ලංකාව ඇමෙරිකාවට සින්නක්කරව ලියා දෙන ආණ්ඩුවේ සැලසුම් ඉදිරියට

vote
ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයක්!
November 1, 2017
logo viii
සමෘද්ධි නිලධාරීන් රවටන සුදු බණ්ඩාගේ ඉලෙක්ෂන් ගේම්
November 1, 2017
Show all

ලංකාව ඇමෙරිකාවට සින්නක්කරව ලියා දෙන ආණ්ඩුවේ සැලසුම් ඉදිරියට

ග්‍රීsdegvbSEg

ලංකාව එදා පටන්ම ලෝකයේ විවිධ රටවල් සමගත්, විවිධ සංවිධාන සමගත් එක එක ආකාරයේ ගිවිසුම් අත්සන් කර ඇත. රටක් වශයෙන් පැවැත්මටත්, රටේ සංවර්ධනයටත්, තවත් විවිධ හේතුවලටත් මේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ එකඟතා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යය. එහෙත්, විදේශ රටවල් සමඟ පැමිණි එකඟතා හැම එකක්ම රටට හිතකර ඒවා නොවන බව අලුතෙන් කියන්නට වුවමනා නැත. ඉන්දු-ලංකා ගිවිසුමේ පටන් රටට අහිතකර ගිවිසුම් ඕනෑවටත් වඩා අත්සන් කර ඇත. මේ කියන්නට යන්නේ ලංකාව අත්සන් කරන ලද තවත් එක් ගිවිසුමක් විසින් ලංකාව එක්සත් ජනපදයේ රූකඩයක් බවට පත් වෙමින් තිඛෙන ආකාරයයි. 2007 වසරේ ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්සන් කරන ලද ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුම මේ වන විට කල් ඉකුත් වී ඇතත්, වර්තමාන හවුල් ආණ්ඩුව විසින් එහි එකඟතා කිසිදු වග විභාගයකින් තොරව ගිවිසුමේ ආකාරයටම ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.
මේ ගිවිසුම හඳුන්වන්නේ ACSA ගිවිසුම ලෙසයි. සීතල යුද්ධය සමයේ ඇමරිකාව විවිධ රටවල් යටත් කර ගැනීම සඳහා මෙවැනි ACSA ගිවිසුම් භාවිත කර තිබේ. නේටෝ යනු යුද සංවිධානයකි. එම සංවිධානය 1970 ගණන්වල සිට භාවිත කරන ලද ගිවිසුම් අද ඇමෙරිකාව විසින් ලංකාව සමඟ අත්සන් කර ක්‍රියාවට නගමින් සිටියි. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවරා ගැනීමේ සහ අන්‍යොන්‍ය සේවා සැපයුම් ගිවිසුමක් (Acquisition and Cross Servicing Agreement -ACSA) වසර දහයක කාලයක් සඳහා වලංගු වන පරිදි 2007 මාර්තු මාසයේ දී අත්සන් තැබුණු අතර එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අනුව රටවල් 76ක් සමඟ දැනට අත්සන් කර ඇති අදාළ ගිවිසුම සැලසුම් කොට ඇත්තේ ඇමරිකානු ඉදිරි හමුදා විහිදුවීම් හා ආරක්ෂක අභිලාෂයන්ට ඵලදායක වනු පිණිසය.
ඇමරිකාව ලංකාව සමඟ මෙවැනි ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්නේ හමුදාවට තෙල්, වතුර ලබා ගැනීමට බව ආණ්ඩුව පවසයි. නමුත් ඒ ඇත්ත තත්ත්වය නොවේ. තෙල් හෝ වතුර ලබා ගැනීමට නම් ඉන්දියාව, මාලදිවයින, පකිස්ථානය, බංගලාදේශය වගේ රටවල් සමඟත් ගිවිසුම් අත්සන් කළ යුතු වේ. එහෙත් ඒ වෙනුවට මේ සඳහා ලංකාවම තෝරා ගනු ලබන්නේ ඇමෙරිකාවේ යුද දැලට ලංකාව ගොදුරක් බවට පත් කර ගැනීම සඳහාය. ඒ අනුව ලංකාව අත්සන් කර තිබුණේ ACSA ගිවිසුමකි. මෙහි ඇති බරපතළකම වන්නේ දැන් තිඛෙන ගිවිසුම වෙනුවට SOFA වර්ගයේ ගිවිසුමක් අත්සන් කිරීමට සාකච්ඡා කරමින් සිටීමයි. එවැනි ගිවිසුම් මගින් වඩාත් තීව්‍ර ලෙස රටවල් යටත් කර ගැනීමට ඇමෙරිකාවට හැකියාව ලැබේ.
මේ සඳහා ලංකා ආණ්ඩුවේ ද නොමඳ සහයෝගය ලැඛෙන බව එළිපිටම පෙනෙන්නට තිබෙන සිදුවීම් පෙළක් පසුගියදා දකින්නට ලැබිණි. එක් පසෙකින් එක්සත් ජනපදය විසින් පසුගිය යුද සමයේ සිදු වූ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතු බව පවසන ගමන්ම ලංකාව විසින් යුද අපරාධ කරන ලද්දේ යැයි සෘජුවම චෝදනා කරනු ලැබීය. මේ වන විට ඒවායේ කිසිදු ප්‍රගතියක් නොමැති වුවද, ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ.
