සමාජ ධුර නාම අහෝසි කෙරේ…

ඉතිහාසයේ දිනෙක මෙසේ සිදු විය
ඉතිහාසයේ දිනෙක මෙසේ සිදු විය
November 7, 2017
ක්ස්ගේssdegsed
සෝවියට් සුවඳ සදා සුවඳක් මැයි
November 7, 2017
Show all

සමාජ ධුර නාම අහෝසි කෙරේ…

dtjktyk

ඩකෝනින් විසින් බයිකොව් මොනස්ට්‍රියෙන් මුදාහල ජෙනරාල්වරුන් වන කොර්නිලොව්, ඩෙනිකින්, ලූකොමිස්කි ඇතුළු පිරිස රුසියාවේ දකුණු ප්‍රදේශය බලා ගොස් දොන් පෙදෙසේදී ඒ වනවිටත් එම ප්‍රදේශයේ බලය රඳවාගෙන සිටි ජෙනරාල් කැලඩීන් හා එක්වූ නමුත් සෝවියට් ආණ්ඩුවට ඔවුන්ගෙන් ක්ෂණික තර්ජනයක් එල්ල වූයේ නැත. ඒ සඳහා හමුදා සංවිධාන කරගතයුතු විය.
ලද අවසරයෙන් නව රජය අත්‍යවශ්‍ය අණ පනත් වහ වහා සම්මත කර ක්‍රියාවට යොමු කරන්නට විය.
නොවැ: 10 – හමුදාව අඩුකිරීමේ නියෝගය¦ ‘….. හමුදාව ක්‍රමානුකූලව අඩු කිරීමට සෝවියට් සභාව තීරණය කර තිබේ. ඒ අනුව 1899 සේවයට පැමිණි සියළු සෙබළ පුරවැසියන් ස්වේච්ඡා හමුදා අංශයට අනුයුක්ත කරනු ලැබේ. සෙසු වසරවල බඳවාගත් සෙබළුන් ගැන පසුව දැනුම් දෙනු ලැබේ. ….. ‘
සමාජ තත්වයන් අහෝසි කිරීමේ නියෝගය – නොවැ: 11 ….. ‘සිටුවරයා, වෙළෙඳ ව්‍යාපාරිකයා, කුමාරයා, මන්ත්‍රීවරයා වැනි සියළු සමාජ ධූරනාමයන් මෙතැන් සිට අහෝසි වන අතර සියල්ලන් රුසියානු සමූහ ආණ්ඩුවේ පුරවැසියන් ලෙස හඳුන්වනු ලැබේ……’
රාජ්‍ය පරිපාලනය කෙරෙහි පල්ලියේ බලපෑම ඉවත් කිරීම, අධ්‍යපනය ආගමේ බලපෑමෙන් ඉවත් කිරීම, විවාහය පිළිබඳ නව නීති පැනවීම, කාන්තා නිදහස පිළිබඳ ආඥාවන් ආදිය නව අණ පනත් අතර විය.
මේ අතර ප්‍රාදේශීය සෝවියට් සභා විසින් බලය අත්පත් කර ගැනීම ක්‍රමයෙන් රට පුරා සම්පූර්ණ වන්නට විය. මධ්‍යම කාර්මික ප්‍රදේශයේ වූ ව්ලැඩ්මීර්, පොඩොල්ස්ක්, කොස්ට්‍රොටමා වශයෙන් වූ ප්‍රදේශ ගණනාවක සෝවියට් සභා ඔක්තෝබර් විප්ලවයට පෙර සිටම බලය භුක්ති විඳිමින් තිබුණි. කැලුගා ප්‍රදේශයේ සෝවියට් සභාව බලය පවරාගනු ලැබූයේ නොවැම්බර් අන්තිමේදීය. තුලා ප්‍රදේශයේ දෙසැම්බර් මැදදී එය සිදුවිය. මේ ක්‍රියාදාමය රටපුරා පැතිරී ගොස් 1918 ජනවාරි වනවිට සම්පූර්ණ විය.
