ග්‍රාම ශක්ති ඡන්ද ව්‍යාපෘතියක් නොවේ නම්!

partluikjg
ව්‍යවස්ථාව ගැන උඩු බිරීම ඇත්ත හඩ කාගේද?
December 5, 2017
ක්‍රිzdfrhyaer5y
ජාවාරමුන්ට ලේසි සයිපො ගෙට් ඊසි
December 12, 2017
Show all

ග්‍රාම ශක්ති ඡන්ද ව්‍යාපෘතියක් නොවේ නම්!

වැඩපිළිවෙළට තවත් රුපියල් කෝටි

හවුල් ආණ්ඩුවේ ආර්ථීක කටයුතුවලට කර ගසා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය. අය-වැයට පෙර පාර්ලිමේන්තුවේදී කුමක් හෝ දීර්ඝ ආර්ථීක ප්‍රකාශයක් කරමින්, මුදල් ඇමති ඉක්මවා අගමැතිවරයා ඒකාධිපති බවක් අත් කරගෙන සිටී. පසුගිය සතියේ ද එවැනි ප්‍රකාශයක් කරනු ලැබීය. එනිසා එජාපයේ කියනවාට වඩා ආර්ථීක ක්‍රියාවලිය තනිකරම රනිල්ගේ වැඩක් බවට පත් කරගෙන සිටී. මෙහි කූටප්‍රාප්තිය ‘ආර්ථීක කමිටුව’ නම් බලගතු ඒකකයයි. සියල්ල හසුරුවන්නේ මෙතනින්ය.
මේ තුළ විශාල අරෝවක් ශ්‍රීලනිප ඇමතිවරුන්ට තිබිණි. ඒ කුඩම්මාගේ සැලකිලි හෝ නොමැති තත්ත්වයක් ගැන කියමින්ය. මෙයට උත්තරයක් හැටියට ජනාධිපති මූලික වී ‘ජාතික ආර්ථීක උපදේශක සභාව’ නම් තැනක් ඇති කළේය.
දැන් ජනාධිපති ද අරින්නේ නැත. හිටු කියලා ආර්ථීකය ගොඩ දමන වැඩවලට බැස ඇති බව පෙන්වන්නේය. සති දෙකකට පෙර ‘එක්ව නැගිටිමු අටු කොටු පුරවමු’ යනුවෙන් වැඩක් පටන් ගත්තේය. එහි උණුසුම මැකී යන්නටත් පෙර මෙන්න! අලූත් එකක් පටන්ගෙන ‘ග්‍රාම ශක්ති’ යනුවෙන් නම් කර ‘2017 දිළිඳුකමින් මිඳීමේ මාර්ගය’ යනුවෙන් තේමාවක් යොදා ගනිමින්ය. කොහොමටත් ජනාධිපති විසින්ම 2017 වර්ෂය නම් කර තිබුණේ ‘දිළිඳු බවින් මිඳීමේ වර්ෂය’ යනුවෙන්ය. දැන් ඒකටම ‘ග්‍රාම ශක්ති’ එකතු කර තිබේ. 2017 දිළිඳු බවින් මිඳීමේ වර්ෂය යන්න ද එකතු කර තිබේ. ගෙවී ගිය මාස දහයක් තුළ තුරන් කළ නොහැකි වූ දිළිඳුකම ඉදිරි මාස දෙකක් තුළ කරන්නේ කෙසේද? යන්න ප්‍රශ්නයක්ය. කෙසේ වෙතත්, දැන් ‘ග්‍රාම ශක්ති’ ආරම්භ කර තිබේ.
මූලධර්ම පහක් මත පිහිටා ‘වැඩි කාන්තා සහ තරුණ දායකත්වයක් ලබා ගනිමින්, වෙළෙඳපොළ අවස්ථා ගැන සංවේදීව ගමේ සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීමේ ශක්තිය ලබා දෙමින්, එම සැලසුම් ප්‍රාදේශීය සහ පළාත් සංවර්ධන සැලසුම් ප්‍රාදේශීය සහ පළාත් සංවර්ධන සැලසුම් සමඟ ඒකාබද්ධ කිරීම’ අරමුණ බව සඳහන්ය. තවද, ‘ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථීකයකින් හෙබි තිරසාර ශ්‍රී ලංකාවක් තුළ සියලු ආකාරයේ දිළිඳුකම් මුලිනුපුටා දැමීමේ ජනාධිපති දැක්ම අනුව ක්‍රියාත්මක මුඛ්‍ය වැඩසටහන ග්‍රාම ශක්ති ජනතා ධාන්‍යාගාරයයි’ යනුවෙන් වැඩි විස්තර සඳහන්ය. මෙය පළමු අදියරේ දී රට පුරා තෝරා ගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5,000ක් ආවරණය කරන බවද කියවේ.
මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වන්නේ එක දෙයක්ය. ජනතා විමුක්ති පෙරමුණ දැන් රට පුරා පිහිටුවමින් තිඛෙන ‘දිරිය පුරවැසි’ සමිතිවලට උත්තරයක් හැටියට ‘ග්‍රාම ශක්ති’ වැඩේ දියත් කර තිඛෙන බවය. අනෙක් පැත්තෙන් ඡන්දය ඉලක්ක කර ගන්නා ලද ව්‍යාපෘතියක් බවද හොඳින් පැහැදිලි වේ. දැන් මේ කෙරෙහි රාජ්‍ය යාන්ත්‍රණය යොදවා පුළුල් ප්‍රචාරණයක් ලබා දෙමින් තිබේ. ‘පළමුවැනි අදියරේ දී’ යනුවෙන් යෙදීම තුළ ඡන්ද ගැටය පවතී. ගැටය වන්නේ පළමු අදියර නිමා වීමට ගත වන කාලයයි. එය අවුරුදු පහක් ගත වීමටද හැකිය. එතකොට ජනාධිපතිට අවශ්‍ය ඡන්ද සියල්ල ආවරණය කරගෙන හමාරය.
මේ සියල්ලට ‘ඔහොම යං’ කියා මෙහි තිඛෙන උත්පත්ති දෝෂ ගණනාවක් ඉතා පැහැදිලිව පෙනෙන බැවින්, නුදුටු සේ සිටිය නොහැකි නිසා උත්පත්ති දෝෂ ගැන කෙටියෙන් විමසා බැලිය යුතුය.
ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති ගැන පළ කර තිබූ පුවත්පත් දැන්වීම අනුව මුල් අදියරේදී ග්‍රාම නිලධාරී කොට්ඨාස 5,000ක ඒකපුද්ගල ආයෝජන රුපියල් 8,000.00ක් දක්වා වූ මුදලක් බැගින් යෙදැවිය හැකි ජනතා සමාගම් පිහිටුවීමට නියමිතය. මුළු රට පුරා ජනතා සමාගම් පිහිටුවා අවසන් කිරීමට අදියර තුනක්වත් අවශ්‍ය බව මෙයින් පැහැදිලිය. මන්ද, රට පුරා ග්‍රාම නිලධාරී කොට්ඨාස 15,000කට ආසන්න සංඛ්‍යාවක් තිඛෙන බැවින්ය. ජනතා සමාගම් පිහිටුවන්නේ ආර්ථීකය ග්‍රාමීය මට්ටමේ සිට නගාසිටුවීමටය. මේ වන විට ‘ජනසවිය’, ‘සමෘද්ධි’ වැනි මෑත දශක තුනක ව්‍යාපෘති දියත් කරන ලද්දේ ද මේ අරමුණ වෙනුවෙන්මය. අගමැතිවරයා 2015 ඔක්තෝබර් මස පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට අනුව මේ වන විට මුළු ජනගහනයෙන් සියයට 43ක් දිනක ආදායම ඩොලර් දෙකකට අඩු ආදායම් ලබන්නන්ය. එනම්, අන්ත දිළින්දන්ය.
එසේ වී ඇත්තේ, ග්‍රාමීය ආර්ථීකය සංවර්ධනය කිරීමේ විවිධ ව්‍යාපෘති කි්‍රයාත්මක කිරීමෙන් පසුවය. මේ වන විටද සමෘද්ධි ව්‍යාපාරය කි්‍රයාත්මක වෙමින් තිබියදීය. අද වන විට දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන වශයෙන් හඳුන්වනු ලබන ගමේ ආර්ථීකය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබියදීය. ඒ යටතේ පවුල් ලක්ෂ 14ක් පමණ ප්‍රතිලාභ ලබමින් ආර්ථීක සංවර්ධන ක්‍රියාවලියට දායක කරගෙන සිටියදීය. මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ෂික වාර්තාවෙන් ඒ පිළිබඳ තවත් වැදගත් තොරතුරු හෙළි වේ.
රටේ තිබෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම බැංකුවලින් පසුගිය වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් දෙලක්ෂ තිස්හය දහස් හයසිය විසි (2,36,620) දෙනෙකුට ණය පහසුකම් ලබා දී ඇත. ලබා දී තිඛෙන මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන පන්ලක්ෂ දහනව දහස් හාරසිය දොළහ (රු. මිලියන 5,19,412)ක්ය. මේ අනුව එක් අයෙකුට රුපියල් මිලියන 3.04ක සාමාන්‍ය ණය මුදලක් ලබා දී ඇත. ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති ජනතා සමාගම් පිහිටුවන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් දෙලක්ෂ තිස්හය දහසට අමතරවය.
