අප්‍රිකානු කලාපය තුළ බරපතළ මානවීය අර්බුදයක්

ලුsdbv
බෙහෙත් තුණ්ඩුවෙන් ජීවිතය මැනීම
November 7, 2017
ස්ට්‍රිasedg
ලෝකයට තවත් ලාබාල නායකයෙක් බිහිවන ලකුණු
November 7, 2017
Show all

අප්‍රිකානු කලාපය තුළ බරපතළ මානවීය අර්බුදයක්

ලුsdg

අප්‍රිකානු කලාපය උණුසුම් කරමින් සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක පසුගිය 14 වන දින රාත්‍රියේ සිදු වූ දැවැන්ත බෝම්බ පිපිරීමෙන් 230 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ලොරියක් සංචාරක හෝටලයක පිවිසුම ආසන්නයේ දී එම බෝම්බ පුපුරවා හැරි අවස්ථාවේ තවත් සිය ගණනකට තුවාල සිදු විය.
ඉස්ලාමීය අල් ෂහාබ් සංවිධානය 2007 දී සිය ත්‍රස්ත ක්‍රියා ආරම්භ කළ අවස්ථාවේ සිට සෝමාලියාවේ එල්ල වූ දරුණුම බෝම්බ ප්‍රහාරය මෙයයි. ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින් දැයි තවමත් පැහැදිලි නැතත්, මොගඩිෂු අගනුවර අල් ෂහාබ් කැරලිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයකි. ප්‍රහාරයෙන් සෆාරි හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, බොහෝ දෙනා තවමත් එහි සුන් බුන් අතර සිර වී සිටිති. පළමු බෝම්බයෙන් පසුව පුපුරා ගිය තවත් බෝම්බයකින් දෙදෙනෙකු මරුමුවට පත්වී ඇති බවද බලධාරීහු සනාථ කළහ.
එසේම කෙන්යාවේ දැනට සති දෙකක පමණ කාලයක් තිස්සේ පවතින බරපතළ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඇති වී තිඛෙන උද්ඝෝෂණ සහ ඒවා මර්දනය කිරීම් ගණනාවක් වාර්තා විය. රට පුරා විවිධ පළාත්වලින් වාර්තා වන උද්ඝෝෂණ අතරවාරයේ බුන්ඩෝ නගරයේ පොලිස් ස්ථානයක් වෙත විරෝධතා පා ගමනක නියැලී සිටි ජනතාව වෙත ජීව උණ්ඩවලින් වෙඩි තැබීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත්විය. මිගොරි නගරයෙන් වාර්තා වන්නේ 73 හැවිරිදි කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් පොලිසිය විසින් වෙඩි තබා මරා දමා ඇති බවයි. නයිරෝබි අගනුවර පවතින්නේ ද දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකි. මේ අතර කිසුමු නගරයේ නියලෙන්ඩා ප්‍රදේශයේ පිහිටා තිඛෙන ළදරු පාසලකටද පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් මේ නිසා රෝහල් ගත කිරීමට සිදු වී තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය අගෝස්තුවේ පටන් මේ දක්වා හටගත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලින් අවම වශයෙන් 37 දෙනෙක් මේ වන විට මරණයට පත් ව තිබේ. කෙන්යානු රජය විසින් සාමය කඩකරන විරෝධතා තහනම් කර ඇති අතර, එය විරුද්ධ පක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක් වෙමින් තිබේ.
