සියවසක කතාවක්

මෛත්‍රීghj
ජනතාවගේ ඉඩම් කොල්ලකන්න දෙන්නේ නෑ
November 1, 2017
ක්‍රිadegs
අගමැති ලේකම් ළඟ විගණන පනත හිරවෙලා
November 1, 2017
Show all

සියවසක කතාවක්

ලුxdftgjh

අද අප රටේත්, ලොව පුරාත් සාකච්ඡා වන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම යන්නයි. දේශපාලකයන් කතා කරන්නේත්, රැස්වීම් පවත්වන්නේත්, කැබිනට් මණ්ඩල, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන ආදිය පවතින්නේත් ඒ සඳහා යැයි කියවේ. ලෝකය ගත් විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු තවත් වෙනත් සංවිධාන ප්‍රයත්න දරන්නේ ජනතා ගැටලු විසඳීමට බව කියවේ. එහෙත්, කිසිදු තැනක කිසිදු අයුරකින් ඒවා විසෙඳන බවක් අසන්නට, දකින්නට නොලැබේ. ඒ නිසා සියල්ලෝම හිසේ කරගැට එන තුරු කල්පනා කරන්නේ, වාද විවාද කරන්නේ මේ පිළිබඳවය.
එහෙත්, මීට වසර සියයකට පෙර සිදු වූ එක්තරා ඓතිහාසික සිදුවීමක් විසින් මේ සියලු ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳිය හැකි විසඳුමක් හුදු සංකල්පයක් හෝ සිද්ධාන්තයක් ලෙස නොව මහ පොළොවේ ප්‍රායෝගික යථාර්ථයක් ලෙස ඉදිරිපත් වූ බව අද බොහෝ දෙනා විසින් අමතක කර තිබේ. නැතහොත්, හිතාමතා අමතක කර දමා තිබේ. එනම්, ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයයි. 1917 ඔක්තෝබර් 25 වැනි දින එම විප්ලවීය බල පෙරළිය දිනය ලෙස සැලකේ. පැරණි රුසියානු දින දර්ශනය අනුව ගත් විට මෙය වර්තමාන නොවැම්බර් 07 ලෙස සලකනු ලබයි.
සියවසක් ගත වූ මේ අතිශය වැදගත් සිදුවීම අළලා විශේෂ සමරු වැඩසටහනක් ලොව පුරාමත්, අප රටේත් ප්‍රගතිශීලි ව්‍යාපාරයන් විසින් පවත්වනු ලබයි. සැබැවින්ම ලොව ගමන් මග වෙනස් කරනු ලැබූ මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳ කොතෙක් කතාබහ කළත් ප්‍රමාණවත් නොවන තරමට එය වැදගත් වෙයි.
රුසියාවේ සාර් රාජවංශික පාලනයේ පැවති ජනතා පීඩාවට හා අත්තනෝමතිකත්වයට එරෙහිව වාමාංශික හා දක්ෂිණාංශික කොටස් ගෙන ගිය අරගලය කෙළවර වූයේ 1917 පෙබරවාරියේ සාර් රජ පෙළපත බලයෙන් පහ කර දැමීමෙනි. එය රුසියාවේ ධනේශ්වර විප්ලවය ලෙස හැඳින්වෙයි. එයින් බලයට පත් වූයේ ධනපති කණ්ඩායම් සහ ඔවුන් සමඟ හවුල් වූ වාම කණ්ඩායම්ය. එයට බොල්ෂෙවික්වරුන් හවුල් වූයේ නැත. එහෙත්, මෙම හවුල් පාලනයට ද ජනතා ප්‍රශ්න විසඳීමට හැකි වූයේ නැත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1917 ඔක්තෝබරයේ ලෙනින් ඇතුළු බොල්ෂෙවික්වරුන් අතට බලය හිමි වීමයි. මෙම බල හුවමාරුව ධනපති පාලකයන් අතින් ගොවි, කම්කරු පීඩිත බලවේග අතට බලය ලබා ගැනීමක් ලෙස සිදු වූ අතර, එවැනි පරිවර්තනයක් සමාජවාදී විප්ලවයක් ලෙස හඳුන්වයි. ගිලිහුණු තම බලය යළි උදුරා ගැනීමට ධනපති හා වාමාංශික අවස්ථාවාදී කණ්ඩායම් කළ හැකි සෑම දෙයක්ම කළ අතර. යුරෝපයේ සහ බටහිර පිහිටි ධනපති රාජ්‍යයන්ගේ සහාය උපරිම වශයෙන් ඊට යොදා ගත්හ. මෙය ප්‍රතිවිප්ලවය ලෙස හැඳින්වුණු අතර, වසර දෙකක පමණ දික්ගැස්සුණු සිවිල් යුද්ධයක් මේ නිසා ඇති විය. එහිදී බොල්ෂෙවික්වරුන් විශාල ප්‍රමාණයකට ජීවිත පරිත්‍යාග කිරීමට සිදු විය.
