කුකුළු ගොවි කර්මාන්තය කොයිබටද?

උක් ගොවියා සටනට එයි
උක් ගොවියා සටනට එයි
October 24, 2017
H.S.B.C.
මහින්දගේ ජපන් ගමන හා රත්තරන් ලෙඩේ….
October 24, 2017
Show all

කුකුළු ගොවි කර්මාන්තය කොයිබටද?

ලුcxgjxf

අප බොහෝ දෙනෙකුට හයහතර තේරෙන දා පටන් මෙරට සෑම රජයකම නායකකාරකාදීන්ගෙන් අසන්නට ලැබුණේ සංවර්ධනය පිළිබඳ පුරාජේරුය. ඒ අනුව අප දන්නා අවධියේ පටන් ඔවුනට අනුව අද දක්වාම අපගේ රට සංවර්ධනය වෙමින් පවතින්නේය.
එය අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය ආදී සෑම ක්ෂේත්‍රයකටම ඔවුන්ගේ ප්‍රකාශ අනුව අදාළ වන්නේය. අද මෙම සටහනට පාදක වන පශ= සම්පත් ක්ෂේත්‍රයට අදාළව ද සෑම ආණ්ඩුවක් ම හා එම ආණ්ඩුවල මෙම ක්ෂේත්‍රය භාර සෑම ඇමතිවරයකුම පුරසාරම් දොඩා ඇත්තේ එපරිද්දෙන්මය.
දහසක් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන රටක මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම්වල මනදොළ පිරවීමේ වුවමනාවෙන් මහ පාරේ කිරි හලන පාලකයන් සිිටින රටක එක් ක්ෂේත්‍රයක අර්බුදයක් පමණක් වියුක්තව ගෙන සාකච්ඡා කිරීම නීරස වුව ද, මෙවර ‘සංචාරක සටහන’ රටට බරක් නොවී ජිවත් වෙමින් හා එක් අතෙකින් රටේ ජනතාවට පෝෂණය ද සපයන වෘත්තියක නියුතු ව්‍යවසායකයන් පිරිසක් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටය.
මම කුරුණෑගල සිට වාරියපොළ දක්වා මගේ ගමන් සගයා වූ සංජීව සමඟ මෝටර් සයිකලයෙන් ගමන් කර වාරියපොළ දී රත්නායක මහතාගේ කැබ් රථයට ගොඩවුණෙමි. හලාවත මාර්ගයේ හෙට්ටිපොළ දක්වා ගමන් කළ අපි අතුරු මාර්ගයකට හැරුණෙමු. අප විසින් පසු කරගෙන යන සෑම ගෙවත්තකම අවම වශයෙන් එක් කුකුළු ගොවිපළක් හෝ දක්නට ලැබිණි. ‘කොක් කොක්…’ හඩ නො ඇසෙන ගෙවත්තක් තිබිණි නම්, ඒ අතරින්පතර පමණකි. එසේ වුව ද, හැම ගෙවත්තකම වසා දැමූ කුකුළු කූඩුවක් හෝ දැක ගත හැකි විය.
‘හෙට්ටිපොළ කිව්වාම කුකුළු ෆාම්වලට ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම බිත්තරවලට. හැම ගෙදරකම වාගේ පොඩියට හරි කුකුළු ෆාම් එකක් පවත්වාගෙන යනවා. මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය තමයි, මේ ව්‍යාපාරය.’ සංජීව කරුණු පැහැදිලි කරමින්, කියා සිටියේය. අපගේ ගමනෙහි අරමුණ වූයේ මෙම ව්‍යාපාරයෙහි නිරත ගොවි මහතුන් කිහිප දෙනෙකු මුණගැසී තොරතුරු විමසීමයි.
