ශ්‍රීලනිපය කැකුණ තළන විට එජාපයට රජ මගුල්

ක්‍රීsfbg
උක්දඩු ගින්නට පෙර සෙවණගලට ගිය ගමනක්
November 7, 2017
ලුsdbv
බෙහෙත් තුණ්ඩුවෙන් ජීවිතය මැනීම
November 7, 2017
Show all

ශ්‍රීලනිපය කැකුණ තළන විට එජාපයට රජ මගුල්

බිදෙzsdvg

එකට කතත් බොක්ක වෙනස් කියලා කතාවක් තියෙනවා. ඒ වගේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාපය හා ශ්‍රීලනිපය දැන් ලහිලහියේ පළාත් පාලන මැතිවරණයට සූදානම් වෙන බව පෙනෙනවා. ශ්‍රීලනිපයේ මුළු බර මෛත්‍රී ජනපති අරගෙන තිඛෙනවා. අගමැති රනිල් එජාපයේ සංවිධාන ජාලය තර කරමින් ඉන්නවා.
ශ්‍රීලනිප ආසන සංවිධායකයන් පිරිසක් හමු වුණු මෛත්‍රී ජනපති මේ මැතිවරණය ගැන කියල තියෙනවා. සංවිධාන කටයුතු පිළිබදව උපදෙස් දෙමින් කියා තිඛෙන්නේ මේ ක්‍රමය යටතේ කිසිදු පක්ෂයකට තනිව පාලනය ගෙන යාමේ බලයක් නොලැඛෙන බවයි. රටේ ජනතාව නම් ඒක දැනගෙන බොහොම කල්.
මහින්ද රාජපක්ෂගෙ පොහොට්ටු පාර්ශ්වය වෙනම තරග කරන බව දැන් ස්ථීරයි. හදිසියේ ප්‍රාතිහාර්යයක් වුණොත් නම්, එය වෙනස් වේවි. උතුරු නැගෙනහිර හැර අනෙක් ප්‍රදේශවල සිංහල බහුතරය ජීවත් වන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල හිටපු ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගෙන් බහුතරය ඉන්නේ මහින්ද සමග බව පෙනෙනවා. මෛත්‍රී පාර්ශ්වයේ ආසන සංවිධායකයන් බොහොමයක් වගේම පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයන් බහුතරය නවක අය. කිසිම සොයාබැලීමක් නැතිව ගම්වල මිනිස්සු දහ දෙනෙක් අවනත කර ගැනීමට නොහැකි, දූෂණ, වංචා කොන්ත්‍රාත්වල යෙදුණු අයත් දැන් ශ්‍රීලනිපයෙන් තරග කිරීමට සූදානම් බව පෙනෙනවා.
දැන් ශ්‍රීලනිපය පරාජය කර ජනාධිපති වී යළි පක්ෂ සභාපතිකම ලබා ගත් ජනපති මෛත්‍රී දේශපාලනය එපා වී සිටි ගම්බද ශ්‍රීලනිප සාමාජිකයා දිනා ගැනීමට මොනවද කළේ ? පක්ෂය තුළ ඔඩු දුවා තිබූ දූෂණය, වංචාව නවත්වා, ඒ දූෂිතයන්ට විනයානුකූලව හෝ නීතිමය වශයෙන් දඩුවම් කළාද? අවුරුදු දෙකක් එජාපය ලබා දෙන කුමන හෝ ප්‍රතිලාභ සිය පාක්ෂිකයාට පමණක් ලබා දෙද් දී, ජනපති මෛත්‍රී කළේ කුමක්ද? ඊළගට එදා ජනතාවට පොරොන්දු වූ ප්‍රධානතම දේවල් හෝ ඉටු නොකර ගම්, නගර මට්ටමින් ඡන්දය ඉල්ලන්නේ කෙසේද? දැනට ශ්‍රීලනිපයට කිසිම සටන් පාඨයක් නැහැ. ඉස්සර නම් එජාපයට විරුද්ධව කතා කරන්න පුළුවන්කම තිබුණා. මහින්දගෙ කාලේ යුද්දෙ ඉවර කළා කියලා මතක් කර කර ඡන්දය ගත්තා. සංවර්ධනේ කියල ඡන්දෙ ගත්තා. ඒත් දැන් මෛත්‍රී යටතේ තියන ශ්‍රීලනිපයට ජනතාව ඉස්සරහට ගිහින් කියන්න දෙයක් නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ප්‍රධාන හෙංචයියන් රට පුරා ගෙන යන බොරු ප්‍රචාර, ජාතිවාදී, ආගම්වාදී කුමන්ත්‍රණවලට නිසි පිළිතුරු දීමට හෝ ඒ පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමට හෝ වැඩපිළිවෙළක් තිඛෙන බවක් පේන්න නැහැ. මේ විදියට ඡන්දය ඉල්ලීමෙන් ශ්‍රීලනිපය තවත් ඇදවැටෙන බව නොතේරෙන්නේ කාටද?