කෙසේ නමුත්. සියලු දුෂ්කරතා විඳිමින් පොදු ජන යහපත අරමුණු කර ගත් සම්පූර්ණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සෝවියට් සමූහාණ්ඩුව පියවර ගනු ලැබිණි. ආර්ථීක ප්‍රතිලාභ පොදු ජනතාව අතර ඛෙදී යන ආර්ථීක වැඩපිළිවෙළක් සකස් කරනු ලැබිණි. මහා පරිමාණ සමූහ ගොවිපළ, කර්මාන්ත බිහි කරනු ලැබිණි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර ආදී මූලික මිනිස් අවශ්‍යතා සපුරාලීම තහවුරු කරන වේගවත් වැඩසටහන් සකස් විය. නගර හා ගම්මාන සැලසුම්, නව විද්‍යාත්මක පර්යේෂණ දියත් විය.
ජනතාව මත පටවා තිබූ විවිධ අසාධාරණ නීති, බලහත්කාරයන් අහෝසි කර දමනු ලැබීය. බලහත්කාරයෙන් යටත් කරගෙන සිටි ජාතීන්ට නිදහස ලබා දෙනු ලැබිණි. ජාතිකත්වය, ආගම, කුලය, හමේ වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ අන් කිසිදු හේතුවක් නිසා මිනිසුන්ට වෙනස්කම් කිරීම තහනම් කරනු ලැබිණි. ස්ත්‍රී අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් තහවුරු කරනු ලැබිණි.
එපමණක් නොව දෙවැනි ලෝක යුද සමයේ දී ලොව ම ගිල ගනිමින් හිස එස වූ හිට්ලර්ගේ නාසි ජාතිවාදී යුද බලය සම්පූර්ණයෙන් පරාජය කර දමන ලද්දේ ශ්‍රේෂ්ඨ සෝවියට් රතු හමුදා බලය විසිනි. ඒ වෙනුවෙන් දිවි දුන් සෝවියට් ජනතාව කෝටි දෙකකි.
මෙම දැවැන්ත සමාජ පරිවර්තන කාර්යයේ තර්කානුකූල ප්‍රතිඵලය වූයේ අධ්‍යාපනයෙන්, නවීන සොයාගැනීම්වලින්, අභ්‍යවකාශ තරණයෙන්, ක්‍රීඩාවෙන්, ආර්ථීක සංවර්ධනයෙන් ලොවම මවිතයට පත් කරවන සෝවියට් ජනතාවක් බිහි වීමය. සැබැවින්ම දශක කීපයක් තුළ සෝවියට් දේශය ලොව මහා බලවතුන් දෙදෙනාගෙන් කෙනෙකු බවට ද පත් විය.
එපමණක් නොව සෝවියට් සමාජවාදයේ ආභාශයත්, ආදර්ශයත් විසින් හෙළි කළ මඟ ලොව වෙළාගෙන පැවති යටත්විජිත පීඩනය, වර්ණභේදවාදය, ස්ත්‍රීන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ආදියට එරෙහි මහා අරගලයක් බවට පත් විය. අධිරාජ්‍යවාදීන්ට පවා මානව හිමිකම් ආරක්ෂා කරන බවට ප්‍රඥප්ති සැකසීමටත්, යටත්විජිතයන්ට නිදහස ලබා දීමටත් මෙම තත්ත්වයන් බල කරනු ලැබිණි.
1917න් පසු මුහුණ දුන් විශාල සිවිල් යුද්ධයත්, සතුරු වෙඩි ප්‍රහාරයකින් ලෙනින් 1924දී මිය යාමත් ආදී තත්ත්වයන් මත රුසියානු පාලන ක්‍රියාවලිය සැබෑ මාක්ස් – ලෙනින්වාදී ප්‍රතිපත්තිවලින් පීලි පැනීමක් සිදු විය. ඒ තුළ නිලධාරීවාදී, අවස්ථාවාදී ප්‍රවණතා මතු විය. මෙම දැවැන්ත ජනතා ජයග්‍රහණය වනසා දැමීමට කැසකවමින්, කුමන්ත්‍රණ එක පිට එක සිදු කරමින් සිටි අධිරාජ්‍යවාදයට එය පිටිවහලක් විය. 1990දී සෝවියට් දේශය බිඳවැටෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
එහෙත්, එම ශ්‍රේෂ්ඨ ආදර්ශය තුළ ලොවට ලබා දුන් දායාදයන් අති මහත්ය. අදත් ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැතැයි කියමින්, කෙස් පලන තර්ක කරන, අඳුරේ අතපත ගාන සියලු දෙනාට ඔක්තෝබර් විප්ලවය තරම් අත්දැකීම් ගත හැකි, ඉගෙන ගත හැකි, ආදර්ශයන් ගත හැකි අන් තැනක් නැති තරම්ය. මුළු මහත් මානව සංහතිය තම ඉදිරිමග තීරණය කිරීමේදී සියවසකට පෙර සිදු වූ මෙම සුවිශේෂී සිදුවීමේ අත්දැකීම උකහා ගත යුතුව තිබේ.