මේ ආකාරයෙන් අප්‍රිකානු කලාපය තුළ රටවල් ගණනාවකම විවිධ ආකාරයේ ගැටුම් නිර්මාණය වී තිබේ. ඇතැම් ඒවා දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඒවා වන අතර ඇතැම් ඒවා මෑතකදී පැණ නැගුණ ඒවාය. එක් පසෙකින් යුද වාතාවරණයක් උත්සන්න වෙද්දී තවත් පසෙකින් අප්‍රිකානු කලාපය පුරා බිහිසුණු සාගත සහ නියං තත්ත්වයක් වර්ධනය වෙමින් තිබේ. යේමනය, සෝමාලියාව, දකුණු සුඩානය සහ නයිජීරියාව යන රටවල කෝටි දෙකකට අධික පිරිසක් හාමතින් සහ සාගතයෙන් පෙළමින් සිටිති. මේ වසර තුළ දරුවන් දාහතර ලක්ෂයක් සාගින්න හේතුවෙන් මිය යෑමේ අවදානමක සිටින බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දැනටමත් අනතුරු අඟවා තිබේ. එම තත්ත්වය වළකා ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමූහික ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එම පුද්ගලයන් කුසගින්නෙන් සහ ලෙඩරෝගවලට ගොදුරුවී මිය යනු ඇති බව සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි 2017 වසරේ මේ දක්වා මූල්‍යාධාර වශයෙන් ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ නවසීයක් පමණි.
හුති කැරලිකරුවන් සහ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයේ සහාය ලබන ආණ්ඩුවේ හමුදා අතර වසර දෙකක් පුරා පවතින යුද ගැටුම් හමුවේ එක් කෝටි අනූ ලක්ෂයක් නැතිනම් යේමනයේ ජනගහනයෙන් තුනෙන් දෙකකට යම් කිසි ආකාරයක මානවීය ආධාර අවශ්‍යව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත. යේමනයේ ආණ්ඩුවට සහාය ලබා දෙන සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය විසින් පනවන ලද නාවික සම්බාධක හේතුවෙන් 2015 වසරේ සිට එරටට සිදු කෙරෙන ආනයන විශාල වශයෙන් අඩු වී තිබේ. එමෙන්ම ඉන්ධන හිඟය, අනාරක්ෂිතභාවය සහ වෙළඳපොළවල් සහ මාර්ගවලට අලාභ හානි සිදු වීම හේතුවෙන් සැපයුම් ඛෙදා හැරීමට බාධා එල්ල වී තිබේ.
දකුණු සුඩානයේ ලක්ෂයක් ජනතාව සාගින්නට මුහුණ දී සිටින බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය තවත් දස ලක්ෂයක් සාගතය අද්දර සිටින බවට අනතුරු අඟවයි. සමස්තයක් වශයෙන් දකුණු සුඩානයේ ජනගහනයෙන් සියයට හතළිහකට නැතිනම් හතළිස් නව ලක්ෂයකට ඉතා ඉක්මනින් ආහාර, පෝෂණ සහ කෘෂි ආධාර ලබා දිය යුතු බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.
2013 වසරේ සිට දකුණු සුඩානයේ පවතින සටන් යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති අතර නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම, සහ ඌන සංවර්ධනය නිසා ආධාර ලබා දීමට බාධා සිදු වෙමින් තිඛෙන අතර ආණ්ඩුවේ හමුදා හෝ ත්‍රස්ත කණ්ඩායම් ආධාර රැගත් රථ සහ ගබඩා වලට ප්‍රහාර එල්ල කරන බවට හෝ කොල්ලකන බව වාර්තා වේ.
ඊසාන දිග නයිජීරියාවේ පවතින නොවිසඳුණු ව්‍යසනය එක්සත් ජාතීන් විසින් හඳුන්වනු ලබන්නේ මහද්වීපයේ පවතින මහා අර්බුදය ලෙසය. බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම විසින් පහළොස් දහසක් ඝාතනය කරනු ලැබ ඇති බව වාර්තාවන අතර ඔවුන් විසින් විසි ලක්ෂයකට අධික පිරිසක් ගම්බිම්වලින් පලවා හරිනු ලැබ තිබේ.
