පොලිසියේ රාජකාරිය කර හිට් වෙන්න යාම

149-Puttalam–Marichchikade–Mannar-Road-01
මඟ නැගුම මග තියා ඇමති සහ ගෝලයෝ කොමිස් ගිලින්නේ මෙහෙමයි
November 8, 2017
fgtmksty
නව යුගයක සැලසුම් මැද චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව නිම වෙයි
November 14, 2017
Show all

පොලිසියේ රාජකාරිය කර හිට් වෙන්න යාම

ලුdfZ

රටක ප්‍රජාතන්ත්‍රවාදයේ සිව් වන කුළුණ ලෙස හැඳින්වෙන්නේ ජනමාධ්‍යයි. ඒ නිසාම ජනමාධ්‍යයන්ට රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මූලික වගකීමක් ඇත. අධ්‍යාපනය, දැනුම, විනෝදාස්වාදය හා රසඥතාවය සිය ප්‍රේක්ෂකයාට සමබරව ලබාදෙමින් නිරවද්‍යතාවයෙන් හා සද්භාවයෙන් යුක්ත තොරතුරු සම්පාදනය ඔස්සේ වඩා විශ්වාසනීයත්වයක් සහිතව තම මාධ්‍ය මෙහෙවර ඉටුකළ යුතු බවට මාධ්‍ය ආචාරධර්ම මගින් සියලු මාධ්‍ය ආයතන බැඳී සිටියි. මේ මාධ්‍ය ආචාරධර්මයන් යනු පවතින ආණ්ඩුවට හෝ වෙනත් කිසිවෙකුට ගැති කම් කිරීම හෝ කිසිදු බල අධිකාරියක් විසින් මාධ්‍ය අයිතීන් උල්ලංඝනය කරනු ලබන විට ඒවාට අනුකූල වීම නොවේ. රටේ සිදු වන ඕනෑම කටයුතුකමක් හෝ සමාජ විරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී අකටයුත්තක් වාර්තාකරණය කිරීමට මාධ්‍යයට පැහැදිලි අයිතියක් තිබේ. එසේම මහජනතාවට දැන ගැනීමේ අයිතිය ඇති ඕනෑම දෙයක් අනාවරණය කිරීමද මාධ්‍යයන්ගේ වගකීමකි. එහෙත් මේ කියන්නට යන්නේ මාධ්‍යයන් සතු ඒ පරම අයිතිය පිළිබඳව නොව ඒ කිසිවක් කෙරෙහි ගරුත්වය නොදක්වා තම මාධ්‍ය බලපත්‍රයේ අඩංගු කොන්දේසි වලටද පටහැනිව මාධ්‍ය නිදහස හා මහජන සංඛ්‍යාත අවභාවිත කරමින් එක්තරා විද්‍යුත් මාධ්‍ය ආයතනයක් සිදු කරනු ලැබූ නීති විරෝධී හා අචාරධර්ම විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් වූ සිදු වීමක් පිළිබඳවය. එම සිදුවීම පෙළගැසෙන්නේ මෙසේය.
කොළොන්නාවේ දැරියන් තිදෙනෙකු අතුරුදහන් වීමේ පුවතක් මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබීය. ඒ වාර්තා අනුව එම දැරියන් තිදෙනා වයස අවුරුදු 14ක, 15 ක සහ 19ක වයසේ පසු වන්නන් වන අතර දැරියන් යයි පැවසුවද එක් දරු මවක් මේ තිදෙනා අතර සිටි බවද හෙළිවිණි. කෙසේ වෙතත් මේ තිදෙනා පිළිබඳව රට තුළ කතාබහක් ඇති වූ අතර ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ද ක්‍රියාත්මක වන්නට විය. එහෙත් දින කිහිපයක් යන තුරුම ඔවුන් පිළිබඳ තොරතුරක් වාර්තා නොවුණි. මාධ්‍ය විසින් ද මොවුන් සිටින තැනක් පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට තමන්ගේ පාර්ශ්වයෙන් සිදු කළ යුතු දැනුවත්කිරීම් සහ පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳ වාර්තා කරනු දක්නට ලැබුණි.
