බැඳුම්කර කොමිසමේ හෙළි වීම් (ත්‍රාසයෙන් මුසපත් වීම වෙනුවට…)

ලුazre
ගස්ගල් පෙරළා නිධන් හොයන කට්ටඩියා සහ ගෝලයෝ
October 20, 2017
මෛත්‍රී SDF
ප්‍රතිරූප දේශපාලනයේ අශීලාචාර සංග්‍රාමය
October 20, 2017
Show all

බැඳුම්කර කොමිසමේ හෙළි වීම් (ත්‍රාසයෙන් මුසපත් වීම වෙනුවට…)

එට්කා වෙනුවෙන් මහ බැංකු

බැඳුම්කර කොමිසම යන්න මේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකගේ අවධානය දිනා ගත් එකක්ය. අවධානයට ලක් වූයේ නිකම්ම නොවේය. වසර තුනකට ආසන්න කාලයක් පුරා රට තුළ විවිධ පාර්ශ්ව ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන්ය. රජයට ණය ගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසි කිරීම දේශීයව සිදු කරනු ලබන සාමාන්‍ය ක්‍රමයක්ය. ක්ෂේත්‍රයේ යෙදී සිටින්නන්ගේ මිස මහ ජනතාවගේ අවධානය මෙය කෙරෙහි යොමු නොවූයේ පොදු ජනතාවට එය අදාළ නැති නිසාය.
එසේ වුවත්, රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව බලයට පත් වී යාන්තම් සති තුනක්වත් යන්නට මත්තෙන් 2015 පෙබරවාරි මස 27 වැනිදා මුලින්ම මහා බැඳුම්කර කොල්ලය දියත් කළ සැණින් ඊළඟ සතියේ ‘ලංකා’ ප්‍රවෘත්තිය වශයෙන් රටට හෙළි කළේය. එසේ වුවත්, ජනතාවට එය අණ්ඩර දෙමළයක් වී තිබුණේය.
නමුත්, විශේෂයෙන් දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සහ ‘දූෂණ විරෝධී හඩ’ සංවිධානය මේ කෙරෙහි විශේෂ අවධානය යොමු කර සටනක් ඇරඹීය. පසුව තවත් දේශපාලනඥයන් කීප දෙනෙක් ද මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත්ව සිටියහ. වර්ධනය වන තත්ත්වයන් පිළිබඳව නිරතුරු අවධානයෙන් සිටි ‘ලංකා’ හෙළි කිරීම් සමඟ තවත් මාධ්‍ය දෙක තුනක් අවධානය යොමු කරනු ලැබීය.
මේ කොල්ලය සිද්ධ කරන විට ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයක යෙදී සිටියේය. අපට ලැබුණු තොරතුරු අනුව නම්, ජනාධිපති එහි සිට අගමැතිට උපදෙස් දී තිබුණේ මේ පිළිබඳව වහාම සොයා බලන ලෙසය. රනිල් කළේ එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමය. කමිටු වාර්තාව පතෝල එකක් වූයේය. ඔවුන්ට අනුව වරද කර තිබුණේ ලංකා බැංකුවය. බෑනාගේ සමාගම හෙවත් පර්පැචුවල් ට්‍රේෂරීස් සමාගම වෙනුවෙන් ලංකා බැංකුව ලංසු තැබීම ගැන වහා ම පරීක්ෂා කළ යුතු බවක් නිර්දේශ කර තිබිණි.
