නාඋල රිලව් සහ බලධාරීන්ගේ රිලා නැටුම්

හෙවෙස්ස විදුහලේ
හෙවෙස්ස විදුහලේ ප්‍රධාන ශාලාව වැඩකට ගන්න බැහැ
November 7, 2017
ප්‍රභාතdzry
නිදහස් දුම්රිය ගමන් බලපත්‍රය කෝ..?
November 7, 2017
Show all

නාඋල රිලව් සහ බලධාරීන්ගේ රිලා නැටුම්

ස්ත්‍රිsdvg

මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත් වන ජනතාව මේ වන විට බරපතළ රිලා උවදුරකට මුහුණ දී ඇති බව දැනගන්නට ලැබේ. මෙම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 46ක මෙම රිලවුන්ගේ කරදරය ඉතාමත් බරපතළ ලෙස පවතී. ඈත කැලෑ වල සාමාන්‍ය ලෙස රංචු වශයෙන් සිටි රිලවුන් මේ වන විට ගම්වැදී ජනතාවගේ වගාවන්ට බරපතළ හානි පමුණවමින් තිබේ. විශේෂයෙන්ම මේ වන විට මේ රිලවුන් ජනතාව හපා කන මට්ටමට පවා පත්ව ඇත. රිලා ගහනය ක්‍රම ක්‍රමයෙන් වැඩිවීමත් සමග ජනතාව පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටය. විශේෂයෙන්ම ජනතාවගේ වගාවන්ට බරපතළ හානි පමුණුවමින් ඇත. ඊට අමතරව අවම වශයෙන් නිවෙස් හිමියන්ගේ ඇදුමක් පවා වැළක දැමීමට නොහැකි තත්ත්වයට මේ උවදුර මේ වන විට ඔඩු දුවා ඇත.
සමස්තයක් වශයෙන් ජන ජීවිතයේ එදිනෙදා කටයුතු සියල්ල මේ හේතුවෙන් අඩපණව ඇත. මේ තත්ත්වයට අමතරව වන අලි කරදරය, ඩෙංගු උවදුර විසින් ද මෙම ගම් වැසියන් බරපතළ පීඩාවකට පත්ව ඇත. මේ අර්බුදය පිළිබදව වසර ගණනාවක් තිස්සේ අදාළ බලධාරීන් දැනුම්වත් කර ඇතත් මෙතෙක් කිසිදු පිළිගත හැකි සාධාරණ විසදුමක් ලබා දී නැත. ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කළද ඉන් ද මෙම ජනතාවට විසදුමක් ලැබී නැත. අවසන් වශයෙන් වනජීවී නිලධාරීන් දැනුම්වත් කළද මේ සදහා නිශ්චිත පිළිතුරක් ලැබී නැත. මේ වන විට අදාළ ප්‍රදේශයේ ජනතාවට ගෙවල් දොරවල් අතහැර යන මට්ටමටම මේ අර්බුදය වර්ධනය වී ඇත. නාවුල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය දිගින් දිගටම බලධාරීන්ගෙන් මේ පිළිබදව මැදිහත් වන ලෙස ඉල්ලා සිටියද ඊට මැදිහත්වීමට බළධාරීන් මෙතෙක් කටයුතු කර නැත.
මේ තත්ත්වයට අදාළව බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලද තත්ත්වයක් තුළ පසුගිය ඔක්තෝබර් 14 වැනි සෙනසුරාදා මේ පිළිබදව නාවුල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ සදහා අදාළ ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් ද සහභාගී වූහ. මෙය දේශපාලන මුහුණුවරක් ගන්නා බව පවසමින් ඇතැම් නිලධාරීන් මග හැරීමට උත්සාහ ගත්තද ජනතාවගේ තෙරපුම මත ඊට සහභාගී වීමට අදාළ නිලධාරීන්ට සිදු වී ඇත. මේ පිළිබදව නාවුල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ආර්. ඒ. ඩී. ජයතිලක මහතා ප්‍රකාශ කළේ. ‘ඇත්තටම අපිට මේ රිලා ප්‍රශ්නය මුල් කරගෙන දේශපාලනයක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය මේ වන විට මේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින මේ රිලා කරදරයෙන් ජනතාව මුදා ගැනීමයි. අපි සංවිධානය වෙන්නේ මේ ප්‍රශ්නයෙන් ජනතාව නිදහස් කරගන්න මිසක් දේශපාලනයක් කරන්න නෙමෙයි. බලධාරීන්ට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු නැති වුණාම මේව දේශපාලන ප්‍රශ්න බව කියමින් මග හැරීමයි කරමින් ඉන්නේ. අපි බලධාරීන්ට කියන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය මග හරින්න අපි ඉඩ තබන්නේ නැහැ. මේව පටු දේශපාලන වුවමනාවක් බවට පත්කරගන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක සාධාරණය වෙනුවෙන් වන ජනතාවගෙ අරගලයක්. ජනතාව මුහුණ දෙන කරදරවලදී අපි කොන්දේසි විරහිතව ඉන් ජනතාව මුදා ගන්න පෙනී සිටිනවා.’
නාවුල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ මේ තත්ත්වය පිළිබදව බලධාරීන් ඇස් කන් පියාගෙන කටයුතු කරන බවයි. ඊට එරෙහිව ජනතාව සමග සංවිධානය වීම හැර අන් මගක් නොමැති බවද එම සංවිධානය පවසයි. කෙසේ වුවත් පැහැදිලිව පෙනෙන ඇත්ත වන්නේ නාවුල ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවයි. ආණ්ඩුව වන අලි ප්‍රශ්නය සම්බන්ධයෙන් ද, රිලා උවදුර සම්බන්ධයෙන් ද, ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ද වෙනත් ජනතාවට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන්ද නිසි වැඩ පිළිවෙළක් ඉදිරිපත් නොකරයි. ආණ්ඩුවට කිසිවකට වැඩපිළිවෙළක් නැතිවා සේම සත්ත්ව උවදුරු සම්බන්ධයෙන්ද වැඩපිළිවෙළක් නැති බව නාවුල රිලා ප්‍රශ්නය හමුවේද හොදින්ම ඔප්පු කර ඇති බව පැහැදිලිව පෙනේ.


එස්. කේ. ගමගේ