වැඩ වර්ජනය කර සිටි සිවිල් සේවා නිලධාරීන්ට නොවැ: 23 දින අවසන් නිවේදනය නිකුත් කරන ලදී. ඒ අනුව ඔවුන් 27 දින වනවිට සේවයට වාර්තා කළයුතු විය. එසේ නොවුවහොත් දැනටත් අඩ වැටුප් ලබමින් සිටි ඔවුන් විප්ලවීය අධිකරණයට යායුතු විය. ඇතැමුන් අත් අඩංගුවටද ගනු ලැබීය. 27 වන දාද නොපැමි‚ නිලධාරි තනතුරු සඳහා සෝවියට් හිතවාදී පහළ නිලධාරින් පත්කෙරිණි. එය අවස්ථාවේ හැටියට ගතහැකිව තිබූ පියවර වුවද පසුව හිතවාදී බව නිලධාරී තනතුරු පිරවීමේ ප්‍රධාන සුදුසුකම වීමේ සම්ප්‍රදායක් බිහිවීමට එය හේතු වූයෙන් අකාර්යක්ෂම හා දූෂිත නිලධාරි තන්ත්‍රයක උරුමය විඳීමට පසුකාලීන සෝවියට් දේශයට සිදුවිය. තීරණාත්මක ඔක්තෝබර් දිනවලදී පවා යුද හමුදාව තුළ පැවතියේ මීට වෙනස් ක්‍රමයක් බව ඔක්:28 දින පරාජිත ක්‍රැස්නොව්ගේ ඉතිරි හමුදා ශේෂයන් ලුහු බඳිමින් සිටි යුද හමුදා නිලධාරීන් මුණ ගැසුණු ජෝන් රීඩ්ගේ සටහනකින් හෙළි වේ. ‘…..ඔබ බොල්ෂෙවිකයෙක් නොවේද? ලුතිනන් වරයෙකුගේ උර ආයිත්තමෙන් සැරසී සිටි තරුණ නිලධාරියාගෙන් මම විමසීමි. මේසය වටා සිනාවක් පැතිරුණි. නැහැයි නිලධාරියා පිළිතුරු දුන්නේය. මේ රෙජිමේන්තුවේ ඉන්නේ එක බොල්ෂෙවික් නිලධාරියෙක් පමණයි. අද රාත්‍රියේ ඔහු ඉන්නේ පෙත්රොග්‍රාද්වලයි. මේ කර්නල්වරයා මෙන්ෂෙවික්වරයෙක්. අර ඉන්නේ කැප්ටන් කෙර්ලෝව්, එයා කැඩෙට් පාක්ෂිකයෙක්. මං දක්ෂිණාංශික සමාජවාදී විප්ලවවාදියෙක්. හමුදාවේ නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් බොල්ෂෙවිකයන් නොවේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය තබා සෙබළ ජනතාව අනුගමනය කළ යුතු බව මා මෙන්ම ඔව්හුද විශ්වාස කරති. ඉන්පසු මේසය මත සිතියමක් දිග හරින ලදී. ඒ සමඟම රෙජිමේන්තු කොමිටියේ සභාපතිවරයා කාමරයට ඇතුළු විය. දැන් අපේ අංශයෙන් කි.මීටර් 10 කොසැක්වරු පසු බැස ඇතැයි සිතියම දෙස බලමින් ලුතිනන්වරයා පැවසීය. අද රාත්‍රී ඔබ ඉන්න තැනම ඉන්න. ඒවා ශක්තිමත්ව තබා ගන්නැයි ඉන්පසු හෙතෙම කාමරයට පැමිණි සභාපතිවරයා දෙසට හැරී උපදෙස් දුන්නේය.
අපට ලැබී තිඛෙන නියෝග වලට අනුව අප හැකි තරම් වේගයෙන් ඉදිරියට යා යුතුයි. උදේ ගැචිනා වලට උතුරින් කොසැක්වරුන්ට පහර දිය යුතුයි. කරුණාකර අවශ්‍ය කටයුතු සලසන්නැයි එවිට කොමිටි සභාපතිවරයා පැවසීය. එවිට කර්නල්වරයා නැවත සිතියම දෙසට හැරුණේය. හොඳයි, නිල් පැන්සලකින් සිතියමේ ඉරි වලින් ලකුණු අඳිමින් ඔහු නියෝගය නිකුත් කෙළේය. සාජන්ට්වරයෙක් ඒවා ලඝු ලේඛන ගත කෙළේය. විනාඩි 10 න් නියෝගය ටයිප් කර සභාපතිවරයාට දුන්නේය. ඔහු නියෝගය බලා සිතියමද අධ්‍යනය කොට නැගිටිමින් සේරම හරියි පැවසීය.’
ජාතීන්ගේ ස්වයං තීරන අයිතිය පිළිබද නොවැ:02 දිනැති ආඥාව අනුව යමින් නොවැ:23 දා පින්ලන්තයද, නොවැ: 28 දා ලිතුවේනියාවද, දෙසැ:02 දා ලැට්වියාවද, ජන:09 දා යුක්රේනයද, පෙබ:24 දා එස්තෝනියාවද, අප්‍රේ:22 දා ට්‍රාන්ස්කොකේසියාවද, 1918 නොවැ:03 දා පෝලන්තයද වශයෙන් රුසියානු අධිරාජ්‍යයෙන් වෙන් වූ ස්වාධීන රාජ්‍යයන් බිහිවිය.
