සංඝ සමාජයේ පරිහානියට ආණ්ඩු වග කියන්න ඕනෑ

ලුzdfrhd
පොලිස් භාවනාව
October 24, 2017
ලුfhk,ki
මධ්‍යම අධිවේගයේ ඉඩම් කොල්ලයට එරෙහිව ගම්වැසියෝ වීදි බසිති
October 24, 2017
Show all

සංඝ සමාජයේ පරිහානියට ආණ්ඩු වග කියන්න ඕනෑ

අත්තංගනේ රතනපාල හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී,
මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි

භික්ෂු විනය පිරිහීම ගැන විවිධ සිදු වීම් දකින්න ලැඛෙනවා. එනිසාම ඒ පිළිබඳව පළල් සංවාදයක් තුළින් තේරුම් ගැනීමේ අවශ්‍යතාව මතු වී තිඛෙනවා. එයට ප්‍රවේශයක් සඳහා මෙවර විද්වත් සංවාදය වෙන් කෙරේ. රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල හිමියන් සමග ඒ පිළිබඳ සංවාද ගත වූයේ මෙසේය.

භික්ෂූන් වහන්සේලා අනුගමනය කළ යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දේශනා කර තිඛෙන්නේ කුමන ආකාරයටද?

භික්ෂූන් වහන්සේ කෙරෙහි බුදුන් වහන්සේ විනය නීති පනවා තිඛෙන්නේ ‘නොපැහැදුනු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ ශ්‍රද්ධාව, පැහැදීම, වැඩිදියුණු වීම පිණිසත්’ ක්‍රියා කළ යුතු බවයි. භික්ෂූන් වහන්සේ නිතරම අන්‍යයන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. අන්‍යන්ගේ ප්‍රසාදය ඇති වන පිණිස කටයුතු කරන්න ඕනෑ කියන මූලධර්මය මතයි. ඒ අනුව සංඝයාගේ නිසි පැවැත්ම සඳහා තමයි විනය නීති පනවලා තියෙන්නේ. විනය නීති අනුගමනය කිරීමෙන් සංඝයාට පහසුවෙන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන ලෝකයට ආදර්ශමත් විදිහට කටයුතු කරන්න පුළුවන් බවයි දේශනා කර තියෙන්නේ. විශේෂයෙන්ම සංඝයාගේ ජීවිතයට වටිනාකම් ලැඛෙන විදිහට වැඩ කරන්න ඕනෑ. නිතරම තමන්ගේ ශීලය ගැන අතීතාවර්ජනය කරමින් ඉදිරියට යන්න ඕනෑ. දස ධම්ම සූත්‍රයේ තියෙන්නේ ‘දිවා රෑ දෙකේ මම වැඩ කරන්නේ කොහොමද?’ කියන සිහිය උපදවාගෙන සිහි නුවණින් සලකා බලන්ට ඕනෑ කියලයි. සිහි නුවණින් සලකා බලමින් අඩුපාඩුකම් දකිමින්, ඒ අනුව අඩුපාඩුකම් මග හරවා ගනිමින් නිතරම සමාජයට ආදර්ශ ප්‍රදානය කරන චරිතයක් විය යුතු බවයි දේශනා කර තියෙන්නේ. භික්ෂුව ආදර්ශ ප්‍රදානය කරන චරිතයක් හින්දා ඕනෑ ඕනෑ විදිහට හැසිරෙන්න බෑ. ධර්මය අනුවයි හැසිරෙන්න ඕනෑ. විනය නීති පනවා තියෙන්නේ ඒ සඳහා. මේ නීති පනවන්නේ සංඝයාගේ පහසුව සඳහායි. හොඳින් තමන්ගේ ශීලය ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතු බවයි අනාවරණය කර තියෙන්නේ.

සමාජය විකාශය වෙනවා. එය සංඝයා වහන්සේටත් පොදුයි. මේ තත්ත්වය යටතේ එදා පැනවූ විනය නීති රීති අදටත් ඒ විදිහටම වලංගු වෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා.

