තර්ජන වර්ජන අවමන්

ලුsdgs
ආණ්ඩුවේ නොහැකියාව දරුවන් මත පටවන ශිෂ්‍යත්ව විභාගය
October 24, 2017
ශ්‍රේzdsfh
ලෝකයම රවටන UNO ට 72යි…
October 25, 2017
Show all

තර්ජන වර්ජන අවමන්

ස්ට්‍රිdzrhsrt

පසුගිය රාත්‍රියේ සිදුවූ කෙරෙන්ස්කි – ක්‍රැස්නොව් හමුදාවන් ලද බිහිසුණු පරාජයෙන් මෙන්ෂෙවික් හා ස.වි. විප්ලවවාදීන් පසුබා සිටියහ. එබැවින් ඔව්හු ඔක්:29 දින පැවති සහභාගි රජයක් පිළිබඳ දෙවන සාකච්ඡා වටයේදී බොල්ෂෙවිකයන් සමඟ වඩා ලිහිල් කොන්දේසි යටතේ සභාග ආණ්ඩුවකට කැමති වූහ. ලිහිල් කොන්දේසි වූයේ පළමුවන සෝවියට් කොංග්‍රසයේ විධායක සභිකයන්, නාගරික ඩූමාව, ගොවි සෝවියට් සභාව (මේ තාක් පිහිටුවා නොතිබූ) සහ වෘත්තීය සමිතිද ඇතුළත්වීම දක්වා සෝවියට් නායකත්වය පුළුල් කිරීමයි. ඒ අසා වඩාත් පුළුල් සභාගයක් පිළිබඳව අමන්දානන්දනයට පත් කමෙනෙව් ලෙනින් සහ ට්‍රොට්ස්කිගෙන් තොර ඇමති මණ්ඩලයක් සහිත සහභාගි ආණ්ඩුවක් පිළිබඳව පවා කැමැත්තක් දැක්වීය.
මේ අතර ඔක්¦ 28දා මොස්කව් නුවර දුරකථන හුවමාරුව බොල්ෂෙවික් විරෝධීන් විසින් පිහිටු වූ මහජන ආරක්ෂක කොමිටිය යටතේ පැවතිනි. මේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් බොල්ෂෙවික් විරෝධීහු සන්නිවේදන හුදකලාවකට ලක්ව ක්‍රෙම්ලිනයේ ආරක්ෂක කටයුතු වල නියැලී සිටි බොල්ෂෙවික් හිතවාදී 56 වන රෙජිමේන්තුවේ නායක ඕ.එම්. බර්සින් වෙත දන්වා සිටියේ මොස්කව් නුවර විප්ලවවාදී හමුදා කොමිටිය අත් අඩංගුවට ගත් බවය. නගරයේ පාලනය ‘මහජන ආරක්ෂක කමිටුව’ අතට ගෙන ඇති බවය. එබැවින් වහාම යටත්වන ලෙසත් නැතහොත් මාළිගයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවත්ය. මෙය විශ්වාස කළ නගරයේ සිදුවන කිසිවක් නොදැන සිටි බර්සින් ඊට අවනත විය. එවිට වහා ක්‍රෙම්ලිනය ඇතුළතට කඩා වැදුණු කැඩෙට් භටයන් විසින් 56 වන රෙජිමේන්තුව සමූල ඝාතනය කරන ලදී. මෙලෙසින් ඔක්:28 දක්වා මොස්කව් නුවරදී පරාජය මිස කිසිදු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බොල්ෂෙවිකයන් අසමත් වූයේ ඔවුන්ගේ නායකත්වය තුළ වූ සභාග ආකල්ප ලැදියාවයි. බලය අල්ලා ගැනීම අරමුණු කරගෙන බොල්ෂෙවිකයන් පිහිට වූ විප්ලවවාදී හමුදා කොමිටියට ඔවුන් හා සතුරු ආස්ථානයක සිටි මෙන්ෂෙවිකයන්ද ඇතුළත් කර ගැනීමෙන් ඔවුන්ගේ සභාග ලැදියාවේ තරම පැහැදිලි වේ. මේ ලැදියාවෙන් ප්‍රයෝජන ගත් බොල්ෂෙවික් විරෝධීහු යුද පෙරමුණෙන් සහයක හමුදා සේනාංක බලාපොරොත්තු වී ඔවුන් පැමිණෙන තෙක් කොමිටිය සමඟ සාකච්ඡා, සටන් විරාම ආදිය මගින් කල්ගත කරමින් බලය රඳවාගෙන සිටියහ. එහෙත් ක්‍රෙම්ලින් ඝාතනයෙන් පසු ඊට එරෙහිව නැගුණු ජනතා විරෝධය ද පසුබිම් කර ගනිමින් වැඩ වර්ජනයක් කැඳවූ බොල්ෂෙවිකයෝ පුළුල් ප්‍රහාර මාලාවක් දියත්කර ජයග්‍රාහී වාතාවරණයක් උදාකර ගත්හ.
