අයවැය නිසා කබලෙන් ලිපට වැටුණු අල ගොවියෝ

ඡන්ද නඩුවෙන්
ඡන්ද නඩුවෙන් හවුල දෙදරයි!
December 1, 2017
jvp
දිරිය පුරවැසියන්ගෙන් සිසු ගුරු උපහාර
December 5, 2017
Show all

අයවැය නිසා කබලෙන් ලිපට වැටුණු අල ගොවියෝ

අර්තාපල් අල ගොවීන්ගේ

හුරුපුරුදු දෙසැම්බර් සීතලට ඔන්න මෙන්න කියා තිබිය දී ඌවේ හා මධ්‍යම පළාතේ නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙළ, හපුතලේ, ඇටම්පිටිය හා ඌව පරණගම ආදී ප්‍රදේශවල අල වගාවේ යෙදෙන සියලුම දේශීය අල ගොවීන්ගේ ජීවිත ඉතා ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති බව කිව යුතුය. හමන සීතල සුළඟ පවා උණුසුම් සටන් රැල්ලක් වීමට පොරබදනා මොහොතක පාලකයන්ගේ අනුවණකම් නිසා විඳවන මිනිසුන්ට සටන් කිරීම හැර අන්යමක් ඉතිරි වී නොමැත. ඉඳින් මංගල ඇමතිතුමාගේ මංගල අයවැය රටේ සාතිශය බහුතර ජනතාවටද නුවූවා සේම දේශීය අල ගොවීන්ටද මංගල කාරණයක් නම් නොවීය.
ආනයනික අල කිලෝවක් මත පනවා තිබූ බද්ද රුපියල් හතළිහේ සිට රුපියල දක්වා මෙවර අයවැයටත් පෙර පහත හෙළීම නිසාවෙන් ආනයනික අලවල මිල පහළ ගොස් තිබේ. ඒ අතර වගාව වෙනුවෙන් වැය වෙන නිෂ්පාදන පිරිවැය අධික වීම මත මෙරට දේශීය අල ගොවීන්ට විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුව ඇත. ඒ අනුව ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබී යයි. මාස ගණනාවක් පුරා ජීවිතයම උගස් තබා නෙළාගත් අස්වැන්න කුණුකොල්ලයට විකිණීමට හෝ කුණු වී යන තෙක් බලා සිටීමට ගොවීන්ට සිදුවී ඇත.
රටින් ගෙන්වන බීජ අල කිලෝ 50ක පෙට්ටියක් සඳහා සාමාන්‍යයෙන් රුපියල් 14,500/- ක් පමණ වැය වේ. ඊට අමතරව පොහොර මිටියක් සඳහාද රුපියල් 3,500/- ක් පමණ වැය වේ. මේ තත්ත්වය තුළ අල හොන්ඩරයක් වගා කිරීම සඳහා අවම වශයෙන් රුපියල් 30,000/- ක් 40,000/- ක් අතර මුදලක් වැයවේ. එසේම වගාවක් යනු දරුවන් සේම බේත්හේත් ආදිය සපයමින් පරෙස්සමින් රැකබලා ගත යුත්තකි. ඒ නිසාවෙන්ම ඒ සඳහා විවිධ කෘමිනාශක හා දිළීර නාශක ද යෙදීමට සිදුවේ. ඒ සඳහාද විශාල මුදලක් වැය කිරීමට මේ අහිංසක ගොවීන්ට සිදුවන අතර බොහෝ විට ඔවුන් ඒ සඳහා ප්‍රමාණවත් මුදල් තමන්ට නොමැතිකම හෙයින්ම විශාල අසරණභාවයකට පත් වී ඇත. බොහෝවිට ඔවුන් එම රසායන ද්‍රව්‍ය ලබාගන්නේ වෙළඳසැල් වෙත ණය වෙමිනි. එසේම මහන්සියෙන් වගා කළද අස්වනු නෙළීම තනිම කළ නොහැකිය. ඒ සඳහා අත් උදව්කරුවන් දවසේ කුලියට සපයා ගැනීමට ගොවීන්ට සිදුවේ. ඉඳින් ඒ සඳහාද එක් අයෙකුට රුපියල් 1,500/- ක් පමණ ගෙවිය යුතුය. අවසානයේදී එම කුලිය වශයෙන් තවත් රුපියල් දහ පහළොස්දාහක් වැය කිරීමටද ගොවීන්ට සිදු වී ඇත.
කෙසේවුවද මේ වන විටත් උද්ගත වී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නෙළුෑ අස්වැන්න විකුණාගැනීමයි. නිසි මිලක් නොමැතිකම නිසාවෙන්ම විකුණාගත නොහැකිව ගොඩගැහෙන අල ගෝනිවලින් ගොවි නිවාස පිරී යයි. එසේම ඒවා එම ගෝනි තුළම කුණු වීමටද පටන් ගෙන ඇත.
ණය බරින් හා තම පවුලේ උදවියගේ කනකර බඩු ආදිය සින්නවීමේ සිත්තැවුලෙන්ද ගොවීන් හෙම්බත්ව ඇත. මෙවන් තත්ත්වයක් තුළ මෙරට දේශීය අල ගොවීන්ගේ තත්ත්වය ඉතා පහළ අඩියකට වැටී ඇත්තේය.
