ප්‍රතිකාර නොමැතිව වකුගඩු රෝගීන් මිය යමින් සිටිනවා

ලුseghsr
වීරවංස සිරිසේන වන්දනාවේ යයි
October 24, 2017
ලුzdfrhd
පොලිස් භාවනාව
October 24, 2017
Show all

ප්‍රතිකාර නොමැතිව වකුගඩු රෝගීන් මිය යමින් සිටිනවා

ලුfhsdgf

ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේකම්, සමස්ත ලංකා කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ සංවිධායක
සුසන්ත කුමාර නවරත්න

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය අඩුවක් නැහැ. ඒ වාගේම මෙම තත්ත්වයට පිළියම් සොයන්න ආණ්ඩුවේ මැදිහත් වීම ප්‍රමාණවත්ද?

පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සියයට පහළොවක් වකුගඩු රෝගීන් බවට හඳුනාගෙන තිඛෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිතුනෙන් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශය විදියට හඳුනාගෙන තියෙනවා. එම කොටසේ හාරදහසක් පමණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඊළඟට පදවිය, රඹෑව, හොරොව්පතාන, කහටගස්දිගිලිය ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව මෙම රෝගයට ගොදුරු වෙලා ඉන්නවා.
ආණ්ඩුව තවමත් මෙය හඳුන්වන්නේ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා. නමුත්, සිදු විය යුතු දෙය වන්නේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා මෙයට හේතුව හඳුනා ගන්න එක. අකාලයේ මිය යන මේ ජනතාව බේරා ගන්න ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. ඒ වගකීම උතුරු මැද පළාත් සභාවටත් පැවරෙනවා. ඒ නිසා මධ්‍යම රජයත්, පළාත් සභාවත් මෙහි වගකීම භාර ගන්න ඕනෑ.
අනෙක් කාරණාව තමයි, දැනටත් වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඩයලයිසිස් ප්‍රතිකාරය කරන්න අවශ්‍ය යන්ත්‍ර අනුරාධපුර දිස්ති්‍රක්කයේ තියෙනවා. පුහුණු තාක්ෂණික ශිල්පීන් ඇත්තේ නැති නිසා එම යන්ත්‍ර නිකරුණේ දිරාපත් වෙමින් තිබෙනවා. මැදවච්චිය රෝහලේ මෙම යන්ත්‍ර භාවිත කරන්න කියලා අපි විරෝධතාවයකුත් කළා. ඒ නිසා ම අනුරාධපුර රෝහලේ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබා ගන්න එන රෝගීන් සංඛ්‍යාව විශාල අගයක් ගන්නවා. අවශ්‍ය කරන නිලධාරීන් පුහුණු කරලා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න ආණ්ඩුවට වුවමනාවක් ඇත්තේ නැහැ. ඒ නිසාම වකුගඩු රෝගයට ගොදුරු වූවකුගේ මරණය දකිමින්, ඒ අයගේ පවුල්වල අයට සියල්ල අහිමි කර ගනිමින්, ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඒක හරිම ඛේදවාචකයක්.

අනුරාධපුර දිස්ත්‍රික්කය වී ගොවිතැන ප්‍රධාන කර ගත් කෘෂිකාර්මික දිස්ති්‍රක්කයක් විදියට එහි ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුසහගත තත්ත්වයන් මොනවාද?

මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිතුන තුළ ගම්මාන දෙදහස් නවසිය තිස්හතරක් තියෙනවා. ඒ තුළ මහා පරිමාණ වැව් දහයක්, මධ්‍යම පරිමාණ වැව් නවයක් සහ සුළු පරිමාණ වැව් තුන්දහස් හයසියයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ වැව් යටතේ ගොවිතැන් කරන විශාල ජනතාවක් සිටිනවා.
එම ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව සංවේදී නොවීම බරපතළ කාරණයක්. උදාහරණයක් විදියට විලච්චිය ගොවි ජනපද ව්‍යාපාරය ගත්තා ම ඒ ගොවි ජනතාවට යල, මහ දෙකන්නය වැඩ කරන්න අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. මොකද? ඒ ගොවි ජනතාවට ගොවිතැන සඳහා නිශ්චිතව ජලය ලැඛෙන ක්‍රමයක් නැහැ. නමුත්, තලාව දක්වා පැමිණෙන මහවැලි වතුර විලච්චියට ගෙනෙන්නට පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුනාගෙන තියෙනවා. ඒක අලුතෙන් සකස් කළ යුතු දෙයක් නොවෙයි. වියදමක් යන්නේ නැහැ. අපි යෝජනා කරන්නේ තලාව වැව දක්වා පැමිණෙන මහවැලි වතුර ප්‍රමාණය වැඩි කරලා, එම වැවෙන් වාන් දමන වතුර විලච්චිය වැවට ගෙන යන්න කියලා. ඒ සඳහා දැනටත් වාන් වතුර ගලා යන ඇළක් තලාව වැව සිට විලච්චිය දක්වා තියෙනවා. අවශ්‍ය කරන්නේ තලාව වැවට එන වතුර ප්‍රමාණය වැඩි කරන එක විතරයි. නමුත්, මේ දේ කරන්න ආණ්ඩුවට වුවමනාවක් ඇත්තේ නැහැ. කෘෂිකර්ම ඇමතිත්, ජනාධිපතිත් උතුරු මැද පළාතේ වුණාට ගොවි ජනතාවගේ ප්‍රශ්න එහෙමමයි.
මහ කනදරා වැව ජනපදයේ ජනතාව මොරගහකන්ද ජලාශයේ වතුර තමන්ට ලැඛෙයි කියලා බලාගෙන ඉන්නවා. නමුත්, ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. මොකද? මොරගහකන්ද ජලාශයේ පෝෂක ගංගාව වන අඹන් ගෙඟ් පෝෂක ප්‍රදේශයට එම ජලාශය පුරවන්න තරමට වර්ෂාවක් ලැඛෙන්නේ නැහැ.

