සමෘද්ධි නිලධාරීන් රවටන සුදු බණ්ඩාගේ ඉලෙක්ෂන් ගේම්

ග්‍රීsdegvbSEg
ලංකාව ඇමෙරිකාවට සින්නක්කරව ලියා දෙන ආණ්ඩුවේ සැලසුම් ඉදිරියට
November 1, 2017
saim iii
ආණ්ඩුව සයිටම් හොර ජාවාරම රැකීමේ රහස…
November 1, 2017
Show all

සමෘද්ධි නිලධාරීන් රවටන සුදු බණ්ඩාගේ ඉලෙක්ෂන් ගේම්

logo viii

ආණ්ඩුව පසුගිය කාලය පුරාම දිගින් දිගටම රට හමුවේ ප්‍රකාශ කළේ රැකියා දස ලක්ෂයක් බිහි කරන බවයි. එසේම සිය පාලන කාලය තුළ අදාළ රැකියා දස ලක්ෂය ලබා දෙන්නට පියවර ගන්නා බවද අගමැති වික්‍රමසිංහ විවිධ අවස්ථාවල ජනතාවට පොරොන්දු විය. එහෙත් මෙතෙක් රැකියා දස ලක්ෂයක් තබා එක් රැකියාවක් හෝ ලබා දීමට පියවර ගත් බවක් පෙනෙන්නට නැත. අවම වශයෙන් මේ වන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්හි පුරප්පාඩු රැසක් තිබුණ ද, එම පුරප්පාඩු පිරවීමට හෝ ආණ්ඩුවට වැඩපිළිවෙළක් ඇතැයි තහවුරු කර නැත.
මේ වන විට දිවි නැගුම සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ද එවන් ප්‍රශ්නයක් පැනනැගී ඇත. දිවි නැගුම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සදහා 2016 වසරේදී තරග විභාගයක් පවත්වන ලදී. මෙම තරග විභාගය දිවි නැගුම සංවර්ධන අමාත්‍යාංශයෙන් ගැසට් කර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලදී. මෙම තරග විභාගය සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දෙලක්ෂ පනස් දහසක් පමණ අපේක්ෂකයන් පෙනී සිට ඇත. මෙම තරග විභාගය පවත්වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 3,771 ක් පිරවීම සදහාය. මෙම තරග විභාගය පවත්වන මොහොතේදී ද ඊට අදාළ විවිධ ප්‍රශ්න නිර්මාණය විය. නිසි පරිදි විභාග අපේක්ෂකයන්ට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර පවා ලැබී තිබුණේ නැත. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ අපේක්ෂකයන්ගේ විභාගයට පෙනී සිටීමේ අයිතිය තහවුරු විය.
අදාළ විභාගයෙන් නව දහස් අටසියයකට ආසන්න ප්‍රමාණයක් සමත් වී ඇති බව තහවුරු වී ඇත. මෙම සමතුන් අදාළ තනතුරුවලට බඳවා ගැනීම සඳහා 2017 ජුනි මාසයේදී සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදී. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කර ඇත. පුරප්පාඩුු 3771ක් පැවතිය ද, ආණ්ඩුවෙන් අදාළ තනතුරු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇත්තේ 1,904 දෙනෙකු පමණක් බව වාර්තා වෙයි. මෙම විභාගයට පෙනී සිටීම සඳහා විභාග අපේක්ෂකයන්ට රුපියල් 750.00ක ගෙවීමක් කිරීමට ද සිදු විය. සාමාන්‍ය සම්ප්‍රදායය වන්නේ මුදල් අය කර විභාගයක් පවත්වන්නේ නම්, අදාළ අපේක්ෂකයන්ට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමයි. එහෙත්, මෙම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කර නැත. විභාගයට පෙනී සිටි කිසිවෙකු තමන් විභාගයෙන් සමත් ද අසමත් ද යන්න පවා දන්නේ නැත. එහෙත්, සම්මුඛ පරීක්ෂණ ද පවත්වා ඇත.