සමාජ පරිණාමයත් එක්ක බුද්ධ නීතිය වෙනස් වෙන්නේ නෑ. ඔය කොයි වෙනස් වීමත් ගැලපෙන හැටියටයි විනය නීති පනවා තියෙන්නේ. තමන්ගේ ‘ආධ්‍යාත්ම පාරිශ=ද්ධිය’ කියන එක පරිණාමයත් එක්ක වෙනස් වෙන්න බෑනේ. තමන්ගේ ඇතුළාන්තයේ පාරිශ=ද්ධිය තියෙන්න ඕනෑ. තමන්ගේ ඇතුළාන්තයේ තියෙන්න ඕනෑ නිසි මඟ ගැනීම පිණිසමයි. අම්මා තාත්තාගේ අවචරියාවෙන් දරුවෝ නොමග යනවා නේ. ඒ වගේ භික්ෂුවගේ අව චරියාවෙන් සමාජය නොමඟ යනවා. භික්ෂුව සමාජයේ ආදර්ශ ප්‍රතිරූපයක්. ඒ නිසා විනය නීති සමාජ පරිණාමයත් එක්ක වෙනස් වෙන්නේ නෑ. කෙබඳු සමාජ තලයක වුණත් ඇතුළාන්තයේ පාරිශ=ද්ධිය තියෙන්න එපායැ. කෙලෙසුන් අඩු කර ගැනීමේ මඟ යන්ඩ එපැයි.

වර්තමානයේ තිඛෙන්නේ ආර්ථීක ලාබ මූලික කරගත් සමාජයක්. ඔය විනය නීති රීති එවැනි පසුබිමක ලොකු අතිශයෝක්තියකට ලක්වෙනවා නේද?

ඕක අද විතරක් තියෙන දෙයක් නෙවෙයි. සනාතන ධර්මයක්නේ. මනුෂ්‍යයාගේ සනාතනගත තෘෂ්ණාව තෘප්තිමත් කරන්න බෑ. ඒක පාලකය කරන්න නේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. සියලු ගැටලු නිර්මාණය වෙන්නේ තෘෂ්ණාව හින්දානේ්.
ඒකරාශී කර ගන්ඩ, ගොඩගහ ගන්ඩ මිනිසුන්ට මූලික අවශ්‍යතා තියෙනවා. බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ ධර්මයෙන් පුහුණු කරලා ඒක නැති කර ගන්න කියලයි. සියලු ගැටලු නිර්මාණය කරන්නේ තෘෂ්ණාව විහින්. තෘෂ්ණාවට බාහිර සමාජය කෙරෙහි කරුණාවක් නෑ. තමන්ගේ ආත්මාර්ථය පෝෂණය වෙනුවෙන්ම කැප වෙනවා. තෘෂ්ණාවට නැඹුරු වෙන්ඩ නැඹුරු වෙන්ඩ චරිතය කිළිටි වෙනවා. භික්ෂුවට වර්තමානයේ වෙලා තියෙන්නේ ඒකයි. භික්ෂුව තෘෂ්ණාවේ ගොදුරක් බවට පත්වෙලා තියෙන්නේ. පාරිභෝගික සමාජයේ ගොදුරක් බවට භික්ෂුව පත්ව තියෙන්නේ ලාබයට ගිජුවෙලා. ‘මහනෙණි මේ ලාබ සත්කාර සිළුව ඉතාම දරුණුයි. තමන්ගේ ආත්මය විනාශ කරයි’ කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කර තියෙන්නේ. ලාබ සත්කාර වලට ගොදුරු වුණාම ගුණධර්ම විනාශ වෙනවා. අද සමාජයේ භික්ෂුව විකෘති චරියාවකින් හැසිරෙන්නේ ලාබ සත්කාර වෙනුවෙන් ගිජුවෙලා. ආදර්ශමත් චරිතයක් විය යුතු භික්ෂුව මේකේ ගොදුරක් බවට පත්වුණාට පස්සේ සමාජයට ආදර්ශයක් වෙන්නේ නෑ. දේශපාලකයෝ කරන්නෙත් තාන්න මාන්න වරදාන දීලා භික්ෂුව තමන්ගේ පැත්තට නම්මා ගන්න තරගයට උත්සාහ කරන එකයි. අන්න ඒකයි භික්ෂුව පිරිහිලා තියෙන්නේ. පිරිහුණු භික්ෂුව අද විනය නීති වෙන් කරන්ඩ හදනවා තමන්ට ගැපෙන විදිහට. තමන්ට ගැපෙන හැටියට විනය නීති වෙනස් කරන්ඩ බෑනේ.

