අගමැති ලේකම් ළඟ විගණන පනත හිරවෙලා

ලුxdftgjh
සියවසක කතාවක්
November 1, 2017
ලුdfj
හතළිස් පන්ලක්ෂයක් සිසු දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ගෙන් එක හඩක්
November 1, 2017
Show all

අගමැති ලේකම් ළඟ විගණන පනත හිරවෙලා

ක්‍රිadegs

ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු
නීතිඥ කේ. එන්. එම්. කුමාරසිංහ

වර්තමාන හවුල් ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු තුනෙන් එකක් වූයේ විගණන පනත සම්මත කර නීතිගත කරන බවය. නමුත්, එය අගමැතිවරයාගේ හමස් පෙට්ටියේ දමාගෙන සිටී. මේ පිළිබඳව විමසීමට මෙවර විද්වත් සංවාදය වෙන් කෙරේ. ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු, නීතිඥ කේ. එන්. එම්. කුමාරසිංහ හෙළි කරන තොරතුරු පහත පළ වේ:

අන්ත දූෂිත නිලධාරීන් සහ ඇමතිවරුන් ගැන කතා වෙනවා.

කෙටියෙන් විගණනය හඳුනාගෙන ඔබේ ප්‍රශ්නයට ප්‍රවේශවීම යෝග්‍ය බවයි මම හිතන්නේ. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල කියන ව්‍යුහයන්ගෙන්. මේ ව්‍යුහය ක්‍රියාත්මක කරන්න රාජ්‍ය නිලධාරීන් දහතුන් ලක්ෂයක් ඉන්නවා. රාජ්‍ය මුදල් වැය කරමින්, යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ මේ නිලධාරීන්. ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ නීතිරීති සකසන්න මැදිහත් වෙනවා වාගේම අවශ්‍ය තීන්දු ගන්න මැදිහත් වුණත්, මුදල්වලට සෘජුවම අතගහන්න බෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් පනතක් මගින් තමන්ගේ භාරයට ගැනීමට කිසිම නීතිමය අවසරයක් මැති ඇමතිවරුන්ට නෑ. එතකොට මුදල් පිළිබඳ සියලුම වගකීම පැවරී තිඛෙන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවල නිලධාරීන්ට.

ඔබ එහෙම කීවත්, වාර්ෂික අය-වැය මගින් මුදල් වෙන් කරන්නේ අමාත්‍යාංශවලට නේ ?

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරි වර්ෂයේ කරන කාර්යභාරයට අදාළ මුළු ආදායම් සහ වියදම් ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඒ ඇස්තමේන්තු භාණ්ඩාගාරයට ඉදිරිපත් කරනවා. සියලුම අමාත්‍යාංශවල ඇස්තමේන්තු එකතු කරලා මහා භාණ්ඩාගාරයෙන් රජයේ වාර්ෂික මුදල් වෙන් කිරීමේ ඇස්තමේන්තුවක් හදනවා. ඒ ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අදාළ ඇමතිවරයාගේ මැදිහත් වීමද සහිතව වාද විවාද කරනවා. අවසානයේදී සංශෝධන සහිතව හෝ රහිතව ඒ ඒ අමාත්‍යාංශවල ඇස්තමේන්තු සම්මත කර ගන්නවා. ඒකට අපි කියන්නේ ‘විසර්ජන පනත’ කියලා. මේක සම්මත කර ගත්තාට පස්සේ වැය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 147 අනුව පාර්ලිමේන්තුවට පවරා තිඛෙනවා. පාර්ලිමේන්තුව අනුමැතිය දෙන්නේ ඊළඟ වර්ෂය සඳහා ආදායම් එකතු කර ගැනීම සහ වියදම් කළ යුතු සැලසුමට. බලය දුන්නට පස්සේ ඒ මුදල් තියෙන්නේ ඒකාබද්ධ අරමුදලේ. මහා භාණ්ඩාගාරය හරහා තමයි, මේ අරමුදල නඩත්තු වෙන්නේ. අර අමාත්‍යාංශවලට වෙන් කළ මුදල් භාණ්ඩාගාර ලේකම්වරයා හා මුදල් ඇමතිවරයා මැදිහත්ව ලබා දෙනවා. ඒ ලබලා දෙන්නේ අමාත්‍යාංශයට. මොන ම වෙලාවකවත් ඇමතිවරයාට මුදලක් ලබා දෙන්නේ නෑ. අමාත්‍යාංශයේ මුදල් ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ රාජ්‍ය නිලධාරියකු වන අමාත්‍යාංශ ලේකම්වරයාට. ඇමතිවරයාට යම් මුදල් ප්‍රතිපාදනයක් නීතියට අනුව ලබා දෙන්නේ අර රාජ්‍ය නිලධාරියායි. අමාත්‍යාංශයක ආදායම් හෝ වියදම් සම්බන්ධයෙන් ඇත්ත වගකීම දරන්නේ රාජ්‍ය නිලධාරියා වන ලේකම්වරයා මූලික වීමෙන්.

