සී.ටී.බී. – අයි.ඕ.සී. පූට්ටුවේ අවසානය කොතනද?

anoma gamage
පුරුද්දට අයථා වැඩ කරන ඇමතිවරුන් ඉන්නවා…
October 23, 2017
ceasefire-lead
ඉන්දියාව පාවා දීමෙන් වසර හැත්තෑවකට පසු
October 24, 2017
Show all

සී.ටී.බී. – අයි.ඕ.සී. පූට්ටුවේ අවසානය කොතනද?

මෛත්‍රී rrrr

රනිල් – මෛත්‍රී ආණ්ඩුව ගෙන යන යටිකූට්ටු වැඩ දැන් නම් රාජපක්ෂ පවුල් පාලනය පවා පරාජය කරන තරමට ගොස් තිබේ. එකිනෙක සිදුවීම් දෙස වෙන් වෙන්ව බැලීමෙන් දේශපාලනය තේරුම් ගන්නා කිසිවෙකුට හෝ මේ පිළිබඳව කිසිසේත්ම තේරුම් ගත නොහැකිය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාවකින් හෙළි වන්නේ එවැනි අතිශය බරපතළ යටිකූට්ටු වැඩක් පිළිබඳවය. ‘ලංකා’ පසුගිය සතියේ රටට හෙළි කළ ගමනාගමන මණ්ඩලයත් ඉන්දියාවට යට කිරීමේ යටිකූට්ටු ක්‍රියාව මේ සම්බන්ධයෙන් ආසන්නම නිදර්ශනයයි.
එම හෙළි කිරීමට පදනම් වූයේ හවුල් ආණ්ඩුවේ ප්‍රවාහණ හා ගුවන් සේවා ඇමති, නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක්ය. තව දුරටත් අවධාරණය කරන්නේ නම්, මෛත්‍රීගේ ඇමතිවරයෙක්ය. ඔහු ඉදිරිපත් කර තිබුණේ මේ දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්ධන සැපයීම කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් එය ඉවත් කර වෙනත් සමාගම් දෙකකට දීමේ යෝජනාවක්ය. කැබිනට් මණ්ඩලය යෝජනාව අනුමත කර තිබිණි.
කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබුණේ ඉන්දීය ඔයිල් සමාගමට (IOC) සහ චෙව්රෝන් ලූබ්රිකේෂන් ලංකා නම් සමාගම් දෙකට දීම සඳහාය. ඒ අනුව ඉදිරියේ දී ලංගමට ඉන්ධන සහ ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත් මේ සමාගම් දෙකට ලබා දීමට නියමිතය. මේ කොන්ත්‍රාත් දෙන්නේ කිසිම ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ඇමති මණ්ඩල අනුමැතිය ලබාගෙන වීම විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ධාවන තත්ත්වයේ පවතින බස් රථ සංඛ්‍යාව 2016 වර්ෂය අවසන් වන විට 6,927ක් වී තිබිණි. මේ සඳහා වර්ෂයකට අවශ්‍ය කරන ඩීසල් බැරල් ගණන මිලියන කීපයක් බව පැහැදිලිය.
මේ මුළු ඩීසල් ප්‍රමාණයත්, ලිහිසි තෙල් ප්‍රමාණයත් ඛනිජ තෙල් සංස්ථාවේ වෙළෙඳපොළ කොටසෙන් අහිමි වී යයි. 2002-2004 කාලයේ පැවති රනිල්ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ මෙරට ඛනිජ තෙල් ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් බිඳ ඉන්දියා ඔයිල් සමාගමට ඛෙදනු ලැබීය. ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන පිරවුම් හල් 1300ක් ද, ඉන්දියා සමාගමට මේ වන විට 130ක් තිඛෙන අතර, වර්තමාන ආණ්ඩුව යටතේ 25කට බලපත්‍රද ලබා දී තිබේ. මෙහි තිඛෙන විශේෂ හාස්‍යජනක කරුණ නම්, කොහොමටත් විදේශයෙන් ගෙන්වන ඉන්ධන මෙරට තුළ ඛෙදාහැරීම සහ ඉන්ධන පිරවුම් හල්වලින් වාහනවලට සැපයීම පවා කළ නොහැකි තරම් මට්ටමකට හොම්ඛෙන් යන තැනට වැඩ කර තිබීමය. විදේශ සමාගම් මැදිහත් කර ගන්නේ මේ නිසාය.