ඉඳින් ගොවීන් පවසන පරිදි බීජ අල හොන්ඩරයකින් අල හොන්ඩර 10 ක් ඒ කියන්නේ කිලෝ 500 ක් වත් අස්වනු ලබාගත නොහැකිය. ඒ නිසාවෙන් වැයවෙන නිෂ්පාදන පිරිවැයද සලකා අඩුම තරමින් එක් අල කිලෝවකට රුපියල් සියයක්වත් ලබාදිය යුතුය. ඒ සඳහා රජය මැදිහත් විය යුතුය. සාමාන්‍යයෙන් වෙනදාට මේ කාලයේදී කිලෝවක් රුපියල් 130/- ත් 135/- ත් අතර මිලකට අලෙවි වූ දේශීය අල අද වන විට රුපියල් 65/- ත් 70/- ත් අතර මිලකට අලෙවි වීම කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ. ඉඳින් තම අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා පාරට බැසීමට දැන් ගොවි ජනතාවට සිදුවී ඇත. එහෙයින් එළඹෙන දෙසැම්බරය උණුසුම් වීමට ප්‍රථමව තම ගැටලුව විසඳන ලෙස ගොවීහු ආණ්ඩුවට බල කරති.
එහෙත් ඉතිහාසය දෙසට හැරී බැලීමේදී ඒ පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. අපේ රටේ පවතින දේශපාලන, ආර්ථීක හා සමාජීය වටපිටාව හේතුවෙන් අපේ රට තුළ වඩාත් වේගයෙන් දියණු කළයුතු ක්ෂේත්‍රය වන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ සඳහා විවිධ සහනාධාර ලබාදෙමින් ණය පහසුකම් හා උපදෙස් ලබාදෙමින් රටේ දේශීය කෘෂිකර්මාන්තය ගොඩනැංවීම තුළින් දේශීය ආර්ථීකය ගොඩනැගීමට කටයුතු කිරීම රජයේ වගකීමයි. එහෙත් කනගාටුවට කරුණ වන්නේ ඒ සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ නොමැති තත්ත්වයක් තුළ රටේ ආර්ථීකය වල්මත් වීමයි. ඡන්ද ඉලක්ක කරගනිමින් හා සිය දේශපාලන බලය රැකගැනීමට උත්සාහ දරමින් සිටින අපේ රටේ පාලකයන්ට අයවැය යනු වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා ලේඛනවලින් සුසැදි සාම්ප්‍රදායික ලියවිල්ලක් පමණක් බවට පත් වී ඇත. එහෙත් ඒ තුළ ඇත්තෙන්ම අන්තර්ගත විය යුත්තේ රටේ පොදු මහජනතාව වෙනුවෙන්, දේශීය ආර්ථීකය වෙනුවෙන් වන ප්‍රගතිශීලී යෝජනාය. එහෙත් හැමදාමත් අප බලාපොරොත්තු වන අයවැයක් නොලැබී යාමත්, ලබාදෙන අයවැය තුළ සුන්දර වචන තිබීම පමණක් සිදුවේ. මෙවර අයවැය ලේඛනයද බොරු ඡන්ද පොරොන්දු මල්ලකට වඩා එහා ගිය යමක් නොපෙනේ. විවිධ වචන හරඹ භාවිතා කරමින් මහා ආර්ථීක ඔස්තාර්ලා විසින් ගෙන ආ 2018 අයවැය තුළින් දේශීය ආර්ථීකයට කඳ හරහා පහර දී ඇත. එහි ගොදුරු බවට පත්වූ එක් කාණ්ඩයක් වන දේශීය අල ගොවීන් තම ගැටලුව සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කරනු ලබන යෝජනා කිහිපයකි. ඒ අනුව රජය මැදිහත් වී සතියක් ඇතුළත අවම වශයෙන් රුපියල් 100/- ක මිලකට තම අස්වනු මිලදී ගැනීමට මැදිහත් වීම හා බීජ අල පෙට්ටියක් රුපියල් 7000/- බැගින් ලබාදීම ඒ අතර වෙයි.
ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වී ඇමතිකම් කරන රවී සමරවීර වැනි අය බොරු පොරොන්දු දී තවදුරටත් ගොවීන් මුලාකරමින් සිටී. ඉඳින් නෙළුෑ අල අස්වනු ගොවි නිවාස තුළ කුණු වී ඕජස් ගලන්නට ප්‍රථම වහාම මැදිහත්වී ගොවීන්ට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව පාරට බැසීමට ද ගොවි ජනතාව සූදානම්ය.