හොඳයි එතකොට විගණනය මැදිහත් වෙන්නේ කොහොමද?

රජයේ සේවකයන් ලක්ෂ දහතුනක් සම්බන්ධ වී රාජ්‍ය මුදල් එකතු කිරීම හෝ වැය කිරීම සිදු කරනවා. ඒ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවෙන් අනුමත කර තියෙන විදියට කෙරෙනවද? මුලින් හදල දීපු ඇස්තමේන්තුවට අනුකූලව වියදම් කරනවද. යනාදිය මුදල් රෙගුලාසි සහ වෙනත් නීතිරීති රාමුව තුළ විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කරන පුද්ගලයා තමයි, විගණකාධිපතිවරයා. විගණකාධිපති පුද්ගලයෙක් නොවෙයි, දෙපාර්තමේන්තුවක්. මේ දෙපාර්තමේන්තුවේ සියලුම දෙනා රාජ්‍ය මූල්‍ය භාවිතය සම්බන්ධයෙන් කරන විමර්ශනය විගණනය කියලා හඳුන්වනවා. මහජනතාවගේ සල්ලි මහජනතාවගේ අරමුණු සඳහා එකතු වෙනවාද? ඒවා නිසි පරිදි යෙදවෙනවා ද කියලා සොයාබැලීමයි විගණකාධිපතිවරයාගේ කාර්යභාරය. ඔහුගේ වාර්තා සියල්ල ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට. විගණකාධිපතිවරයාට පැවරී තිඛෙන්නේ භාරදූර වගකීමක්. රාජකාරියක් නොවෙයි. ජනතාවගේ මුදල් නිසි පරිදි භාවිත කරනවාද කියා සොයාබැලීමයි ඔහු කරන්නේ. ඔහුගේ කාර්යය නිසි ලෙස කි්‍රයාත්මක කිරීමට බැරි වෙනවා නම්, පාඩුව සිදු වන්නේ මහජනතාවට.

විගණන ක්‍රියාවලිය නිසි ලෙස කිරීමට පවතින නීතිරීති ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තිබෙනවාද?