කෙසේ හෝ ඉන්දියා සමාගම මෙයින් ප්‍රවේශ වූයේ මෙරට බලශක්ති ක්ෂේත්‍රයටය. රටක ස්වෛරීත්වය කෙරෙහි අතිශය ප්‍රධානම කරුණක් බවට නූතන ලෝකයේ පත්ව තිඛෙන්නේ බලශක්ති සැපයීමය. විශේෂයෙන්ම ඉන්ධන සහ විදුලි බලය යන දෙඅංශය සුවිශාල ප්‍රමුඛතාවයකින් අපේ රටේ බලපායි. ඊට අමතර වශයෙන් ගෑස් සැපයුම ද පවතී. නැගෙනහිර යුරෝපීය රටවල නම්, ගෑස් සැපයුම ද අතිශය ප්‍රමුඛ වී තිබේ. 1977දී ජේ.ආර්. ජයවර්ධන කඩිනම් මහවැලිය පටන් ගත්තේ ඉන්දියාවටත් විදුලිය දෙන බව කියමින්ය. පම්පෝරි කතාවලට ඉඳුරාම වෙනස් යථාර්ථය වූයේ මේ රටේ විශාල විදුලි අර්බුදයක් ඇති වීමයි.
ඉන්දියාවට විදුලිය දෙන බව කියූ ජේ.ආර්.ගේ බෑනා බලය ලබා ගත් කාලයේ කරන ලද්දේ ඩීසල්, පෙට්‍රල් ටික වාහනවලට ගැසීමත් ඉන්දියාවට දීමය. රනිල් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළේ බලශක්තිය සම්බන්ධයෙන් චන්ද්‍රිකා කරන ලද මහා පාවාදීමක අත්දැකීම් ද සහිතවය. ලංකා ගෑස් සමාගම ඇමෙරිකාවේ ෂෙල් සමාගමට විකුණා දැමීම මේ පාවාදීමය. එය විකුණා දැමූ පසු ෂෙල් සමාගම මේ රටේ ගෑස් ඒකාධිකාරය ගෙන ගිය ආකාරය අමතක කළ නොහැකිය. ආණ්ඩුවේ ඛෙල්ලෙන් අල්ලා හිතෙන හිතෙන ආකාරයට මිල ඉහළ දමා ගත්තේය.
මිල ඉහළ දැමීමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කළ අවස්ථාවක ෂෙල් ඒකාධිකාරය කරනු ලැබුවේ ගෑස් සිලින්ඩරයේ නියමිත ගෑස් ප්‍රමාණය අඩු කිරීමය. සිලින්ඩරයක නියමිත ගෑස් ධාරිතාවෙන් කිලෝ ග්‍රෑම් 1.5ක් කපා හරිනු ලැබීය. මෙය අමතර කරුණක් වුවද, සිහිපත් කළ යුත්තේ රටක බලශක්ති සැපයුම කොතරම් ප්‍රබල බලපෑම්සහගත කි්‍රයාවක් ද යන්න නිවැරදිව තේරුම් ගැනීමටය. අයි.ඕ.සී. සමාගම මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසි  දා පටන්ම කුමන්ත්‍රණ මඟින් තමන්ගේ වෙළෙඳපොළ කොටස වැඩි කර ගැනීමට උත්සාහ දැරීය. පෙට්‍රල්, ඩීසල් මිල අඩු කිරීමෙන් ද පැවති ආණ්ඩු මෙල්ල කර ගනු ලැබීය.
