වීරවංස සිරිසේන වන්දනාවේ යයි

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය
ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය
October 24, 2017
ලුfhsdgf
ප්‍රතිකාර නොමැතිව වකුගඩු රෝගීන් මිය යමින් සිටිනවා
October 24, 2017
Show all

වීරවංස සිරිසේන වන්දනාවේ යයි

ලුseghsr

අළු යට ගිනි පුපුරු හැරුණු කොට දේශපාලන පිටිය පසුගිය සතියටත් වඩා නිසල බවක් ගෙන තිබුණේය. මෙහිදී ‘අළු යට ගිනි’ ජනවහරේ යෙදීම ඒ ආකාරයෙන්ම කීම පමණක්ය. දේශපාලනයට අදාළව ගත් විට සැබැවින්ම අළු යට තිබූ ගිනි පුපුරු නොව මතුපිට තිබූ ගිනිපුලිගුවම වන්නේය. සයිටම් විරෝධී අරගලය එක් ගිනි පුලිගුවක්ය. උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි විරෝධය තවත් එකක් වශයෙන් සතියේදී මතු වී තිබුණේය. ඊට අමතරව දේශපාලනයේ සංදර්ශන වැඩවලින් නම් කිසිම අඩුවක් නොවී තිබුණේය. මෛත්‍රීගේ වප් මගුල ඒ අතර මුලින්ම තිබුණේය. බැඳුම්කර කොමිසම හමුවට කබීර්, මලික් කැඳවීම, නාමල්ගේ පෞද්ගලික ලේකම්වරිය සම්බන්ධ රංගනය, නාමල් අත්අඩංගුවට ගැනීමේ රංගනය, මෛත්‍රී – වීරවංස හමුව ආදිය විශේෂයෙන් කැපී පෙනීම ඒ අතර තිබුණේය.

මෛත්‍රීගේ පොල්කට්ට

හේනේ, කුඹුරේ වැඩට යන ගොවීන් ලබු කැටයට වතුර පුරවාගෙන පොල් කට්ටක් අරන් ගියේ සංස්කෘතික අංගයක් ලෙස නොවේය. එදිනෙදා පරිහරණයට අවශ්‍ය භාණ්ඩයක් ලෙස එදා තිබූ දේ ප්‍රයෝජනයට ගැනීම වන්නේය. අද මෙන් භාණ්ඩ නොතිබූ නිසා වන්නේය. ජාතික ප්‍රතිපත්ති හදන හෝ ක්‍රියාත්මක කරන කිසිවෙකුට මේ බව තේරුම් නොගෙන ඇති බව මෛත්‍රී ඔප්පු කර තිබුණේ පසුගිය 06 වැනි සිකුරාදා පැවැත් වූ මෛත්‍රීගේ වප් මගුලේ දී පොල් කට්ටෙන් කහට බීම තුළින්ය. ඒ වප් මගුල නම් කර තිබුණේ ‘එක්ව නැඟිටිමු. අටුකොටු පුරවමු’ යනුවෙනි. රෙද්ද හැට්ටය ඇඳි තරුණ කතුන් ඇඹුල ගෙනා අන්දමත්, මෛත්‍රී සිනාමුසුව පොල්කට්ටෙන් මොනවා දෝ බොන අන්දමත් සති අන්තයේ මාධ්‍ය විසින් වර්ණනා කර තිබුණේය. ඩී. එස්. ගේ සිට මහින්ද දක්වාම නායකයෝ වප් මගුලට කුඹුරට බැස්සෝය. මෛත්‍රීගේ වෙනස වී තිබුණේ පැළ සිටුවීමේ යන්ත්‍රයක නැඟී යාමත්, පොල්කට්ටෙන් මොනවා දෝ බීමත් නිසා වන්නේය. බඩ බදා ගත යුතු විහිළුව වන්නේ මහින්දගේ ‘අපි වවමු, රට නඟමු’ට පස්සේ මෛත්‍රී අටුකොටු පුරවමු කියන අතර, සහල් ටොන් ලක්ෂ හතරක් එකවරම පිටරටින් ගෙන්වීමේ පසුබිමක් ඇතිව තිබීමෙන්ය. මැටිගෙදර, පන් වට්ටිය සහ නෙළුම් කොළයේ කෑම ගැනීම ආදිය තුළින් ද අටුකොටු පිරෙන බව මෛත්‍රී කල්පනා කර තිබූ බව පැහැදිලි වූයේය.