එමෙන්ම ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වය හා මහින්දගේ පොහොට්ටු පාර්ශ්වය වෙන්ව තරග වැදීමේ වාසිය හිමි වන්නේත් එජාපයට. ශ්‍රීලනිපයේ ඡන්ද පදනමෙන් විශාල කොටසක් මහින්ද සමග සිටින නිසා කවුරු කොහොම තර්ක ගොඩනැගුවත් මහින්ද වෙනම පක්ෂයකින් තරග කරන එකෙන් ශ්‍රීලනිපයේ ඡන්ද විශාල ප්‍රමාණයක් ඔහුගේ පැත්තට වැටෙනවා. මෛත්‍රීට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නු එක්සත් ජාතික  පාක්ෂිකයන් මෙවර ඔහු සම`ග සිටිනු ඇතැයි විශ්වාස කරන්නට බැහැ. ඒ නිසා මේ ඡන්ද කැඩෙන එකේ වාසිය එජාපයට යන බව නිසැකයි.
යම් විදිහකින් මේ තුන් කොන් සටනෙන් එක පාර්ශ්වයකටවත් තනිව පළාත් පාලන ආයතනවල පාලනය ලබා ගත නොහැකි වුණොත්, මහ ආණ්ඩුව වගේම එජාප – ශ්‍රීලනිප හා සුළු පක්ෂවල සහාය ඇතිව පාලනය ගෙන යාම දැන් යහපාලනයේ අරමුණයි. එතනදීත් වැඩි ඡන්දය ලබා ගන්නා එජාපයට වාසි වැඩියි. බොහෝ විට නගරාධිපති, සභාපති තනතුරු එජාපයට ඛෙදී යාමට ඉඩ වැඩියි.
ශ්‍රීලනිප මහලේකම් හා මේ සංවිධායකවරුන් තෝරන පිරිස හරියාකාරව සොයා නොබලා මොකෙක් හෝ දැමීමෙන් සිදු වන්නේ ඔවුන්ට තිඛෙන ඡන්ද ටිකත් අහිමි වීම පමණයි. එක් උදාහරණයක් දක්වන්නේ නම්, මහින්දගේ යුගයේ ‘සීනෝර්ආ’ යතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස සිටිමින් කෝටි ගණනක් දූෂණ සිදු කර ඇති බවට චෝදනා නැගෙන උජිත් අනුරාධ නම් අයෙක් මාතලේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධුරයට පසුගියදා පත් කරනු ලැබුවා. මහජන පක්ෂය, එජාපය, ප්‍රඑජා පෙරමුණ (රාජාලියා), හා තවත් පක්ෂ රැසක සිට වරින්වර ඡන්දය ඉල්ලා අන්ත පරාජය ලැබූ මෙවන් පුද්ගලයකු පත් කිරීමෙන් පක්ෂයට ලැඛෙන ඡන්ද ටිකවත් නොලැඛෙන බව නම් මාතලේ ජනතාවගේ මතයයි. දැනට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ බීසී/3755/2015 යටතේ ඔහුට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කෙරෙමින් පවතිනවා. ජනාධිපති කොමිසමද වෙනම පරීක්ෂණයක් දියත් කරනවා. මාතලේ ශ්‍රීලනිප දේශපාලනයේ අවසානය මේ පත්වීමත් සමග සනිටුහන් වන බව බොහෝ පාක්ෂිකයන් මේ වන විට පවසමින් සිටිනවා.