ඔබේ ප්‍රදේශයේ විශාල වශයෙන් වන අලි සහ මිනිසුන් අතර ගැටුම් ඇති වෙනවා. වගා හානි, ජීවිත හානි වාර්තා වෙනවා නේද?

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහ අටකට විතර වන අලි උවදුර සෘජුවම බලපාලා තියෙනවා. හිටපු එකම වනජීවී ඇමතිවරයෙක්වත් මෙම උවදුරට ස්ථීර විසඳුම් දෙන්න උනන්දු වුණේ නෑ. ජනතාවට එක එක කතා කියනවා මිසක් ප්‍රශ්නය එහෙමමයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විදියට අපි මේ වල් අලි උවදුරට පිළියම් යෝජනා කළා. විල්පත්තු, ත්‍රිකෝණමඩු, මුලතිව් කැලෑව, යාල වගේ ප්‍රධාන වනෝද්‍යානවලට අලි ගාල් කරලා, ශක්තිමත් අලි වැටක් ඉදි කරන්න යෝජනා කළත්, ඒ දේවල් සිද්ධ වුණේ නෑ.
ඒ නිසාම වල් අලින් මිනිසුන් අතින් මිය යනවා. මේ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි, වනජීවීන් වෙනුවෙන් අමාත්‍යාංශයක් තියෙන්නේ. නමුත්, එම ආයතනවලට මේ සම්බන්ධයෙන් විසඳුම් තියෙන බවක් පේන්නේ නෑ. තඹුත්තේගම, නොච්චියාගම, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පොල් ගස් දාහකට වඩා අලින් විසින් විනාශ කරලා තියෙනවා. දරුවන් පාසල් යන විට පාසලේ අලි ගැවසීම නිසා පාසල් වහන්න සිද්ධ වෙලා තියෙනවා. වතුර ලබා නොදීම නිසා කන්න තුනක් වී ගොවිතැනේ යෙදෙන්න නොහැකි වුණු ජනතාව ගොඩ ගොවිතැන් කළා. සෝයා, බඩඉරිගු වැනි ඔවුන්ගේ භෝගවලට වන අලින් බරපතල හානි සිදු කරලා තියෙනවා. ඒ සඳහා වන්දි ගෙවීමට බලපෑවැත් වූ පනතත් මේ වන විට වෙනස් කරලා තියෙනවා. 2016 අංක 23 හා 2016/9/17 චක්‍රලේඛයෙන් වන්දි ක්‍රමවේදය වෙනස් කරලා, දැන් වන්දි ගෙවන්නේ වී වගාවට වෙන හානි වෙනුවෙන් විතරයි.
අපි ආණ්ඩුවෙන් හා වනජීවී අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා වහාම මේ චක්‍රලේඛය අහෝසිි කරන්න කියලා.

පසුගිය කාලයේ වගා හානිවලට වන්දි ගෙවන්න කියලා ඔබලා අරගල කළා. ආණ්ඩුව එම වන්දි මුදල් ගෙවා අවසන්ද?

ආණ්ඩුව විසින් ගොවිතැනට ජලය ලබා නොදීම නිසා වගා නොකළ ගොවි ජනතාවට මාස හතරකට රුපියල් හතළිස්දාහක් වන්දි ගෙවන්න ජනාධිපතිවරයා පොරොන්දු වුණා. ඒක ලබා ගත්තෙත් අරගල කරලා. නමුත්, එක වතාවක් පමණක් රුපියල් දහදාහක් ගෙවලා, ආණ්ඩුව දැන් ඒක ගෙවන එක මඟහරිමින් ඉන්නවා.
දුමින්ද දිසානායක කියනවා, ඉතිරි තිස්දාහ දෙන්න අමාරුයි, භාණ්ඩාගාරයට මුදල් නැහැ කියලා. නමුත්, ඇමතිවරුන්ට රට සවාරි යන්න, වාහන ගන්න ජනතා මුදල් වියදම් කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට මාසෙකට රුපියල් කෝටි දෙකහමාරක කුලියක් ගෙවනවා. නමුත්, තමන්ගේ දරුවාට හොඳ ආහාර වේලක් දෙන්න විදියක් නැතිව ඉන්න ගොවියාට ලැබිය යුතු වන්දිය ගෙවන්න ආණ්ඩුව මඟහරිමින් ඉන්නවා. පාලකයන් කරන්නේ හැමදාම ජනතා ගැටලු මඟහරිමින්, තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් කටයුතු කරපු එක විතරයි. රටේ ජනතාවත් මේ පිළිබඳව අවසාන තීන්දුවකට පැමිණිය යුතුයි.


කිත්සිරි කොඩිතුවක්කු