මේ වන විට ද පුරුදු ඒ තර්ජනය දියත් කර හිතුවක්කාරී ලෙස මිල වැඩි කරගෙන තිබේ. මේ රටේ ආණ්ඩු ශත පහකට ගණන් ගන්නේ නැතිව තමන්ගේ කටයුතු කරගෙන යන බවට මීටත් වැඩිය උදාහරණ අනවශ්‍යය. එයින් නොනැවතී තවත් පැත්තකින් ඉන්දියා මධ්‍යම රජය බලපෑම් කරමින්, ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අයි.ඕ.සී. සමාගමට ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට සමත්ව සිටින්නේය. එම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට හෝ විදේශ සමාගමකට ලබා නොදී මෙරට භාවිතාවට යොදාගෙන ඛනිජ තෙල් සංස්ථාවට ද ඉහළ ලාභයක් ලබා ගන්නේ කෙසේ දැයි වෘත්තීය සමිති විසින් ව්‍යාපෘති වාර්තා පවා සකස් කර ආණ්ඩුවට ඉදිරිපත් කර තිබිණි. ඒ සියල්ලම පයින් ගසා ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය දැකිය හැකිය.
අයි.ඕ.සී. සමාගමට නිධානයක් පහළ වූවා වැනි ලංගමයට ඩීසල් සැපයීමේ කොන්ත්‍රාත්තුව භාර දීමට යන්නේ මේ පසුබිම යටතේය. ඉන්ධන පිරවුම් හල් සංඛ්‍යාව වැඩි කරගෙන මෙරට වෙළෙඳපොළේ ඒකාධිකාරය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබේ. ඒ ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල ප්‍රබල බලපෑම් කිරීම් හමුවේය. මිල ඉහළ දැමීමෙන් ලාභ ලබා ගැනීම අයි.ඕ.සී. සමාගමේ මූලික අරමුණ නොවනබව දැන් පැහැදිලිය. ඔවුන් මේ වන විටත් අවශ්‍ය තරම් ලාභ මෙරට තුළින් ලබා ගනිමින් සිටින නිසාය. ඔවුනට අවශ්‍ය මෙරට ඛනිජ තෙල් ඒකාධිකාරය කෙසේ හෝ අත්පත් කර ගැනීමය.
ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ලබා ගත්තේ ඒ වෙනුවෙන්ය. නමුත්, එය වාණිජ අර්ථයෙන් ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඛනිජ තෙල් වෘත්තීය සමිතිිවල බලපෑම යළිත් එල්ල වන බව අයි.ඕ.සී. හොඳින් ම දනී. වෙනත් කූට උපක්‍රම ඔස්සේ මෙහෙයුම් දියත් කරන්නේ ඒ නිසාය. අයි.ඕ.සී. අරමුණ මෙරට ඛනිජ තෙල් ඒකාධිකාරය පිහිටුවා ගැනීම නම්, ලංගමට තෙල් සැපයුම සමාගම් දෙකකට දීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් මතු වේ. තවත් සමාගමක නමක් එකතු කිරීම ආණ්ඩුවේ සහ අයි.ඕ.සී. සමාගමේ සිල්ලර උපක්‍රමයක් පමණය. කෙළින් ම අයි.ඕ.සී. සමාගම පමණක් නම් කිරීමෙන් මතු වන විරෝධය යටපත් කර ගැනීමට කරන දෙයක්ය.
ඇරත් කැබිනට් අනුමැතිය ලබා දී තිඛෙන අනෙක් සමාගම ඩීසල් සැපයීමේ සමාගමක් නොව මෙරට වෙළෙඳපොළේ ලිහිසි තෙල් සැපයීමේ සමාගමක්ය. මේ වැනි උපක්‍රම හරහා අයි.ඕ.සී. සමාගම මෙරට බලශක්ති වෙළෙඳපොළේ ප්‍රධානම අංගයක් වන ඛනිජ තෙල් සැපයීම භාර දීමට තීරණාත්මක කඩඉමක් ලංගමයෙන් සනිටුහන් කෙරේ. ලංගම සහ මගී ප්‍රවාහණ බස් රථ 6,927ට අමතරව ආපදා රථ, වෙනත් රථ ඇතුළුව වසරකට තෙල් බැරල් මිලියන ගණනක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ගෙඩි පිටින් ගැනීමෙන් පමණක් නතර වේ යැයි සිතන්නේ නම්, මුළාවක්ය.