එදා මහින්දගේ ආණ්ඩුවේ අවසන් කාලයේ දී ආණ්ඩුව රකින්නේ තෙන්නකෝන්වරුන් ද එතනෝල්වරුන් දැයි ප්‍රශ්න කළේ ජනක බණ්ඩාර ඇමතිවරයාය. මහින්දගේ පාලනයෙන් විවිධ කෙනෙහිලිකම්වලට ලක් වෙමින් සිටි ඔහු මෛත්‍රීපාල සිරිසේන සමග පක්ෂයෙන් ඉවත් වන්නට සැරසී සිටි කණ්ඩායමේ ප්‍රමුඛයෙක්. මෛත්‍රී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ දා පාර්ලිමේන්තුවේ දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළ ඔහු, පසුව හදිසියේම නාඋල වේදිකාවක දී මහින්දට වැද, ශ්‍රීලනිපයේ පැරැන්නකු වූ තම පියා වූ ටී. බී. තෙන්නකෝන් ගැන කියමින් හඩා වැටී, මහින්ද සරණ ගියේය. පසුව මැතිවරණයෙන් ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ලක්ෂ්මන් වසන්ත මුල් තැනට එන විට ඔහු දෙවැනි තැනට ආ අතර, දැඩි මහින්දවාදියකු වූ ලක්ෂ්මන් හීන්සීරුවේ මෛත්‍රී ළගට ගොස් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගනිමින් ආසනයේ ශ්‍රීලනිප ප්‍රබලයා විය.
දැන් පසුගියදා ජනකගේ ගෙදර මහින්ද පාර්ශ්වයේ සියලුම සංවිධායකයන් කැදවා සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත් වන බවට ප්‍රසිද්ධ කළ ලයිස්තුවේ ලක්ෂ්මන් ද සිටි අතර, දැනට පවතින තත්ත්වය තුළ යම් හෙයකින් ලක්ෂ්මන් වසන්ත මහින්ද සමග යළි එකතු වුවහොත්, ජනක ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වීමට සාකච්ඡා කළ බව පැවසේ. මෙහිදී කට පණ ඇති ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු අපූරු ප්‍රශ්නයක් මතු කරමින් ‘එදා ජනක පරදින්නට හෝ මෛත්‍රී සමග සිටියා නම්, ජනාධිපතිවරණයෙන් පසුව හෝ ඔහු හා එක් වූයේ නම්, මේ වන විට ප්‍රබල ඇමතිකමක් දරනු ඇති බවත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා හා මාතලේ දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ලක්ෂ්මන් වසන්තට දූෂණ, වංචා චෝදනා ඉදිරිපත් කරමින් ඔහුව දේශපාලනයෙන් අතු ගා දැමීමට හැකියාව තිබූ හොදම අවස්ථාව නැති කර ගත් බවත්’ පවසා ඇත. එසේම දැන් අවසානයේ යළි යාමට සිදුවී ඇත්තේ මෛත්‍රී ජනාධිපතිවරයා ළගට නේ දැයි විමසා ඇත. මෙම දේශපාලන අලකලංචිය මාතලේ පමණක් නොව දිස්ත්‍රික්ක කිහිපයකම තිබේ.
ශ්‍රීලනිපයෙන් සංවිධායකකම් ලැබූ විවිධ චෝදනා ලැබූවන් අතරට පහුගිය කාලයේ දැඩි කතාබහට ලක් වූ නවගත්තේගම විදුහලක ගුරුවරියක් දණගැස්වූ මැර මන්ත්‍රීවරයා වන ආනන්ද සරත් කුමාරත් ඇතුළත්. එසේම ලංකාවේ විශාලතම කුඩු තොගය හසු වූ කන්ටේනරය නිදහස් කර ගැනීමට ලිපියක් ලබා දුන් හිටපු අගමැති ලේකම් කීර්ති වීරසිංහ නමැත්තා සහ තවත් බරපතළ අපරාධ චෝදනා ලැබූ අයකු වන ඉන්දික කෝරළගේ වැනි කිහිප දෙනෙකුම සිටිනවා. මහින්දගේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වීමට හේතු වුණු මෙවැනි පුද්ගලයන් නැවතත් තම තුරුලට ගැනීමෙන් ජනාධිපතිවරයාට ජනතා ප්‍රසාදය ලැඛෙන්නේ කෙසේද?