අප්‍රිකානු කලාපයේ රටවල් තුළ ඇති වී තිඛෙන ගැටුම් වලට පමණක් නොව පාරිසරික අසමතුළිතතා වලට පවා අධිරාජ්‍යවාදී මැදිහත්වීම් අඩු වැඩි වශයෙන් බලපා ඇති බව පැහැදිලිව ඔප්පු වී තිඛෙන කාරණාවකි. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජනපදය පමුඛ අධිරාජ්‍යවාදී පෙරමුණ දැන් කළ යුතුව ඇත්තේ මරණය පෙනි පෙනී සිටින අප්‍රිකානුවන්ට යන්තමින් හෝ සහනයක් වීමට මැදිහත් වීමයි. එහෙත් එවැනි පියවරක අවමය හෝ සිදු කිරීමට තමන් සූදනම් නැති බවත්, පොදුවේ වර්ධනය වෙමින් තිඛෙන අර්බුදයන් හමුවේ තමන්ගේ ඇඟ බේරා ගැනීම තම ප්‍රධාන කාර්යය බවත් ඇස් පනාපිට පෙන්වමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල් හතට අයත් පුරවැසියන් ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. මෙම තහනම සරණාගතයන් ඇමෙරිකාවට ඇතුල්වීම නැවැත්වීම ඇතුළු පුළුල් ආගමන පාලන වැඩපිළිවෙළක කොටසකි. එපමණක් නොව ජනාධිපති ට්‍රම්ප්ට මේ රටවල් ලැයිස්තුව නම් කිරීම සඳහා හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ පාලන කාලයේ සිට පැවති ඇතැම් සීමාකිරීම් උපකාරී වී ඇති බවක් පෙනී යයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ වීසා තහනම් ලැයිස්තුවට අයත් රටවල් හත 2015 වසරේ රිපබ්ලිකන් පක්ෂයේ මෙහෙයවීමෙන් පැවති වීසා බලපත් නිකුත් කිරීම පිළිබඳ වූ සමුළුවකදී සම්මත කරගත් නීතියකට අනුව අවදානම් රටවල් ලෙස නම්කෙරුණු ඒවා වේ. 2015 වසරේ දෙසැම්බර් මාසයේ පැවති එම සමුළුවේදී රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙපාර්ශ්වයටම අයත් සෙනෙට් සභිකයන් එක්ව සම්මත කරගත් නීතියක් පසුව ධවල මන්දිරය විසින් අනුමත කොට අත්සන් තබනු ලැබිණි.
පනවා ඇති සීමාවන්ට අනුව වීසා නොමැතිව ඇමෙරිකාවේ සංචාරය කිරීමට අවසර ඇති රටක පුරවැසියෙකු වුවද ඉහතකී රටවල සංචාරය කර ඇත්නම් ඔවුන්ට ඇමෙරිකාවට ඇතුල්වීම සඳහා වීසා අයදුම් කිරීමට බල කෙරේ.
ඔබාමා පාලනය විසින් වීසා අත්හැරදැමීමේ වැඩසටහනට සංශෝධන එක්කර Terrorist Travel Prevention Act නමින් නව නීති කෙටුම්පත් සකස්කිරීමට කටයුතු කළේ 2015 වසරේ පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය. එහෙත් එය අදාළ රටවල් හතෙන් එන සියලුම සංචාරකයන්ගේ වීසා තහනම් කෙරෙන ට්‍රම්ප්ගේ පුළුල් නියෝගයට වඩා වෙනස්වූ එකකි. ඔබාමා පාලනය යටතේ වීසා තහනමට ලක්වූයේ වීසා නිදහස ලැබූ රටවලට අයත්ව සිටිමින් ඉහත කී රටවල් වල සංචාරය කර තිබූ අයට පමණි. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමාගේ ප්‍රතිපත්තියද ඉරාකයෙන් එන සරණාගතයන්ට වීසා දීම තහනම් කළ ඔබාමාගේ නියෝගයට සමාන වන බවය.
එක් පෙසෙකින් මැදපෙරදිග කලාපය ගිනි ගෙන දැවෙයි. තවත් පසෙකින් අපි්‍රකානු කලාපයේ මිනිසුන් යුද්ධයෙන් සහ
කුසගින්නෙන් මිය යමින් සිටිති. මේ සියල්ලට ගිනි තැබූයේ ඔවුන්ය. දැන් කිසිවක් නොකළ පරිද්දෙන් ඇඟ බේරා ගන්නට උත්සාහ දරන්නේ ද ඔවුන්ය. ඒ නිසා නියෝගය ඔබාමාගේ වුවත්, ට්‍රම්ප්ගේ වුවත් එහි කිසිදු වෙනසක් නැත. එයින් ජීවිතය ගැන බලාපොරොත්තුව පවා අහිමි වී තිඛෙන්නේ ජනතාවටය.


ධනංජය සූරියබණ්ඩාර