විදෙස් රටවලට ලබා දෙන අරමුදල් සම්බන්ධයෙන් පරීක්ෂා කරන එක්සත් ජනපද කමිටුවක් හමුවේ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිණියක විසින් හෙළිදරවු කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සපයන අන්තර් හමුදා ආධාර සෙමෙන් සහ වර්ධනීය ලෙස ප්‍රසාරණය කළ බවය.
එක්සත් ජනපද විදෙස් කටයුතු පිළිබඳ කමිටුව හමුවේ ප්‍රකාශයක් කරමින් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම්වරිය වන ඇලිස් ජී. වෙල්ස් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දක්වන කැපවීම, අන්තර් හමුදා සබඳතා ද ඇතුළු එක්සත් ජනපදය සමඟ බැඳීම පුළුල් කිරීමේ උනන්දුව වැඩි කිරීමට හේතු වී ඇති බවය. එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් තෘප්තිමත් වන බව ප්‍රකාශ කර ඇත්තේ, දෙමළ ජනයාට එරෙහිව දැනට සිදු වෙමින් පවතින පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම සිය බලවත් අවධානය යොමු කර තිඛෙන පසුබිමකදීය.
යුද අපරාධ සම්බන්ධයෙන් සංක්‍රාන්ති යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට හා එවැනි හිංසනයන් තව දුරටත් සිදුවීම වැළැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 2015දී ඒකමතිකව සම්මත කර ගත් යෝජනාවට එකඟතාව පළ කළ ශ්‍රී ලංකාවට එම පියවර ක්‍රියාත්මක කිරීමට ලබා දී තිබූ කාලය 2017 මාර්තු මාසයේ දී තවත් වසර දෙකකින් දීර්ඝ කරන ලදී.
ආරක්ෂක සහයෝගීතාව සඳහා ශක්තිමත් ලෙස ආධාර කිරීමත්, උපායමාර්ගික වෙළෙඳ පාලනයන් වැඩිදියුණු කිරීමත් අරමුණු කර ගනිමින්, එළඹෙන වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 3.4ක් වැය කිරීමට සහකාර රාජ්‍ය ලේකම් වෙල්ස් යෝජනා කර තිබේ. සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නිශ්චිත පියවර ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ දක්වාම ගනු නොලැබුවද, යෝජිත අරමුදල් ලබා දීම සිදුවනු ඇති බව සහකාර ලේකම්වරිය විසින් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති ලියවිල්ලෙන් අවධාරණය කර ඇත.
මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් සභා සඳහා බලය ඛෙදාහැරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සාධාරණත්වයෙන් හා නිසි ක්‍රියාදාමයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුරූප වන නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම, හමුදාව විසින් යුද්ධයේ දී අත්පත් කර ගන්නා ලද සාමාන්‍ය ජනතාව ගේ ඉඩම් ආපසු ලබා දීම, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ඇතුළු සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මෙම නිශ්චිත පියවරයන්ට අයත් වේ යැයි ඇලිස් වෙල්ස් ප්‍රකාශ කළාය.
මේ අතර, එක්සත් ජනපද හා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවෝ, විෂයබද්ධ විශේෂඥ හුවමාරු වැඩසටහන යටතේ පවත්වන ලද ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාස සැසියක් පැසිපික් හි ගුආම් දිවයිනේ එක්සත් ජනපද නාවුක කඳවුරේ දී ඉකුත් අගෝස්තු 17වැනිදා සමාප්ත කළහ. දෙරට අතර ඔක්තෝබරයේදී දියත් කිරීමට නියමිත සමායෝගි යාන්ත්‍රණ සූදානම හා පුහුණු වැඩසටහනට පෙරහුරුවක් ලෙස මෙම පස් දින පුහුණු සැසිය පැවැත්වූ බව එක්සත් ජනපද නාවික හමුදා වෙබ් අඩවිය කියා සිටියි.