දෙවන දිනයෙහිදී පෙත්රොග්‍රාද් නුවර සභාග සාකච්ඡා ඇරඹෙන විට මෙන්ෂෙවිකයන් හා ස.වි. වාදීන් කෙරෙහි පරාජිත මානසිකත්වයක් උදාකළ ටාර්ස්කෝයේ සේලෝ ජයග්‍රහණය පමණක් නොව මොස්කව් නුවර ජයග්‍රාහී තත්ත්වයද බොල්ෂෙවිකයන් සතුවිය. එබැවින් දැන් බොල්ෂෙවිකයන් (කමෙනෙව් හිතවතුන් හැර) සිටියේ සභාග සාකච්ඡාවලින් ඉවත්වීමේ කැමැත්තෙනි. ඒ අනුව නොවැ: 1 දා පැවති බොල්ෂෙවික් මධ්‍යම කාරක සභා රැස්වීමේදී දෙවන සභාග සාකච්ඡා යෝජනා බරපතළ දෝෂාරෝපණයට ලක්විය. ට්‍රොට්ස්කි පැවසුවේ පිහිටුවන සභාගයක අමාත්‍ය මණ්ඩලයෙන් 75%ක් වත් බොල්ෂෙවිකයන් සතු නොවේ නම් කැරැල්ල ජයග්‍රහණය කිරීමෙන් ලබන දෙයක් නැති බවය. ඊටත් එහා ගිය ලෙනින්ගේ අදහස වූයේ සභාග සාකච්ඡා වලින් ඉවත්විය යුතු බවය. දුම්රිය වර්ජනයක් මෙහෙයවීමට තර්ජනය කරන වික්සල් නායකයන් ප්‍රතිවිප්ලවවාදී චෝදනා මත අත්අඩංගුවට ගත යුතු බවය. මේ අනුව කමෙනෙව් කණ්ඩායමට විප්ලව විරෝධීන්ය යන චෝදනාව එල්ල විය. සභාගී ස්ථාවරයන්ගෙන් ඉවත්වී පක්ෂ ස්ථාවරයට පැමිණිය නොහැකිනම් බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාවෙන් ඉවත්වන ලෙස ඔවුන්ට දැනුම් දෙන ලදී. ඒ දැනුම්දීම කරන ලද්දේ ම.කා. සභාවේ සුළුතරය බහුතරයට යටත් විය යුතුය යන පදනමේ පිහිටා සිටිමිනි. එසේ නොවුවහොත් ඔවුන්ව පක්ෂයෙන් ද නෙරපා හරින බවට දැනුම් දෙන ලදී.
