උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනක්

රෝහින්ග්‍යා අර්බුදයට චීනයෙන් විසඳුමක්!
රෝහින්ග්‍යා අර්බුදයට චීනයෙන් විසඳුමක්!
December 5, 2017
ට්‍රම්ප් දැඩි විවේචනයට
ට්‍රම්ප් දැඩි විවේචනයට
December 5, 2017
Show all

උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනක්

උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල

සිය මුල්ම බැලිස්ටික් මිසයිල සහිත සබ්මැරීනය ඉතාමත්ම ඉක්මනින් ‘නිෂ්පාදනය කර ස්ථාපිත කිරීම’ පිණිස උතුරු කොරියාව දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් සිටින බව නව චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් පවසයි.
දිගු දුර විදින අන්තර් මහාද්වීපික මිසයිල දැනටමත් නිෂ්පාදනය කර තිඛෙන උතුරු කොරියාව, සබ්මැරීනයක සිට දිගු දුර විදින මිසයිල නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ද වසර කිහිපයක් මුළුල්ලේ අත් හදා බලමින් සිටියි. එවැනි ඡායාරූප පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත 38 North වෙබ් අඩවිය පවසන්නේ අදාළ ඡායාරූප මගින් එම වැඩසටහන පිළිබඳව ඉතා බලගතු සිහි කැඳවීමක් කෙරෙන බවය.
මිසයිල විදිය හැකි සබ්මැරීනයක සහ එහි සිට මිසයිල විදිනයක ආකෘති දැනටමත් උතුරු කොරියාව සතුව පවතින අතර, එහි සිට දැනටමත් අත් හදා බැලීම් කිහිපයක් සිදු කර තිබේ. එහෙත් එම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම පිණිස නැගෙනහිර වෙරළේ සින්පෝ (Sinpo) නැව් තටාකාංගණයේ දැවැන්ත ඉදිකිරීම් සිදුවෙමින් පවතින බව නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී තිබේ. උතුරු කොරියාව, මිසයිල රැගෙන යා හැකි තවත් සබ්මැරීනයක් නිෂ්පාදනය කරමින් සිටිනවා විය හැකි බවට ද ඉඟි පලවෙමින් පවතී.
මේ වසර පුරාම සින්පෝ තටාකාංගණයේ සුවිසල් ඉදිකිරීම් ශාලාවලට යාබදව පිහිටි භූමියට සහ එයින් ඉවතට විවිධ කොටස් ගෙන යනු ලැබූ ආකාරය චන්ද්‍රිකා ඡායාරූපවල දක්නට ලැබේ. නිරන්තරයෙන් ඔබ මොබ යන සුවිසල් දොඹකර මගින් ද පැහැදිලි වෙන්නේ ‘දිගු කාලීන සහ ක්‍රියාකාරී නැව් ඉදිකිරීමේ වැඩසටහනක්’ බවද 38 North වෙබ් අඩවිය පවසයි.
සබ්මැරීනයේ සිට මිසයිල විදීම පිණිස භාවිතා කිරීමේ අරමුන විය හැකි මිසයිල අත් හදා බැලීමේ ස්ථානයක්ද ඉදිකෙරෙමින් පවතී. සබ්මැරීනවල සිට විදින මිසයිල අත්හදා බැලීමේ උතුරු කොරියානු වැඩසටහනේ ප්‍රගතිය චන්ද්‍රිකා ඡායාරූප මගින් පමණක් තක්සේරු කිරීම අසීරුය.
එහෙත් මෙම අධ්‍යනයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (International Institute for Strategic Studies) අවි ආයුධ පාලනය පිළිබඳ විශේෂඥයෙකු වන මාර්ක් ෆිට්ස්පැට්රික් (Mark Fitzpatrick) බී.බී.සී.යට පැවසූ පරිදි, කිසියම් ලෙසකින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව ප්‍රහාරයක් එල්ල වුවහොත් සබ්මැරීනවල සිට විදින මිසයිල මගින් උතුරු කොරියාවට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ වෙනත් හැකියාවක් ද හිමිවේ.


ධනංජය සූරියබණ්ඩාර