සැප්තැම්බර් පළමුවැනිදා කොළඹ දී මුළු දුන් ඉන්දියන් සාගර සමුළුව අමතමින්, එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම්වරිය කියා සිටියේ පළමු වතාවට සිදු වන එක්සත් ජනපද – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවුක අභ්‍යාස එළඹෙන ඔක්තෝබර් මාසයේ ත්‍රිකුණාමලයේ දී ඇරඹෙන බවය. හවුල් ධාරිතා වර්ධනයන් හා අභ්‍යාස ඔස්සේ, සංකීර්ණතා ගහණ මෙම කලාපයේ ආරක්ෂක බර අපට ඛෙදා ගත හැකි වනු ඇතැයි වෙල්ස් එහිදී කියා සිටියාය. CARAT යනු බංගලාදේශය, බෘෘනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ නැගෙනහිර ටිමෝරය යන රටවල් දහයක් සමග එක්සත් ජනපදය විසින් වෙන් වෙන්ව වාර්ෂිකව පවත්වන ද්වී පාර්ශ්වික නාවික අභ්‍යාස වැඩසටහන් මාලාවකි. මෙකී වැඩසටහන් මූලික වශයෙන් සැලසුම් කර ඇත්තේ එක්සත් ජනපද නාවික හමුදාවේ සාමුද්‍රික ශක්‍යතා හා ක්‍රියාන්විත සංසක්තතාවන් වැඩිදියුණු කිරීම අරමුණු කොටගෙනය.
ලංකා ආණ්ඩුව විසින් සිදු කරමින් සිටින සියලුම ක්‍රියාමාර්ග පෙළගැසෙමින් තිඛෙන්නේ මේ වැඩපිළිවෙළට සමගාමීවය. ලෝකයම හිනස්සමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් උතුරු කොරියාවට සම්බාධක පනවන්නේ මේ එකඟතාවයන්ට අනුවය. එසේම පසුගියදා අනාවරණය වූ පරිදි මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට විකුණා ලැඛෙන මුදලින් යුද නැවක් මිල දී ගන්නට යන්නේ ද මේ අනුවමය. එසේ නැතිනම් ලංකාවට යුද නැවක් මිල දී ගැනීමට කිසිදු හේතුවක් නැත. කලාපයේ ඇති රටවලින් ඇති යුද තර්ජන පිළිබඳ සලකා බැලීමේ දී මේ බව හොඳින්ම තේරුම් ගත හැකිය. මාලදිවයින, පකිස්තානය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය සහ බංගලාදේශය යන රටවල් අතුරින් අප වරක් මියන්මාරය ආක්‍රමණය කර ඇති වුවත්, මාලදිවයින, මියන්මාරය, තායිලන්තය පකිස්තානය සහ බංගලාදේශය අපට සම්පූර්ණයෙන්ම මේ සමීකරණයෙන් ඉවත් කළ හැකිය. ඉන්දියානු හමුදාව 1987දී ශ්‍රී ලංකාවට පැමිණීම සෘජු හමුදාමය ආක්‍රමණයක් යැයි කිව නොහැකි වුවද, අප රටේ ස්වාධීනත්වය යම් ලෙසකින් ව්‍යතික්‍රමණය කිරීමක් යැයි සලකන්නට හැකිය.
ඊට අමතරව ඉතිහාසය ගත්තත්, අවුරුදු 195කට පෙර 1812 වසරේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හමුදා හංවැල්ලේදී අවසාන වරට ඉංග්‍රීසීන් සමග කළ සටනෙන් පසු අප කිසිම විදේශීය රටක හමුදාවක් සමග යුද්ධ කර නැත්තේය. එවැනි තත්ත්වයක් තුළ මේ යුද නැවක් මිල දී ගැනීම කිසිසේත්ම සාධාරණ හේතුවක් ඇතිව කරන ලද්දක් නොවේ.
ඒ නිසා ආණ්ඩුව මේ සියල්ල සිදු කරමින් සිටින්නේ එක්සත් ජනපදයේ වුවමනාවන්ට අනුවය. ලෝකය පුරා රටවල් ගණනාවක මේ වන විට ඇමෙරිකානු යුද කඳවුරු 1,200ක් පමණ තිබේ. ලෝකයේ රටවල් 20ක මධ්‍යම අණදෙන කඳවුරු පිහිටුවා තිබේ. ලෝකයේ රටවල් 130ක් පමණ ප්‍රමාණයක් සමඟ ද කුමන හෝ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න ඇමෙරිකාව කටයුතු කර තිබේ. ආණ්ඩුව මේ වන විට සූදානම් වෙමින් සිටින්නේ ලෝකයේ එක්සත් ජනපදය සම්බන්ධ වන යුද කටයුත්තක දී ලංකා භූමිය භාවිත කිරීමට නිල වශයෙන් අනුමැතිය ලබා දීම පමණක් නොව ඒ සඳහා වෙනත් යටිතල පහසුකම් ද ලංකාවේ වියදමින්ම සකස් කර දීමයි.


චතුර දිසානායක