ඉතා පැහැදිලිවම අඩුවක් තියෙනවා. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණයට වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණ ගැන පැහැදිලිව සඳහන් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ අධිකරණ පද්ධතිය පාලනය වෙන්නේ කොහොමද කියන ප්‍රතිපාදන තියෙනවා. හැබැයි, ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණයෙන්ම කටයුතු කරන්න ඕනෑ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බව කාට හරි කියන්න පුළුවන්ද? බැහැ. එතන මූලික බලය පැවරීම විතරයි තියෙන්නේ. මූලික සිද්ධාන්තමය බලය දුන්නාට පස්සේ අධිකරණයට ක්‍රියා කරන්න තව පනත් දෙකක් තියෙනවා. සිවිල් නඩු සඳහා සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය කියලා වෙනම පනතක් තියෙනවා. ඒ වාගේම අපරාධ නඩු විභාග කිරීමට අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය කියලා වෙනම පනතකුත් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 හා 154 ව්‍යවස්ථාවල විගණකාධිපතිවරයා සම්බන්ධ බලය පැවරීමක් තියෙන්නේ. නමුත්, විගණකාධිපතිවරයා වැඩ කරන්න ඕනෑ කොහොමද කියලා පනතක් නෑ. විගණකාධිපතිවරයා විගණනය කරන්නේ කොහොමද? ජනතාවට වග කියන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට වග කියන්නේ කොහොමද? වශයෙන් ක්‍රමවේදයක් නෑ, විගණන දෙපාර්තමේන්තුව පිහිටුවලා අවුරුදු 217ක් වුණත්, තාම ක්‍රමවේදයක් නෑ. විගණකාධිපතිවරයා අයාලේ යන්ඩ ඇරලා තියෙන්නේ. මහජනතාවගේ මුදල්වල වගකීම අයාලේ යන්ඩ ඇරලා තියෙන්නේ. ඉන්දියාව, නවසීලන්තය, එංගලන්තය, කෙන්යාව වගේ රටවල පවා විගණන පනත් ක්‍රියාත්මක වෙනවා. විගණකාධිපතිවරයාට මූලික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙනවා. විගණනය කරන්න ඕනෑ විදිය ‘අ’ යන්නේ ඉඳන් අවසානය දක්වා ඒ පනතේ තියෙනවා. ලංකාවේ ක්‍රමවේදයක් නැති වුණාම විගණකාධිපතිවරයාට ඕනෑ නම් කරන්න හෝ නොකර ඉන්න පුළුවන්. මේක මහජනතාවට කරන බරපතළ අසාධාරණයක්. මේක නැති කරන්න තමයි, විගණන පනත හඳුන්වා දීමේ අවශ්‍යතාව තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් බලයදී තිබුණාට කරන ක්‍රමයක් නැතිව වැඩක් නෑ. අවුරුදු 217ක් පුරා විගණකාධිපති බලය පාවිච්චි කරන ක්‍රමයක් නොතිබීම මේ රට අද දූෂිත වීමටත්, අන්ත දුප්පත් වීමටත් ප්‍රධානම හේතුව විදියට මම දකිනවා.

විගණන පනතක් නොවීම නිසා ද බැඳුම්කර පරීක්ෂණයේදී ඇමතිවරුන් විගණාකාධිපතිවරයාගේ මතයට විරුද්ධව පහර දීම් කළේ ?

