සතියක් ඇතුළත දෙසීයක් මරුට

b
තරුණ නායකත්වයකින් නවසීලන්තයේ සන්ධාන ආණ්ඩුවක්
November 14, 2017
d
මැල්සිරිපුර ගොවිපළේ දූෂිතයෙක්
November 14, 2017
Show all

සතියක් ඇතුළත දෙසීයක් මරුට

c

කාබුල් අගනුවර ශිෂ්‍ය හමුදා භට කණ්ඩායමකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග සතියක් ඇතුළත කැරලි ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව දෙසීයකට ආසන්න බව එරට බලධාරීහු පවසති.
එම ප්‍රහාරයට හසුව අවම වශයෙන් ශිෂ්‍ය හමුදා භටයන් පහළොස් දෙනෙකු මරණයට පත්ව ඇති බවත් බලධාරීහු සඳහන් කළහ. මෙසේ එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම තමන් විසින් බාරගන්නා බව තාලිබාන් සංවිධානය පවසයි. එය, පැය 24 ඇතුළත කාබුල් අගනුවරට එල්ල වූ දෙවන මරාගෙන මැරෙන ප්‍රහාරයයි.
ෂියා මුස්ලිම් දේවස්ථානයකට පසුගිය ඔක්තෝබර් 20 වැනි සිකුරාදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ වෙඩි ප්‍රහාරයට හසුව මරණයට පත් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති. එහි වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් භාර ගනු ලැබීය.
සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැති නමුත් මීට ඉහතදී ඔවුන් විසින් ෂියා පල්ලි වෙත ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත. ඝෝර් ප්‍රාන්තයේ පිහිටි වෙනත් සුන්නි මුස්ලිම් දේවස්ථානයකට සිකුරාදා එල්ල වූ ප්‍රහාරයකින් 20 දෙනෙකු මරණයට පත් විය. මෑත කාලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වූ අතර එරට හමුදා සහ පොලිස් සාමාජිකයන් විශාල පිරිසක් ද තාලිබාන් කැරලිකරුවන් අතින් මරණයට පත් වී තිබේ.
පසුගිය මැයි මාසයේදී ට්‍රක් රථයක් යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයකට හසුව 150 අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 400 පමණ තුවාල ලැබූහ. ඒ අතර සිටි වැඩි දෙනෙකු සාමාන්‍ය වැසියන්ය. තවද ඇමෙරිකානු හමුදා භටයන් 8,400ක් ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති අතර, එරට සිටින නේටෝ සාමාජික රටවලට අයත් භට සංඛ්‍යාව 5,000කි.


ධනංජය සූරියබණ්ඩාර