පොලිස් භාවනාව

ලුfhsdgf
ප්‍රතිකාර නොමැතිව වකුගඩු රෝගීන් මිය යමින් සිටිනවා
October 24, 2017
අත්තංගනේ රතනපාල හිමි
සංඝ සමාජයේ පරිහානියට ආණ්ඩු වග කියන්න ඕනෑ
October 24, 2017
Show all

පොලිස් භාවනාව

ලුzdfrhd

පොලිස්පතිවරයා සෑම පොලිසියකම පොලිස් නිලධාරීන්ට දවසේ වැඩ ආරම්භ කිරීමට පෙර විනාඩි කිහිපයක් භාවනා වැඩ සටහනක් හඳුන්වාදී දැන් ටික කලක්ය. පොලිස් සේවාව වඩාත් මහජන මිත්‍රශීලී එකක් කිරීමත්, මහජන ප්‍රශ්න දෙස සංයමයෙන් බැලීමට පොලිස් නිලධාරීන්ට හැකිවීමටත් මෙසේ කළ බව පොලිස්පතිවරයාද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාද පැවසීය. එකී මිත්‍රශීලීභාවයේ හා සංයමයේ තරම මේ සතියේ මොනවට දැක ගත හැකි විය.
මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව පැවති උද්ඝෝෂණයට හම්බන්තොටදීත්, සයිටම් විරෝධී උද්ඝෝෂණයට කොළඹදීත් එල්ල කළ පොලිස් ප්‍රහාරය විසින් එය හෙළි කළේය. පසුගිය 06 වෙනිදා හම්බන්තොට පැවති උද්ඝෝෂණයට පොලිසිය එල්ල කරන අමානුෂික ප්‍රහාරය මාධ්‍ය වෙත නිකුත් වූ ඡායාරූප හා දර්ශනවලින් දැක ගත හැකි විය. උද්ඝෝෂකයන්ගේ කන් අඩි පැලෙන්නට පොලිසිය පහර දෙන්නේ පොලිස්පතිතුමාගේ භාවනාවේ මහිමයෙන්දැයි අපට අසන්නට සිදුවී තිබේ.
පසුගිය 10 වෙනිදා කොළඹදී පැවති සයිටම් විරෝධී පෙළපාළියට එල්ල කරන පොලිස් ප්‍රහාරද අතිශය අමානුෂිකය. එහි සිටි සිසුන්ට භික්ෂූන්ට මෙන් දෙමාපියන්ටද පොලිසිය ම්ලේච්ඡ ලෙස පහර දෙන්නේ භාවනාවේ ආනුභාවයෙන්දැයි යන ප්‍රශ්නය මතු වේ. මෙහිදී භික්ෂූන් වහන්සේ දෙනමක්, මාධ්‍යවේදීන්ද ඇතුළු 14 දෙනෙක් ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහෙත් මෙකී ජනතා උද්ඝෝෂණ මර්දනයේ වගකීම පොලිසිය පිට පැටවීම සැබෑ වගකිවයුත්තන් නිදොස් කිරීමක් වන්නේය. මත්තල විකිණීමට එරෙහි උද්ඝෝෂණ ඉතා සාධාරණ සටනකි. සයිටම් ප්‍රශ්නය කොතරම් සාධාරණදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා මෙයට සැබෑ වගකිවයුත්තන් වන්නේ පවතිින හවුල් ආණ්ඩුවය. පොලිසිය ඉටු කරන්නේ ඉහළින් එන නියෝගයයි. එහෙත් එසේ කී පමණින් පොලිසියේ අමානුෂික ක්‍රියාමාර්ග සාධාරණීකරණය වන්නේ නැත. පසුගිය සමයේ දේශපාලන අධිකාරියේ නීති විරෝධී අණ කිරීම් ක්‍රියාවට නැගූ ඇතැම් ආරක්ෂක අංශවල නිලධාරීන්ට ඒවාට වන්දි ගෙවන්නට වර්තමානයේ සිදුව තිබේ.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුවද ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට සිදු කළේ පොලිසිය, හමුදා, සුදුවෑන් යොදා ඒවා මර්දනය කිරීමය. හලාවත ධීවර ඝාතනය, කටුනායක කම්කරු ඝාතනය, රතුපස්වල ජන ඝාතනය, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම්, පහරදීම්, මාධ්‍යවේදීන් ඝාතනය, පැහැර ගැනීම් ආදියේ ලැයිස්තුව කියවාගෙන ගියහොත් එහි කෙළවරක් නැති තරම්ය.
ජනතාව රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීමට හේතු වූ බොහෝ කරුණු අතර ප්‍රමුඛ කරුණක් වූයේ මෙකී අත්තනෝමතික ජනතා මර්දනයයි. එයට එරෙහිව පෙළ ගැසුණු බලවේගවල ප්‍රධාන සටන් පාඨය බවට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ඇති කිරීම යන්න පත් වූයේ ඒ අනුවය. අත්තනෝමතිකභාවයේ මූලික හේතුව වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය මෙරට ප්‍රගතිශීලී බලවේග අවධාරණය කළෙත්, මාදුළුවාවේ සෝභිත හිමි වැනි හිමිවරුන් ඒ සඳහා මැදිහත් වූයෙත් ඒ අනුවය.
විශේෂයෙන් ජනාධිපති මෛත්‍රී බලයට පත් වෙද්දී යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම මුල් කරගත් වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කළේද ඒ අනුවය. එහෙත් අද ව්‍යවස්ථා සංශෝධනය තුළ විධායක ක්‍රමය ඉවත් කිරීම ඇතුළත් වුවද මෛත්‍රී නායකත්වය සපයන ශ්‍රීලනිපය එයට එරෙහිව සිටියි. ජනතාවගේ සාධාරණ අරගල මැඩලීමට පොලිසිය යොදවා ඇති ආකාරයෙන් යළිත් රාජපක්ෂ යුගය සිහිපත් කරවයි. එනම්, මෛත්‍රී – රනිල් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේද පරණ පාරේම බව පැහැදිලි වෙයි. මේ ප්‍රදර්ශනය වන්නේ ආණ්ඩුවේ සැබෑ ප්‍රතිපත්තියයි. සයිටම් ප්‍රශ්නය ගත් විට අධ්‍යාපනයේ සුපිරි පැලැන්තියකට පමණක් සීමා කිරීමේ උවමනාවය. රාජ්‍ය දේපොළ, සම්පත්, සේවාවන් විකුණා දැමීමේ උවමනාවය. මෙතෙක් සිටි කිසිදු පාලක කණ්ඩායමක් මේ ප්‍රතිපත්තිවලින් පිට පැන්නේ නැත. සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතනය.
මෑතක සිට බංකොලොත් දේශපාලකයන් තම හෙලුව වසා ගැනීමට ආගම්වලට, චීවරවලට මුවා වන බව පෙනෙන්නට තිබේ. ජනතාව රැවටීමේ පහසු ආයුධ ලෙස ජනතාවගේ ආගම් භක්තිය නිර්ලජ්ජිත ලෙස යොදා ගනු දක්නට ලැබේ. පොලිසියට භාවනා ඉගැන්වීමද එම වංචාවේම තවත් පැත්තක් බව තේරුම් ගත යුතුව තිබේ.