මොස්කව්හි කැඳවන ලද වැඩ වර්ජනයට පුළුල් සහය ලැබීම, යුද පෙරමුණෙන් පොරොන්දු වූ සහයක බල ඇ‚ නොපැමිණීම, සෙබළ සෝවියට් සභාවට (මොස්කව් නුවර කම්කරු හා සෙබළ යනුවෙන් සෝවියට් සභා දෙකක් විය.) බොල්ෂෙවික් විධායක සභාවක් පත්කර ගැනීම, දුම්රිය පොළේ නවත්වා තිබූ බඩු දුම්රියක තිබී රයිපල් 40,000ක තොගයක් හමුවීමෙන් ආයුධ ප්‍රශ්නය විසඳා ගත හැකිවීම, ප්‍රාදේශීය රෙඩ්ගාර්ඩ් කණ්ඩායම් මගින් නගරයට ඇදෙන ප්‍රතිවිප්ලවවාදී හමුදාවන්ට පහර දී පලවා හැරීම (තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු මෙහෙය වූ රෙඩ්ගාර්ඩ් කණ්ඩායමක්ද විය.) යන හේතූන් ගේ සහය ලත් දින 5ක යුද්ධයකින් පසු නොවෑ: 3 වනදා මොස්කව් නුවර බලය පවරා ගැනීමට බොල්ෂෙවිකයෝ සමත් වූහ. ඒ වන විට ඔවුන්ගෙන් දහසක් පමණ දිවි දී එමගින් ද සතුරා අභිබවා ගොස් සිටියහ.
ම.කා. සභාවේ දැනුම්දීම අනුව එහි මතය පිළිගැනීමට අකමැති වූ කමෙනෙව් ඇතුලු 5 දෙනෙකුගෙන්ගෙන් යුත් කණ්ඩායම නොවැ: 4 දා ම.කා, සභාවෙන් ඉල්ලා අස්වූහ. සෙසු සිව්දෙනා වූයේ සිනොවියෙව්, රයිකොව්, මිලියුතින් හා (මොස්කව් සෝවියට් සභාවේ සභාපති ද වූ) නොගින්ය. ඉහත අන්තිමට නම් සඳහන් තුන් දෙනා ඇමතිවරුය. කමෙනෙව් සම්බන්ධයෙන් ගත්විට මේ ඔහු මසක් ඇතුළත බොල්ෂෙවික් ම.කා. සභාවෙන් ඉල්ලා අස් වූ දෙවන වතාවය. අස් වූ පස් දෙනාගේ විරෝධය දැක්වෙන නිවේදනයක් පසුදින ඉස්වෙස්ටියා පුවත් පතේ පළ කර තිබිණි.
තම අමාත්‍යාංශවල සේවා භාර ගැනීමට ගිය නව රජයේ කොමිසාර්වරුන් අමාත්‍යාංශ ලිපිකරුවන් ඇතුළු නිලධාරින් විසින් පිළිගනු ලැබුවේ වැඩ වර්ජන කිරීමෙනි. ගැලවීමේ කොමිටිය විසින් මෙම නිලධාරීන් මෙහෙයවන ලදහ. බොල්ෂෙවික් රජයේ නියෝග වලට අවනත නොවන ලෙස ඔව්හු රට පුරා නිවේදන නිකුත් කරමින් ඉල්ලා සිටියහ. අද තහනම් කරන ලද පුවත්පත් හෙට වෙනත් නම් වලින් මුද්‍රණය කරමින් මේ ප්‍රචාරයන් ගෙන යන ලදී. (‘සමාජවාදීන්’ ගේ පුවත්පත වූ ‘ඩෙන්’ (දවස) පුවත්පත බොරු කට කතා පතුරුවන්නේ යයි තහනම් කළ විට එය ‘උදය’ නමින් ද පසුව ‘මද්දහන’, ‘සවස’, ‘රැය’ ආදී නම් වලින් පලවිය.) ට්‍රොට්ස්කි විදේශ කටයුතු කොමිසාර්වරයා වශයෙන් අමාත්‍යාංශයට ගිය විට එහි නිලධාරිහු දොරවල් වසා ගත්හ. ඒවා බලහත්කාරයෙන් විවෘත කළ විට ඔව්හු ඉල්ලා අස්වූහ. මේ ආණ්ඩු විරෝධි වැඩවර්ජන තැපැල්, විදුලි සංදේශ, දුම්රිය පරිපාලනය, නගර සභා, උසාවි, විශ්ව විද්‍යාල ආදී සියළු ක්ෂේත්‍රයන් කරා විහිදුනේ විය. වෛද්‍ය දෙපර්තමේන්තුවේ ලිපිකරුවන් වැඩ වර්ජනයට පිවිස තිබුණේ කාර්ලයීය පෑන් වල තල ද ඉවත්කර ගනිමිනි. සේවයෙන් පහකරනු ලබන බවට, විශ්‍රාම වැටුප් අහිමි කරනු ලබන බවට තර්ජනය කළ විට ඇතැමෙක් ඒවා ගණනකට නොගත්හ. (ආණ්ඩුවේ ආයුෂ සති කිහිපයක්යයි ඔව්හු ඇදහූහ.) පැමිණියෝ ආවේ කඩාකප්පල් වැඩටය.