මුදල් අමාත්‍යාංශය වාර්තාවේම තවත් තැනක සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මේ ව්‍යාපෘතියට සමාන්තරව යන දෙයක්ය. ක්ෂුද්‍ර මූල්‍ය වශයෙන් හඳුන්වන ගෘහ ඒකක මට්ටමේ ආර්ථීක සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන දෙලක්ෂ හාර දහස් හාරසිය පනස්තුන (රු. මිලියන 2,04,453)ක ණය ප්‍රමාණයක් ලබා දී ඇති බවය. එම ආයෝජකයන් සංඛ්‍යාව විසිනව ලක්ෂ හැටපන් දහස් හාරසිය විසිහය (29,65,426)ක්ය. දිවිනැගුම බැංකු, සමුපකාර බැංකු, ගොවි ජන බැංකු, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ලංකා පුත්‍ර බැංකුව යන ආයතනවලින් මෙම ණය ලබා දී තිබේ. එක් අයෙකුට රුපියල් 67,000.00ක් පමණ සාමාන්‍ය ණයක් මෙයින් ලබා දී ඇත. ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති ඇතුළත් කරන්නේ මේ ලක්ෂ 29 දෙනා අතරටය.
ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති තුළින් ආශ්චර්යය පහළ කිරීමට අරමුණු කරගෙන ඇත්තේ ඉහත සඳහන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙලක්ෂ තිස්හය දහසක් හා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින ලක්ෂ තිහකට ආසන්න ව්‍යාපෘතිවලින් කළ නොහැකි වූ දේ කිරීමටය. ඉහත දැක් වූ ව්‍යාපෘති දෙක ණය යෝජනා ක්‍රම මිස ආයෝජන නොවන බවට තර්ක කළ හැකිය. ඔවුන් ණය ගෙන ඇත්තේ, කුඩා හා මධ්‍ය පරිමාණ මිලියන තුනකට මඳක් වැඩියෙන් ද, ක්ෂුද්‍ර මූල්‍ය ණය යටතේ රුපියල් 69,000.00ක් පමණ ද ආයෝජන සඳහා යෙදවීමට බව අමතක නොකළ යුතුය.
තවත් පැත්තකින් කිව හැක්කේ, ජනතා සමාගම් පිහිටු වීමේ දී ඒකපුද්ගල ආයෝජන රුපියල් 8,000.00ක් බව නිකම්ම නොකියන බවය. ග්‍රාම ශක්ති යටතේ ‘යැපුම් මානසිකත්වයෙන් මිඳී ව්‍යවසායකත්වය වෙත එළඹීමට විශේෂ පුහුණුවක් ලබා දීම ද ව්‍යාපෘතියේ මූලික කාර්යභාරයක් බවය. එහෙත්, අද ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය යටතේ ද ඔය වැනි පුහුණු වීම් ලබා දෙමින් තිබෙන්නේය. අඩුවකට ඇත්නම්, තිබෙන්නේ ‘ජනතා සමාගම්’ වෙනුවෙන් ‘විශේෂ පුහුණු වීම්’ යන වචන නොවීමේ අඩුව පමණක්ය.
ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති ජනතා සමාගම් තුළින් ආශ්චර්යය පහළ වීමට විරුද්ධව කුහක චේතනාවකින් ඉදිරිපත් කළ විවේචනයක් නොවේය. පවතින විවිධ ආර්ථීක ව්‍යාපෘති ග්‍රාමීය ජනතාව සවිබලගැන්වීමට බව කියමින් තිබිය දී තවත් එකක් උඩින් ගෙනවිත් දැමීමෙන් ඇති වන මූලික ගැටලු මෙසේය. ඒ තුළ පෙනෙන්නේ ජනාධිපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් මිස මෙය වෙන අන් යමක් නොවන බවය.


ප්‍රියදර්ශන දයාරත්න