කුණු කන්දකට යට කරන මුතුරාජවෙල අභය භූමිය

බෙsegaerg
දකුණු රොඩේෂියාවේ අද මොකද වෙන්නෙ?
December 5, 2017
ලුsdgrwt
සාමා – අමර… සල්මල් පයට පෑගෙමින් තිබේ
December 5, 2017
Show all

කුණු කන්දකට යට කරන මුතුරාජවෙල අභය භූමිය

ආවේrsgaher

ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් අභය භූමි අතර මුතුරාජවෙල අභය භූමියට සුවිශේෂී තැනක් හිමිවේ. පසුගිය කාලයේ මුතුරාජවෙල ගැන කතා නොකළ මාධ්‍ය සහ සමාජ බලවේග පරිසර සංවිධාන මේ මොහොතේ මුතුරාජවෙල ගැන කතා කරන්නේ සුවිශේෂී හේතුවක් නිසාවෙනි. විශේෂයෙන්ම කොළොන්නාව කුණු කන්ද නාය යාමෙන් පසුව විවිධ මාධ්‍ය හා විවිධ සංවිධාන මේ පිළිබඳව කතා කරන්නට ගත්තේ පාලකයන්ගේ අදූරදර්ශී සහ අමනෝඥ ක්‍රියා හේතුවෙනි. පසුගිය ආණ්ඩුවේ පාලකයෝද වත්මන් ආණ්ඩුවේ පාලකයන්ද කිසිදු හිරිකිතයකින් තොරව මුතුරාජවෙල අභය භූමිය විනාශය කරා ගෙන ගියේය. රාජපක්ෂ පාලන සමයේ මුතුරාජවෙල වගුරුබිම හරහා මාර්ගයක් ඉදි කරන ලද්දේ කිසිදු පරිසර ඇගයීම් වාර්තාවකින් තොරවය. ඊට අමතරව රාජපක්ෂ ගෝලයෝ මේ මහාර්ඝ භූමියේ විවිධ ඉදි කිරීම් කළහ. ඊට අමතරව වැලි ගොඩ දැමූහ. තවත් විවිධ ක්‍රියා කාරකම්වල නිරත වෙමින් අභය භූමිය තමන්ගේ පෞද්ගලික දේපළක් සේ පරිහරණය කරන ලද්දේ මැර බලය යොදවා ගනිමිනි. රාජපක්ෂ පාලනයේදීත් යහපාලනයේදීත් වත්මන් අමාත්‍ය ජෝන් අමරතුංගගේ ආශීර්වාදය මත ඔහුගේ ගෝල බාලයෝ අභය භූමිය විනාශ කළ බව ප්‍රදේශවාසීහු පවසති.
මුතුරාජවෙල අභය භූමියේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1285කි. මේ හෙක්ටයාර් 1285 මේ වන විට විවිධ පුද්ගලයින් සිය ග්‍රහණයට ගෙන ඇත. විශේෂයෙන්ම පරිසරය ගැන මහ ඉහළින් කතා කරන ජනාධිපති සිරිසේන පරිසර ඇමතිවරයාව සිටියදීම මේ විනාශය නොනවත්වා සිදුවේ. විවිධ පුද්ගලයින් මේ භූමිය ගොඩකර ඉදිකිරීම් සිදුකර ඇත. පසුගිය සතිය වන විටත් මුතුරාජවෙල වගුරුබිම අධිවේගී මාර්ගය අභයසින් හෙළි පෙහෙළි කර ඇති ආකාරය දැක ගත හැකිය. විවිධ කර්මාන්ත ශාලා ඉදිකර ඇත. වැලි ගොඩදැමීම් නිරතුරුවම සිදුවේ මේ වැලි අතිශය වැදගත් වැලි වර්ගයකි. ටයිල් කර්මාන්තශාලා සදහා මේ වැලි ප්‍රවාහනය කරමින් ඇත. මුතුරාජවෙල වගුරුබිම ගොඩකිරීම් මේ වන විටත් සිදුවේ. පරිසර ඇමතිවරයාද රටේ ජනාධිපතිවරයාද වන මෛත්‍රීපාල සිරිසේන මේ විනාශය වැළැක්වීමට මැදිහත්වීමට පුවත්පතකින්ම හෙළි දරව් කරන තුරු සිටිය යුතු නැත. වහා මැදිහත් වී මේ විනාශය වැළැක්විය යුතුය.
කොළොන්නාව කුණු කන්ද නාය යාමෙන් පසු කොළඹ කුණු දැමීමට මුතුරාජවෙල අභය භූමිය තෝරාගත්තේ පාලකයන්ට කිසිදු දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැති බව නැවත වරක් ඔප්පු කරමිනි. 2017 අප්‍රේල් කොළඹ කුණු මුතුරාජවෙල අභයභූමියට බෝපිටිය නුගපේ ප්‍රදේශයෙන් දැමීම ආරම්භ කරන ලදි. මේ තත්ත්වයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් නිර්මාණය විය. ජනතා විරෝධය ද නොතකා දවස් තුනක් තිස්සේ දිගින් දිගටම එම ක්‍රියාව සිදු කරන ලදි. මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය විසින් කරන ලද දැවැන්ත විරෝධයේ ප්‍රතිඵලයක් ලෙසින් කුණු දැමීම තාවකාලිකව නවතා දමන ලදී. මේ උද්ඝෝෂණය අතරතුරු උද්ඝෝෂණයට සම්බන්ධ වූ ප්‍රදේශවාසියෙකු අත්අඩංගුවට ගෙන පොලිස් බාරයේ රඳවා තබා පසුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම පුද්ගලයා ඇප මත නිදහස් කරන ලදී. පමුණුගම පොලිසිය මේ ක්‍රියාවලියේදී ඉතාමත් අසාධාරණ ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇත. සෑම පොලිසියකටම අනුබද්ධව පරිසර පොලිස් ඒකකයක් පවතී. එහෙත් පමුණුගම පොලිසිය අභයභූමිය විනාශ කරන්නන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක මේ වන විටත් නියැලී සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
අභයභූමිය වැනසීමේ කි්‍රයාවලියට එරෙහිව මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය විසින් කොළඹ නාගරික කොමසාරිවරයා, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව ආදී රාජ්‍ය ආයතන 11ක් වගඋත්තරකරුවන් කරමින් ප්‍රදේශවාසීන් 35 දෙනෙකුද සහභාගී වී කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. 2017/06/14 දින පළමු නඩු වාරය තිබුණි. නඩුව ක්‍රියාත්මක අතරතුර 2017 ජුනි 28 දින මුතුරාජවෙල දෑලතුර ප්‍රදේශයෙන් නැවත කුණු දැමීම ආරම්භ කරන ලදී. නැවතත් මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය විසින් ජනතා උද්ඝෝෂණයක් පවත්වන ලදී. නඩුවක් තිබියදී කුණු දැමීමට එරෙහිව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටින ලදී. ඒ අනුව 2017 ජූලි 05 දින අතුරු තහනම් නියෝගයක් ලැබුණි. එහිදී නැවත කුණු දැමීම නවතා දමන ලදි. 2017 ජූලි 20 නැවත නඩුව කැඳවා අතුරු තහනම්
නියෝගයද සහිතව අගෝස්තු 03 දක්වා නැවත කල් තබන ලදී. අගෝස්තු 03 නැවත සැප්තැම්බර් 21 ටත් සැප්තැම්බර් 21 දින නැවත නොවැම්බර් 01 දිනටත් නඩුව කල් තබන ලදී. අතුරු තහනම් නියෝගය නොවැම්බර් 02 දක්වා ක්‍රියාත්මක වේ. කෙසේ වුවද නැවත කුණු දැමීමක් ආරම්භ කළහොත් දැවැන්ත ජනතා නැගිටීමක් සිදුවිය හැකි බවට ඉඟි පළවී ඇත.