බුදුන්ගේ පරිනිර්වාණය සමග සුබද්ද්‍රගේ අබද්ද්‍ර වචනය කියලා තත්ත්වයක් මතු වෙනවා. ඒ වගේ තත්ත්වයකට අදත් පත්වී ඇති බවද ඔබ වහන්සේ කියන්නේ?

ඔව්.. ඔව්.. සංඝායනාවක් කරන්න අවශ්‍ය සියලු සාධක අද නිර්මාණය වෙලා තියෙන්නේ. නුවර යුගයේ ගණින්නාන්සේලාගේ තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙන්නේ. මුන් කොටුවේ රාළ කියනවා
මියෙන පය හරි මිණ
විසිතුරු පිඟානක් ගෙන
පිඩු සිඟ=මි හරි මින
මහන සඟ නුන් ලවා පිස කන
උන්ගෙන් පැවත එන
දරුවන් පැවිදි කරගෙන
බැහැරින් පැවිදි වන
අයට අවසර නොදී ඉඳගෙන කියලා ඉතාම අපූරුවට අද තත්ත්වය එදා දකිනවා. ඔන්න ගණින්නාන්සේලාගේ සමාජය. ‘සඟ=න් ලවා පිස කන’ තත්ත්වයට දැන් පන්සල පවුලක් වෙලා තියෙන්නේ. පිඩු සිඟා වැඩීමක් නෑ. නුවර යුගයේ සාසනික පරිහාණිය කොච්චර ලස්සනට විවරණය කරලා තියෙනවාද බලන්ඩකෝ. ඒ තත්ත්වයමනේ දැනුත් වෙලා තියෙන්නේ. අද සංඝයා ඉන්නවා විවාහ වෙලා. දරුවන්ගේ උප්පැන්න සහතිකේ ඉදිරිපත් කරනවා අධිකරණයට. ඒ විනය පිරිහීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව දුන්නාට අදාළ අය යන්නේ නෑ. පන්සලේම ඉන්නවා. අපි 1956 ඉඳලා සංඝාධිකරණ පනත මගින් හාමුදුරුවන්ගේ කතිකාවතට නීතිමය බලය ඕනෑ බව කියන්නේ. ඒ කතිකාවතේ තියෙන්නේ අදාළ විනය නීති කැඩුවොත් එයාව ශාසනයෙන් නෙරපන්න ඕනෑ කියලයි. දැන් නෙරපුවාට යන්නේ නෑ. යන්නේ නැති අය යවන්න නීතිමය බලයක් ඉල්ලලා තමයි සංඝාධිකරණ පනත සම්මත කරලා දෙන්න කියලා අපි ආණ්ඩුවට කියන්නේ. කතිකාවතට එකඟවෙලයි කෙනෙක් මහණ වෙන්නේ. එතකොට කතිකාවත කැඩුවොත් ඉන්න බෑ. යන්න ඕනෑ. ශාසනය කිළුටු කරන්නේ නැතුව ඉවත් වෙන්න ඕනෑ. සංඝාධිකරණය දෙන තීන්දුවට නීතිමය බලය ඉල්ලලා දීර්ඝ කාලයක් වෙනවා. ආණ්ඩුව තමයි මේක දෙන්නේ නැත්තේ. බලයේ හිටි ආණ්ඩුවට ඕනෑ හැටියට භික්ෂුව හසුරුවන්න ඕනෑ නිසා, ලාබ සත්කාරවලට ගිජු කරලා තමන්ගේ උවමනාවන් ඉටු කරන්න ඕනෑ නිසා පොදු සංඝයා ඉල්ලපු සංඝ කතිකාවතට නීතිමය බලය දෙන්නේ නෑ.

සංඝාධිකරණයේ ඉල්ලීමක් ආණ්ඩුවලින් බැහැර කරන්නේ මොන පදනමකින්ද?