වීරවංසගේ සිරිසේන වන්දනාව

පසුගිය ජනාධිපතිවරණයේ අවසන් රැස්වීමේදී මෛත්‍රීට ආමන්ත්‍රණය කළ උද්දච්ඡ ආකාරය කාට මතකයේ තිබුණත්, වීරවංසට නම්, හාංකවිසියක්වත් නැත්තේය.
‘සිරිසේනෝ… තොගේ ඔය ලට්ටලොට්ට ටිකත් පොදි බැඳගෙන තොලොංජි වෙලා පලයන් සිරිසේනෝ…නෝ’ යනුවෙන් වීරවංස මරහඩ තැලීය. ජනාධිපතිවරණයෙන් මෛත්‍රී ජය ගත් පසු වීරවංස එක එක හේතු හදාගෙන එක එක තැන්වල ලගින බව කාටත් පැහැදිලිය. මහින්ද ළඟ ලගින අතර, රනිල්ගේ ප්‍රාණ වායුවෙන් නිදැල්ලේ සිටින්නේය. දැන් ව්‍යවස්ථා කෙටුම් පත අල්ලාගෙන මෛත්‍රී ළඟට කිට්ටු කර ඇත්තේය. නිකම්ම නොවේ. මහින්දගේ ‘පොහොට්ටු’ කණ්ඩායමේ ජංජාල ගොඩක් ඇති කරමින්ය. මහින්දගේ උපදේශකයකු වන දයාන් ජයතිලකට බඩ කට පුරා දේශපාලනිකව පහර දීම, බැසිල්ට පන්න පන්නා පහර දීම, පොහොට්ටුව පුළුල් පෙරමුණකින් ඡන්දයට ආ යුතු බව දක්වා අවුල් කිරීම වැනි දේ රැසක් කිරීමෙන් පසුව වන්නේය.

බැඳුම්කරේ පොහොට්ටුව

මහින්ද ජපානයට ගියේ දවස් දහයකටය. නමුත්, මේ සටහන තබන මොහොත වන විටත් ආපසු පැමිණි බවක් දැනගන්නට නැත්තේය. මේ ගමනට පෙර රජරට මෑණි කෙනෙකු හමු වී ආශීර්වාද ලබාගෙන ඇයගේ දෛවඥ උපදෙස් අනුව නරක කාලය ගත වන තුරු මුහුදෙන් එතෙර වී සිටින ලෙස උපදෙස් ලැබී තිබුණු බව හෙළි වන්නේය. කෙසේ වෙතත්, මහින්දගේ ආපසු ගමන ප්‍රමාදයත් සමඟ පැතිරී යන කතාවලින් නම් අඩුවක් නැත්තේය. රහස් තැනක පිළිකාවට ප්‍රතිකාර ගැනීමේ කතාව පැතිරී යන්නේය. මේ සියල්ල අතර, රාජපක්ෂ කණ්ඩායමේ පොහොට්ටු පක්ෂය මහින්ද නොමැතිව ද වැඩ කරගෙන යන බව පෙන්වීමට බොහෝ දේ කරන්නේය. මැතිවරණයට අපේක්ෂකයන් හොයන බව සඳහන් දැන්වීම ඒ අතර කැපී පෙනෙන එකක් වී තිබුණේය. දැන්වීමට භාවිත කර තිබූ ප්‍රධාන පාට බැඳුම්කර පත්තරයේ පාවිච්චි කර තිබූ පාට වන්නේය. දැන්වීම දුටු බොහෝ දෙනාගේ මතය වී තිබුණේ ‘බැඳුම්කරේ පොහොට්ටුව’ යන්නය.