එක් නිවෙසක් ඉදිරිපිට වාහනය නැවැත් වූ අප එයින් බැස ගතිමු. නිවෙස පිටුපස තරමක් විශාල කුකුළු ගොවිපළකි. කොහේ දෝ යාමට ස්කූටරයක නැගුණු තරුණයකු අපගේ පැමිණීම දැක බුලත් කහට තැවරුණු දසන් දක්වා අප හා සිනාසුණි. රත්නායක මහතා මා හඳුන්වා දෙමින් කතාවට මුලපිරීය.
‘මොනවා ද මේ ව්‍යාපාරය කරගෙන යාමේ දී මේ වෙන කොට ඇති වෙලා තියෙන ගැටලු ?’ සංජීව නම් ඔහුගෙන් විමසීමු.
‘අපි ජීවත් වෙන්නේ මේ සතුන් ඇති කරලා. නමුත්, දැන් මේක කරගෙන යන්න අමාරුම තැනට ඇවිල්ලා තියෙන්නේ. මූලිකම දේ බිත්තරවලට මිලක් ඇත්තේ නැහැ. අපෙන් බිත්තරයක් ගන්නේ හයක්, හතක් වගේ මුදලකට. නමුත්, මට සත්තුන්ට කෑම දෙන්න විතරක් රුපියල් අසූ පන්දහසක් විතර සතියකට වියදම් වෙනවා. ගිය සතියේ බිත්තර විකුණලා ගත්තේ රුපියල් විසිහය දාහයි. එතැනම මට රුපියල් හැටදාහක් විතර පාඩුයි. ඉතින් කොහොම ද මේක කරගෙන යන්නේ ?’ ඔහු අපෙන් විමසීය.
කුකුළු ගොවීන් පීඩාවට පත් කරන ප්‍රධාන කරුණ වනුයේ, සත්ත්ව ආහාර මිල හා ඛෙහෙත් මිල ඉහළ යාමය. අවම වශයෙන් රුපියල් හාරදහස් හත්සියයක් පමණ වන කුකුළු ආහාර බෑගයකට ආණ්ඩුව විසින් රුපියල් අටසිය පනහ ඉක්මවන බදු මුදලක් අය කරන අතර, කුකුළු ආහාර සපයන සමාගම් එම මුදල ගෙවනුයේ, ගොවියාගෙන් අය කරගෙනය. එමෙන්ම නිෂ්පාදනයට ස්ථාවර මිලක් නොවීම ද හිස මත පතිත හෙණගෙඩියක්ව තිඛෙන්නේය.
බිත්තර සඳහා ඇති කරන කිකිළියන් දහසක් කුඩා කාලයේ පටන් බිත්තර දමන තෙක් මාස හතරක් වැනි කාලයක් දක්වා වර්ධනය කර ගැනීමට පමණක් වියදම් කළ යුතු මුදල රුපියල් ලක‍ෂ තුනකට ආසන්නය. ඒ කුකුළු කූඩුව නිමැවීම සඳහා වන මුදල නොමැතිවය. ඒ සඳහා ද ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වැය වන අතර, ඒ අනුව කිකිළියන් දහසක් සඳහා ලක්ෂ පහමාරක්, හයක් වැනි මුදලක් වියදම් කළ යුතුය. එයින් අනතුරුව පවත්වාගෙන යාම සඳහා ද සතියකට ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කළ යුතුය. එහෙයින්ම මෙම ව්‍යාපාරයේ යෙදීම බිත්තරයක් තරමට සුමට නැත.
කුකුළු ගොවීන් මෙම දුෂ්කරතාවයන් විඳිමින් සිටින්නේ වෙළෙඳපොළ මිල උච්චාවචනයන් පාලනය කිරීමට හෝ සත්ත්වාහාර මිල පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුවට නිවැරදි දැක්මක් හෝ වැඩපිළිවෙළක් නොමැති බැවින්ය. ඒ හේතුවෙන්ම මෙරට වී ගොවියා හා එළවළු ගොවියා මුහුණ දෙන ගැටලුවලට සමාන තත්ත්වයකට කුකුළු ගොවියා ද මුහුණ දෙමින් සිටින්නේය. ආණ්ඩුවට හෝ පාලකයන්ට මෙම තත්ත්වයන් නියාමනය කිරීමේ වුවමනාවක් මෙතෙක් පැවතියේ නැත. ඒ හේතුවෙන්ම මේ වන විට ද මෙරට සත්ත්ව නිෂ්පාදන විශේෂයෙන්ම කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ද මහා පරිමාණ සමාගම් කීපයක ග්‍රහණයට නතු වී හමාරය.