නොවැ: මැදදී සමස්ත රුසියානු ගොවි සෝවියට් සම්මේලනය කැඳවන ලදී. එය කැඳවන ලද්දේ ස.වි. පක්ෂයේ දක්ෂිණාංශය විසිනි. අරමුණ වූයේ කම්කරු හා සෙබළ නියෝජිතයන් පමණක් සහිත දෙවන සෝවියට් සම්මේලනය පදනම් කොට පිහිටවූ බොල්ෂෙවික් රජයට තම බලය පෙන්වීමය. එහෙත් ඔවුන් නොසිතූ පරිදි වා. ස. විප්ලවවාදී නියෝජිතයන්ගෙන් සම්මේලනය උතුරා ගියේය. එක්දහස් අටසිය ගණන් වල අග භාගයේ රුසියාවේ පැන නැගුණු නරොද්නික් (ජනතාවාදී) නමැති ගොවිජන ව්‍යාපාරයේ විකාශනයක් වූ සමාජවාදී විප්ලවවාදී පක්ෂය ගොවියන් අතර මුල්බැස ගත් පක්ෂය වූ අතර එය රුසියාවේ විශාලම පක්ෂයද විය. වා.ස. වාදී විප්ලවවාදීන් ලෙස 1917දී සංවිධානය වූයේ එම පක්ෂයේ තරුණ පිරිසය. එනම් ගොවින්ගේ තරුණ පරම්පරාවය. ඔවුන් ඛෙහෙවින් අවුරුදු 20 හා 30 අතර වූවෝ වූහ. එහි නායකයා ලෙස සැලකුණු ව්ලැඩ්මීර් කැරලින්ගේ වයසද අවුරුදු 26 ක් විය. ප්‍රමාණයෙන් ඔවුන් මුළු ස.වි. වාදින් ගෙන් අඩක් පමණ වූහ. රුසියානු යුද්ධ හමුදාවේ සෙබළුන් මුළුමනින්ම පාහේ ගොවි ප්‍රදේශවලින් පැමිණියෙන් බොහොමයක් වා.ස. විප්ලවවාදීන් සෙබළුන් වූහ. මෙම සම්මේලනයට ගොවි නියෝජිතයන් වශයෙන් සහභාගී වූ වා.ස.වාදී විප්ලවවාදීන්ගෙන් කොටසක් ඔක්: 25 දා පැවති දෙවන සෝවියට් සභා සම්මේලනයට සෙබළුන් වශයෙන් ද සහභාගී වූවෝ වූහ. පක්ෂ:යේ දෙපිරිස අතර විරසකයේ ප්‍රථීපලයක් වශයෙන් දක්ෂිණාංශික ස.වි.වාදීහු ගොවි සම්මේලන සභාවෙන් ඉවත්ව ගිය අතර ඉතිරි වූ වා.ස. විප්ලවවාදීහු ගොවි සෝවියට් සම්මේලනය කම්කරු හා සෙබළ සෝවියට් සම්මේලනය ඒකාබද්ධ කළ යුතුයයි යෝජනාවක් සම්මත කළහ. ඒ අනුව නොවැ: 15 දින සෝවියට් සභා ඒකාබද්ධ විය. ඒ සමඟම වා. ස. විප්ලවවාදින් අමාත්‍ය තනතුරු ලබා බොල්ෂෙවික් ආණ්ඩුවට එක්වූහ. 30 වියැති ඇන්ඩ්‍රික් කොලෙගවිව් කෘෂිකර්මය පිළිබඳ කොමිසාර්වරයා බවට පත්විය. ඔවුන් ලද ඇමති තනතුරු 5 අතර කාර්යභාරයක් නැති ඇමති තනතුරක් ද විය.
මෙලෙසින් බොල්ෂෙවික් ආණ්ඩුවේ පාලනය ක්‍රමක්‍රමයෙන් රට තුළ පැතිරෙමින් තහවුරු වන්නට විය. අතරින් පතර ප්‍රතිවිප්ලවවාදී කඩාකප්පල් ක්‍රියා සිදු නොවූයේ නොවේ. ඒවා මැඩීමට ෆිලික්ස් ඩේ‍රෂින්ස්කිගේ නායකත්වයෙන් ආයතනයක් පිහිටුවනු ලැබීය. එය ‘චෙකා’ (කේ ජී බී යේ ළදරු අවස්ථාව) නම් විය.