රටේ තියෙන හැම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, මණ්ඩලයක් සම්බන්ධ කාර්යභාරය පරීක්ෂා කරන්න සුදුස්සෙක් වෙන්න ඕනෑ. මහ බැංකුවේ ආර්ථීක විශ්ලේෂණය වාගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඛෙහෙත් දෙන එක ගැනත් විගණකාධිපතිවරයා දැනගෙන ඉන්න ඕනෑ. විගණකාධිපති දෙපාර්තමේන්තුවට මේ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පිරිසක් බඳවා ගන්න අවශ්‍යයි. සියලු ක්ෂේත්‍රවල නිපුණයන් සිටිය යුතුයි. නමුත්, ඒ සියලු ක්ෂේත්‍රවල නිපුණයන්ගේ සේවය ලබාගෙන මහජනතාවට හරිම වාර්තා දෙන්න ක්‍රමවේදයක් මේ දක්වා සපයා නෑ. ව්‍යවස්ථාවේ පොඩි ප්‍රතිපාදනයක් තියෙනවා, විවිධ ක්ෂේත්‍රවල සුදුසුකම් ලත් පුද්ගලයන් ගන්න හැකි බවට. හැබැයි, ඒ ගොල්ලන් ගන්නේ කොහොමද? ඔවුන්ට ප්‍රතිපාදන ගෙවන්නේ කොහොමද? විශ්‍රාම යවන්නේ කොහොමද? වගේ කිසිම ක්‍රමවේදයක් නෑ, විගණන පනතකින් තමයි, ඔය ක්‍රමවේදය ගොඩනගන්න ඉඩ ලැඛෙන්නේ. බැඳුම්කර සිද්ධියේදී ප්‍රශ්නගත වන්නේ ‘ආර්ථීක විශේෂඥයන් විගණකාධිපතිවරයාට ඉන්නවාද? කියන එක. ආර්ථීක විශේෂඥයන්ගේ සහාය ගන්න ප්‍රවේශයක් විගණකාධිපතිවරයාට තිබුණා නම්. ප්‍රශ්නය මෙච්චර දුර එන්නේ නෑ. නමුත්, වර්තමාන විගණකාධිපතිවරයා වරලත් ගණකාධිකාරීවරයෙක් හා ආර්ථීක විද්‍යා වාගේම කළමනාකරණ පශ්චාත් උපාධිය තිබීමෙන් ඔහුගේ දැනුම සහ දෙපාර්තමේන්තුවේ තිඛෙන සම්පත් මත වාර්තාවක් ලබා දී තිඛෙනවා. හැබැයි, ඔය ප්‍රශ්න කළ කට්ටිය ඒ ක්ෂේත්‍රය ගැන දශමයකවත් අවබෝධයක් නැති තරම්. ඒත් ඔවුන්ට ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. අදත් විගණකාධිපතිවරයාට නීතිඥයන්, වරලත් ගණකාධිකාරීවරුන් වගේ පිරිසක් දෙපාර්තමේන්තුව ඇතුළේ ඉන්නවා. නමුත්, මේ වගේ අතිශය බරපතළ හා සියුම් වංචාවක්, දූෂණයක් පරීක්ෂා කරන කොට සියලු ක්ෂේත්‍ර ආවරණය වන සුදුසුකම් ලත් වෘත්තීය නිපුණතා ඇති අයගේ සේවය ලබාගෙන ඉතාම නිවැරදි දේ මහජනතාවට ලබා දෙන්න ඉඩක් තිබිය යුතුයි. හැබැයි, බැඳුම්කර සිද්ධියේදී හොඳින් විමර්ශනය කිරීමේ හැකියාව තියෙන දෙපාර්තමේන්තුවේ ඉන්න සීමිත පිරිස කැප වීමෙන් විමර්ශන කළා.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමේදී දුන් එක පොරොන්දුවක් විගණන පනත ක්‍රියාත්මක කිරීම. ඒකට බාලගිරි දෝෂය හැදී තියෙන්නේ ඇයි?

 

විගණන කෙටුම්පතේ ආරම්භය එන්නේ 1983දී. පාර්ලිමේන්තුවේ එවකට ගිණුම් කාරක සභාවේ සභාපතිව සිටි ඩබ්ලිව්. පී. බී. දිසානායක මහත්මයා, රාජ්‍ය ආයතන 171ක් සමීක්ෂණයට ලක් කර යම් කිසි ප්‍රතිඵලයක් ගන්නවා. ඒ අනුව ඔහු තීරණය කරන්නේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් විගණනයේ දුර්වලතා තියෙන බව. මූල්‍ය පාලනය බිඳවැටී තිඛෙන බවද, එයින් මිඳීමට මූලික නිර්දේශ හතරක් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මගින් අය-වැය ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීම, විධායකයේ රෙගුලාසි මත නොසිට රාජ්‍ය මූල්‍ය පාලන පනතක් සම්මත කර ගැනීම, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ විගණනය ශක්තිමත් කිරීමට පනතක් ගේන්න ඕනෑ යන නිර්දේශ. මේ වගේ වැදගත් වාර්තා පාර්ලිමේන්තුවට එනවා. ඕනෑ නැති ඒවා දවසෙන් සම්මත කරගෙන වැදගත් ඒවා හමස් පෙට්ටියට යනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මගින් 2001දී මෙරට රාජ්‍ය අංශය ගැන අධ්‍යයනයක් කළා. ස්වාධීන විගණනයකට අවශ්‍ය බලය විගණකාධිපතිවරයාට දිය යුතු බව එදත් කියලා තියෙනවා. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකතු වී ආයෙත් 2002දී රාජ්‍ය මූල්‍ය බිඳවැටීමක් පිළිබඳ අධ්‍යයනයක් කරනවා.

එදත් රාජ්‍ය මූල්‍ය බිඳවැටීමක් තිබූ බවද ඔවුන් හෙළි කළේ ?