එයින් නොනැවැතී එජාපයෙන් තවත් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කර තිබිණි. එය විභාග කර බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වී තිබුණේ බැඳුම්කර වෙන්දේසි ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නොවූ බවය. එජාපයේ නීතිඥයන් තිදෙනාගේ කමිටු වාර්තාවට අනුව ලබා ගත් තීරණය මහා හොරකම යට ගැසීමට යොදා ගත්තේ යම් සේ ද අධිකරණ තීරණය ද පට්ටා ගසමින් මේ මහා කොල්ලය වසා ගැනීමට නිරුවත් ප්‍රයත්නයක එජාපය නිරත විය. එහිදී කූට ලෙස ක්‍රියා කර තිබුනේ අධිකරණය නොමඟ යවා බැඳුම්කර වෙන්දේසි ක්‍රියාවලියේ කිසිදු ගැටලුවක් නැති බවට ප්‍රකාශයක් ලබා ගැනීමය.
රනිල්ගේ ගජ මිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන් 2002-2004 කාලයේ ආයෝජන මණ්ඩලයේ සිටිය දී කර තිබූ හොරකම් මහ බැංකු අධිපති වී සති තුනක් යාමටත් පෙර සිදු කිරීමෙන් පමණක් නතර නොවීය. නැවත ජුනි මාසයේ ද පසුව අවස්ථා කීපයකදී ද බැඳුම්කර කොල්ලයන් කර තිබිණි. මේ හැම අවස්ථාවකදීම රනිල් ප්‍රමුඛ එජාපය ආණ්ඩුවක් වශයෙන් හොරුන් රැක ගනු ලැබීය.
ඒ අතර කෝප් කමිටුව හමුවට ද මේ කොල්ලය ගෙන ගොස් තිබිණි. එවකට කෝප් කමිටුවේ සභාපති, ඩිව් ගුණසේකර ඇමතිවරයා පුද්ගලයෙක් වශයෙන් ඉතා ම ඕනෑකමකින් බැඳුම්කර කොල්ලය සෙවීමට මැදිහත් වූයේය. එහි වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නමුත්, එය පාර්ලිමේන්තුවේ නිල පිළිගැනීම වැළැක්වීම සඳහා එජාපය නොකළ දෙයක් නොවීය. අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. ඊළඟට තිබුණේ ඡන්ද සටනය. මැතිවරණ වේදිකාවල ද බැඳුම්කර කොල්ලය රැව්පිළිරැව් දෙන මාතෘකාවක් විය. ඒ අතර මහින්ද රාජපක්ෂ කල්ලියෙන් මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය.
එජාපයේ රනිල්ගේ නායකත්වයෙන් මැතිවරණ වේදිකාවේ දී වාසි ගැනීමට මෙවැනිම පෙත්සමක් ඉදිරිපත් කළේ මහින්ද මුදල් ඇමති ලෙස මහ බැංකුව යොදවා ගී්‍රසියේ බැඳුම්කර මිල දී ගෙන විශාල මූල්‍ය කොල්ලයක් දියත් කිරීම සම්බන්ධයෙන්ය. දෙපිරිස දෙපැත්තේ සිට මැතිවරණ වේදිකාවේ කෑ මොර ගැසුවා පමණය. මැතිවරණය නිම වූ සැණින් දෙපිරිසම තම පෙත්සම් ඉල්ලා අස් කර ගනු ලැබීය. මේ බල උන්මත්තක කූට වැඩවලට අධිකරණය පාවිච්චි කළේ මෙසේය. මේ මුළු ක්‍රියාදාමය පිළිබඳව මතකයේ තබාගෙන ඊළඟ අදියර විමසා බැලිය යුතුය.
‘ලංකා’ අඛණ්ඩව විවිධ අවස්ථාවල දී හෙළි කිරීම් කරමින්, ලංකා බැංකුවට සිදු කර තිඛෙන පාඩුව, සේවක අර්ථසාධක අරමුදලට කර තිඛෙන පාඩුව, අනෙකුත් රාජ්‍ය බැංකුවලට කර තිඛෙන පාඩුව සහ බෑනාගේ සමාගම ලාභ කඳු ගොඩගසාගෙන තිඛෙන ආකාරය විගණකාධිපති වාර්තා මූලික කරගෙන කරුණු සහිතව හෙළි කළේය. නමුත්, තීරණාත්මක මැදිහත් වීම සිදු කළේ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මඟින්ය. කෝප් කමිටුව හමුවේ ද, විගණකාධිපතිවරයා හමුවේ ද තොරතුරු හෙළි කළ නොහැකි බව මහ බැංකුවේ සිටි මහ හොරා ගෝරනාඩු කර තිබුණේ වරක් දෙවරක් නොවේ. මහ හොරා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සුජීව සේනසිංහ ඇතුළු බොහෝ දෙනෙක් පෙනී සිටිමින්, විගණකාධිපතිවරයා ගෙදර යැවිය යුතු බව කියා සිටියහ. වෙනත් අවලාද හා මඩ ප්‍රචාරයන් ද යැවීය.