සංඝයා පිරිසක් විරුද්ධයි කියලයි කියන්නේ. මහානායක හිමිවරුන් හතර දෙනාම මේ ඉල්ලීම කර තියෙනවා. දැන් ආණ්ඩුව කියන්නේ වෙන වෙන භික්ෂු කණ්ඩායම් මේකට විරුද්ධයි කියලා. ඔය කියන භික්ෂු කණ්ඩායම් ඔක්කෝම අර නිකාය හතරේ ඉන්න අය. කාරක සංඝ සභාවෙන් අත්සන් කර මහානායක හිමිවරුන් අත්සන් කර දුන්නාට පස්සේ වෙනත් භික්ෂු කණ්ඩායම් කියන කතා දිහා බලන්ඩ ඕන නෑනේ. ඔය කියන භික්ෂු කණ්ඩායම් කියන්නේ විපරීත වැඩ කරන අය. ඊයේ පෙරේදා සල්ලි පිණ්ඩපාතේ ගියෙත් විපරීත අය. ඔය නොයෙක් සේනා වගේ අය. විරුද්ධයි කියන භික්ෂු කණ්ඩායම් ඔවුන්. ඔවුන්ව පාවිච්චි කරන්නේ බලයේ ඉන්න ආණ්ඩුවලින්. එක එක දේශපාලනඥයෝ පාවිච්චි කරන්නේ තමන්ගේ පැවැත්මට. මේ නිසා සංඝාධිකරණ පනතට නීතිමය බලය දෙන්නේ නෑ.

විරුද්ධ වෙන භික්ෂු කණ්ඩායම් ඉදිරිපත් කරන හේතු මොනවාද?

සංඝයාගේ නිදහස නැති වෙන බව කියන්නේ. ඔය අවස්ථාවේදී දේශපාලනඥයන්ගේ අතකොළු වෙන්ඩනේ නිදහස කියන්නේ. පෞද්ගලික ලාබ සත්කාර ගොඩ ගහ ගන්න නේ ඔය නිදහස කියන්නේ. දැන් කාලයක් තිස්සේ පැවතිච්ච ආණ්ඩු මේකෙන් හොඳින් ප්‍රයෝජන ගත්තා. සංඝ සමාජයේ පරිහානියට ආණ්ඩු වග කියන්න ඕනෑ. අවශ්‍ය නීති සම්පාදනය කර නොදෙන්නේ ආණ්ඩුවනේ. භික්ෂු පාලනයට අවශ්‍ය නීතිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදනවා වගේ ආණ්ඩුවලින් හදන්න ඕන නෑ. අපි ඒවා හදලා දීලා තියෙන්නේ දඹදෙණි කතිකාවත, පොළොන්නරුව කතිකාවත වගේ ඉතිහාසයේ ඉඳලාම නීති අවශ්‍ය වේලාවට පනවා තිඛෙනවා. විටින් විට ඉස්මතු වෙන අවචරියාවන් පාලනය කරන්න හදාගන්න නීති තමයි ‘කතිකාවතක්’ කියන්නේ. එදා රජවරු ඒවා සම්මත කර දුන්නා. ඒවාගේ දෙයක් තමයි 1956 ඉඳලා ඉල්ලන්නේ. ඔන්න ආණ්ඩුවලින් බුද්ධාගමට කරන ගෞරවයේ තරම පැහැදිලියි නේද? කසාද බැඳලා පන්සල්වල ඉන්නකොට ශාසනය විනාශ වෙනවා. මුළු සංඝයා වහන්සේලාටම පොදුවේ අවලාද නගනවා. ‘ලංකා’ පත්තරෙන් ‘කීවොත් සඟ නසී, නොකීවොත් රට නසී’ කියන ලිපියෙනුත් සමස්ත සංඝයාගේ සමගිය විවේචනය කර තියෙන්නේ. කීපදෙනෙකු කරන අවකල් ක්‍රියා මගින් පරිභව ලබන්නේ මුළු සංඝ සමාජයමයි. මේ තත්ත්වයෙන් මුදවා ගන්නයි ඕනෑ.

භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත වඩින්නේ ආහාරය ලබා ගන්න. සල්ලි එකතු කරන්න යාම ගැන විග්‍රහ කරන්නේ කොහොමද?

