මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුව මානව හිමිකම් කොමිසමට

උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි
උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි
October 24, 2017
උක් ගොවියා සටනට එයි
උක් ගොවියා සටනට එයි
October 24, 2017
Show all

මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුව මානව හිමිකම් කොමිසමට

නිපුණා සාරංගි

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමට අදාළව ඇති වූ මහත් ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් වූ පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මොන්ටි ධම්මික මහතා සහ තවත් කිහිප දෙනෙක් විසින් 2017 මැයි මස 04 වන දින ගොනු කරන ලද අතර ඊට අදාළ පෙත්සම් විභාගය 2017-10-06 වන දින මානව හිමිකම් කොමිෂන් කාර්යාලයේදී පවත්වන ලදී.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්, බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, නාගරික සංවර්ධන අධිකාරිය සහ පරිසර අධිකාරිය නම් කර තිබිණ. මෙහිදී පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ කුණු කන්ද නාය යාමෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතන ස්වභාවික ව්‍යසනයක් ලෙස නොසලකන ලෙසත්, එය වගඋත්තරකරුවන්ගේ සාමූහික හෝ එක් එක් අයගේ නොසැලකිල්ල මත සිදු වූ මරණයන් ලෙස සලකන ලෙසත්ය.
ඒ අනුව එසේ සිදු වූ එක් මරණයක් වෙනුවෙන් රුපියල් 6,000,000/-ක මුදලක් ලබා දෙන ලෙසත්, අහිමි නිශ්චල සහ චංචල දේපල වෙනුවෙන් නිසි තක්සේරුවක් සිදු කොට වන්දි මුදල් ප්‍රදානය කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12, 14(අෟ) සහ 27(14) වගන්තීන් උල්ලංඝණය වී ඇති බවට නිර්දේශ කරන ලෙසත්ය. මෙම පෙත්සම විභාග කිරීම ආරම්භයේදීම මූලික ගැටළු කිහිපයක් මතු කරමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශකර සිටියේ දැනට පූර්ණ ජීවිත හා දේපළ හානි සිදු වූ අයට ගෙවා ඇති මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, අර්ධ හානි සිදු වූ අයට ගෙවා ඇති තක්සේරු මුදලද ප්‍රමාණවත් නොවන බවත්ය.
එසේම අදාළ කුණු කන්ද ඉවත් කිරීමට අදාළව කිසිදු වැඩපිළිවෙලක් ගැන කරුණු ඉදිරිපත් කිරීමට කිසිදු වගඋත්තරකරුවකුට නොහැකි වීමද විශේෂත්වයකි. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යසනයට සෘජුව වගකිව යුත්තෙකු වුවද එකී ආයතනය වෙනුවෙන් කිසිවෙකු මෙම විභාගය සඳහා සහභාගි වී නොසිටීමද විශේෂයක් විය. මේ පිළිබඳ දීර්ඝ කරුණු විමර්ශනයකින් පසුව මෙම ව්‍යසනය සඳහා වගකිව යුත්තන් කවුරුන්ද යන්න කොමිසම විසින් ඉදිරියේදී හෙළිදරව් කර සිටින බව පෙත්සම විභාග කළ රනිල් අබේනායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී. නියෝගයට පෙර ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමට ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද වග උත්තරකරුවන්ට දැනුම් දෙන ලදී.


නිපුණා සාරංගි