මඟ නැගුම මග තියා ඇමති සහ ගෝලයෝ කොමිස් ගිලින්නේ මෙහෙමයි

බෙdfh
ජනපති සයිටම් රකී – දෙමාපියන් මාරාන්තික උපවාසයට!
November 7, 2017
ලුdfZ
පොලිසියේ රාජකාරිය කර හිට් වෙන්න යාම
November 8, 2017
Show all

මඟ නැගුම මග තියා ඇමති සහ ගෝලයෝ කොමිස් ගිලින්නේ මෙහෙමයි

149-Puttalam–Marichchikade–Mannar-Road-01

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මේ දින වල දේශපාලන වේදිකාවේ හිට් වී ඇති චරිතයකි. එසේ හිට් වී ඇත්තේ ජනතාවාදී දේශපාලන කටයුතු වල නිරත වීම නිසා නම් නොවන බව මේ වන විට නොදන්නා කෙනෙක් නැත. ඔහුගේ මේ ජනප්‍රියත්වයට හේතුව වී ඇත්තේ හොරාකෑමය. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ද යහමින් හොරා කා ඇති බව මාධ්‍ය මගින් පමණක් නොව පාර්ලිමේන්තුවේදී ද හෙළිදරව් වී තිබේ. තමන් උපන් සල්ලිකාරයෙකු බවත් බදු ගෙවන රුපියල් මිලියන හාරසියයක් තමන්ගේ ගිණුමේ ඇති බවත් කියන කිරිඇල්ලට ඒවා ගෑවෙන්නවත් මදි බව ඔහුගේ කියුම් කෙරුම් වලින්ම පැහැදිලි වේ. එහෙත් එල්ල වෙන චෝදනා වලින් බේරීමට ඇමති කිරිඇල්ල නොගන්නා උත්සාහයක් නැත. තමන් කෙසේ වසන් වෙන්නට හැදුවත් සිය කෙරුවාවල් එකින් එක කරළියට පැමිණෙන්නේ වැල්ලේ ඔළුව හංගා ගන්නා පැස්බරා සිහියට නංවමිනි.
කිරිඇල්ලගේ මේ ගැරිල්ලට අධිවේගයද වෙනත් එකක්ද යන්න අදාළ නොවේ. ඕනෑම එකකින් ඉහගෙනම කෑම මොහුගේ ජන්ම ගතියකි. කලක් මහින්ද රාජපක්ෂ පාලනයේදී මදි නොකියන්නට හොරා කන්නන් අරක් ගෙන සිටි ‘මඟ නැගුම’ කිරිඇල්ලගේ අතට පත් වීමෙන් පසුව ඉබ්බා දියට දැම්මාට පසු ඇන්නෑවේ කියන්නාක් මෙන් ව්‍යාපෘතිය තුළ සිය ගෝලබාලයන් සමඟ බඩ පිණුම් පමණක් නොව හිටි පිණුම් ද ගසමින් තමන්ගේ බූදලයක් මෙන් හසුරුවන්නේ ඒ ජන්ම පුරුද්ද නිසාය. මේ කියන්නේ කිරිඇල්ල ඇමතිවරයා සහ ඔහුගේ ගෝලබාලයන් මේ වන විට මඟ නැගුම තුළ සිදු කරන වංචා දූෂණයන් සහ විෂමාචාරයන්ගෙන් බිඳක් පමණි.