ඉන් පසුව තෙල් විශාල වශයෙන් අවශ්‍ය වන ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අත තබනු ඇත. එයින් ද නොනැවතී ත්‍රිවිධ හමුදා වාහනවලට ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ද ලබා ගන්නා බවට කැට තැබිය හැකිය. විශාල වශයෙන් තෙල් සැපයීම අවශ්‍ය වන තවත් රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම ද හවුල් ආණ්ඩුව අයි.ඕ.සි. සමාගමට පවරා දෙනු නො අනුමානය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයි.ඕ.සී. සමාගමට වඩා වැඩි ම ඉන්ධන පිරවුම් හල් සංඛ්‍යාවක් නඩත්තු කරමින් සිටිය හැකිය. නමුත්, මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළේ ඒකාධිකාරය මේ ලෙස ඉන්දියාව අතට පත් කර ගන්නා බව සක්සුදක් සේ පැහැදිලිය.
ලංකාව ගැන සලකා බැලීමේ දී පැවති ආණ්ඩුවලට කළා සේම පවතින ආණ්ඩුවේ ද ඛෙල්ල මිරිකීමට ඉන්දියාව නොයෙක් උපක්‍රම භාවිත කරමින් සිටීම විශේෂයෙන් තේරුම් ගත හැකිය. ලංගම බස් රථ වැඩි ප්‍රමාණයක් ගෙන තිඛෙන්නේ ඉන්දියා ණය පදනම යටතේය. වාර්ෂිකව ඉන්දියාව ලංකාවට ඩොලර් මිලියන සිය ගණනක ණය මුදලක් දැනට ටික කාලයකට පෙර සිට වාර්ෂිකව වෙන් කරයි. ලංකාවට බස් රථ සැපයීම කරන්නේ එම ණය මුදලෙන් කොටසක් යොදවමින්ය. ඉන්දියාව මේ රට තුළ ගෙරිහංකඩක් එළා ගත්තේ මේ වැනි විවිධ උපක්‍රම හරහාය. ලංගම අල්ලේ නටවන්නේ ඉන්දියාවය. මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළ ඒකාධිකාරය ගොඩනගා ගැනීමට එම ලංගමයම පාවිච්චි කරන අයුරු දැන් පැහැදිලිය.
ලංගමට ඉන්ධන සැපයීම භාර දෙන්න යන්නේ හවුල් ආණ්ඩුව විසින් අයි.ඕ.සී. සමාගම රාජපක්ෂ පවුල් පාලනය යටතේම දියත් කරන ලද තවත් බලශක්ති තොණ්ඩුවක් ද අතින් රැගෙන බව මෙහි දී මතක් කළ යුතුය. එනම්, මෙරට විදුලිය ක්ෂේත්‍රය ද ඉන්දියාව සමඟ පූට්ටු කිරීමේ සැලසුම තිබියදීය. පෝක් සමුද්‍ර සන්ධිය හරහා එළන දැවැන්ත කේබල් පද්ධතියක් මගින් ඉන්දියාව සමඟ විදුලිය හුවමාරු කර ගැනීමේ සැලසුමක් සකස් කර මේ වන විට තාවකාලිකව යටපත් කර තිඛෙන බව සිහිපත් කර ගැනීම අවශ්‍යය.
මෙරට සමස්ත බලශක්ති සැපයුම අත්පත් කර ගැනීමට ඉන්දියාව දිගුකාලීනව දැළ එළා ඇත්තේ මෙසේය. ලංගමට ඩීසල් සැපයීම තුළින් කරන්නේ එම දැළ ඇදීමේ ආරම්භක පියවර තැබීම බව අවධාරණය කර ගත යුතුය. රාජපක්ෂ පවුල් පාලනය පරාජය කරන තරමට යටිකූට්ටු වැඩ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව කරමින් සිටින බව මුලින් සඳහන් කළේ මෙවැනි දේ නිසාය. ලංගමට ඩීසල් සැපයීම පිිළිබඳ කැබිනට් යෝජනා සම්මතය එක දෙයක් විතරක් නොවේය. සමස්ත ජාලයක කොටසක් බව ජනතාවට නොවැටහේ. හවුල් ආණ්ඩුව ගේම ගසන්නේ ජනතාවට වටහා ගත නොහැකි යටිකූට්ටු ආකාරවලින්ය.


ලංකා මාරසිංහ