මධ්‍යම අධිවේගයේ ඉඩම් කොල්ලයට එරෙහිව ගම්වැසියෝ වීදි බසිති

අත්තංගනේ රතනපාල හිමි
සංඝ සමාජයේ පරිහානියට ආණ්ඩු වග කියන්න ඕනෑ
October 24, 2017
රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්
රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්
October 24, 2017
Show all

මධ්‍යම අධිවේගයේ ඉඩම් කොල්ලයට එරෙහිව ගම්වැසියෝ වීදි බසිති

ලුfhk,ki

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2012 වර්ෂයේදීය. එසේ ආරම්භ වූ ව්‍යාපෘතිය මේ වන විට ගැටලු රැසක් නිර්මාණය කර ඇත. අධිවේගී මාර්ග ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරයි. එහෙත් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලු සහගත තත්ත්වයකි. විශේෂයෙන්ම යහපාලන රජය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරමින් ඇත්තේ දරදඩු ප්‍රතිපත්තියකි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවණ මහා පරිමාණ ජනතා මුදල් කොල්ලය පිළිබදවද විවිධ චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවේ. විශේෂයෙන්ම අධිවේගී මාර්ගය හේතුවෙන් සිය ඉඩ කඩම් දේපොළ අහිමි වන ජනතාවට වන්දි ගෙවීමේදී ආණ්ඩුව අනුගමනය
කරමින් ඇත්තේ දියාරු ප්‍රතිපත්තියකි. ඒ නිසාවෙන්ම ජනතා අරගලයක් නිර්මාණය වෙමින් පවතී. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ග පීඩාවට පත් ජනතා එකමුතුව නමින් සංවිධානයක්ද ගොඩනැගී ඇත. ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර දිස්ති්‍රක් ඉඩම් හා දේපොළ අහිමි ජනයා මෙසේ සංවිධානය වී ඇත. ඒ අනුව ඔවුන් ඉදිරියේදී බලවේගයක් ලෙස සිය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් අරගල බිමට පිවිසෙනු ඇත. මේ වන විට එම ජනතා බලවේගය විසින් ඉඩම් හා නිවාස අහිමි වන ජනතාව පිළිබදව විමර්ශනයක නිරත වී ඇත. එළඹෙන ඔක්තෝම්බර් 19 වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද ඔවුන් දැඩි තීරණයක් ගෙන ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් ඉඩම් අහිමි වන ජනතාවගේ ඉඩම් සහ දේපොළ වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් පිළිබදව ආණ්ඩුවට නිශ්චිත නිර්ණායකයක් නොමැති අතර වන්දි ගෙවීම සම්බන්දයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ද නැත. ඇතැම් ඉඩම් හිමියන්ගේ ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරක් වන විට ගෙවීමට තීන්දු වී ඇත්තේ ඉන් හරි අඩකි. මේ ආදී ප්‍රශ්න රැසක් හේතුවෙන් ජනතාව ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයක. ඒ අනුව සංවිධානය වීම හැර අන් විකල්පයක් ඔවුන්ට ඉතිරි වී නැත.
මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට නිවැරදි සැලැස්මක් නැත. මධ්‍යම අධිවේගී මාර්ගය මහනුවර දක්වා කනු උඩ යන බව මුලදී ප්‍රකාශ වුවද විවිධ අවස්ථාවල ක්‍රමවේදය සම්බන්ධයෙන් නිවැරදි දැක්මක් ඉදිරිපත් නොකරයි. විටෙක පවසන්නේ පස් දමා ගොඩකර ඒ මත මාර්ගය ඉදි කරන බවයි. තවත් විටෙක පවසන්නේ බැම්මක් මතින් මාර්ගය ගෙන යන බවයි. තවත් අවස්ථාවක කන්දෙන් යන බව පවසයි. එසේම ඇතැම් ස්ථානවලදී උමං මාර්ගයෙන් යන බව පවසයි. කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් ආණ්ඩුව ඉදිරිපත් නොකිරීමම බරපතළ ගැටලුවකි.
ඉඩම් අහිමි වන ජනතාවට වන්දි මුදල් ප්‍රදානය කිරීමේදී පවතින වෙළඳපොළ වටිනාකමට සරිලන වන්දි මුදලක් තක්සේරු කළ යුතුය. එහි දක්නට ඇත්තේ දැඩි විෂමතාවයකි. ඉඩමක වටිනාකම තක්සේරු කිරීමේදී වසර 20ක් ඉදිරියට තක්සේරු කොට වන්දි මුදල් ලබාදීම පිළිගත් සාම්ප්‍රදායයි. විශේෂයෙන්ම තක්සේරු වන්දි මුදලේ ප්‍රමාදයට අදාළ පොලිය ආණ්ඩුව විසින් එම ජනතාවට ලබාදිය යුතුය. වන්දි මුදල ජනතාවට ප්‍රදානය කරන දිනය දක්වා වන පොලිය ලබාදිය යුතුය. එසේ පොලිය ගෙවිය යුතු වන්නේ ඉඩම අහිමි වූ දිනයේ සිට වන්දි මුදල් නොගෙවීමයි. ඇතැම් විට ඉඩම පවරාගෙන වසරක් හෝ දෙකක් ගිය තැන වන්දි මුදල් ලබාදිය හැකිය. එහිදී ජනතාවට වන පාඩුව ආණ්ඩුව පියවිය යුතුය.
ඉඩම් අහිමිවන ජනතාවට වන්දි මුදලට අමතරව නව ඉඩම් කැබැල්ලක් ලබාදීමට ආණ්ඩුව බැඳී සිටී. එසේම ආණ්ඩුව තක්සේරු කරනු ලබන්නේ ඉඩමේ වටිනාකම පමණි. ඉඩමේ පවතින ගහකොළද තක්සේරු කළ යුතුය. විශේෂයෙන්ම ඉඩමේ ඇති සියලු ආර්ථීක භෝග තක්සේරු කොට වන්දි ලබාදිය යුතුය. ආණ්ඩුව අනිවාර්යයෙන්ම වන්දි ලබාදෙන තක්සේරු නිර්ණායක ජනතාවට හෙළිදරව් කළ යුතුය. ආණ්ඩුවට මේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී තිබිය යුතු නිවැරදි පරිසර ශක්‍යතා වාර්තාව ජනතාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කළ යුතුය. ආණ්ඩුව වන්දි මුදල් ලබාදීම කඩිනම් කළ යුතු අතර වන්දි මුදල් ලබාදෙන අවසන් දිනය ප්‍රකාශ කළ යුතුය.
මධ්‍යම අධිවේගී මාර්ග පීඩාවට පත් ජනතා එකමුතුව පවසන්නේ තමන් කිසි විටෙක අධිවේගී මාර්ගය ඉදිකිරීමට විරුද්ධ නොවන බවයි. එහෙත් තමන් පාරම්පරිකව ජීවත් වූ ඉඩකඩම් පැවරීමෙන් තමන් දැවැන්ත කැප කිරීමක් කර තිබියදී ආණ්ඩුව එය අවතක්සේරු කිරීමට එරෙහිව කොන්දේසි විරහිතව නැගි සිටින බවද එම එකමුතුව පවසයි. විශේෂයෙන්ම සිදුවිය හැකි පාරිසරික විනාශය පිළිබදවද තම සංවිධානය විශේෂයෙන්ම අවධානය යොමු කරන බවද පවසයි. උමා ඔය වැනි ව්‍යාපෘති හරහා එම