මේ ජාතික සම්පත රැකගන්න ජනතාව පෙළ ගස්වනවා
සේනාරත්න වනසිංහ (මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයේ ලේකම්)

මුතුරාජවෙල අභයභූමිය කියන්නේ ජාතික සම්පතක්. පාලකයන්ට මේ ජාතික සම්පත වටින්නෙ නැති වුණාට මේ ප්‍රදේශයේ ජනතාවටත් සමස්ත ලාංකීය ජනතාවටත් මෙය වටිනවා. පාලකයන් හිතු මතේ මේ භූමිය විනාශ කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. දේශපාලන හිතවත්කම් මත ඇතැම් කණ්ඩායම් මේ භූමිය වනසමින් ඉන්නවා. නීතිය වුණත් ක්‍රියාත්මක වෙන්නේ පරිසරයට ආදරය කරන ජනතාවටයි. මේ ප්‍රශ්නයෙන් බැටකන ජනතාව වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. අපි විශ්වාස කරනවා මේ විනාශය මෙතනින් නවතින එකක් නැහැ කියලා. ඒ නිසා මේ ජාතික සම්පත රැකගැනීම වෙනුවෙන් අපි ජනතාව පෙළ ගස්වනවා. මුතුරාජවෙල අභ්‍යභූමිය සුරැකීමේ සංවිධානය හැටියට සමස්ත ලාංකීය ජනතාවම බද්ධ කරගෙන මේ අරගලය ජයග්‍රහණය කරා රැගෙන යනවා.