රනිල් තනිවම

දේශපාලනයේ අහුමුළුවල පෙළගැසීම් කසුකුසු මේ ලෙස වන අතර, මහින්දටත් වඩා නින්ද නොයාමේ රෝගයට ද ලක් වී සිටින්නේ රනිල් බව හෙළි වන්නේය. බැඳුම්කර කොමිසම කටු අත්තක් සේ පැටලෙමින් රනිල් පසුපස ගමන් කරමින් තිඛෙන්නේය. අනෙකුත් සියලු පක්ෂ ඡන්දයකට සූදානම් වෙමින් තිඛෙන්නේය. එසේ වුවත්, රනිල්ට එක්සත් ජාතික පක්ෂය වශයෙන් ඉදිරියට ගොස් මැතිවරණයට සූදානම් වීමේ කිසිදු අවස්ථාවක් උදා වී නැත්තේය. බැඳුම්කර කොමිසමට දිනෙන් දින රනිල්ගේ ගජයන් කොටු වී රනිල් මැති ද අද තනි වී ඇත්තේය. වප් මගුලට පැළ සිටුවන මෛතී්‍රට බැඳුම්කර කොමිසම ඡන්දයේදී පිහිට වන්නේය. මහින්දට ව්‍යවස්ථාව පිහිට කරගෙන ඇත්තේය. රනිල් මැතිඳට එල්ලෙන්නට පිදුරු ගහක් නොමැති තැනට පත් වී සිටින බවක් පෙනෙන්නේය. දැන් ඒ අඩුව පුරවා ගැනීමට පිදුරු ගහක් නොව කඹයක් යැයි සිතා දෙයක් තෝරාගෙන සිටින්නේය. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු !’ යන්නය.

මහින්දට ජනක උගුලක්

ඡන්දයට දැන්වීම් පළ කළ ද, මහින්ද සිටින ගිනි ගොඩ දිනෙන් දින රත් වෙමින් තිඛෙන්නේය. මාතලේ ජනක බණ්ඩාර මහින්දව දමා ජනාධිපතිවරණයේ දී මෛත්‍රී ළඟට ගියේය. පසුව වරප්‍රසාද මඳි වී නැවත නාඋල දී දණ නමස්කාර කර වැඳ යළි මහින්ද ළඟට ගියේය. නමුත්, දැන් මහින්දගේ පොහොට්ටුව පුපුරන්නට පටන්ගෙන ඇති බව ජනක බණ්ඩාරගෙන් හෙළි වන්නේය. මහින්ද ද ඡන්දය වෙනුවෙන් එකතු කළ හැකි ඇඹිටිල්ලන් මීයන් පවා එකතු කර ගැනීමට මාන බලන්නේය. මාතලෙන් ලක්ෂ්මන් වසන්ත ගැනීමට මුට්ටිය දා ඇත්තේය. ලක්ෂ්මන් වසන්ත ගතහොත්, තමන් ඇතුළු සියලු දෙනා ඉවත් වී මෛත්‍රී ළඟට යන බවට ජනක බණ්ඩාර අනතුරු අඟවා ඇත්තේය. පොහොට්ටුව පිපීමටත් පෙර දෙබරු අනින්නේ මේ ලෙස වන්නේය.