ප්‍රදේශයන්හි ජනතාව අද අත්විඳ ඇති තත්ත්වයක් මධ්‍යම අධිවේගී මාර්ගය හරහා සිදුවන්නේ නම් අනාගත පරම්පරාව වෙනුවෙන් එය වැළැක්වීම තමන්ගේ අයිතියක් බවද ඔවුන් පවසති. ඒ අනුව අධිවේගී මාර්ගයට ඉඩම් අහිමි වන ජනතාව පමණක් නොව මේ හරහා සිදුවන පාරිසරික විනාශයට ගොදුරුවන ජනතාව ද මේ අරගලයට සකී්‍රයව මැදිහත් වෙමින් සිටින බවද එම සංවිධානයේ නියෝජිතයන් පවසති.
ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් රටේ ජනතාවට සහ පූජ්‍ය පක්ෂයට අසත්‍ය මත ප්‍රකාශ කරමින් ඇත. මේ අධිවේගී මාර්ගයට එරෙහි වන්නේ කඩාකප්පල්කාරීන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා
මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත. සැබවින්ම ප්‍රශ්නය විකෘති කරමින් අමාත්‍යවරයා මෙසේ පවසන්නේ වියරුවෙන්ද යන්න සැක හිතෙන බව ජනතාව පවසති. මේ ජනතාව කිසිවෙක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනවාට කිසිදු විරෝධයක් නොදක්වයි. එහෙත් එම ජනතා බලවේගය විරෝධය දක්වන්නේ ඒ හරහා සිදුවන මහා පරිමාණ ඉඩම් මංකොල්ලයට සහ මුදල් මංකොල්ලයටය.
මේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඒ වෙනුවෙන් බරපතළ ලෙස පෙනී සිටින්නේ කිරිඇල්ල අමාත්‍යවරයාය. මේ වන විට විවිධ බලවේගයන්ගෙන් කිරිඇල්ල අමාත්‍යවරයාට චෝදනා එල්ල වන්නේ මහා පරිමාණ මුදල් මංකොල්ලයක් සිදු කරමින් සිටින බව පවසමිනි. සැබවින්ම ඒ බව තහවුරු වන්නේ මේ සම්බන්ධයෙන් විමසන විට අමාත්‍යවරයා දැඩි කෝපයට පත්වීම නිසයි. අනෙක් වැදගත්ම කරුණු කාරණා වන්නේ ආණ්ඩුව නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකිරීමයි. කිසිදු සැලැස්මක් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් නොකරයි. රාජපක්ෂ ආණ්ඩුව කළා සේම මහා පරිමාණ ජනතා මුදල් මංකොල්ලයක් මේ මාර්ග ව්‍යාපෘතිය හරහා සිදුවන බවට මේ වන විට සාක්ෂි ලැබී ඇත. මේ මාර්ග ව්‍යාපෘතිය හරහා පීඩාවට පත් වන්නේ ඒ වෙනුවෙන් ඉඩකඩම් අහිමි වන ජනතාව හා ඒ දෙපස සිටින ජනතාවයි. ඒ ජනතාවගේ ජන ජීවිතයට සෘජුව බලපාන ප්‍රශ්නයක් වෙනුවෙන් කවරෙකු ඉදිරිපත් නොවූවද ඔවුන් ඒ වෙනුවෙන් සංවිධානය වීම වැළැක්විය නොහැකිය. දැන් සටන් බිම උණුසුම් වෙමින් පවතී. ආණ්ඩුවේ අදූරදර්ශී, අතාර්කික, අත්තනෝමතික වැඩපිළිවෙළ නිසා ජනතාව සංවිධානය වී ඇත. ඒ සංවිධානය වූ ජනතාව කිරිඇල්ලලාගේ ආණ්ඩුවට එරෙහිව හෙට දවසේ වීථී බසිනු ඇත. ඒ වීථී බැසීමට සහ අරගලයට වගකිව යුත්තේ ආණ්ඩුවය. හෙට දවසේ නිර්මාණය වන අරගලය වඩාත් සාධාරණ සහ යුක්ති සහගත අරගලයක් වන්නේ ආණ්ඩුව සාධාරණ සහ යුක්ති සහගත පිළිතුරක් ලබා නොදෙන නිසාවෙනි.


එස්. කේ. ගමගේ