මුතුරාජවෙල අභයභූමිය දිවි හිමියෙන් සුරකිනවා
අනිල් ලංකාපුර ජයමහ (මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සභාපති)

අපි මුතුරාජවෙල අභය භූමිය කිසිසේත්ම විනාශ වෙන්න ඉඩ තබන්නේ නැහැ. විශේෂයෙන්ම අභය භූමියට තදාසන්න වගුරුබිම් පුරන් කුඹුරු නැවත කෘෂිකාර්මික කටයුතුවලට නිදහස් කරන්න කියල අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ පෝර්ට් සිටිය ගම්පහ දිස්ත්‍රික්කයට මැදිවයි මුතුරාජවෙල පවතින්නේ. විශේෂයෙන්ම වත්තල, ගම්පහ, මීගමුව වගේ ප්‍රදේශවල වැසි ජලය පොළවට උරා ගන්නේ නැහැ. මොකද මේ ප්‍රදේශ කොන්ක්‍රීට් වනාන්තර නිසා. මුතුරාජවෙල තමයි මේ ප්‍රදේශවල ජලය උරා ගන්නා එකම තැන. එයත් විනාශ කළොත් මේ මොහොතේ පවතින ගංවතුර තර්ජනයටත් වඩා බරපතළ තර්ජන ඇතිවිය හැකියි. දැනටත් එය සිදු වෙලා. ඩෙංගු උවදුර පවා මේ තත්ත්වය නිසා ඇති වෙලා. මේ තත්ත්වයෙන් කතෝලික සහ බෞද්ධ ජනතාව දැඩි ලෙස පීඩා විදිනවා. ප්‍රදේශයේ ආගමික නායකයන් විශේෂයෙන්ම පියතුමන්ලා සහ ස්වාමීන්වහන්සේලා සමග එක්වී මේ අභය භූමිය අපි අනාගත පරම්පරාවට සුරක්ෂිත කරනවා. වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරී වසම් 46න් 32 කින්ම අභය භූමිය වටවී තිබෙනවා. මුතුරාජවෙල විනාශ කරන බහුතරයක් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරන බව ආරංචියි. අපිත් සමග මේ සටනේ ඒ කිසිවෙක් නැහැ. තවත් වසර 25කදී රටේ අගනගරය විය හැක්කේ බෝපිටිය ප්‍රදේශය බව කියවෙනවා. මෙගා නගර ව්‍යාපෘතිය හරහා මුතුරාජවෙලට බලපෑම් විය හැකිබව සිදුවන සිදුවීම් වලින් පෙනී යනවා. කොහොම වුණත් ජනතා බලවේගයකින් අපි මේ විනාශය වළක්වනවා සහතිකයි.

මේ පරිසර විනාශයට පාලකයන් වගකිව යුතුයි
පරිසරවේදී දිනූෂ නානායක්කාර (මුතුරාජවෙල අභය භූමිය සුරැකීමේ සංවිධානයේ භාණ්ඩාගාරික)

1996 ඔක්තෝබර් 31 අංක 947/13 දරන ගැසට් පත්‍රයට අනුව මුතුරාජවෙල අභය භූමියක් ලෙස පත් කළා. 1989 වසරේ ආසියානු තෙත් බිම් නාමාවලියේ අතිශය වැදගත් තෙත් බිමක් ලෙස ඉරානයේ රැම්සා සම්මුතියෙන් මේ මුතුරාජවෙල අභය භූමිය නම් කර තිඛෙනවා. ලෝක සත්ත්ව සංරක්ෂණ සංගමයේ දත්තවලට අනුව මෙම අභය භූමිය තුළ කාණ්ඩ 7කට අයත් වනජීවී විශේෂ 449ක් පවතින බව කියා තිඛෙනවා. ක්ෂීරපායී විශේෂ 14ක්, උරග විශේෂ 31ක්, පක්ෂි විශේෂ 102ක්, බත්කූරන් විශේෂ 22ක්, සමනල විශේෂ 48ක්, වාසය කරන අතර මේවායින් විශේෂ 26ක් ලංකාවට පමණක් ආවේනිකයි. මුතුරාජවෙල අභය භූමිය හරහා ජීවිකාව ගෙන ජනතාව අති විශාලයි. ධීවර කර්මාන්තය, වගා කටයුතු, මත්ස්‍ය වගාව මේ අතර විශේෂයි. මේ තෙත් බිම හැමිල්ටන් ඇල, ජා ඇල, දඩුගම් ඔය හරහා මීගමුව කලපුවට සෘජුව බද්ධ වෙන නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් 3200කට අධික ජනතාවකට වන හානිය අති විශාලයි. ගංවතුර පාලනයටත් මේ තෙත් බිම කරන මෙහෙය සුවිශාලයි. මේ භූමියට කුණු දැමීම හරහා ස්වාභාවික ජල මූලාශ්‍ර විනාශ වෙමින් පවතිනවා. මේ ජාතික සම්පත විනාශ වෙන්නේ පාලකයන්ගේ වරදින්. මොන අභියෝග ආවත් අපි මෙය සුරකිනවා.


සටහන
එස්. කේ. ගමගේ