රාජ්‍ය බැංකු හා භාණ්ඩාගාරය සේවක වැටුප් ගෙවීමට මුදල් නිකුත් නොකිරීම මේ අතරින් බලවත්ම තර්ජනය විය. නොයෙකුත් ආයාචනා වලින් පලක් නොවූ තැන මුදල් කොමිසාර් වී.ආර්. මෙන්ස්හින්ස්කි සෙබළ කණ්ඩායමක් ද රැගෙන රාජ්‍ය බැංකුවට ගියවිට බැංකු සේවකයන් කෙළේ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමයි. අන්තිමේදී අවශ්‍යව තිබූ රූබල් මිලියන 10 වෙනුවට මිලියන 5 ක් ලබා ගත්තේත් බලහත්කාරයෙනි.
නොවැ: 9දා රුසියාවේ එක්සත් ජනපද තානාපතිවරයා මිත්‍ර ජාතින්ගේ තානාපතිවරු කැඳවා පවත්වනු ලැබූ රැස්වීමකදී තම රජයන්ගේ උපදෙස් අනුව තීරණය කරන ලද්දේ බොල්ෂෙවික් රජය සමඟ කිසිදු ගනුදෙනුවකට නොගොස්
එවැන්නක් නැතැයි සලකා ක්‍රියා කිරීමටය. බල පත්‍රය අවසන්ව තිබූ තම මෝටර් රථයට අළුතින් බල පත්‍රයක් ලබා ගැනීමට අයදුම් කිරීම නව රජය සමඟ ගනුදෙනු කිරීමක් වන බැවින් බි්‍රතාන්‍යය තානාපතිවරයාට තම මෝටර් රථය පාවිච්චියෙන් තොරව සිටීමට සිදුවීම වැනි හාස්‍යජනක සිදුවීම්ද මෙම තීරණය හේතුවෙන් සිදුවිය. තවද නව රජයේ සාම යෝජනා මෙම තානාපතිවරුන්ට ඉදිරිපත් කළවිට ඉහත තීරණය අනුව ඒවාට පිළිතුර වූයේ නිහඩව සිටීමයි.
සාම යෝජනා යුද්ධයේදී මධ්‍යස්ථව සිටි යුරෝපා රටවල් වන ඩෙන්මාර්ක්, නෙදර්ලන්ත ආදී රටවල් 6කට ඉදිරිපත් කරනු ලදුව ඉන් රටවල් පහකම පිළිතුර වූයේ ‘ඔබේ ලියුම ලැබුණා’ යන්න පමණි. තමන් බොල්ෂෙවික් රජයේ ලියුම වහා තම රජය වෙත යොමුකළ බවද එබැවින් තම රටේ ජනතාව එහි ඇතුළත් දේ දැනගන්නා අතර මනුෂ්‍ය වර්ගයා සොයන සාමය පිළිබඳව තම කොටස ඔවුන් ඉටුකරනු ඇති බවද සාම යෝජනා ලිපිය ලද ස්පාඤ්ඤ තානාපතිවරයා එවූ පිළිතුරු ලිපියේ සඳහන්ව තිබිණි. දෙවනුව පැමිණි ස්පාඤ්ඤ රජයේ පිළිතුර වූයේ තම තානාපතිවරයා තනතුරින් පහකර ආපසු කැඳවා ගැනීමයි.