ඒ කාලයෙත් රාජ්‍ය මූල්‍ය බිඳවැටිලා. මම සරල උදාහරණයක් කියන්නම්. 1948 වන විට ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 89යි. එදා ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 90යි. සිංගප්පූරුවේ 39යි. 2013 වන විට සිංගප්පූරුවේ 57,000 ඉක්මවලා. ජපානයේත් 57,000 ඉක්මවලා. හැබැයි, ලංකාවේ 3,200යි. මෙහෙම වෙන්න හේතුව දේශපාලකයෝ විතරක් නොවෙයි, දේශපාලකයන්ගේ වංචා, දූෂණවලට ඉඩ දෙන්නේ රාජ්‍ය නිලධාරීන්. එදා 1948 ඉඳලා අද දක්වා රාජ්‍ය මූල්‍ය පාලනය නිසි අන්දමට නොකළ නිසයි අද අපි අන්ත ප්‍රපාතයකට වැටිලා ඉන්නේ. සිංගප්පූරුව සහ ජපානය රාජ්‍ය තන්ත්‍රයේ ඉතා දැඩි මූල්‍ය විනයක් තිඛෙන රටවල්. මේ රටේ සම්පත් ඕනෑ තරම් තියෙනවා. භූමිකම්පා, සුනාමි නෑ. කොස්ගෙඩියක් කාලා හරි ජීවත් වෙන්න හැකියාව තියෙද් දී රාජ්‍ය මූල්‍ය අවභාවිතාව ඉහවහා ගිහින්. රට තුළ දී හොරකම් කර විදේශවලට විශාල මුදල් ප්‍රමාණයක් පිට කර තියෙනවා. ඔය තින්දු ගන්නේ දේශපාලකයෝ විතරක් නොවෙයි. රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරීන් පිරිසකුත් සම්බන්ධයි. කනගාටුවට කරුණ දේශපාලකයන්ට අධ්‍යාපන සුදුසුකම් නොතිබුණත්, රාජ්‍ය නිලධාරීන් ඉතා ම ඉහළ අධ්‍යාපනයක් ලද අය වීමයි. ඔවුන් පවතින නීතිරීති රාමුව තුළ රාජ්‍ය මූල්‍ය පාලනය කළා නම්, මේ අගාධයට වැටෙන්නේ නෑ.

හොඳයි, යෝජිත විගණන පනත ගැන අපි කතා කළොත්, බොහෝ විට කියන්නේ තටු කපා ඇති බව. ඒ කියන්නේ මොකක්ද?

ලංකාවේ රාජ්‍ය මූල්‍ය වගකීම ගැන ලෝක බැංකු විමර්ශනයේ ප්‍රතිඵල තමයි, ලංකාවේ රාජ්‍ය විගණනය ඉතාමත් නොදියුණු සහ ගුණාත්මක නොවන බව හේතුවෙන් විගණනය ශක්තිමත් කළ යුතුයි¦ ස්වාධීන කළ යුතුයි. මේ සඳහා විගණන පනතක් බලාත්මක කළ යුතුයි කියන නිර්දේශ. මීට පස්සේ 2003 ඉඳන් විගණන පනත අවුරුදු 14ක් ඇදී යනවා. මේ රටේ වැඩිම මහන්සියක් දරා හදලා තියෙන පනත මේක. මේ පනත් කෙටුම් පත කීප වතාවක් කැබිනට් එකට එනවා. නමුත්, එහිදී සංශෝධනය වෙනවා. දැනට විසි දෙවතාවක් සංශෝධනය කරලා තියෙන්නේ. තටු කැපීම ඒකයි.

ඉතින්, එහෙම සංශෝධනය කරන්න පදනම මොකක්ද?