පැටවුන් බිහි කිරීමේ සිට කුකුළු ආහාර නිෂ්පාදනය දක්වා රඳා පවතිනුයේ, එම මහා පරිමාණ සමාගම් මතය. ගොවීන් විසින් ද සුළු පරිමාණයේ කුකුළු ආහාර නිෂ්පාදනය කර ගත්ත ද, මේ වන විට දැවැන්ත ව්‍යාපාරිකයන් විසින් බඩඉරිගු සහ වී කෙටීමේ දී නිම වන අතුරු නිෂ්පාදනයක් වන සුනුසහල් ආදිය ද වැඩි මිලක් ගෙවා ලබා ගැනීම හේතුවෙන් සුළු පරිමාණ ගොවියාට එම අවස්ථාව ද අහිමි වී තිබේ.
එමෙන් ම කුකුළු ගොවියාට සිය නිෂ්පාදන විකුණා ගැනීමට සෘජු වෙළෙඳපොළක් නොමැති වීම හේතුවෙන් අතරමැදියන්ගේ ග්‍රහණයට ලක් වීමට සිදු වීමද මෙම කර්මාන්තයේ දී ඔවුන් මුහුණ දෙන ගැටලුවකි. කුකුළු කූඩූ ගොවීන් මෙන්ම ඒ හා බැඳුණු තවත් පිරිසකගේ ද ජීවන මාර්ග අහිමි වීමේ අවදානමක් මේ අනුව නිර්මාණය වී තිබේ. ඒ අතර, කුකුළු නිර්මාණය කරන බාස්වරුන් සහ බිත්තර බහාලන ලී පෙට්ටි නිෂ්පාදනය කරන්නන් ද, කුකුළු ගොවිපළවල දෛනික කුලියට නිරත වන පිරිස් ද මෙයට අයත්ය.
වර්තමානය වන විට අනෙකුත් ගොවීන් මෙන් ම කුකුළු ගොවීන් ද සිය කනකර උකස් තබා බැංකු ණය ගෙන සිය ඉඩකඩම් ද උකසට තබා අවසන්ය. සිය කුකුළු ගොවිපළවල සතුන් මසට විකිණීමෙන් හෝ මෙතෙක් ණය වී ඇති මුදල් සොයා ගත නොහැකි බවට ඔවුහු ප්‍රකාශ කර සිටිති.
බොහෝ මහා පරිමාණ සමාගම් කුඩා පරිමාණයේ කුකුළු ගොවීන් විනාශ කිරීමේ අරමුණින් කටයුතු කරනුයේ, ඉතාමත් අඩු මිලට වෙළෙඳපොළට බිත්තර හා මස් නිකුත් කිරීම මඟිනි. ඒ අනුව ජීව බර කිලෝ දෙකක පමණ කුකුළකු වෙළෙඳපොළට නිකුත් කරනුයේ රුපියල් එකසිය පනහක් පමණ වන මුදලකට වන අතර, කුඩා පරිමාණ ගොවියාගේ නිෂ්පාදන මිල ඉන් එහා යන බැවින්, ඔවුනට එම මිලට තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාවක් ඇත්තේ නැත. ජීව බර සහිත කුකුළකු එම මිලට වෙළෙඳපොළට නිකුත් කරන සමාගම් ඇසුරුම් කරන ලද මස් කිලෝව රුපියල් හාරසිය පනහක් ඉක්මවන මිලකට අලෙවි කිරීමෙන් තම ලාභය ස්ථාවර කර ගැනීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාරික සමාගම් කි්‍රයා කරනුයේ, කුඩා ගොවීන් සමූලඝාතනය කරන මාෆියා කල්ලියක ස්වරූපයකිනි.
මෙම තත්ත්වය නියාමනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවට ගොවීන් පවසනුයේ එබැවිනි. එමෙන් ම ඔවුහු ද තම අයිතිවාසිකම් වෙනුවෙන් ඒකරාශී වි කටයුතු කිරීමට මේ වන විට සූදානම් වෙමින් සිටිති.