‘සංවේදී මූල්‍ය තොරතුරු’ ලේබලයට මුවා වී මහ බැංකුවේ තොරතුරු විගණකාධිපතිටත්, කෝප් කමිටුවටත් ලබා දිය නොහැකි බව දැන්වීය. මේ වැනි දන්නා තරම් සෙල්ලම් සියල්ල දැමීය. කෝප් කමිටුවේ වාර්තාව එළිදැක්වීමට නොදී කළ හැකි සියලු දේ කර තිබිණි. අවසානයේ 2016 ඔක්තෝබර් 28 වැනිදා අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එය තනිකරම ‘මාර යුද්ධයක’ ප්‍රතිඵලයක් වූයේය. මාර යුද්ධය කළ හැටි සම්පූර්ණයෙන්ම මහ ජනතාවට හෙළි කිරීමට තවමත් කාලය එළඹී නැත. කෝප් කමිටුවකට යා නොහැකි ඉහළම දුර ගොස් තොරතුරු අවසන් වාර්තාවෙන් හෙළි කර තිබුණේය. ඒ සමඟ වෙනම ‘ෆුට්නෝට් කල්ලිය’ යනුවෙන් පිරිසක් ද එජාපයෙන් බිහි වී සිටියහ.
රට ම කැළඹීමට තරම් කෝප් කමිටු වාර්තාව හේතුවක් වී තිබුණේය. මේ පිළිබඳව කිසිවක් නොකර මුල්ම කොල්ලය සිදු කළ පෙබරවාරි 27 වැනිදා මෙන් සිටීමේ හැකියාවක් ජනාධිපති වෙත නොවීය. ඒ තරමට ජනමතයක් බැඳුම්කර කෝප් වාර්තාව සම්බනධයෙන් ගොඩනැඟී තිබිණි.
එම වාර්තාව පදනම් කරගෙන අධිකරණමය කි්‍රයාමාර්ග ගැනීමෙන් මේ කොල්ලකරුවන්ට දඩුවම් කළ හැකිය. මේ අතර, ජනාධිපතිවරයා කල්පනා කර තිබුණේ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි නොවූ තවත් කරුණු ද පරීක්ෂා කර බලා අධිකරණ කි්‍රයාමාර්ගයක් ගත යුතු බවය.
අද කාගේත් අවධානය යොමු වී තිඛෙන ‘බැඳුම්කර කොමිසම’ පත් කෙරෙන්නේ ඒ අනුවය. කෝප් කමිටු වාර්තාව ඒ තරම් ප්‍රබල ජනමතයක් බවට පත් වී තිබූ නිසාය. ඉන් පසු දැන් විවිධ තොරතුරු හෙළි වී තිබේ. විශේෂයෙන් මෙරට අධිකරණයක දී පවා භාවිත නොකළ තාක්ෂණික උපකරණ භාවිත කරමින්, වාචිකව පරීක්ෂණ කටයුතු සිදු කෙරේ. කෝප් කමිටුවේ පරීක්ෂණ මෙලෙස විවෘතව නොකෙරෙන්නේය. ලද අවසරයෙන් කොමිෂන් වාර්තා දිනපතාම මාධ්‍ය මඟින් හෙළි කිරීම් සිදු කෙරෙන්නේය. මකා දමන ලද දත්ත ප්‍රතිරෝපණය (Recover) කෙරෙන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රවී කරුණානායකට ඇමතිකම අහිමි වී ඇත. ‘ලිට්ල් ජෝන්’ නම් පුද්ගලයකු හොල්මන් කරමින් ඇත. රනිල් වික්‍රමසිංහ අගමැතිගේ තවත් අතිශය ගජ මිතුරකු වන ආර්. පාස්කරලිංගම් ගැන හෙළි වී ඇත. මේ ත්‍රාසජනක ජවනිකාවලින් ආශ්වාදයට පත් නොවී ඇත්ත කොල්ලකරුවන් අධිකරණයෙන් කොටු කෙරෙන තුරු අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් මහ ජනතාවට ද, මාධ්‍යයට ද ඇති බව තේරුම් ගැනීම වැදගත්ය.


ලංකා මාරසිංහ