නීති කෙටුම් පත් හදනවා. නීතිපතිවරයා නිශ්කාෂණ සහතිකය දෙනවා. කැබිනට් එකට එනවා. එතැන දී වැරැද්දක් කීවාම ආපහු යනවා. මේ ‘රොටේෂන්’ එක අවුරුදු දාහතරක් ගියා. 2003දී හදපු එක නොවෙයි, අද තියෙන්නේ. අපි විශ්වාස කරනවා, 2003ට වඩා අද වෙනස් වෙන්න ඕනෑ කියලා. හැබැයි, මූලික හරය, මූලික සංකල්ප බිඳලා තියෙනවා නම්, මහජනතාවගේ පැත්තෙන් බරපතළයි. මේ ආණ්ඩුව යහපාලනයක් ගෙන යන බවට දුන්නු මැතිවරණ පොරොන්දුවක් නේ විගණන පනත. මේ ගොල්ලො දින වකවානුත් සකසලා තිබුණා. 2015 පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාර්තු 19 වෙන කොට සම්මත කරන බවයි කිව්වේ. ඡන්දය දුන්න ලක‍ෂ 62කගේ බලාපොරොත්තු එදා ඉඳලා බිඳලා. මේ නිසා ජනතාවගේ දේපොළ දවසින් දවස විනාශ වෙලා යනවා. අද වෙලා තියෙන්නේ, නීතිපතිවරයා නිශ්කාෂණය දී 2015 අප්‍රේල් මස 22 වැනිදා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ කෙටුම් පත නැවත සංශෝධනය කිරීමයි. කනගාටුදායක දේ එහෙම තත්ත්වයකට විරුද්ධව අධිකරණයට යන් ප්‍රතිපාදන නොවීම. ඒ තරම් හිතුමතයේ වෙනස් කරන්න පිළිගත හැකි කිසිම පදනමක් නෑ.

විගණකාධිපතිවරයාට අසීමිත බලයක් මෙයින් ලබා දෙන බව ඇතැමුන් කියනවා…

මෙහෙමයි, මේ රටේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, පොලිසිය, අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. මේ ආයතනවලට යම් මූල්‍ය වංචාවක් ගැන පැමිණිලි කළොත් තමයි, විමර්ශන සිදු කරන්නේ. හැබැයි, මේ රටේ විගණකාධිපතිවරයාට පමණයි, පැමිණිල්ලක් නැතිව මහජන මුදල් පිළිබඳ විමර්ශනය කරන්න හැකියාව තියෙන්නේ. මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ බලය දෙන විගණන පනතකට තමයි, 2015 අප්‍රේල් 22 වැනි දින කැබිනට් අනුමැතිය දෙන්නේ. සම්මත වූ ඒ කෙටුම් පත යටින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ඊළඟ පියවර ගැනීමට උපදෙස් දෙනවා. නමුත්, අද වෙනකම් අගමැති ලේකම්වරයා මේක ගැසට් කළේ නෑ. එහෙම තියෙද් දී මේක නැවත නැවත සංශෝධනයට ලක් කරමින්, ඉන්නවා. ඔය කියන අසීමිත බලයක් මේ තුළින් විගණකාධිපතිවරයාට ලැඛෙන්නේ නෑ.

එහෙම නම්, මේක බලාත්මක කිරීමට බය ඇයි ?

විගණකාධිපතිවරයා ගන්නා යම් යම් ක්‍රියාමාර්ග නිසා හිත රිදෙන අමාත්‍යවරුන් හා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඉන්නවා. මේ පුද්ගලයන්ගේ පෞද්ගලික අභිමතාර්ථ නිසා රටේ ජනතාවගේ දේපොළ විනාශ වීම වේගවත් වෙලා. අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් පසුගිය ආණ්ඩුවේ වාගේම මේ ආණ්ඩුවේත් මහජන මුදල් නීතියෙන් පිට භාවිත කරන්න කැමැතියි. ඔවුන් බය වෙලා තියෙන ප්‍රධානම හේතුව තමයි, අධිභාරය කියන එක. යම් පුද්ගලයෙක් නීිතියට පටහැණිව යම් ක්‍රියාවක් කර මහජන මුදල් අයථා ලෙස යෙදැවූවා කියලා විගණකාධිපති විමර්ශනවලින් හෙළි වූවොත්, එම මුදල අදාළ පුද්ගලයාගෙන් අය කර ගන්න බලයටයි අධිභාරය කියන්නේ. අපි අහන්නේ යම් රජයේ නිලධාරියෙක් මහජන මුදල් හෝ දේපළ ගෙදර ගෙනියලා තියෙනවා නම්, ඒවා අය කර ගැනීම අපරාධයක් ද? නීතියෙන් පිට මහජන මුදල් වැය කර තිඛෙනවා නම්, ඒවා අය කර ගන්න එකට එච්චර බය වෙන්නේ ඇයි ? නීතියට වැඩ කරන සාධාරණ කිසි ම රාජ්‍ය නිලධාරියෙක් මේකට බය නෑ. දූෂිත සංස්කෘතිය දිගටම පවත්වාගෙන යන්න කැමැති පුද්ගලයන් කීප දෙනෙක් මේකට ලොකු බයක් තියෙනවා. විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් කීප දෙනෙක් හා ඉහළ නිලධාරීන් කීප දෙනෙක් ඇමතිවරුන් ළඟට ගිහිල්ලා කියනවා, ‘කැබිනට් එකේ දී විරුද්ධ වෙන්න’ කියලා.