නිෂ්පාදන වියදම ලොකු බලපෑමක්
ආර්. එම්. රම්‍යලතා

අපට ඉතින් ගොඩක්ම දුරට නිෂ්පාදන වියදම් තත්ත්වය බලපාලයි තියෙන්නේ. ඉම්පෝර්ට් අල පෙට්ටියක් ගන්නවානම් රුපියල් 14,500/- ක් විතර වෙනවා. අපි නුවරඑළියෙන් ගේනවනම් ඒත් ඉතින් රුපියල් 13,000/- ක් විතර වෙනවා. ඉතිං ඇති අස්වැන්නක් නෑ අපිට. දේශගුණ තත්ත්වයේ හැටියට ඒ කාලයට බෝංචි වගේ දෙයක් හදන්න බැහැ. තක්කාලි හදන්න බැහැ. අල තමයි ඒ කාලෙට හදන්න සුදුසුම බෝගය. දැන් මේ කන්නයට වෙන බෝගයක් කෙරුවත් ඒකෙනුත් ඇති වැඩක් නැහැ.

ආණ්ඩුව කැපවීමක් කළ යුතුයි
ටී. එම්. ජයසේකර

දැන් අවුරුදු 3 ක් වෙනවා වැහි නැතුව. අපි සෑහෙන්න දුක් විඳලයි අස්වැන්න නෙළුවේ. දැන් මේ අයවැයෙන් පිටරටින් ගේන අලවලට රුපියල් 40/- ක් දාලා තිබුණු බද්ද රුපියල් 39/- ක්ම අඩු කරලා. දැන් බද්ද රුපියලයි. ඒ නිසයි අපේ අලවල මිල පහළ ගිහින් තියෙන්නේ. මිනිසුන්ගේ අස්වැන්න සේරම ගෙවල්වල. දැන් ඉතින් පාලකයන්ට කියලා වැඩක් නැහැනේ. මේ විදිහට මාධ්‍යයෙන් ඇවිත් මේ ගැන අහන එක ගැන සතුටුයි. ඒක අපි ඉතා උතුම් කොට සලකනවා.
ඇත්තටම වියහියදම් ගිහිල්ලවත් ඉතුරු වෙන සොච්චමක් නැහැ. ඒ නිසා අඩුම තරමේ රුපියල් 100/- ක් වත් වැටුණොත් තමයි අපිට යන්තම් හරි බේරෙන්න පුළුවන්. අවුරුදු ගාණක් තිස්සේ රත්තරන් බඩු උගස් කරලා තියෙන්නේ. නොසෑහෙන්න දුකක් විඳලයි තියෙන්නේ. ඒ නිසා අපි රජයට බලකරලා තියෙනවා අපට අල කිලෝවකට රුපියල් 100/- ක්වත් දෙන්න. නැතිනම් අපිට මේ ගොවිතැන් අත්හරින්නයි වෙන්නේ. ඒ නිසා මේ ගොවි ආර්ථීකේ රඳා පවතින්න රජය මහත් කැපවීමක් කරන්න ඕනා.

කිලෝවකට රු. 100/- ක් ඕනෑ
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ඩබ්ලිව්. එම්. ගුණවර්ධන

මේ ආණ්ඩුව 2015 ජනවාරි 29 වෙනිදා ඉදිරිපත් කළ අයවැය මඟින් අර්තාපල් අල කිලෝවකට රුපියල් 80/- ක් වූ අවම මිලක් නියම කළ බව කිව්වා. අවුරුදු දෙකකට පස්සේ අයවැයට දවස් දෙකකට ඉස්සෙල්ලා ආනයනික බදු කිලෝවකට රුපියල් 39/- ක් බදු ඉවත් කළා. නිෂ්පාදන මිල 2015 ට වඩා විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තිබුණත් දැන් මේ ආණ්ඩුවේ ඡන්ද ක්‍රියාමාර්ග නිසා අල ගොවියා අන්ත ප්‍රපාතයට වැටිලා. දැන් මාස් කන්නයත් ඇවිල්ලා. අල වගා කරන්න තමන්ගේ අස්වැන්න විකුණාගන්න බෑ. ඉතාම බරපතළ අනතුරක ඉන්නේ. ආණ්ඩුව මැදිහත් වී රුපියල් 100/- බැගින්වත් ගොවියාගේ අස්වැන්න මිලදී ගන්න ඕනෑ. ස.තො.ස. ගොවිජන සේවා මධ්‍යස්ථාන හෝ වෙනත් යාන්ත්‍රණයක් හරහා ඒක කරන්න පුළුවන්. මේ සාධාරණ ඉල්ලීම දිනාගන්න සටන දැන් ඇටම්පිටිය ප්‍රදේශයෙන් ඇරඹී තිබෙනවා. මේ ගොවියන්ගේ සාධාරණ හඩට කන්දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.


නිපුණා සාරංගි