මේ වන විට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගත යුතු කණ්ඩායමේ නාමලේඛන පවා සකස් කර අවසන් බවට තොරතුරු සියල්ල වාර්තා වී ඇත. දැන් කළ යුතු වන්නේ සමස්ත විභාගයට පෙනී සිටි අයගේ ප්‍රතිඵල නිකුත් කොට සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඉන් තනතුරු ලැබීම සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන්ට අදාළ පත්වීම් ප්‍රදානය කිරීමයි. නමුත්, මේ වන විට අමාත්‍ය එස්. බී. දිසානායක අදාළ පත්වීම් ලබා දෙනවා වෙනුවට කරමින් සිටින්නේ කල්මැරීමයි. මේ කල්මැරීම සිදු කරනු ලබන්නේ අන් කිසිවක් සඳහා නොව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවල දී එය පාවිච්චියට ගැනීම සඳහාය. එහිදී දිස්ත්‍රික් සංවිධායකයන්ටත් ආසන සංවිධායකයන්ටත් මින් දේශපාලන වාසි ලබා ගැනීමේ හැකියාවක් පවතී.
මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් මෙම විභාගයට පෙනී සිටි දෙලක්ෂ පනස් දහසක්ම සිටින්නේ විභාග ප්‍රතිඵල නොමැතිවය. ඒ අනුව එස්. බී. දිසානායක මේ දෙලක්ෂ පනස් දහසම අදාළ ප්‍රදේශයේ දේශපාලනඥයන් පසුපස යා යුතු මට්ටමට පත් කර ඇත. මේ කිසිදු අපේක්ෂකයෙකු තමන් විභාගයෙන් සමත් ද අසමත් ද යන්න නොදන්නා නිසා සියලු දෙනාම සිතා සිටින්නේ තමන් සුදුස්සෙකු විය හැකි බවය. මේ වන විට ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් බොරු පොරොන්දු ලබා දෙමින් ඇත්තේ, ඔවුන් ජයග්‍රහණය කරවීමට කටයුතු කළහොත්, මෙම පත්වීම් ලබා දෙන බවය. පසුගිය මාසයේදී අමාත්‍ය එස්. බී. දිසානායක ප්‍රකාශ කළේ සතියක් ඇතුළත මෙම ප්‍රතිඵල නිකුත් කරන බවයි. එහෙත්, දැනට මාසයක් ගත වී ඇතත්, ප්‍රතිඵල නිකුත් කරන බවක් පෙනෙන්නට නැත. ඇමතිවරයාට මෙම සතිය මෙතෙක් පැමිණ නැත. මේ සියලු කරුණුවලින් ඉතාමත් පැහැදිලි වන්නේ මොවුන් මේ කල්මරමින් සිටින්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී මේ පත්වීම් ලබා දීම දේශපාලන තුරුම්පුවක් ලෙස පාවිච්චි කිරීමට බවය.
මේ පමා කිරීම බරපතළ අසාධාරණයකි. විශේෂයෙන්ම මේ වන විට රාජකාරියේ නිරත නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට පත්ව ඇත. මෙම වැඩ ආවරණය කළ යුතු වී ඇත්තේ අදාළ නිලධාරීන්ය. වැඩ බැලීමේ කිසිදු දීමනාවක් ද නොලබා මේ කටයුත්තේ අදාළ නිලධාරීන් යෙදී ඇත්තේ දැඩි අසීරුතා මධ්‍යයේය. මේ පිළිබඳව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් ඇත. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා ප්‍රකාශ කළේ මේ අසාධාරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සූදානමින් පසුවන බවයි. ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ අදාළ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ පිරිස වහාම සේවයේ පිහිටුවිය යුතු බවත්, අදාළ විභාගයේ ප්‍රතිඵල වහාම නිකුත් කළ යුතු බවත්ය.
පසුගිය කාලය පුරාම වේදිකාවලත්, ජනමාධ්‍ය හමුවේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වසරේ රැකියා ලක්ෂ හතරක් බිහි කරන බවයි. එසේම සිය පාලන කාලය තුළ රැකියා දස ලක්ෂයක් බිහි කරන බවද පුන පුනා කීවේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එසේ පුරසාරම් දෙඩුවද අවම වශයෙන් එක් අමාත්‍යාංශයක පවතින රැකියා පුරප්පාඩු 3,771 හෝ පිරවීමට තමන්ට වැඩපිළිවෙළක් නොමැති බව මේ වන විට ඕනෑවටත් වඩා හොඳින් ඔප්පු කර ඇත. පවතින පුරප්පාඩුවලින් ද ආණ්ඩුව බඳවා ගැනීමට යන්නේ පුරප්පාඩු 1,904කි. එය ද ලබා දීමට නොහැකිව ලතවෙන ආණ්ඩුවක් රැකියා ලක්ෂ දහයක් බිහි කරන බව පැවසීම තරම් තවත් විහිළුවක් ඇද්ද යන්න සැකසහිතය.


එස්. කේ. ගමගේ