ගොවි ගැටළු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා
සංජීව කරුණාසාගර
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජික, සමස්ත ලංකා කුකුළු ගොවි සංගම් එකතුවෙහි සම්බන්ධීකාරක

සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ට මුහුණ දීමට සිදු වී ඇති තත්ත්වය අභාග්‍යසම්පන්නයි. ඉතා අඩු මිලකට මහා පරිමාණ සමාගම් වෙළෙඳපොළට තම නිෂ්පාදන නිකුත් කරන නිසා කුඩා ගොවීන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙමින් සිටිනවා.
කුඩා පරිමාණ කුකුළු ගොවීන් ඉතාමත් බරපතළ විදියට ණයගැති භාවයට පත් වෙලා සිටිනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඒකාබද්ධව අපි මේ වන විට මෙම තත්ත්වයට එරෙහිව කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව පසුගිය 11 වැනිදා විෂයභාර අමාත්‍ය පී. හැරිසන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට මව් සතුන් ගෙන ඒම නියාමනය කරන්නත්, සත්ත්ව ආහාර බදු සියයට 15කින් අඩු කරන්නත් ඇමතිවරයා පොරොන්දු වුණා.
ඒ වාගේ ම කෘෂිකර්මාන්තයට අයත් ආහාර පාලන දෙපාර්තමේන්තුවෙන් රුපියල් පණහකට බඩඉරිගු කිලෝ එකක් ගොවීනට ලබා දෙන්නත් කටයුතු සැලසුම් කෙරෙමින් තිඛෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දුෂ්කර පාසල්හි ළමුන්ගේ උදෑසන ආහාර වේල සඳහා බිත්තර ලබා දීමට කටයුතු කිරීමටත් එකඟ වුණා. ඒ වගේම ගොවි ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන්නත්, එළඹෙන 17 වැනි දින ගොවි ගැටලු පිළිබඳ වැඩි දුර සාකච්ඡා කරන්නත් ඇමතිවරයා එකඟ වුණා.

රජය මැදිහත් වී නියාමනය කළ යුතුයි
ටී. එම්. රත්නායක (ව්‍යාපාරික)

මේක දැනටමත් බහුජාතික සමාගම් කීපයක් අතට පත් වෙලා ඉවරයි. ඒ සමාගම් සමඟ තරග කරන්න සුළු හෝ මධ්‍ය පරිමාණ කුකුළු ගොවීන්ට බැහැ. එම සමාගම් විශාල වශයෙන් කුකුළු පැටවුන් උපදවනවා. ඒ වගේම බිත්තර නිපදවනවා. වෙළෙඳපොළ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයට නිෂ්පාදනය සමපාත නොවීම නිසා මිල පහළ යනවා. ඒ වගේම සත්ත්ව ආහාර නිෂ්පාදනයේත් සෑහෙන කොටසක ආධිපත්‍යය දරන්නේ එම සමාගම්. මෙම තත්ත්වයන් නියාමනය කරන්න රජය මැදිහත් නොවුණොත්, කුඩා පරිමාණ ව්‍යවසායකයන් මෙම ක්ෂේත්‍රයෙන් ඉක්මනින්ම ඉවත් වී යාවි. ඒක දැනටමත් සිදු වෙමින් තිඛෙනවා.


සටහන සහ ඡායාරූප
කිත්සිරි කොඩිතුවක්කු