නට තිඛෙන්නේ ජනාධිපති සිරිසේන උත්සාහ ගන්නේ මහින්දට අඳින්නටය. දෙවැනි මහින්ද ලෙස අභිෂේක ලබන්නටය. තමාගේ ප්‍රතිරූපය ඔසවා ගන්නට මෙවන් උත්සව එකක් නොව දහසක් වුව ඉදිරියේ දී පැවැත්වීමට ඉඩ ඇත. ඒ සඳහා ප්‍රීතිඝෝෂා පවත්වන්නට ගොවි ජනතාව කිසි විටෙක සූදානම් නැත. ගොවි ජනතාව සංවිධානය වෙමින් ඇත්තේ, පාලකයන්ගේ බොරුව පරාජය කරන්නටය. මේ සියලු කරුණු හමුවේ අපට අසන්නට ඇත්තේ, මෛත්‍රීලාගේ ප්‍රතිරූප නංවා ගැනීමට අහිංසක ගොවි ජනතාව හා ඔවුන්ගේ දූ දරුවන් පාවිච්චි කිරීම තරම් නරුමකමක් තවත් තිබිය හැකි ද යන්නයි.


එස්. කේ. ගමගේ