ජවිපෙන් ඩෑෂ් එකක්

පසුගිය දහවෙනිදා මන්ත්‍රී ඩොට් එල් කේ වෙබ් අඩවිය මගින් සංවිධානය කළ විවෘත සංවාදයක් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මේ අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ය. මේ අවස්ථාවට ශ්‍රීලනිපය නියෝජනය කරමින් දුමින්ද දිසානායක, එජාපය නියෝජනය කරමින් කබීර් හසීම්, ටී.එන්.ඒ. නියෝජනය කරමින් සුමන්තිරන් යන දේශපාලනඥයෝ පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම පැමිණෙන බව දන්වා තිබුණ ද ඔහු පැමිණ සිටියේ නැත. එදින සංවාදයට බඳුන් වීමට තිබූ මාතෘකාව වූයේ ආණ්ඩුවේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශයන්ය.
විවෘත සංවාදය ආරම්භ වූ අතර එහිදී ප්‍රධාන මාතෘකාව වූයේ විගණන පනත ප්‍රමාද වීමය. කෙසේ වෙතත් ශ්‍රීලනිප ලේකම් හා එජාප ලේකම් විගණන පනත පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ අතර දින 100 ඇතුළත සම්මත කර ගැනීමට තිබූ පොරොන්දුවක් ඉටුකිරීමට නොහැකි වූ බව අමතක කර ඔවුහු කරුණු ඉදිරිපත් කළෝය. එමෙන්ම විගණන පනත රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට බාධාවක් බවද ඇමතිවරු කීහ. ‘මේ විගණන පනත දින 100දී සම්මත කරන්න තිබුණ එකක්. නමුත් ඒක සම්මත කළේ නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේක සම්මත වෙනවට බයයි. නිලධාරීන්ට අධිභාර පැනවෙනවා කියලා මේක කල් දානවා. හොරකම් නොකරන ඇමතිවරුන්ට රාජ්‍ය නිලධාරීන්ට මේ පනත හොඳ එකක්. විගණන කොමිසම පත්කරලා ක්‍රියාත්මක වෙන්න පනතක් නැහැ. ආණ්ඩුව බොරුවට කොමිසමට සල්ලි වියදම් කරනවා විතරයි.’ විජිත හේරත් කීවේය. සංවාදය මෙහෙයවන නිවේදකයා විජිත හේරත් වෙත අපූරු ප්‍රශ්නයක් යොමු කළේය. ‘ආණ්ඩුවට විවේචන කළාට ජවිපෙ මේ ගැන මොකුත් කළාද? මම මේක ඇහුව්වේ ජවිපෙ අමාරුවේ දාන්න නෙවෙයි’ නිවේදකයා විමසීය. ‘ඒක මාව අමාරුවේ වැටෙන එකක් නෙවෙයි. ඔබතුමා මට හොඳ පාස් එකක් දුන්නා, ඩෑෂ් එකක් ගහන්න. අපි නිකන් හිටියේ නැහැ. ආණ්ඩුව මේක කල්දාන නිසා අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට මේක පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය කටයුතු කළා.’ විජිත හේරත් පිළිතුරු දුන්නේය.

මන්ත්‍රීවරුන් අතර එක අනුර

මන්ත්‍රී ඩොට් එල්කේ වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සැලකිල්ලට ගෙන කරන ලද සමීපක්ෂණයෙන් තවමත් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ජවිපෙ නායක අනුර දිසානායක සමත්වී තිබේ. පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම, අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම, විෂයභාර ඇමතිවරුන්ගෙන් ජනතාවට බලපාන ගැටලු පිළිබඳව ප්‍රශ්න කිරීම, පාර්ලිමේන්තුවේ විවාද ඉල්ලා සිටීම, ජනතාවට වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීම ඇතුළු කටයුතු පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි. මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිටම පළමු ස්ථානය ලබාගැනීමට ජවිපෙ නායකයා සමත්ව සිටී. එමෙන්ම ජවිපෙ අනෙකුත් මන්ත්‍රීවරු ක්‍රියාකාරීම මන්ත්‍රීවරුන් දස දෙනා අතර රැදී සිටීමට සමත්ව සිටිති.

