හා….හා…. යට ඇඳුමේ පාටත් අපි දැන් දන්නවා…

saim iii
ආණ්ඩුව සයිටම් හොර ජාවාරම රැකීමේ රහස…
November 1, 2017
z_p06-Conduct
අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි
November 1, 2017
Show all

හා….හා…. යට ඇඳුමේ පාටත් අපි දැන් දන්නවා…

ඩdfg

නංගි පෙන්නා අක්කා දෙන කතාව ලංකාවේ කොයි කාටත් හොඳින් අසා පුරුදුය. දැන් මෙරට සිදු වන බොහෝ දේවල් වල දකින්නට ඇත්තේද එයයි. ආණ්ඩුව පෙන්නන්නේ එකකි. එහෙත් කරන්නේ තවත් එකකි. කොහොමටත් කියන දේ ඒවායේ ඇත්තේම නැත. ජනතාවට කොළේ වසා ගැසීම දැන් ආණ්ඩුවේ එකම ක්‍රමය බවට පත් වී තිබේ. තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම වෙනුවෙන් ජනතාවට බොරු කීම පමණක් නොව දැන් තම බලය පවත්වාගෙන යාමට සහ සදාචාර සීමාවන්ගෙන්ද ඔබ්බට ගොස් ජනතාව පාලනය කිරීමට දැන් ආණ්ඩුව බිහිසුණු සැලසුම් දියත් කරමින් සිටියි.
පසුගිය කාලයේ වඩාත් කතාබහට ගැණුණු ඉලෙක්ටොනික් හැඳුනුම්පත මෙවැනි එක් සැලැස්මකි. එම හැඳුනුම්පත් සැලැස්මට අනුව ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියල්ලන්ගේම ජාතික නාමලේඛනයක් සකස් කිරීමට සූදානම් කර තිබේ. මෙම ජාතික හැඳුනුම්පතට මෙතෙක් කල් ඇතුළත් කර තිබූ නම, ලිපිනය, උපන් දිනය වැනි තොරතුරු වලට අමතරව පවුලේ තොරතුරුත්, විවාහයන්, දික්කසාදයන් පිළිබඳ පමණක් නොව ඒ පුද්ගලයාගේ ජෛවමිතික ලක්ෂණ (Biometric Data) ඇතුළත් කිරීමට නියමිතය.
මෙතෙක් කල් මෙරට පුරවැසියන්ගේ තොරතුරු පැවතියේ ඒ ඒ ක්ෂේත්‍ර වල වෙන් වෙන් වශයෙනි. ඉඩම් ලියාපදිංචිකිරීමේ කාර්යාලයේ ඉඩම් පිළිබඳ තොරතුරු තිබුණි. මෝටර් රථවාහන ලියාපදිංචි කාර්යාලයේ රථවාහන පිළිබඳ තොරතුරු තිබුණි. එහෙත් මේ හැඳුනුම්පතත් සමග යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු, පවුලේ අනෙකුත් අයගේ තොරතුරු, තිඛෙන වාහන පිළිබඳ තොරතුරු පමණක් නොව හිමිකාරිත්වය තිඛෙන ඉඩම් හා වත්කම් පිළිබඳ තොරතුරු පවා එක් තැනකින් ලබා ගත හැකි වේ. කොටින්ම කියනවානම් එතනින් පසු තවත් ආරක්ෂා කරන්නට ඇත්තේ හිතේ තියෙන දේ පමණකි. අනෙක් සියල්ල ජනසතු කර අවසන්ය.
එය එතනින් අවසන් යයි හිත හදා ගන්නට සිතන්නේ නම් එයද එසේ නොවන බව පෙන්වමින් දැන් සූදානම් වන්නේ යන එන තැන් ද නිරීක්ෂණය කිරීමටය. ඒ සැලසුම එළියට පනින්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහාය. ඒ අනුව ඕනෑම මෝටර් රථ වාහනයක් තිඛෙන ස්ථානය, ගමන් කරන දිශාව ආදී සියලූ තොරතුරු ලබාගත හැකි චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය. මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්ට්‍රානික උපකරණයක් තුළ බහා ඇති අතර වසර ගණනාවක් බලය දෙන කුඩා බැටරියකින් පණ ගැන්වේ.
පසුගිය කාලයේ වනජීවී නිලධාරීන් වල් අලි ගමන් කරන දිශාවන් හඳුනාගැනීමට අලින්ට පැළඳූ ගැජට්ටුවට සමාන ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම උපකරණය වාහනයක් තිඛෙන ස්ථානයක් දැන ගැනීමට අමතර, කොපමණ වේලාවක් නතර කර තිබේද, ගමන් කරන දිශාව කුමක්ද, මේ වෙලාවේ යන්නේ කොතැනකටද ආදී රහස්‍ය තොරතුරු පවා ලබාදීමට සමත්ය. පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැකිය.