2004 වසරේ සිට ආරම්භ කරන ලද මෙම ආයතනය දැනට සේවක සේවිකාවන් දහසකට අධික පිරිසක් සේවය කරනු ලබන අතර මෙහි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ 600 ක් පමණ ඇත. වත්මන් ආණ්ඩුව යටතේද සේවකයන් 216 ක් පමණ බඳවාගනු ලැබ තිබේ. එවැනි සේවකයන් පිරිසක් සිටියද මඟ නැගුම ආයතනය වෙත දැනට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබාදෙන කොන්ත්‍රාත් ආයතනයේ සභාපතිවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි උදය විදානගමආරච්චි යන අය එක්ව බාහිර පාර්ශ්වයන්ට ලබාදී එමගින් කොමිස් මුදල් ලබා ගනිමින් සිටින්නේ ආයතනය පිළිබඳ කිසිදු තැකීමක් නොකරය. ආයතනය සතුව විශාල ප්‍රමාණයක් යන්ත්‍ර සූත්‍ර තිබියදී හා සේවක පිරිසක් සිටියදී මෙසේ ලබාදීම ආයතනයට විශාල හානියකි. තවද පූර්ණ මිශ්‍රණ වැඩබිම් සහ විශාල ගල් කඩන යන්ත්‍ර සහිත වැඩබිම් ගනේවල්පොල, අම්බලන්ගොඩ, පෑලියගොඩ, හම්බන්තොට රණමයුරපුර ආදී ප්‍රදේශවල විහිදී ඇත. එසේ තිබියදී කොමිස් මුදල්
ලබාගැනීමේ අරමුණින් මාර්ගයට අතුරන ABC මිශ්‍රණය කාපට් ආදිය බාහිර පාර්ශ්වයෙන් ලබා ගනී. මෙම කාර්යය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – යාන්ත්‍රණ, විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරනු ලබන්නකි.
මේ වන විට ආයතනය සතු කෝටි ගණන් වටිනා කාපට් අතුරන යන්ත්‍ර දිරාපත් වෙමින් තිබේ. කිරිඇල්ල ඇමතිවරයා විසින් පත් කරනු ලැබ සිටින ව්‍යාපෘති භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා විසින් දැනට මඟ නැගුම ආයතනය මගින් සිදුකරනු ලබන සෘජු කොන්ත්‍රාත් නිසි අධීක්ෂණයන් නොකොට දීර්ඝකාලීනව ව්‍යාපෘති සිදුකිරීම තුළින් ආයතනයට අලාභ තත්ත්වයක් ඇති කර තිඛෙන්නේ ආයතනය විසින් සිදු කරනු ලබන ව්‍යාපෘති පාඩු ලබන බව පෙන්වීම සඳහාය. මෙසේ මඟ නැගුම කාර්ය මණ්ඩලයට ඉදිකිරීම් කටයුතු නිසියාකාරව කළ නොහැකි බව ඒත්තු ගන්වා ඉදිකිරීම් කාර්යන් බාහිර පාර්ශ්වයන්ට පැවරීම සාධාරණීකරණය කිරීමට මොවුන් විසින් කටයුතු කරගෙන යනු ලැබේ. මෙසේ සිදු කිරීමට නම් ලක්ෂ දෙකකට ආසන්නව මාසික වැටුපක් ගෙවා මොහුගේ සේවය ලබාගන්නේ කුමකටද යන්න විමසිය යුතු නොවේද? එසේම ව්‍යාපෘතිවලට අවශ්‍ය ද්‍රව්‍ය නිසි කලට ලබානොදීමත් යන්ත්‍ර නිසි කලට නඩත්තු නොකිරීමත් සභාපතිවරයා විසින් හිතාමතාම සිදු කරනු ලබන්නේ ඉහත කී සැලසුම් වලට සෘජුවම සහයෝගය ලබා දීම සඳහාය.
ආයතන සභාපති රජීව් සෙනවිරත්න විසින් මෙම ආයතනය දියුණු කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා අතර ඒ වෙනුවට ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4ක් දක්වා දක්වා වැඩිකර ගැනීමට නම් කටයුතු කර ඇත. ආයතනයේ මුදල් වලින් ලබාගත් සුඛෝපභෝගී වාහනයක් ඔහුගේ බිරිඳ වෙනුවෙන් යොදවා ඇති අතර ඔවුන්ගේ පෞද්ගලික සංචාර සඳහා වැයකරන මුදල්ද ආයතනය වෙතින්
ලබාගැනීමට කටයුතු කරනු ලබන බව එහි සේවකයෝම පවසති. එසේම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් 10 දෙනෙකුට පමණ මසකට ලක්ෂ එකහමාරක් පමණ මුදලක් වැයකර කුලී පදනම මත සුඛෝපභෝගී කැබ්රථ ලබාදී තිබේ. ඒවාට වියදම් කරන්නේ ද මඟ නැගුමේ මුදල්ය. එසේම ඔවුන්ට රුපියල් පනස්දාහක පමණ වේතනයක්ද ලබා දෙයි.