කොන්ද කැඩූ විගණන පනතක්

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී විගණන පනත සම්මත වූ බව ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කළහ. මේ සමඟ මෙම පනත පිළිබඳව ජවිපෙ නායකයන් අතර කතා බහක් ඇති විය. ‘ආණ්ඩුව විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්න යන්නේ සැර බාල කරලා. එහෙම ගේන විගණන පනතෙන් ඇති වැඩක් නැහැ. රාජ්‍ය නිලධාරීන්ට අධිභාර පැනවීම අමාත්‍යංශ ලේකම්වරයාට පවරලා තිඛෙනවා. ලේකම්වරයාට පුළුවන් පහළ නිලධාරීන්ට අධිභාර පනවන්න. නමුත් අමාත්‍යාංශ ලේකම් මේකෙන් නිදහස් කරලා තිඛෙනවා.’ විජිත හේරත් කීවේය. ‘අමාත්‍යාංශ ලේකම් තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙන්නේ. අමාත්‍යාංශයේ සිදුවන මුදල් ගනුදෙනු සියල්ලට වගකිව යුත්තේ ලේකම්. මේ විගණන පනතට අනුව දැන් ලේකම්ට එරෙහිව පියවර ගන්න හැකියාවක් නැහැ. ඇමති අනුකමිටුවෙන් කරලා තියෙන්නේ මේ පනතේ බලය අඩු කරපු එකයි.’ අනුර දිසානායක කීවේය. ‘ලලිත් වීරතුංගලා වගේ ජනතාවගේ මුදල් අවභාවිතා කරන ලේකම්වරුන් හිටපු කාලයක් තිබුණා. විගණන පනත හරි විදියට ආවානම් අමාත්‍යාංශ ලේකම්වරු ඇමතිවරු එක්ක එකතුවෙලා ජනතා මුදල් අවභාවිතා කරන්නේ නැතුව හරියට වැඩ කරන්න පෙළඹෙනවා. ඒත් දැන් වෙලා තියෙන්නේ ඇමති අනුකමිටු දාලා හොරකම් කරන්න පාර කපාගෙන.’ බිමල් රත්නායක කීවේය.

රුසියන් විප්ලවයට ජවිපෙ යයි

ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේ 19වෙනි සමුළුව සඳහා සහභාගී වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක, මධ්‍යමකාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත් විය. එමෙන්ම ජවිපෙ විදෙස් රටවල දේශපාලන කටයුතුවලට මැදිහත් වෙන තරුණ තරුණයන් පිරිසක්ද මෙම සමුළුවට සහභාගිවීමට රුසියාව බලා පැමිණීමට නියමිතය. මෙම අවස්ථාවට රටවල් 150ක් නියෝජනය කරමින් තරුණ තරුණියෝ විසිපන්දාහක් පමණ සහභාගි වෙති. එම සමුළුව 14වෙනිදා සිට 21දක්වා පැවැත්වේ. ලෝකයේ තිඛෙන ප්‍රගතිශීලී වමේ පක්ෂ හා තරුණ සංවිධාන එක්ව මෙම සමුළුව සංවිධානය කරයි.

හඳුන් කොරියාවේ

කොරියාවේ ධීවර රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමකට අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා දකුණු කොරියාවේ යෝෂූ පළාතේ ධීවර ගම්මානයට ගියේය. එහිදී ශ්‍රී ලාංකිකයන් සමඟ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළේය. එමෙන්ම වෙනත් ස්ථානයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වැඩබිම් වෙත ගොස් ඔවුන් සමඟ සුහද සාකච්ඡාවල නිරත වීමට අවස්ථාව උදා කර ගත්තේය. ඒ අතර එම වැඩබිම් හිමිකරුවන් හමුවී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරයාට අවස්ථා උදා විය. ‘ශ්‍රී ලංකාවේ අය ඉතාම දක්ෂ පුද්ගලයන්. අපේ තැන්වල අවුරුදු පහක් හයක් මේ අය වැඩ කරනවා. හොඳ පළපුරුද්දක් ලබනවා. ඒත් ලංකාවට ගියාම මේ අයට කරන්න දෙයක් නැහැ. ඉගෙන ගත්ත දෙයින් වැඩක් නැහැ. ගොඩක් අය අපිට කියනවා ලංකාවට ගිහින් කරන්න වෙන්නේ ත්‍රීවිල් එකක් හරි ස්කූල් වෑන් එකක් හරි හයර් කරන එක කියලා.’ කොරියාවේ වැඩබිමක හිමිකරුවෙක් ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු ගැන කතා කළේ මන්ත්‍රීවරයාද පුදුමයට පත් කරමිනි.