තත්ත්වයේ බරපතළකම තේරෙන්නේ එවිටය. ලංකාවේ පොලිසියේ සදාචාරසම්පන්න කම ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. රුපියල් සීයට නීතිය නවන රාලහාමිලාගේ පටන් සර්ගේ දුරකථන ඇමතුමට නීතිය දෙකටම නවන පොලිස්පතිවරයා දක්වා පොලිසියේ නීතිගරුක භාවය ඔවුන් විසින්ම රටට පෙන්වා ඇත. දැන් ලංකාවේ ඕනෑම පුරවැසියෙකුගේ සියළු පෞද්ගලික තොරතුරු පරිශීලනය කිරීමට ඔවුන්ට දෙන්නට යයි. පොලිසිය පමණක් නොව අනෙකුත් ආයතන වල කෙරුවාවන් පිළිබඳව ද මෙරට ජනතාවට අලුතෙන් කියා දෙන්නට දෙයක් නැත.
එහෙත් මේ හතරවරං නීති ගෙන එන්නවුන් කියන්නේ මේ කතාව නොවේ. අක්කා පෙන්නනවා වෙනුවට පෙන්නන්නේ නංගීය. ඔවුන් කියන්නේ මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇති බවයි. මුලින්ම අලුතින් ලියාපදිංචි කරන රථවාහන සඳහා ද පසුව මෙතෙක් ලියාපදිංචි කළ වාහන සඳහා ද නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.
කිසිදු වග විභාගයකින් තොරව මෙවැනි නීති ගෙන ආවද මෙය 1948 එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශයට මුළුමනින්ම විරුද්ධය. එමෙන්ම 1966 සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන ප්‍රඥප්තියට මුළුමනින් විරුද්ධය. විමතිය දනවන කරුණ වන්නේ මේ ප්‍රඥප්ති දෙකටම ලංකාව අත්සන් තබා තිබීමයි.
ලංකාවේ සිවිල් නීතියේ දිලික්ක නීතිය යටතේ මීට විරුද්ධව අධිකරණයට යා හැකිය. යම් පුද්ගලයකු අපරාධකරුවකු හෝ සැකකරුවකු නම් අධිකරණ නියෝගයක් ලබාගෙන මෙසේ ඔහු යන එන ගමන් පරීක්ෂා කළ හැකිය. එසේ නොමැතිව මෙවැනි දේ සිදු කිරීමට නීතියෙන් හෝ අවකාශයක් නොමැත. ඒ අනුව මෙය සම්පූර්ණයෙන්ම රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමකි.
ලෝකයේ වෙනත් රටවල් වල පොලිසිවලට හෝ ආරක්ෂක අංශයන්ට හෝ උසාවි නියෝගයක් නොමැතිව කිසිදු වාහනයකට traking device සවි කිරීමට හැකියාවක් නොමැත. ඒ තාක්ෂණය නොදන්නා නිසා නොවේ. මෙවැනි දෙයක් අවශ්‍යනම් ඕනෑම කෙනෙකුට තමන්ගේ වාහනයට එවැන්නක් සවි කර ගැනීම සඳහා gps device දැන් ඉතා කුඩා මිල ගණන් වලට මිල දී ගැනීමේ හැකියා ඇත. එහෙත් මේ කරන්නට යන්නේ එක් පසෙකින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ගමන්ම මිනිස්සුන්ගේ ඇඟට බලෙන් දෙයක් පටවල ගානක් කඩා ගැනීමටද උත්සාහ දැරීමයි.
ලෝකයේ මොකක් හරි අටමගලක් සොයා ගත්තොත් කීයක් හරි ගරාගන්නා වැඩකට ඒවා මෙරටට හඳුන්වා දී බලෙන් ජනතාවගේ ඇගේ ගහන බලධාරීන්ට මේවා නොතේරෙනවා වන්නට ඇත. එසේ නොමැතිනම් මේවායේ යටි සැලසුම් ඔවුන් නොදන්නවා විය හැකිය. ඒ නිසා තේරෙන සිංහලෙන් කියනවානම් traking system තියෙන්නේ අවශ්‍ය විටෙකදී උපයෝගී කරගන්නටය. පොලිසි තියෙන්නේ ආරක්ෂාවටය. සියල්ල විද්‍යුත් තාක්ෂණයෙන් නිරීක්ෂණ කරන්නට දිය හැකිනම් පොලිසියක් අවශ්‍ය වන්නේ නැත. CCTV වුවද ලෝකයේ වෙනත් රට වල භාවිතා කරන්නේ ජනතාවගේ අනුමැතිය ඇතිවය. එසේ නොමැතිව කෙනෙකුගේ හැසිරීම් පවා නිරීක්ෂණය කිරීම සදාචාර විරෝධීය. එහෙත් එවන් වූ සදාචාරයක් රකින්නට මෙවැනි යෝජනා ගෙන එන්නන්ට සිතනන්ටවත් බැරි බව අමුතුවෙන් කිව යුතු නොවේ. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයක් නැති කරමින් නගරවල හිරකාරයන් බව පත් කරන්නට යන්නේ ඒ නිසාය.
කෙසේ වෙතත් යටට අඳින එකේ සයිස් එකේ සිට සබ්බ සකලමනාවම හැඳුනුම්පතට එකතු කර, යන එන සියලු තැන් නිරීක්ෂණය කරන්නට සූදානම් වෙද්දී ඒවා සියල්ලට නිහඩව එකඟ වනවාද, එසේ නැතිනම් ඒවා නතර කරන්නට මැදිහත් වනවාද යන්න මෙරට හුදී ජනතාව විසින් තීරණය කළ යුතු කාරණයකි.


එස්. කේ. ගමගේ