කරුණු මෙසේ තිබියදී අගෝස්තු මස සේවක වැටුප ගෙවනු ලැබ ඇත්තේ බැංකු අයිරා මගිනි. එහෙත් මෙහි සේවකයන් 700 ක පමණ පිරිසක් නියමිත කාර්යක් නොමැතිව කාලය මිඩංගු කරති. ඊට හේතුව ඔවුන් නිසි කාර්යයන් සඳහා යොමු නොකිරීමයි.
මඟ නැගුම පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කර ඇති පුද්ගලයා 2016 වසරේ මීට පෙර සේවය කළ ආයතනවල මූල්‍ය වංචා පිළිබඳ නඩු පැවරි ඇති අයෙකි. ආයතනයේ පාලන කටයුතු වෙනුවට ඔහු සිදු කරමින් සිටින්නේ මුදල් ලබාගෙන මඟ නැගුමේ රැකියා ලබාදීමයි. ඔහු සහ සාමාන්‍යාධිකාරිවරයා මැදිහත් වී නව බඳවාගැනීමේ පටිපාටියක් ස්ථාපිත කළ අතර එහි අවසන් වාර්තාව සේවක මහතුන්ට වංචනික ලෙස සඟවා සේවකයන්ගේ සේවා ගැටලුද නිසියාකාරව සමතය නොකර විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප පමණක් වැඩි කරගෙන ඇති බවට එහි සේවකයන් චෝදනා කරන අතර එය මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යවස්ථාවට ද පටහැනිය. මෙම නව බඳවාගැනීමේ පටිපාටිය රජය මගින් අනුමත කර නොමැති අතර එය සේවකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. කෙසේ වුවද ඉහත වැටුප් වැඩිවීම සමග නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්ගේ මූලික වැටුප රුපියල් ලක්ෂයකට ආසන්න වන අතර ඉන්ධන හා වාහන දීමනාවද වෙනමම ගෙවනු ලැබේ.
මේ අනුව දැනට ආයතනයේ මාසික වැටුප් සඳහා රුපියල් මිලියන හැටක් පමණ අවශ්‍ය වුවත් එම ප්‍රමාණය උපයා ගැනීමටවත් සමත් නැත. මිලියන දහතුනක් පමණ වසරකට ගෙවා 2017 මැයි 3 වන දින සිට සේවක රක්ෂණ ක්‍රමයක් කි්‍රයාත්මක කළද එයින් ප්‍රයෝජනය ගැනීම සේවකයන්ට අහිමි කර තිබේ. එයට හේතුව මෙම රක්ෂණයෙන් කොමිස් මුදල් ලබා සේවක ප්‍රතිලාභ කප්පාදු කර තිබීමයි. ඒ කොමිස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමති කිරිඇල්ලගේ දියණියගේ නමද ඈඳී තිඛෙන අතර අධිවේගී මාර්ග වල රක්ෂණයෙන් ඇමති දියණිය කොමිස් ගැසූ බව දන්නා අයට නම් එය අරුමයක් නොවේ.
මඟ නැගුම සඳහා 2016 වසරේ සේවයට බඳවාගෙන ඇති අතර සාමාන්‍යාධිකාරිවරයා මෙම ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් සපුරා නැති පුද්ගලයෙකි. මාර්ගය ඉදිකිරීම් සම්බන්ධව පුළුල් දැනුමක් ඇති සාමාන්‍යාධිකාරිවරයෙකු මෙම ආයතනයට අවශ්‍ය වුවත් නව සාමාන්‍යාධිකාරිවරයා විදේශ ඩිප්ලෝමාවක් පමණක් ලබා ඇති අයෙකි. ඒ නිසා ආයතනයේ ඇති කාර්යන් හමුවේ ඔහුට අකර්මණ්‍ය වනවා හැර වෙන කරන්නට දෙයක් නැත. ආයතනයේ සියලු සේවකයන්ගේ වයස 60 දී විශ්‍රාම ගැන්වූවත් සභාපතිවරයාගේ අවශ්‍යතාව මත වයස 70 ඉක්මවා ඇති පොලිස් සේවයේ නියුතුව සිටි විශ්‍රාමික නිලධාරියෙකු ආරක්ෂක උපදේශක වශයෙන් බඳවාගෙන ඇති අතර ඔහුට විධායක ශ්‍රේණියේ බලතල ලබාදී ඇත. කෝටි ගණන් රාජ්‍ය මුදල් වැයකර එම නිලධාරින්ට වැටුප් ගෙවා තබා ගන්නේ කුමකටද?