ඔතන ‘පිණ්ඩ’ නැතිනම් ‘පිඩු’ කියන්නේ ආහාරනේ. දෙවෙනි ධර්ම සංඝායනාව පවත්වන්න හේතු වුණෙත් ඔය මුදල් පිණ්ඩපාත ප්‍රශ්නයක් නේ. වජ්ජි පුත්තක භික්ෂූන් වහන්සේලා මුදල් එකතු කරන්න ගියා. මේ විකෘතිය ගැන යස කියන මහරහතන් වහන්සේ මූලික වෙලා සාකච්ඡා කර සංඝායනාවක් කළා. ඒකෙන් විනය නීතියක්ම පනවා තියෙනවා. භික්ෂූන් වහන්සේලාට මුදල් එකතු කිරීම, පරිහරණය කිරීම, රැස්කොට තබා ගැනීම තහනම් කළ ශික්ෂා පදයකුත් තියෙනවා. දැන් බලන්නකෝ මුුදල් නැතුව කොච්චර භික්ෂූන් වහන්සේ්ලා ඉන්නවාද? හොඳම උදාහරණය අපවත් වෙච්ච අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කැපකරුදායකයෝ පෙළ ගැහිලා අවශ්‍ය කටයුතු විනයානුකූලව කළා. මුදල් පිණ්ඩපාත යාම කියන්නේ මහා නිකායත් සිවුර, පාත්තරත් අවභාවිතා කිරීමක්. ඒ විතරක් නෙවෙයි, අධිකරණ තීරණයකට අපහාස කිරීමකුත් වෙනවා. සමාජය විකෘති කරන්න භික්ෂූන් වහන්සේලා ටික දෙනෙක් තමන්ගේ ලාබය මූලික කරගෙන නොකරන දෙයක් නෑ. සමහර මාපියන් තමන්ගේ දරුවන්ව අවභාවිතාවේ යොදවා සල්ලි හොයන්නේ. ඒ වගේ දෙයක්නේ මෙතන කරන්නේ.

රෝහින්ග්‍යා අනාථ ජනතාවට අඩන්තේට්ටම් කිරීමට භික්ෂූන් පිරිසක්ද ඉදිරිපත් වීම සම්බන්ධයෙන් දකින්නේ කොහොමද?

ඒක සම්පූර්ණයෙන් මනුෂ්‍යත්වයට නිගාවක්. ම්ලේච්ඡ වැඩක් හැටියට දකින්නේ. අපි හරියට කම්පා වෙනවා. කරගන්න දෙයක් නැති ගාණටයි අපි මේ ඉන්නේ. දේශපාලකයන් හසුරුවන වර්ගවාදයනේ මේ. ජාතිවාදය අවුස්සලා ලකුණු එකතු කර ගන්ඩ කරන වැඩනේ. ඉතාම පහත් දේශපාලන උවමනාවක් වෙනුවෙන් භික්ෂූන් වහන්සේ යොදා ගැනීමක්. ඒ සීමිත භික්ෂු පිරිසද තමන්ගේ ලාබය වෙනුවෙන් ඒවා කරනවා. ඔය ක්‍රියාකලාපයට මිසක් බුදු දහමට අදාළ දෙයක්වත් මහණ කමට අදාළ දෙයක්වත් ධර්මයට එකඟ දෙයක්වත් නෙමෙයි. ඒකෙන් බුදු දහමට සිදු වුණේ ලෝක පරිමාණයෙන් විශාල අගෞරවයක්. අනාථ මිනිසුන්ගේ් දුක නිවලා සුදුසු තැනකට යවන එකනේ කරන්ඩ ඕනෑ. සංක්‍රාන්තික කාලය තුළ අපි ඒ මිනිසුන්ට පිහිට වෙන්න එපායැ. ලෝකයටම බුදු දහම ගැන දුන්නේ සම්පූර්ණ වැරදි චිත්‍රයක්. අපි ඒ මිනිස්සු ගැන බොහොම කම්පා වෙනවා. ඔය පිරිසගේ ක්‍රියාවන් දහමට වෙච්ච කළු පැල්ලම ගැන තවත් කම්පා වෙනවා.


සංවාදය හා සටහන
ප්‍රියදර්ශන දයාරත්න