ආණ්ඩුවට සැබැවින්ම ඡන්දය පැවැත්වීමට අවශ්‍යතාවක් ඇත් නම් ලබන වසරේ මුල්ම මාස කිහිපයේ එය පවත්වනු ඇත. රටේ ප්‍රධාන පක්ෂ දෙක මෙසේ සටනට සූදානම් වෙද්දී ආණ්ඩුවේ නොහැකියාවෙන් හා වැරදි තීන්දු, තීරණ හා දේශපාලන දැක්ම නිසාවෙන් මහින්දගේ නඩය ද මැතිවරණයට සූදානම් වෙමින් සිටින බව පෙනෙනවා. ජාතිවාදී බවින් හා ආගම්වාදී බවින් මිඳී සිටීමට බැසිල් රාජපක්ෂ යම් උත්සාහයක් දරමින් සිටියත්, පැස්බරා ඔළුව වැල්ලේ හංගා ගත් විට පශ්චාත් භාගයම එළියේ මෙන් මේ අයගේ ද සැබෑ දුෂ්ට අදහස්, ඇවතුම් පැවතුම් වසා ගන්නට හැකි වන්නේ නැහැ. එක දැක්මක්, දර්ශනයක් නොමැතිව, එක නායකයෙකු නොමැතිව ඔවුන් මහින්ද රාජපක්ෂ හෝ වෙන යම් රාජපක්ෂවරයකු කෙළින් කිරීමට දගලනවා. ඔවුන්ගේ ගද ගහන අතීතය මේ කිසිවකින් වැළලෙන්නේ නැහැ.
ඊළඟට මෛත්‍රී ජනපති ද මහා මුදල් කන්දරාවක් වැය කරලා, ප්‍රදර්ශනාත්මකව වප් මගුල් පවත්වනවා. කුඹුරු අක්කර සිය ගණන් ගොඩ කෙරෙන අතරේ ගොවියන් වතුර, පොහොර නැතිව ලතවෙද්දී, කෘෂිකර්ම ඇමති මහජන මුදල් කෝටි ගණනින් තම මිත්‍රයාගේ ගොඩනැගිල්ල වෙනුවෙන් විනාශ කරන අතරේ තම සහෝදරයා රටේ ප්‍රධානම සහල් වෙළෙන්දාව සිටියදීත් ජාවාරම්කරුවන් අත ඇති සහල් මිල පාලනය කළ නොහැකිව තිබියදී, පිටරටින් හාල් තොග ගෙන්වද් දී, මේ වගේ පුහු වප් මගුල්වලින් කෘෂිකර්මය නංවන්න පුළුවන්ද? පොල්කට්ටෙන් තේ කහට බීලා පත්තරවල පොටෝ දැම්මාට රටේ කෘෂිකර්මය වළපල්ලට ගිහින් ඉවරයි. ඒකට රජරට ගොවි පුතාත් සෑහෙන පංගුවකින් වග කියන්න ඕනෑ. ඒ කාලේ සමහරු සපත්තු, අව්කණ්ණාඩි දමාගෙන වප් මගුල් කළා. මහින්ද රාජපක්ෂත් මේ වගේ සංදර්ශන උජාරුවට කළා.
ඒ අතර ළගදී මෛත්‍රී ජනාධිපති යාපනේ ගියා. ඒ වෙලාවේ නගරයේ කළු කොඩි දාලා උද්ඝෝෂණය කළා. ජනාධිපතිවරණයේදී මෛත්‍රීගේ ජයග්‍රහණය සදහා විශාල ශක්තියක් ලබා දුන් යාපනේ ජනතාව සහ මේ තාක් කාලයක් ජනාධිපතිවරයා විශ්වාස කරමින් සිටි දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් මේ අවස්ථාව වර්ජනය කළා. තමුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළ ජනතාවගෙන් ජනාධිපතිවරයාට එල්ල වුණේ බලවත් විරෝධයක්. ඒ විරෝධය පැනනැගුණු වෙලාවේදී ජනාධිපතිවරයා එම ජනතාව අතරට ගොස් කතා කළ බව පැවසෙනවා. බොහොම හොදයි. මේ ආකාරයටම සයිටම් විරෝධය, උමාඔය ගැටලුව ආදියෙන් පීඩාවට පත්ව සිටින මිනිසුන් දකුණේ දක්වන විරෝධතාවලටත් ගිහින් ඒ ප්‍රශ්න ගැන අහනවා නම්. මේවාත් අර මහින්දගේ කාලේ මාධ්‍ය ප්‍රදර්ශන විතරක් නම් මෛත්‍රී පරාදයි.