මඟ නැගුම සමාගමේ සිදුව ඇති කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2016 වර්ෂයේ ජුනි මස 15 වනදාය. පෑලියගොඩ මඟ නැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ අභ්‍යන්තර විගණන කළමනාකාරවරයා විසින් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කර තිබී ඇති අතර ඒ අනුව නඩු තුනක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව 2011 වසරේදී අංක ඨඡ2400 දරන කොන්ක්‍රීට් ජෙවර් රථයක් ඇඩියන් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මඟ නැගුම යන්ත්‍රෝපකරණ සමාගමට මිලදී ගැනීමේදී ඇස්තමේන්තු මුදල වූ රුපියල් 37,536,999.55ක් ලෙස නම් කර තිබියදී රුපියල් 73,907,243.55ක මුදලක් ගෙවා ඇති බවත් මෙම රථය සඳහා වැඩිපුර මුදල් රුපියල් 37,370,240.20ක් ගෙවා ඇති බැවින් ඉන් මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නඩු අංක බී 24102/05 යටතේය. එසේම 2014 වර්ෂයේ ජූලි මස 04වැනි දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඩේන්ජරස් කාගෝ ඇතිරීමක් සම්බන්ධව රුපියල් 1,096,000/-ක මුදලක් මඟ නැගුම මාර්ග ඉදිකිරීම් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නොගෙවීම සම්බන්ධයෙන් මුදල් අක්‍රමිකතාවක් සිදු කර තිබිණි. නඩු අංක බී 45002/05 යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර තිබුණේ් මිලියන 10ක් වැයකර ස්කැවේටර් යන්ත්‍රයක් මිලදී ගැනීමක් කර එම යන්ත්‍රය කඩුවෙල, කොරතොට වත්ත ඉඩමේ පිහිටි කළුගල් කැඩීම් කටයුතු සඳහා පිටස්තර පුද්ගලයෙකුට ලබාදී මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත්ය.
මෙසේ අධිකරණයේ විභාග වෙමින් තිඛෙන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මඟ නැගුමේ සිදු කළ වංචාවන් සම්බන්ධයෙන් පමණි. වර්තමානයේ සිදු වෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් හෝ ඉදිරිපත් වී නොමැත. වැටත් නියරත් ගොයම් කන කල පැමිණිලි ඉදිරිපත් කරන්නේ කවුරුන් විසින්ද?
කරුණු මෙසේ තිබියදී මේ වන විට තවත් නඩුවක් අධිකරණයේ විභාග වෙමින් තිබේ. ඒ මෙම ආයතනයේ අයිතිය සම්බන්ධයෙනි. කෙසේ වෙතත් ආයතනයේ හිමිකාරීත්වය සම්බන්ධව සැබෑ කරුණු වසන් කර එම ආයතනය පෞද්ගලිකරණය කිරීමට උත්සාහයක් ද තිඛෙන බවට දැන් කරුණු අනාවරණය වෙමින් තිබේ. එයද එසේ සිදු නොවන්නට ඉඩ කඩක් ඇතැයි කරුණු පෙල ගැසෙන ආකාරය දෙස බැලු විට සිතෙන්නේ නැත.
එදා උන් මඟ නැගුම ඉහගෙන කෑවේය. අද මුන් එය බඩ බැඳගෙන කමින් සිටියි. එහෙත් මේ කාගේත් කෙරුවාවන් නිසා විනාශ වන්නේ රටේ ජාතික සම්පත්ය. ඒ නිසා මේවාට විරුද්ධව මැදිහත් වීමට රටේ බදු ගෙවන ජනතාවට විනා සැබෑ අයිතිය ඇත්තේ රාජපක්ෂලාට හෝ කිරිඇල්ලලාට නොවන බව හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් සිහිපත් කර දිය යුතුය.


චතුර දිසානායක