මේ කියන සිදුවීම සිදු වන්නේ මේ අතරතුරය. පසුගිය 17 වනදා අතුරුදහන් වූයේ යයි කියූ දරුවන්ගේ මවක සහ තවත් පිරිසක් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් ද පෙරටු කරගෙන හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසකට නිවෙස් හිමියාත්, ඔහුගේ පුතාත් නිවසින් පිටතට ගොස් සිටි මොහොතක ඇතුළු වන්නේ කිසිදු වග විභාගයකින් තොරවය. ඒ එම නිවසේ ඉහත කී අතුරුදහන් වූ දරුවන් රඳවාගෙන සිටින්නේ යයි චෝදනා කරමිනි. ඇති වූ මෙම තත්ත්වය විසින් එම ස්ථානයේ ජනිත කරනු ලැබූවේ උණුසුම් තත්ත්වයකි. ගම්වාසීන් එම කඩාපැනීමට විරුද්ධ වන්නේ එම මාධ්‍ය ආයතනය විසින් වැටලු නිවසේ හිමිකරු සම්බන්ධයෙන් ගම්වාසීන් තුළ යම් විශ්වාසයක් තිබූ නිසාය. එසේම ඔහු විසින් කුඩා පරිමාණයේ ඇඟලූම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබූ අතර එහි සිටි සේවිකාවෝ පවා මාධ්‍ය ආයතනයේ මේ බලහත්කාරයට දැඩි සේ විරුද්ධ වූහ.
එහෙත් ඇති වූ තත්ත්වය හමුවේ මාධ්‍ය ආයතනය සහ අතුරුදන් වූවන්ගේ ඥාතීන් එතන සිටි සියල්ලන්ටම තර්ජනය කරනු ලබන අතර එසේ කිරීමට කිසිදු සාධාරණ හේතුවක් දකින්නට නොලැබුණි. එසේම කිසිදු අවසරයකින් තොරව එම මාධ්‍ය ආයතනයෙන් පැමිණි මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිස් ඉහත කී නිවස වීඩියෝ කරනු ලබන්නේ නිවෙස් හිමියන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ කිසිදු තැකීමක් නොකරමිනි. ඒ වන තෙක් එම ස්ථානයට පොලිසිය හෝ පැමිණ නොසිටි අතර පොලිසියේ පැමිණීම සිදු වන්නේ නිවෙස් හිමියන් විසින් කළ දැනුම්දීමකට අනුවය.
එයින් පැහැදිලි වූ එක් කරුණක් වූයේ අතුරුදන් වූයේ යයි කියූ දරුවන්ගේ ඥාතීන් සහ එම මාධ්‍ය ආයතනය එම ස්ථානයට පැමිණ වැටලීම කර ඇත්තේ අඩුකරමින් පොලිසියේ හෝ දැනුවත්භාවයකින් තොරව බවයි. මාධ්‍ය සදාචාරයේ ගැටළුව මතු වන්නේ එවිටය. කිසියම් හෝ දෙයක් සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරීමට මාධ්‍ය වෙත බලය පවරා ඇත්තේ කෙදිනක සිට කවුරුන් විසින්ද යන්න අප දන්නේ නැත. එහෙත් දන්නා තරමින් නම් එවැන්නක් සිදු කිරීමට කිසිදු මාධ්‍යයකට හැකියාවක් නැත. එහෙත් වැටලීමක් හෝ යම්කිසි නීතිවිරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට ඇති අයිතිය ඉක්මවමින් විද්‍යුත් මාධ්‍ය විසින් වැටලීම් සිදු කිරීමට මැදිහත් වීම දැන් ජනප්‍රිය ට්‍රේන්ඩ් එකක් බවට පත් වී තිබේ. එහි අරමුණ වන්නේ තොරතුරු හෙළිදරව් කිරීමට වඩා තම නාළිකාවේ රේටිංස් වැඩි කර ගැනීම බව කවුරුත් දන්නා රහසකි. ඒ නිසාම සියලු සදාචාරයන් අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙවැනි මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ ජනතාව තුළ මාධ්‍ය සම්බන්ධයෙන් තිබිය යුතු විශ්වාසය තහවුරු කර ගැනීම වෙනුවට මාධ්‍ය සම්බන්ධයෙන් වෛරයක් ද ජනතාව තුළ ජනිත කරවමිනි. මේ සම්බන්ධයෙන් ඉහත කී මාධ්‍ය ආයතනයට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු වන්නේ ඒ නිසාය.
මේ නිසා සියලු මාධ්‍ය ආයතන තේරුම් ගත යුතු එක් කාරණාවක් තිබේ. එනම් කිසි විටකත් මාධ්‍ය ආයතනකට ජනතා විශ්වාසය බලහත්කාරයෙන් ගැනීමේ හැකියාවක් නැති බවයි. එසේම මුදල් වලට ජනතා විශ්වාසය ලබා ගැනීමේ ගැනීමේ හැකියාවක් ද නැත. ඒ වෙනුවට මාධ්‍ය විසින් සිදු කළ යුත්තේ සත්‍ය නියෝජනය කරමින් තමන්ගේ කාර්යභාරය හරි හැටි ඉටු කිරීමයි. ඒ වෙනුවට පොලිසියේ රාජකාරිය හෝ අධිකරණයේ කාර්යභාරය මාධ්‍ය විසින් සිදු කරන්නට යන්නේ නම් එය බල්ලාගේ වැඩේ බූරුවා බාර ගැනීමකට දෙවෙනි වන්නේ නැත.


සුධීර ඉද්දමල්ගොඩ