සාම ක්‍රියාදාමයට බාධා එල්ලවූයේ අධිරාජ්‍යවාදී රටවලින් පමණක් නොවේ. කෙරෙන්ස්කිගේ පැන යාමෙන් පසු ප්‍රධාන උප ආඥාපති වශයෙන් හමුදා මූලස්ථානය විසින් පත්කරනු ලැබූ ඩකෝනින් යටතේ ඊළඟ බොල්ෂෙවික් විරෝධී මූලස්ථානය මොගිලෙව්හි පිහිටි ප්‍රධාන හමුදා මූලස්ථානය හෙවත් ස්ටැව්කාහි රහසේ ගොඩ නැගෙමින් තිබුණි. බොල්ෂෙවික් රජය පහ කර පිහිටුවීමට අපේක්ෂිත රජයේ නායකත්වයට තෝරාගෙන තිබුණේ සා.වි.වාදී පක්ෂයේ නායක චෙර්නොව්ය. යුද පෙරමුණ තුළ සාම සාකච්ඡා ඇරඹීමේ සෝවියට් රජයේ යෝජනාව යුද පෙරමුණු වෙත නිවේදනය කරන ලෙස ඩකොනින් වෙත දැනුම් දුන් විට හෙතෙම නිහඩව සිටියේය. අන්තිමේදී දුරකථනයෙන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසා සිටි විට පැවසුවේ යුද හමුදාව හා රට විසින් පිළිගනු ලබන ආණ්ඩුවක් විසින් දෙනු ලබන නියෝගයක් පමණක් මිස අනෙකක් පිළිගත නොහැකි බවයි. පිළිතුරු වශයෙන් බොල්ෂෙවික් රජය විසින් ඩකෝනින් විදුලි පුවතක් මගින් තනතුරින් පහකරන ලදී. කුමන්ත්‍රණය අනාවරණය වූයේ ඊට පසු දින ඔවුන් හමුදා මූලස්ථානය යුක්රේනය වෙත ගෙන යාමට තැත් කිරීමේ ප්‍රයත්නයෙනි. එය මැඩීමට පෙත්රොග්‍රාදයෙන් හමුදා යවන ලදී. ඩකොනින් වෙනුවට පත්කළ බොල්ෂෙවික් කොමිසාර් ක්‍රයිලෙන්කෝ පසුවදා ප්‍රධාන හමුදා මූලස්ථානයට සේවා භාර ගැනීමට යනවිට ඩකෝනින්ව අත්අඩංගුවට ගෙන පෙත්රොග්‍රාද් සිරමැදිරියට ගෙන යාම පිණිස දුම්රිය මැදිරියකට නංවා තිබිණි. එහිදී කෝපාවිශ්ටව සිටි සෙබළුන් විසින් ඔහු දුම්රිය මැදිරියේ ජනේලයක් අසලට පැමිණි අවස්ථාවකදී පිටතට ඇද පහර දී මරා දමන ලදී.
ඩකොනින් සිරභාරයට ගැනීමෙන් බොල්ෂෙවික් විරෝධී ඊළඟ බල කඳවුර බිඳ වැටුණද, ඔහු මරා දැමුවද වඩාත් ප්‍රබල බොල්ෂෙවික් විරෝධී කඳවුරක් පිහිටුවීම පිණිස පිරිසක් ඔහු විසින් නිර්මාණය කර ගොස් තිබිණ. බයිකොව් මොනස්ට්‍රියේ සිරභාරයේ රඳවා සිටි කොර්නිලොව් ඇතුළු පිරිස ඩකොනින් විසින් මුදාහැර ගොස් තිබිණ.


චන්ද්‍රසේන බදුගම