අපි මෙහෙම හිතමු. අධිභාරය අය කර ගැනීමේ බලය විගණකාධිපති වෙනුවට විකල්ප පුද්ගලයෙක් නැද්ද?

දැන් අමාත්‍යාංශයක මූල්‍ය පාලන වගකීම තියෙන්නේ, අදාළ ලේකම්වරයාට නේ. ඔහු අත්සන් කරලා වියදම් කළ මුදලක් අය කර ගැනීමේ බලය නැවත ඒ පුද්ගලයාට ම දෙන්න බෑ නේ. ඒ පිළිබඳ විමර්ශනය කිරීමේත්, වාර්තා සැකැසීමේත් බලය තියෙන්නේ විගණකාධිපතිවරයාට. අනෙක විගණකාධිපති කියන්නේ තනි පුද්ගලයෙක් නොවෙයි. විවිධ ක්ෂේත්‍රරවල ප්‍රවීණයන් ඉන්න දෙපාර්තමේන්තුවක්. අද තියෙන ව්‍යුහය තුළ ඉන්න ස්වාධීන නිලධාරියා විගණකාධිපතිවරයා. මේ වැඩේ අධිකරණයට කරන්න බෑ නේ.

මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න දැන් මොක ද කරන්න ඕනෑ ?

මේ රටේ සංස්කෘතිය ගැන කල්පනා කරලා හදන නීතියක් ඕනෑ. අද අපේ රටේ මහජන මුදල් දූෂණය, වංචාව, අවභාවිතය ඉතාම ඉහළ තැනක තියෙන්නේ. එහෙම නම්, ඊට ගැලපෙන ක්‍රමයක් හදන්නයි ඕනෑ. ලෝකයේ විගණනය කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රමය, විගණකාධිපතිවරයා අධිකරණයක් විදියට ක්‍රියාත්මක කරන ක්‍රමය සහ සමාජවාදී ක්‍රමය. අද තියෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ක්‍රමය. නමුත්, මගේ මතය නම්, අද තියෙන තත්ත්වය යටතේ ලංකාවට ගැලපෙන්නේ අර අධිකරණ ක්‍රමය. නමුත්, මේ ආණ්ඩු කවදාවත් ඒ වගේ දේකට ඉඩ දෙන්නේ නෑ. එහෙම වුණොත්, විගණකාධිපතිවරයා විසින් සැලැකිය යුතු පිරිසක් හිරේ දානවා. පවතින පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රමය තුළ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තා යට යනවා. මේ තත්ත්වය වළක්වා ගන්න විගණකාධිපතිවරයා ශක්තිමත් කෙරෙන කරුණු ඕනෑ වෙනවා. පනත හැදුවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නොවෙයි. මේ රටේ ඉන්න ඉහළම විද්වතුන්, කීර්තිමත් නීතිඥයෝ, වරලත් ගණකාධිකාරීවරු, ආර්ථීක විද්‍යාඥයෝ වගේ අය. මේක හදලා තියෙන්නේ රට වෙනුවෙන්.


සංවාදය හා සටහන
ප්‍රියදර්ශන දයාරත්න