මේ අතරේ අර ශලීල මුණසිංහගෙ බැංකු හොරකම පිළිබද ප්‍රශ්නයත් රට පුරා කතා වෙනවා. දැන හෝ නොදැන පොදු අපේක්ෂකයත් තරග කරලා තියෙන්නෙ මේ බැංකු කොල්ලයට සම්බන්ධ පුද්ගලයාගේ පක්ෂයේ හංසයා ලකුණින්. දැන් හෙළිවෙලා තියෙන ආකාරයට විදේශ රටක පුරවැසිකම තියෙන මේ පුද්ගලයාගේ පක්ෂය මැතිවරණ නීති අනුව නීත්‍යනුකූලද? එසේ නීත්‍යනුකූල නොමැති නම් මෛත්‍රීගේ ජයග්‍රහණයට එය බලපෑමක් වෙනවාද? හැබැයි මේ සියල්ලටම පෙර මේ රටේ මැති ඇමතිවරු හා ඉහළ නිලධාරින්, ආයතන සභාපතිවරු වගේ ඉහළ පෙළේ අය කී දෙනෙක් විදේශ රටවල පුරවැසියන්ද කියල හොයල බැලීම වහාම කළ යුතු වෙනවා. ශලීල මුණසිංහ රවී කරුණානායක ඇමති කාලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමට අයත් කැනෝවින් හොටෙල් ඇන්ඩ් ස්පා පුද්. සමාගමේ විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කර තිඛෙනවා. කබීර් හෂිම් ඇමති මේ හෝටලයේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස නීතිඥ ශ්‍රී ලාල් දයානන්ද පත් කරනවා. මෙහි සිදු වූ දූෂණ – වංචා නිසා ඔහු ශලීල මුණසිංහගේ ගෝලයෝ දෙදෙනෙකු සේවයෙන් ඉවත් කරනවා. අගමැති රනිල්ට මේ ගැන පැමිණිලි කෙරෙන්නේ රවීගේ අවශ්‍යතාව මත නොව එජාපයේ අයට හිරිහැර කළා යැයි චෝදනා කරමින්. නීතිඥ ශ්‍රී ලාල්ට ගෙදර යන්න සිදු වෙනවා. දැන් අභ්‍යන්තර විගණන වාර්තා වලින් හෙළිවෙන කෝටි 5 ක පමණ දූෂණ – වංචා මේ හෝටලයේ සිදු වී තිඛෙනවා. මේ වගේ දේවල් ගැනත් ආණ්ඩුව හෙව්වොත් හොදයි.
කොහොමටත් ඉස්සරහට එන්නේ සම්මුතිවාදය බිදෙන, ඡන්ද පොරොන්දු වැහි වහින, මතවාද වැඩිවන කාලයක්. ජනපති මෛත්‍රීට අවශ්‍ය ආකාරයට අද වැඩ සිදුවන්නේ නැහැ. අගමැති රනිල් බලාපොරොත්තු වන ආකාරයට සියල්ල සිදු වීමටත් ජනාධිපතිවරයා බාධාවක්ව තිඛෙනවා. පොදු අපේක්ෂකයා ලෙස ඔහු දිනවූ ලක්ෂ 62 ජනතාවට බලාපොරොත්තු වූ ආකාරයට යහපත් කිසිවක් සිදුවන්නේත් නැහැ. එදා මැතිවරණයේදී මෛත්‍රී පරාජය කිරීමට අවශ්‍ය වූ, ඔහුට අපහාස උපහාස කළ අයට හා දූෂිතයන්ට, හොරුන්ට අවශ්‍ය ආකාරයට අද රට පාලනය වන බවක් අපට පෙනෙනවා. තමාව ප්‍රතික්ෂේප කළ ලක්ෂ 58 ක ඡන්දය ලබා ගැනීමට ජනාධිපතිවරයා දගලද්දී මේ විකාරරූපී රංගනවල අවසානයේදී මේ රටේ ජනාධිපතිවරු ලැයිස්තුවේ ජනතාවගේ වැඩිම අප්‍රසාදයට ලක් වූ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේනගේ නම ලියවෙන බව නම් සිකුරුයි.


ඩී. බී. ඇල්කඩුව