කමෙනෙව් හා ගෝර්කි විසින් සති දෙකක් ද, මෙන්ෂෙවික්වාදී ගොට්ස් විසින් සති තුනක් ද, ස. වි. නැබොකොව් විසින් දින කිහිපයක් ද පමණක් පවතීවියි, අනාවැකි පැවසූ බොල්ෂෙවික් ආණ්ඩුව සතියෙන් සතිය ගත වෙද්දී ශක්තිමත්ව වැඩුණේ කෙසේදැයි සමාජවාදී නොවන බි්‍රතාන්‍ය විචාරකයෙකු වන ඔර්ලැන්ඩෝ පිගෙස් මෙසේ අදහස් දක්වයි. ‘…විප්ලවවාදී අපෝහකයයි ඔවුන් විසින් හඳුන්වා ගත්, තමන් යායුතු පැත්ත හා කළ යුතු දේ හඳුනාගත හැකි වූ ඉවක් බොල්ෂෙවිකයන් සතු විය. ඒ අනුව ඔව්හු බලය සම්බන්ධයෙන් ‘බිඳ දැමීම සහ ගොඩ නැගීම’ යන දෙවදෑරුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළහ. මේ ක්‍රියාන්විතය අනුව පහළින් ප්‍රාදේශීය සෝවියට් සභාවලට ඒ ඒ ප්‍රදේශවල බලය පවරා දුන්හ. එමගින් ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් පිළිබඳ ගොවි ගැටලුව විසඳුනෙන් එම ප්‍රදේශවල මුල් බැස තිබූ ස.වි. වාදීන්ගේ පදනම වනසා දැමිණි. යුද පෙරමුණ තුළ සාම සාකච්ඡා ඇරඹීම සෙබළුන්ට පැවරීමෙන් ආණ්ඩුවට විරුද්ධව සෙබළුන් මෙහෙයවීමේ නිලධාරි හැකියාව තව දුරටත් ක්ෂය කර දැමිණි. ස්වයං තීරණ අයිතිය පිළිබඳ ආඥාවෙන් රුසියානු අධිරාජ්‍යය කඩා බිඳ දැමීම සම්පූර්ණ කරන ලදී. සමාජ ධූරාවලීන් අහෝසි කිරීම, නව විවාහ නීති, නව කාන්තා අයිතීන් හඳුන්වා දීමෙන් පැවති සමාජ ආකෘතිය බිඳ දැමිණි.
ඔහු පවසන බලයේ ගොඩ නැගීම පෙන්වා දෙන්නේ මෙසේය. ‘….පැවති සෝවියට් සභාවට ගොවි සෝවියට් සභාවද, වෘත්තීය සමිති හා වෙනත් විප්ලවවාදී සංගම් නියෝජිතයන්ද ඒකාබද්ධ කිරීමෙන් එහි විධායක සභාව දැවැන්ත එකක් බවට පත්විය. ඉන් පසුව ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී මේ විශාලත්වය බාධාවක් බව පෙන්වා ඒ බලය මහජන කොමිසාර් මණ්ඩලය හෙවත් අමාත්‍ය මණ්ඩලයට පවරා ගනු ලැබීය. ඇමති මණ්ඩලය ගන්නා තීරණ සෝවියට් විධායක සභාවෙන් අනුමත කර ගන්නේයයි පවසන ලද නමුත් ඒ සඳහාද නියමිත කාල-අන්තරයක් සඳහන් කිරීමෙන් වැලකුණේය. ආමාත්‍ය මණ්ඩලයේ තීරණ බොල්ෂෙවික් මධ්‍යම සභාවේ තීරණ මිස අන් එකක් නොවීය.’ මෙලෙසින් සියළු ව්‍යවස්ථා බලය බොල්ෂෙවික් පක්ෂය තුළට සංකේන්ද්‍රණය කර අනෙක් අන්තය ශක්තිමත් කළ බව ඔහු පවසයි.
සිතා සිටි පරිදි ආණ්ඩුව සතියෙන් දෙකෙන් ඇද වැටෙන එකක් නොවන බව දුටු බොල්ෂෙවික් විරෝධීහු තමන්ට ඉතිරිව තිබූ එකම විකල්පය වූ ළඟ එන ව්‍යවස්ථා සභාව කේන්ද්‍ර කර ගනිමින් ජනතාව ඒකරාශී කර බොල්ෂෙවික් ආණ්ඩුවට ඊළඟ ප්‍රහාරය එල්ල කිරීමට ලකලෑස්ති වූහ.


චන්ද්‍රසේන බදුගම